කැම්පස් ජිවිතේ හරි සුන්දරයි. ඒත් ඒක එක විදියකට විඳීන්න මට අවස්ථාව ලැබුණේ නෑ. ඒකට හේතු වුණේ මගේ චිත්‍රපට ජීවිතය. මට මඟ හැරුණු ලෙක්චර්ස් බොහෝ වෙලාවට මට මගේ යාළුවන් ගෙන් ලැබුණා. කැම්පස් එකේ පළවෙනි අවුරුද්දේ විභාගය කරන අතරතුර තමයි මම ලෙස්ටර් පීරිස් මහතාගේ බැද්දේගම චිත්‍රපටය කළේ. මට තාමත් මතකයි මම දර්ශන තලයේ ඉඳගෙනත් පාඩම් කළා. චිත්‍රපට වැඩ නිසා මට දෙවැනි වසරේ විභාගය ලියා ගන්න බැරුව ගියා. නමුත් ඊළඟ අවුරුද්දේ මම ප්‍රශ්න පත්‍ර නවයම එකපාරින් ලියලා විභාගය සමත් වුණා.
ඇත්තටම මේ කාලේ අපේ පවුලේ ජීවන රටාව හරිම සාමකාමි එකක් වුණා. අපි අම්මත් සමඟ හිටපු නිවසට ආසන්නයෙන් තැනක තමයි තාත්තායි මල්ලියිත් හිටියේ. ඒ දෙන්නා හවසට අපේ ගෙදර එනවා. අම්මා තාත්තාට කෑම උයලා දෙනවා. රෑ වෙනකොට තාත්තා මල්ලිත් එක්ක බෝඩිමට යනවා.
කැම්පස් එකේ ගතකරපු අවුරුදු තුන දන්නෙම නැතුව ගෙවිලා ගියා. මගේ චිත්‍රපට ජීවිතය නිසා ඇත්තටම මේ කාලය යනවා මට දැනුණේ නෑ. කැම්පස් එකේ අවසාන දවසෙත් අපිව බකට් කරන්න සූදානම් කියලා ආරංචියක් ආවා. මම බස් එකේ ගෙදර යන නිසා මේක හරිම ප්‍රශ්නයක් වුණා. කුණු වතුර නාගෙන කොහොමද බස් එකට නඟින්නේ? මේ ආරංචිය ආපු ගමන්ම මම යාළුවෙකුත් එක්ක හොස්ටල් එක පැත්තට ආවා. හොස්ටල් එක පිටිපස්සෙන් අඩිපාරක් තිබුණා ඇන මඩුව හන්දියට යන්න. එතැනින් ගිහින් දාස එක ළඟින් නුවර පාරට යන්න පුළුවන්. මම හොස්ටල් එකේ කුස්සිය පැත්තෙන් පැනලා ඒ පාරට ආවා. එතැනින් දාස එක ළඟට ඇවිත් යාන්තම් බකට් නොවී ගෙදර ගියා. මේ අතීතේ මතක් වෙනකොට හරිම සුන්දරයි. චිත්‍රපට කරලා කොයි තරම් මහන්සි වුණත් කොහොම හරි මම උපාධියත් සම්පූර්ණ කර ගත්තා. ඒ කාලේ සිනමාවට ආපු බොහෝ දෙනෙක් අතරින් උපාධියක් සම්පූර්ණ කරපු නිළියන් හිටියේ කලාතුරකින් අධ්‍යාපනයකුත් එක්ක සිනමාවේ රැඳෙන්න ලැබීම ගැන අදටත් මට තිබෙන්නේ විශාල සතුටක්.
විශ්වවිද්‍යාල ජිවිතෙන් සමුගත්තට පස්සේ මගේ පූර්ණ කාලය කැප වුණේ සිනමාව වෙනුවෙන්. කාංචනා චිත්‍රපටය කළාට පස්සේ මම සිනමාවට ආවා කියන කාරණය දස අත පැතිරෙන්න පටන් ගත්තා. ක්ෂේත්රයේ අය අතර ඒක කටින් කට ගියා. ඒ වගේම මට මතකයි සරසවිය පුවත්පත මම ගැන ලිපියකුත් පලකළා. ඒ කාලේ සුනිල් හොරේෂස් මාධ්‍යවේදියා නැගී එන තරු කියලා විශේෂාංගයක් කළා. මේ පුවත්පත් ලිපිය නිසාත් මම ගැන ප්‍රචාරයක් සිනමා ක්ෂේත්රය පුරා පැතිරුණා. මේ ආරංචියක් එක්ත තමයි මට ‘සිංහබාහු’ චිත්‍රපටය ට ආරාධනා ලැබෙන්නේ.
සිංහබාහු චිත්‍රපටය සංවිධානය කරන්නේ ජෝ අබේවික්රමයන් විසින්. ස්වර්ණා මල්ලවාරච්චි සිනමාවෙන් සමුගෙන සිට නැවත සිනමාවට කැඳවාගෙන එන්නේ මේ චිත්‍රපටයෙන්. විදේශයකදි ජෝ අබේවික්‍රමයන්ට ස්වර්ණා මුණ ගැසීමෙන් ඇතිවුණ සාකච්ඡාව තමයි ‘සිංහබාහු‘ හැදෙන්න මුල පුරන්නේ. ඔහු ඇයට ආරධනා කරනවා නැවත සිනමාවට පැමිණෙන්න කියා. ඇය ඒ ආරාධනාව පිළිඅරගෙන ලංකාවට එනවා. සිංහබාහු චිත්‍රපටයේ සිංහයා වුණේ ජෝ අයියා. සුප්පාදේවි වුණේ ස්වර්ණා අක්කා. සිංහසීවලි විදියට තමයි මාව තෝර ගත්තේ. සිංබාහු වුණේ අමරසිරි කලංසුරිය. මේ වෙනකොට මම කාංචනා චිත්‍රපටයේ කලං අයියාත් සමඟ රඟපාලා තිබුණා. චිත්‍රපටය නිෂ්පාදනය කළේ ප්‍රේමදාස ජුවලර්ස් විසින්.
සිංහබාහු චිත්‍රපටයේ දර්ශන ගත කිරිම් වලට යනවිට තමයි මම මුලින්ම ස්වර්ණා අක්කාව දකින්නේ. දර්ශන ගත කිරිම් තිබුණේ සිතුල් පව්වේ. මේ ගමනේදි ස්වර්ණා අක්කා අපිත් එක්ක මිතුරු වෙනවා. තිස්සමහාරාම හරියේ අපට නවාතැන් ගන්න පුළුවන්කම තියෙද්දිත්, ස්වර්ණා අක්කා කැලේට ආසයි කියපු නිසා අපි ඔක්කොම ලොජ් වුණේ සිතුල් පව්වේ.
සිතුල් පව්වේ ගතකරපු කාලය නම් හරිම දුෂ්කරයි. අපට කිසිම පහසුකමක් තිබුණේ නෑ. වන සත්තු හතර වටෙන්ම. ෂූටිං ෂෙඩුයුල් හරියට සිද්ධ වුණේ නෑ. බොරුවට මුදල් වියදම් වුණා විතරයි. අපිට නිදා ගන්න ලෑස්ති කරලා තිබුණේ පන්සලක. ඒ පන්සලේ එක ඇඳයි තිබුණේ. සිංහබාහුට රඟපාපු කලං අයියටවත් නිදා ගන්න තැනක් තිබුණේ නෑ. පන්සලේ තිබුණ එකම ඇඳ අපි කලං අයියට දුන්නා.
අපේ අම්මා සහ කලං අයියා අතර ලොකු ළෙන්ගතුකමක් තිබුණා. දෙන්නම නුවර නිසා. නිතරම නුවරදිත් ඒ කාලේ මුන ගැසුණා. කාංචනා ෂුටිං යත්දිත් අපි ඔහුගේ නිවසටත් ගියා.
සුදූ…. කලංට ඇඳ දෙන්න….
එයාට බිම නිදා ගන්න බෑ……
අම්මා කිව්වා. අපි කලං අයියට ඇඳ දුන්නා. අපි නිදා ගත්තේ බිම. අපට ඔළුව තියන්න කොට්ටයක් වත් තිබුණේ නෑ. කලං අයියා ඔහුගේ ඇඳේ තිබුණ කොට්ටය අපට දීලා එයා බෑග් එක ඔළුවට තියාගෙන නිදා ගත්තා. සුමාන ගණනාවක් මේවගේ කරදර වලට මුහුණ දිදි තමයි ‘සිංහබාහු’ රූ ගත කිරිම් අපි නිමකළේ. කොහොම වුණත් ‘සිංහබාහු’ අත්දැකීම් මට ජීවිතයේ අමතක නොවන අත්දැකීම් රැගෙන ආවා. විශේෂයෙන් වන සතුන් සමඟ ගත කරපු කාලයත් සුවිශේෂ අත්දැකීමක් වුණා. කොහොම හරි චිත්‍රපටය ඉවර කරලා අපි කොළඹට ආවා.
නමුත් අදටත් මට මතක් වෙන්නේ ඒ කාලේ අපි සිනමාව වෙනුවෙන් කොපමණ කැප කිරිම්, දුෂ්කරතා වලට මුහුණ දුන්නද කියන කාරණයයි. ඒ දුෂ්කරතා සියල්ල විඳදරාගෙන අපි සිනමාව වෙනුවෙන් කැපවුණා. මේ චිත්‍රපටයේත් අපේ අම්මා රඟපෑව නිසා මට ලොකේෂන් එකේදි වුණත් තනියක් දැනුණේ නෑ. මේ සියලු දුෂ්කරතා වලට මුහුණ දුන්නේ අපි දෙන්න එකටමයි. ඒ කාලේ හැටියට සිංහබාහු ලොකු ජනප්‍රියත්වයක් දිනාගෙන තිර ගත වුණ චිත්‍රපටයක් වුණේ නෑ.
ලබන සතියේ
තනි තරුවෙන් හමුවුණ
මිතුරු මිතුරියෝ
