Home » ලාංකේය සංගීත කලාවේ ආත්මය හැඩ කළ ගීත කෝකිලාව

ලාංකේය සංගීත කලාවේ ආත්මය හැඩ කළ ගීත කෝකිලාව

by shanaka
January 1, 2026 3:52 pm 0 comment

ලෝක සංගීත කලාව තුළ යුගයෙන් යුගයට ගීත වෙත ලොබ බඳීන මිලියන සංඛ්‍යාත ශ්‍රාවක පිරිස දැඩ් සේ ආදරය කරන ජනප්‍රිය ගායිකාවන් බිහිවන්නේ ඉතාමත් කලාතුරකිනි. ගායිකාවන් ඔීනෑ තරම් බිහි වූව ද ඉන් පුරාවෘත්තයක් බවට පත්වන ගායිකාවන් සිටින්නේ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙනි. ඇමරිකානු ජාතික ගායිකාවක්වන ‘ආත්මයේ රැජින (Queen of Soul) ලෙස අබිසෙස් ලැබූ ”ඇරීතා ෆ්‍රැන්ක්ලීන්”, බ්‍රිතාන්‍ය ජාතික ගායිකාවක් වන “එමී වයින්හවුස්”, ඇමරිකානු ජාතික ගායිකාවකවන “මැඩෝනා”, පොප් ගායිකාවකවන “ජොනී මිචෙල්”, ඇමරිකානු ජාතික ගායිකාවකවන ”විට්නි හූස්ටන්”, ඉන්දියානු ජාතික ගායිකාවකවන ”ලතා මංගෙෂ්කාර්” වැනි කීර්තිමත් ගායිකාවන්ගේ සුමිහිරි කටහඬ ශ්‍රාවකයන්ගේ දෙසවන් පමණක් නොව හදවත ද සොරා ගැනීමට සමත් විය. එවැනි ගායිකාවන් අතර ලාංකේය ගීත කලාවට පණ දුන් “ගීත කෝකිලාව” ලෙස ද ”හෙළ ගී රැජින” ලෙස ද අභිෂේක ලැබූ කලාසූරී ”ලතා වල්පොල” පසුගිය දෙසැම්බර් 27වැනිදා දැයෙන් සමුගත්තේ ය. ලාංකේය සංගීත ඉතිහාසය තුළ ඇතැම් හඬවල් (Voices) කාලය ඉක්මවා යමින් ජාතියේ ද සංස්කෘතියේ ද නොමැකෙන මතකයන් බවට පත්වේ. ලතා වල්පොල යනු ශ්‍රාවක සිත් සතන් තුළ එවැනි නොමැකෙන හඬකි. දශක ගණනාවක් පුරා ලතාගේ ගායනය යුග ගණනාවක් අනුනාද වී ජනප්‍රියවූත් ආකර්ෂණයවූත් කටහඬක් උරුම වූ නිසාවෙන්ම ලාංකේය ශ්‍රාවකයන්ගේ සුරන් නැළවෙන ස්වරය බවට පත්විය. ලතා වල්පොල වයස අවුරුදු 92ක් ජීවත්ව ඇගේ කටහඬට ⁣පෙම් බැඳී සහෘදයන්ට මතකයක් පමණක් ඉතිරි කර නික්ම ගිය මොහොතක ලතා වල්පොල නම් ගීත කෝකිලාව පිළිබඳ කථිකා කළ යුතු වන්නේ වර්තමානයේ ලාංකේය සංගීත කලාවෙහි අක්මුල් නොදත් ඩිජිටල් යුගයේ වෙසෙන ජෙනරේෂන් ඇල්ෆා පරම්පරාව වෙනුවෙනි. ලතා වල්පොල මතු වූයේ ශ්‍රී ලංකාවේ සංගීත පරිණාමයේ තීරණාත්මක මොහොතක ය. ගුවන්විදුලිය, සිනමාව සහ වේදිකා නාට්‍යය වේගයෙන් ජාතික සංස්කෘතියක් කරා හැඩගස්වමින් සිටින විටදීය. රේඩියෝ සිලෝන් හෙවත් ගුවන්විදුලිය හරහා ලාංකේය චිත්‍රපට කර්මාන්තය සඳහා සංගීතය විසින් ප්‍රේක්ෂකයින්ට ප්‍රවේශ විය හැකි වෙමින් තිබුණි. මෙම පරිසරය තුළ ලතා වල්පොලගේ හඬ ශ්‍රාවකයින් සමඟ ක්ෂණික සම්බන්ධතාවයක් ඇති වීමට ඉඩහසර විවර විය. ලාංකේය ගීත කලාව තුළ ලතා වල්පොල වැදගත් වන්නේ ඇයි? සහ ඇය ලාංකේය ගීත කලාව තුළ ස්ථානගතවීම පිළිබඳ විමසා බැලීම මෙම ලිපිය අරමුණු කර ගනියි.

ලතා විදේශ භාෂා ගීත ඇතුළු ගීත 10,000කට වැඩි ප්‍රමාණයක් ගායනා කර ඇත. 1953 වසරේ තිරගත වූ “එද රෑ” චිත්‍රපටය මඟින් පසුබිම් ගායන පිවිසි ඇය චිත්‍රපට 600කට අධික ප්‍රමානයකට සිය හඬ දායකත්වය ලබා දී ඇත. 1934 වසරේ ඉල් මහේ 11වන දින ලතා වල්පොල උපත ලබන්නේ කොළඹ බම්බලපිටියේ ‘ධවලගිරි’ නිවසෙහි ය. ඇගේ පියා සිංහල කතෝලික පවුලකින් පැවත ආ “ජෝශප් ලීනස් ප්‍රනාන්දු ය”. ඇගේ මව “එලිසබෙත් මියුරියෙල්” කන්‍යාරාමයක ගුරුවරියකි. මේ දෙපළට දාව උපත ලබන ලතාගේ මුල් නම වන්නේ “රීටා ජෙනිවිව් ප්‍රනාන්දු” යනුවෙනි. රීටා සංගීතය වෙත ආශාව දැල්වෙන්නට පටන් ගන්නේ පල්ලියේ කැරොල් ගීත ශ්‍රවණය කරන්නට ලැබීමේ ප්‍රතිඵලයක් වශයෙනි. ලෝකයේ බොහෝ ගායක, ගායිකාවන් බිහිවන්නට හේතු වූයේ පල්ලියේ ගීතිකාවන් ය. සංගීතය සහ ගායනය ප්‍රගුණ කළ රීටා ගුවන්විදුලියට ගී ගයන්නේ වයස අවුරුදු 13දී ය. ඒ සරත් විමලවීර විසින් රචනා කරන ලද ‘ කඳුළු දෙනෙතේ වෑහෙනා ‘ ගීතයයි. වින්සන්ද අල්විස් සමඟ ගුවන්විදුලියට ඇය ගැයූ ප්‍රථම ගීතය වූ මෙය සංගීතවත් කළේ එඩ්වඩ් පෙරේරා විසිනි. ගීත ගායනයට දැක් වූ දක්ෂතාවය ද කටහඬේ තිබූ මිහිරිබව ද නිසා සංගීතඥ සී. ඒ. ෆොන්සේකා විසින් රීටා සහ සිය පුත් අර්වින් ෆොන්සේකා සමඟ එක්ව ගයන්නට අපුරු ගීතයක් නිර්මාණය කර දුන්නේය. ඒ ”නමෝ මරියනි…නමෝ මරියනි” ගීතයයි.

රීටා නම වෙනුවට ලතා ප්‍රනාන්දු ලෙස තම නාමය වෙනස් කරන්නේ ජනප්‍රිය ගායක සුසිල් ප්‍රේමරත්නයන් ය. සුසිල් ප්‍රේමරත්න සමඟ එක්ව ඇය බොහෝ ගී ගායන කළේය. ඇයගේ සංගීත දිවියේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වන්නේ “එදා රෑ” චිත්‍රපටය සඳහා පසුබිම් ගායිකාවක ලෙස ප්‍රවේශවීමත් සමඟිනි. මෙම ප්‍රවේශය ලාංකේය සිනමාවේ පසුබිම් ගායන ඉතිහාසයෙහි නිශ්චිත ඓතිහාසික මෙහොතක් නිර්මාණය කළේය. චිත්‍රපට සඳහා මුල්ම පසුබිම් ගායනයට පිවිසි ගායිකාව ලෙස “අශෝකමාලා” චිත්‍රපටයේ ගායනා කරනු ලැබුයේ ඉන්දියානු අප්‍රකට ගායිකාවක වන භාග්‍යරතී ය.

ලතා ගායන ක්ෂේත්‍රයට පිවිසෙන යුගයේදී ලාංකේය සිනමාවේ ආධිපත්‍යය දරා සිටියේ “ජික්කි”, “ජමුනා රාණී”, “කේ. රාණී” වැනි දකුණු ඉන්දීය ගායිකාවන් ය. “එදා රෑ” චිත්‍රපටය මෙරට 13 වැනි කතානාද චිත්‍රපටයයි. එයට පෙර තිර ගත කළ කථානාද චිත්‍රපට අතරින් සිරිසඟබෝ චිත්‍රපටය හැරෙන්න⁣ට සෙසු චිත්‍රපට සඳහා ගීත අන්තර්ගත වුව ද පසුබිම් ගායිකාවක ලෙස ඉස්මතු වූ ගායිකා නාමයක් හමු නොවේ. මෙම අවධියේ රුක්මණී දේවි, ජෙමිනි කාන්තා, මේබල් බ්ලයිත්, ලෙටීෂියා පීරිස් ආදී නිළියන් චිත්‍රපට උදෙසා ගී රාශියක් ගායනා කළ ද ඒ් සියල්ල ගායනා කරන ලද්දේ ඔවුන් වෙනුවෙන්මය. ඒ් වෙනත් නිළියන් වෙනුවෙන් ගායනා කළ ගීත නොවේ. වෘත්තිමය මට්ටමේ ගායිකාවක ලෙස ලතා ගී ගයනුයේ රංගන ශිල්පීන් වෙනුවෙනි. ඇය ගේ මුල්ම සංගීතවේදියා මොහමඩ් ගවුස් වුවද චිත්‍රපට සංගීතයෙහි ස්ථාවර වනුයේ ආර්. මුත්තුසාමි ගේ සංගීත නිර්මාණයන් සමඟ ය. මුත්තුසාමි ලාංකේය චිත්‍රපට සංගීතයේ පුරාවෘත්තයකි. මුත්තුසාමි අනුකරණ මෙන්ම ස්වතන්ත්‍ර ගී තනු රැසක් චිත්‍රපට උදෙසා නිර්මාණය කළ අතර එයින් මුල් යුගයේ බහුතරයක් ගැයීමේ වරම ලතාට හිමි විය.

සාහිත්‍යධර මඩවල එස්. රත්නායක පද රචනා කළ ඩබ්ලිව්. ඩී. අමරදේවගේ ගී තනුවට ලතා වල්පොල විසින් ගැයු 1964 වසරේ තිරගත වූ “ගැටවරයෝ” චිත්‍රපටයේ එන “හීන හතක් මැද විමනක් සැදුණයි” ගීතය චිත්‍රපට පසුබිම් ගීත ඉතිහාසයේ ශ්‍රාවකයා ආකර්ෂණය කරගත් සුවිශේෂි ගීතයකි. ලතා වල්පොල පළමු වරට හොඳම ගායිකාව ලෙසින් ‘සරසවිය’ සම්මානය හිමි කර ගත්තේ මෙම ගීතය සඳහා ය.“හීන හතක් මැද විමනක් සැදුණයි

සීත සඳුන් සුව ඒ තුල මැවුණයි

වාසනාවෙ මල් හදවත පිපුණයි

ගීත නාද දෙව් ලෝකෙන් ඇහුණයි

හීන හතක් මැද විමනක් සැදුණයි

සීත සඳුන් සුව ඒ තුළ මැවුණයි”

ජනප්‍රිය ධාරාවේ සිනමාපට සඳහා ඇගේ කටහඬ වඩාත් කැපීපෙනෙන්ට විය. 1955 වසරේ තිරගත වූ “මාතලන්” චිත්‍රපටයට ඇතුළත් ගී 12න් 8ක් ම ගායනා කරනුයේ ඇය විසින්ය. වර්ෂ 1960 දී තිරගත වූ ⁣ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් අධ්‍යක්ෂණය කළ “සංදේශය” චිත්‍රපටයේ සංගීතවේදි සුනිල් සාන්ත ගේ තනු අනුව ආර්. මුත්තුසාමි විසින් සංගීතවත් කළ එහි එන ගී හතෙන් හතරක්ම ලතා ගේ ගායනයෙන් හැඩ වෙයි. සන්දේශය චිත්‍රපටයේ ඇය ගැයු ගීත පෙළ සහමුලින්ම පාහේ එකිනෙකට වෙනස් ස්වර පරාසයන් සහිත ගීත වේ. නිදර්ශනයක් ලෙස නළඟනගේ නර්තනය මැද ගැයෙන “රෑන ගිරා රෑන අඹේ මී බිබී” ළයාන්විත ස්වරයෙන් ගැයෙන ගීතය සහ “රැජින මමයි අපේ රාජ්ජේ” ගීතය ද සසඳා බැලු කල පද රචනයට සහ චිත්‍රපටයේ අවස්ථාව සඳහා නිර්මාණය කරන හැඟීම (ඍඪඡඥ) ඇය චිත්‍රපට සඳහා ගී ගැ⁣යීමේ සතු නිසඟ දක්ෂතාවය පැහැදිලි වෙයි.

ආදරබර තනුවක්, භක්තිය වඩවන ගී තනුවක් හෝ ශෝකයෙන් පිරුණු ගීතයක් ගායනා කළත් ඇය ශ්‍රාවකයාගේ හදවත සමඟ සෘජුවම සන්නිවේදනය කළාය. ගායිකාව තිරය මත නොපෙනී සිටියදී චරිතයක හැඟීම්වලට පණ දිය යුතුය. ඇගේ කටහඬේ තිබූ මාධූර්ය ගුණය විසින් අහිංසකත්වය, ආශාව, ශෝකය සහ ප්‍රීතිය යන හැඟීමි අතර නිළියන්ගේ ආඛ්‍යාන සහ රංගනයන් වඩාත් තීව්‍ර විය. සිනමාවෙන් ඔබ්බට ගුවන් විදුලි සංගීතයට ඇයගේ දායකත්වය සමානව වැදගත් විය. අද මෙන් නොව රැහැන් මතින් ඇදෙන දිවයින පුරා නිවෙස්වලට සංගීතය ගෙන එන ප්‍රධාන මාධ්‍යය ගුවන් විදුලිය වූ කාලයක ලතා වල්පොලගේ ගීත මිනිසුන්ගේ දෛනික ජීවිතයේ කොටසක් බවට පත්විය. වැඩ, විවේකය, සැමරුම් තුළ ඇගේ කටහඬ සැනසිලිදායක හුරුපුරුදු බවක් ගෙන දුන් අතර, හුදු විනෝදාස්වාදයට වඩා සමාජ අත්දැකීමක් ලෙස සංගීතයේ භූමිකාව ශක්තිමත් කළේය. සිනමාපට සඳහා කාලාන්තරයක් පුරා නැතිවම බැරි ගායක ගායිකාවන් වූයේ ගායක ධර්මදාස වල්පොල හා ලතා ය. රිදී තිරය මත නළු නිළියන් වෙනුවෙන් සුමිහිරි යුග ගී ගැයූ ඔවුන් දෙපළ සිය ජීවන ගමන් මඟෙහි ප්‍රේමයෙන් එක්ව අත්වැල් පටලා යුග දිවියට පිය මැන්නේ ද සංසාරයේ පතා ආ විලාසයෙනි.

වඩා වැදගත් වන්නේ ලතා වල්පොලගේ වෘත්තීය ජීවිතය සාම්ප්‍රදායික පුරුෂ ආධිපත්‍යය දරන කර්මාන්තයක කාන්තා කලාකරුවන්ගේ අභියෝග සහ ජයග්‍රහණ පිළිබිඹු කිරීමයි. ගෞරවනීයභාවය, පවුල් ජීවිතය සහ වෘත්තීය විශිෂ්ටත්වය පිළිබඳ අපේක්ෂාවන් සංචලනය කිරීම සුළු කාර්යයක් නොවේ. ලතා වල්පොල මෙය ගෞරවාන්විත ලෙස කළමනාකරණය කළාය. ඇය ගායිකාවක ලෙස අගය කළ යුතුවන්නේ සිනමා නිළියන් වෙනුවෙන් පසුබ්ම් ගායිකාවක ලෙස සිදු කළ මෙහෙය නිසා නොව කලාව වෙත පිවිසිම ස්ත්‍රියකට නොගැළපෙන, වැදගම්මට නැති වැඩක්බව ඇගේ පියා ද, ඥාතින් ද පමණක් නොව ඇගේ පාසල ද, වතාවත්හි යෙදුණු පල්ලියද විශ්වාස කළ සමයක එම සාම්ප්‍රදායික තර්කානුකූල රහිත දුර්මත පසෙකලා හැකියාව මත විශ්වාසය තබමින් ඇය දැක්වූ නිර්භීතකම ආදර්ශවත් ය.

“මම චිත්‍රපටවලට සම්බන්ධ වෙනවාට අපේ තාත්තා කොහෙත්ම කැමැති වුණේ නෑ. මුලින්ම මට කතා කළේ ‘සුජාතා’ චිත්‍රපටයේ ගීයක් ගායනා කරන්න. ඒත් තාත්තාගේ බලවත් විරෝධය හින්දා ඒ අවස්ථාව මඟ හැරුණා.” එදා ලතා වල්පොල සතු දක්ෂතාවය සහිත ආශාව වෙත තම පියාගෙන් බාධක වැටුණු ආකාරය එලෙස ප්‍රකාශ වි තිබුණි.

ලතා වැනි ගායිකාවක් එලෙස සාම්ප්‍රදායික බමුණු මතය බිඳ නොදමන්නට අදටත් ඇතැම් ජනප්‍රිය ගායිකාවන් හෝ නිළියන්ට සිදුවනුයේ නිවාස අඩස්සියේ සිටින්නට ය. ඇතැම් කාන්තාවන් කලා ලොවට පිවිසිය ද විවාහයෙන් පසු සියලු හැකියාවන් පවුල වෙනුවෙන් කරති. එහෙත් ලතා තම දිවියේ හොඳම අඩවිය ගායනය වෙනුවෙන් කැප කළහ. දරුවන් ද හැදුවාය. ඇගේ සාර්ථකත්වය අනාගත පරම්පරාවේ ගායිකාවන් සඳහා දොරටු විවර කළේය.

ලතා වල්පොල නියෝජනය කරන්නේ ශ්‍රී ලාංකික සංගීතය, ඉන්දියානු සම්භාව්‍ය සම්ප්‍රදායන්, දේශීය ජන සංගීතය සමඟ උකහා ගත් තමන්ගේම අනන්‍යතාවයක් තුළය. නිදර්ශනයක් ලෙස “සුදට සුදේ වලාකුළයි” සහ “අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා….” වැනි ගීතයක් ශ්‍රවණය කිරීමෙන් ඇය වචනවලට ලබා දෙන ප්‍රාණවත්බව සහ ලාංකේය සංස්කෘතිකමය වශයෙන් මවක සතු අනන්‍යතාව විදහා දක්වන . විශිෂ්ටතම දරු නැළවිළි ගීතයක් වූ සංදේශය චිත්‍රපටයේ එන “සුදට සුදේ වලාකුළයි” ගීතය ආකර්ෂණයට ලක් වූ ජනප්‍රිය ගීතයකි. ලතා වල්පොලගේ ගායන ක්ෂේත්‍රය පිටු කිහිපයකට සීමා කළ හැකි නොවේ. එය පිටු දහස් ගණනක පර්යේෂණාත්මක නිබන්ධනයකි. වංශවතී දවුලගල ගේ සිට අයේෂා වීරකෝන්, නන්දා ලීලානායක, ලීනා ද සිල්වා, රත්නා කුමාරි ද සිල්වා, උදුලා දාබරේ, මල්ලිකා පිලපිටිය. රෝහිණී ජයකොඩි, ෆ්ලොරීඩා ජයලත්, සන්ධ්‍යා කුමාරි, ක්ලැරිස් ද සිල්වා, රීටා රත්නායක, පුණ්‍යා හීන්දෙණිය, ජීවරාණි කුරුකුලසූරිය, සුවිනීතා වීරසිංහ, අනුලා කරුණාතිලක, තලතා ගුණසේකර, නදීකා ගුණසේකර, සෝබනී අමරසිංහ, නීටා ප්‍රනාන්දු, විජිත මල්ලිකා, සුමිත්‍රා ෆොන්සේකා, මාලිනි ෆොන්සේකා, ශ්‍රියාණි අමරසේන, ශාන්ති ලේඛා. සබීතා පෙරේරා, සුමනා අමරසිංහ. සෝනියා දිසා, මානෙල් වානගුරු, ගීතා කුමාරසිංහ, ස්වර්ණා මල්ලවආරච්චි, වසන්ති චතුරාණි, ඩිලානි අබේවර්ධන, දිල්හානි ඒකනායක, සංගීතා වීරරත්න, චතුරිකා පීරිස්, අනර්කලී ආකර්ෂා ඇතුළු නිළියන් බොහෝමයක ඇයගේ ස්වරයෙන් අනුප්‍රාණය ලැබිණ. ලතා වල්පොල සිත් ඇදගන්නාසුළු කටහඬ දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකිකයන්ගේ සිත් සනසාලීය. රිදී සීනු පරයන ඇගේ ළයාන්විත ස්වරය දිවියේ සෝ ළතැවුල් නිවා දමන්නේ අපූරු ලතාවකටය. එකී ගී ලතාවේ ආශ්චර්ය නොවිඳී ගී රසිකයකු වෙතොත් එය ද අරුමයකි. එම නිසා ම ඇයගේ සුවිශේෂී කටහඬ ශ්‍රී ලාංකේය ජනතාවගේ සිත් තුළ සදාකාලිකව ජීවමානව පවතිනු ඇත. වරෙක ඇමරිකානු ජාතික කවියෙකුවන හෙන්රි වර්ඩ්ස්වර්ත් ⁣ලොන්ග්ෆෙලෝ ගායනය සම්බන්ධයෙන් අපුරු ප්‍රකාශයක් සිදු කර ඇත. එනම්,

“දෙවියන් වහන්සේ තම ගායක ගායිකාවන් මහ පොළොව මතට එව්වේ දුක සහ ප්‍රීතිය පිළිබඳ ගීත සමඟමයි. ඔවුන් මනුෂ්‍යයන්ගේ හදවත් ස්පර්ශ කර නැවත ස්වර්ගයට පැමිණෙනු ඇත.” යනුවෙනි. ගීත කෝකිලාව ලතා වල්පොල ද එසේ දුක සහ ප්‍රීතිය ද ඇතුළත් ගීතවලින් මනුෂ්‍යයන්ගේ හදවත ස්පර්ශ කර ස්වර්ගය කරා ගියහ. එසේ නම් ලතා වල්පොල මහත්මිය ඔබට සුබ ගමන්!

 

මලින්ත විතානගේ
[email protected]

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT