Home » සිංහල චිත්‍රපටයක රඟපාන්න ආසයි

සිංහල චිත්‍රපටයක රඟපාන්න ආසයි

මෝස්තර නිරූපණ සහ රංගන ශිල්පි අරුන් සුසේන්

by mavan
April 9, 2026 9:20 am 0 comment

පුංචි කාලේ සිට අපේ සිත්වල නොයෙකුත් හීන තිබෙනවා. අපි හැමවෙලාවේම උත්සාහ කරන්නේ , කැප වෙන්නෙ ඒ හීන සැබෑ කරගන්න. සමහර හීන සැබෑ වෙනවා සේම සමහර හීන බොඳවී යනවා. එය තමයි ස්වභාවය. තමාගේ කඩවසම් බව නිසා, තමන්ගේ රූපය නිසා තමාගේ හීන සැබෑ කරගන්නට හැකිවීම කෙතරම් නම් අපූරුද. මෝස්තර නිරූපණ වෘත්තිය , තමාගේ කඩවසම් බව, රූපය නිසා නියැළිය හැකි වෘත්තියකි. තමාගේ ආශාව පිටුපස හඹා ගොස් වෘත්තීය මෝස්තර නිරූපණ ශිල්පියෙකු වු කඩවසම් තරුණයෙකු පසුගියදා සරසවියට මුණගැසුණි. මෝස්තර නිරූපණ ශිල්පියෙකු ලෙස සාර්ථක ගමනක් යන ඔහු මේ වන විට සිනමා රංගන ශිල්පියෙකි. ඔහු අරුන් සුසේන් ය. ඔහු දෙමළ ජාතිකයෙකි. කලාවට ජාතිය වැදගත් නැත. අවශ්‍ය වන්නේ කුමන ජාතියක වුවත් , කුමන භාෂාව කතා කළත් , ඔහු සතු හැකියාව පමණි. අරුන් සුසේන් සරසවිය සමඟ එක් වන්නේ පළමු වතාවටය. ඉතාමත් සුහද ලීලාවෙන් පත්තර මහගෙදරට පියනඟ ආවේ ඔහුගේ කලා කටයුතු පිළිබඳ සරසවිය සමඟ බෙදා හදා ගන්නටය.

මම මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට ආවේ මීට අවුරුදු විසිදෙකකට කලින්. පාසල් ජීවිතය අවසන් වූ විගසම වගේ. මම මුලුන්ම පෙනී සිටියේ උසස් ප්‍රමිතියෙන් යුත් වෙළඳ සන්නාමයක් සහිත දැන්වීමකට. ඉන්පසු මට විවිධ වර්ගයේ වෙළඳ දැන්වීම් ගලාගෙන ආවා. මම මෝස්තර නිරූපණ ශිල්පියෙක් විදිහට ක්ෂෙත්‍රයට ආවේ ඒ පිළිබඳ නිසි පුහුණුවකින් පසුව. මම ඒ සම්බන්ධයෙන් ඉගෙන ගත්තේ ජැකී මහත්මියගෙන්. ඇය ජර්මානු ජාතික කාන්තාවක්. ඇය අපව නිසියාකාරව පුහුණු කළා. ඒ පුහුණුව තමයි මට මෙතෙක් දුර එන්න රුකුලක් වුණේ.

මේ අතරේ මට දෙමළ චිත්‍රපටවල රඟපාන්න ආරාධනා රාශියක් ලැබුණා. එහෙත් ඒ චිත්‍රපටවල මට ලැබුණ චරිත ගැන මගේ කැමැත්තක් තිබුණේ නැහැ. ඒ වගේම ඉන්දියානු චිත්‍රපටත් ලැබුණා. ඒ චිත්‍රපටවලට සම්බන්ධ වීමට නම් ඉන්දියාවේ යායුතුයි. මට ඉන්දියාවේ රැඳී සිටිමින් චිත්‍රපටවලට සම්බන්ධ වෙන්න පහසුකම් තිබුණේ නැහැ. ඒ නිසා මට ලැබුණු ආරාධනා මඟ හැරුණා. ඒත් රඟපාන්න තිබුණ ආසාව අත් හැරියේ නැහැ. යමක් කළ හැකි චරිතයක් ලැබෙනකම් මම ඉවසීමෙන් බලාගෙන හිටියා. ඒ අතරේ මම රැකියාවකුත් කළා. දිගටම වෙළඳ දැන්වීම්වල පෙනී සිටියා.

ඒ විදිහට බලාගෙන ඉන්න කොට තමයි මට අදිරන් චිත්‍රපටය ලැබුණේ. එහි අධ්‍යක්ෂ තිනේෂ් කනගරාජා ගෙන්. මට එහි රඟපාන්න ලැබුණේ දුෂ්ටයාගේ චරිතය. පිටපත මට ලැබුණාට පසු මම බොහෝම කැමැත්තෙන් තමයි ඒ චරිතය භාර ගත්තේ. ඒ චරිතය ගොඩ නඟා ගන්න මට අධ්‍යක්ෂවරයාගෙන් හොඳ සහයෝගයක් ලැබුණා. ඒත් සමහර වෙලාවට මට හිතෙනවා මගෙන් ඊට වඩා යමක් ගන්න තිබුණා කියලා. එදා අදිරන් පළමු වරට ප්‍රදර්ශනය වෙන වෙලාවේ මගේ රංගනය ඊටත් වඩා හොඳීන් කරන්න තිබුණා කියා මට හිතුණා.

මම කැමතියි සිංහල චිත්‍රපටවලත් රඟපාන්න. අපි සිංහල දෙමළ කියා වෙන් නොකර චිත්‍රපට නිර්මාණය කළ යුතුයි. එවිට තමයි අපටත් අවස්ථා ලැබෙන්නේ. සිංහල රංගන ශිල්පීන් දෙමළ චිත්‍රපට වලත්, දෙමළ ශිල්පීන් සිංහල චිත්‍රපටවලත් රඟපෑ යුතුයි. අපි කවුරුත් ශශ්‍රී ලාංකිකයෝ. මම ඉපදුණේ යාපනයේ. පුංචි කාලේ ජීවත්වුණේ යාපනයේ. මට සිංහල හොඳීන් කතා කරන්න පුළුවන්. ඒත් සිංහල කියවන්න අපහසුයි.චිත්‍රපට වලදී නම් දෙබස් කියා දුන් විට කියන්න පුළුවන්. මම හිතන්නේ එය රංගනයට බාධාවක් නෙවෙයි. උදාහරණයක් විදිහට ගත්තොත් පූජා උමාශංකර් රංගන ශිල්පිනියට මුලින්ම සිංහල චිත්‍රපට වලට එනවිට සිංහල බැහැ. නමුත් ඇය පසු කාලයේ සිංහල හොඳීන් කතාකළා. මිෂෙල් දිල්හාරා අදිරන් චිත්‍රපටයේ රඟපෑවේ දෙමළ භාෂාව කතා කරන්න දැනගෙන නෙවෙයි. එහෙත් ඇය හොඳීන් ඇගේ චරිතය කළා. මම හිතන්නේ සිනමාවට , කලාවට භාෂාව , ජාතිය බලපාන්නේ නැහැ. අවශ්‍ය හැකියාව පමණයි.

පසුගිය දිනවල තිරගත වීම ආරම්භ වූ අන්තෝනි චිත්‍රපටය දෙමළ වුවත් එය සිංහලෙන් හඬ කවා තිබුණා. එය හොඳ දෙයක්. ඒ වගේම අන්තෝනි චිත්‍රපටයේ විශේෂතවයක් තියෙනවා. අන්තෝනි ශශ්‍රී ලාංකික චිත්‍රපටයක්.එහි සංගීත අධ්‍යක්ෂවරයා ලෝකප්‍රකට ඉන්දියානු සංගීතඥවරයකු වූ ඉලෙයරාජා මාස්ටර්. ශශ්‍රී ලාංකික සිනමාවට එය විශේෂ සිද්ධියක් වෙනවා. එය අධ්‍යක්ෂණය කළ ජෙනෝසන් ක්‍රිස්තුරාජා දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. සිංහල සිනමාවේත් දක්ෂ අධ්‍යක්ෂකරු විශාල පිරිසක් ඉන්නවා. රඟපාන්න අවස්ථාවන් රාශියක් තියෙනවා. ඒ නිසයි මා කැමැත්තෙන් ඉන්නේ සිංහල චිත්‍රපටයක රඟපාන්න. මේ වනවිට මම වෙළඳ දැන්වීම් අසූවකට පමණ පෙනී ඉඳල තියෙනවා. මම දැන් රැකියාවෙන් ඉවත් වෙලා පූර්ණකාලීනව රංගනය සඳහා යොමු වෙන්න සුදානමින් ඉන්නවා. දැන් මම ඒ වෙනුවෙන් සූදානම් වෙනවා.

ඉදිරියේදී සිංහල චිත්‍රපට ලැබෙයි කියා බලාපොරොත්තු වෙනවා. ඒවා තවම සාකච්ඡා මට්ටමේ තිබෙන්නේ. මේ මම සරසවිය පුවත්පත සමඟ කරන පළමු කතාබහ. ඒ ගැන හරිම සතුටුයි. ස්තූතියි මේ දුන් සහයෝගයට.

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT