Home » රූපමය ප්‍රබලත්වය ඉස්මතු වන චිත්‍රපටයක්

රූපමය ප්‍රබලත්වය ඉස්මතු වන චිත්‍රපටයක්

by mavan
January 15, 2026 10:49 am 0 comment

සිනමාපට නිපැයුම හා තිරගත කිරීම අතර පවතින ඒකාකාර නොවන සබඳතාව යටතේ වුව රසික ප්‍රතිචාර ඉහළින්ම හා සැලකිය යුතු තරමින් ලබා ගන්නා සිනමාපට සමුච්චයක් වත්මන් සමයේදී දත හැක්කේ වෙසෙසින් සඳහන් කළ යුතු කරුණු ද්වයක්ද හේතු කොට ගෙනය. කෙසේ නමුදු විචාර කාර්යයන් හා ඇගැයුම් කාර්යයන් මේ අරභයා නිසි අවධානයක් පළ කරන බවක් සුපැහැදිලිවම දක්නට නොලැබේ. සිරිලක සිනමාවේ මෙම නව ප්‍රවණතාව පිළිබඳ තාර්කික හා තුලනාත්මක විවරණයක නිරත වීමේදී ඉන් ලැබෙන පිටිවහල විසල්ය.

මෙයින් පළමු කරුණ වන්නේ දසක කිහිපයකට පෙර සමයකට අයත් යැයි උපකල්පනය කෙරෙන සිදුවීම්ද, ඒ හා බැඳෙන චරිතද අදාළ පරිසරයේ බහා නිරූපණයට දක්වන උනන්දුවයි. ‘මිදුණු විශ්වය’, ‘රහස් කියන කඳු’, ‘ගිනි අවි සහ ගිනි කෙළි 2’, ‘රාණි’ ,‘ වාලම්පුරි හෙවත් හීන හතහමාරක්’ හා ‘රිදම් ඔෆ් ද ගිටාර්’ නිදසුන් සේ ඉදිරිපත් කළ හැකිය.

දෙවන කරුණ වන්නේ සම්මත තරු ගුණය රහිත හා හීන නළු නිළි පිරිසකගේ ප්‍රශස්ත, ප්‍රබල හා නව්‍ය සහභාගිත්වය සනිටුහන් කරලීමය. ‘රහස් කියන කඳු’, ‘වාලම්පුරි හෙවත් හීන හතහාමාරක්’, ‘නෙලුම් කුලුන’, ‘මාරියා’ හොඳම නිදසුන් කිහිපයකි.

චමින්ද ජයසූරියගේ පළමුවැනි සිනමා මෙහෙයුම සේ ඉදිරිපත්ව ඇති ‘ෆාදර්’ හසු කර ගන්නා පළමු පිවිසුමේදීම එය උක්ත දෙකරුණ එක හා සමානව මුසු වී ඇති අවස්ථාවක්ය යන්න පෙනේ. ඊට පාදක වන්නේ 1970 දශකයේ පසු අඩ, 1980 දශකය හා 1990 දශකයේ මුල් අඩයි. නිළි සහභාගිත්වය අවමය. මුළුමනින්ම නළු බලයටම සිනමාපටය යටත් කොට ඇති සැටියකි. සම්මත සුපිරි තරු මෙම නළු පිරිස අතර නොමැති තරම්ය. සම්මත සුපිරි නළු තනතුරු සඳහා අයදුම් කොට ඇත්තේ දරන්නේ බිමල් ජයකොඩි හා ශ්‍යාම් ප්‍රනාන්දු පමණි. ඔවුන්ද බොහෝ විට විකල්ප සිනමා තරු සේ හඳුන්වා දීම යුක්ති යුක්ත වන වග පෙනී යයි.

සැබෑ සිදුවීම් ගණනාවක්, සැබෑ චරිත ප්‍රතිනිර්මාණයද සමඟින් ‘ෆාදර්’ නිමවන්නේ සිනමා ලකුණු සුරකිනු වස් එක්කළ දෑ සමහරක්ද සමඟිනි. මෙහෙයින්ම ‘ෆාදර්’ එහෙම පිටින්ම සැබෑ සිදුවීම් හා ඊට බැඳෙන සැබෑ චරිත පිළිබඳ සිනමාත්මක කියැවීමක් සේ හඳුන්වා දීම අසීරුය. එහෙත් ඒවා කෙරෙහි රසික අවධානය තීව්‍ර කරලන දැක්මක නොපිහිටීමටද සිනමාකරු චමින්ද උනන්දුවක් නොදක්වන බව පැහැදිලිය. එනම් චමින්ද මෙම දෙපස මතම සිය දෙපා රඳවාලීමට කැමැත්ත පළ කරන බවයි. මෙය සිනමාකරණයට දුහුනකු වූවකුට අභියෝගයකි. ඊට නොපැකිළව මුහුණ දෙන්නට තරම් එඩියක් චමින්ද තුළ පැවතීම අගය කළ යුතු වන්නේ ඔහුගේ ඉදිරි සිනමා කටයුතු පිළිබඳ ඇති කරවන අපේක්ෂා නිසාමය.

සිනමාකරු චමින්ද ‘ෆාදර්’ මෙහෙයවන්නේ සිය ප්‍රමුඛ චරිතය වන ඩෙස්මන්ඩ් නැමැත්තා රසිකයා හමුවේ එක්තරා විරුවකු බවට පත් කිරීමේ අරමුණ සහිතවයි. චමින්දම පවසන අයුරින් ඩෙස්මන් නැමැත්තා අනීතික කටයුතු ආදියටද යම් පමණකින් එක්වූ හා ගෑවුණු අයෙකි. මෙබන්දකු විරු තනතුරකට පත්කිරීම විවාදාත්මකය. කෙසේ වුවද නිර්මාපක නිදහස හා නිර්මාපක අයිතිය යන අවස්ථා ද්වය මැනවින් වටහා ගන්නා චමින්ද, ‘ෆාදර්’ නිමවන්නේ ඒවා බාධාකාරී ලෙස ඉස්මතු වීමේ අවකාශය යටපත් කර දමමිනි. මේ සඳහා ඔහුට සානුබල සපයන්නේ මුළුමනින්ම අදමිටුවන් වූ චරිත කිහිපයකි. ඔවුන් වෙනුවෙන් ඔහු සැලකිය යුතු ඉඩක් වෙන් කර දෙයි. ඩෙස්මන් හා මොවුන’තර දිගින් දිගටම ගැටුම්ය. ඩෙස්මන් විසින්ම මොවුන්ගේ දිවි පෙවෙත් නතර කරනු ලැබූ සෙයකි. අදමිටුවන් දූරිභූත කරලීම යහපත් සමාජයක අපේක්ෂා ඉහළ නැංවීමකි. ඊට අනීතික චර්යා වුව කම් නැතිය යන ජන මතය සමඟ චමින්ද එකඟතාවකට පැමිණ ඇති බව පෙනේ. මෙතැනදී ඔහුට උපකාරී වන්නක් වනුයේ එක්‌ අදමිටුවකු සිවිල් නීතිය සුරැකීමේ බලය හිමි රාජ්‍ය නිලධරයකු වීමයි. තවකෙකු ප්‍රාදේශීය මහජන නියෝජිතයකු වීමයි.

චමින්ද මෙසේ ඩෙස්මන්ගේ විරු ගුණය ඔප් නැංවීමට උපයෝගී කර ගන්නා කරුණු කාරණා සටහන් කිරීමට රසික අනුමැතිය ලබා ගන්නේ නිරනුමානවය. මේ අනුව ‘ෆාදර්’ කියැවිය හැකි වඩා සරල මඟක්ද විවර වෙයි. එනම් ‘ෆාදර්’ යනු විරුවා හා අදමිටු බලවේග අතර බිහිසුණු හා මාරාන්තික ගැටුමකි. අවසන විරුවා , අදමිටුවන් පරයා ජය ගනී. චමින්ද විසින් විෂය කර ගනු ලබන සැබෑ ඩෙස්මන් මේ වන විටත් නිරුපද්‍රිතව, සුවසේ හා නීතිය හමුවේ තවදුරටත් වරදකරුවකු නොවී දිවි ගෙවීම උක්ත පිළිවෙත හා ගැළපෙන්නේ ආයාසයකින් තොරවය.

මෙම පසුබිම පවතිද්දීම චමින්ද සිනමාවේ රූපමය බලය හසුරුවා ගන්නට දක්වන නැමියාව කැපී පෙනේ. කවර ඇසකින් ‘ෆාදර්’ දුටුවද ඒ ක්‍රියාදාම ලකුණු සංගෘහිත සිනමාපටයක් සේය. රසික නැණ නුවණ වඩවන කලාත්මක හා සම්භාවනීය සිනමාපට වුව සිය සංකීර්ණ රූප රචනය යථාවත් කරලීමට ක්‍රියාදාම ලකුණු ආසක්ත කරගත් හා පාදක කරගත් අවස්ථා නුපුරුදු නොවේ. ‘ෆාදර්’ නිමවමින් චමින්ද සිනමාවේ රූපමය බලය සමඟ රසිකයා අමතන්නට කටයුතු කරයි. අන් සියල්ල ඇත්තේ ඊට යටින්ය. එනම් ඩෙස්මන්, ඔහුගේ පසමිතුරු අදමිටුවන්, සමකාලීන දේශපාලනය ආදී දෑය.

ඩෙස්මන්ගේ චරිතය ප්‍රමුඛ වුවද සෙසු බොහෝ චරිත හුදු දෙවන පෙළ චරිත බවට පත් කරලීම සඳහා චමින්ද මනාප නොවන බව පෙනේ. මේ නිසාම ‘ෆාදර්’ හි රූපණය විෂයෙහි බොහෝ නළුවනට සමාන හෝ සැලකිය යුතු අවස්ථා හිමි කර දී තිබේ. සිදුවීම් හා වාචික ප්‍රකාශ බහුල තිරනාටකය මෙහිදී සිනමාකරු චමින්දට සහය වූ සැටියකි.

මේ නළු පිරිස අදාළ කාල වකවානුව මත රඳවාලීමේදී චමින්ද ඊට අදාළ අනුශාංගික අංග වෙතින් සැලකිය යුතු දායකත්වයක් සහතික කර ගන්නා වග දත හැකිය. වෙසෙසින්ම නිවාස, ගෘහ භාණ්ඩ, ගොඩනැගිලි, යාන වාහන, ඇඳුම් පැලඳුම්, ආහාර පාන, සංගීත ප්‍රසංග හා සිනමාශාලා මේ අතර තිබේ. කලා අධ්‍යක්ෂණය භාරදුර කාර්යයක් වූ බවයි පෙනී යන්නේ. එසේම අංග රචනයේදීද දක්නට ලැබෙන්නේ පරස්පරතා අවම වූ බවකි. ඒ ඒ කාල වකවානු සංකේතාත්මකව දැනවීමේදී චමින්ද අතිශයෝක්තියකින් තොරව කටයුතු කරන අන්දම විමසිලිමත් රසිකයනට දුරවබෝධ නොවේ. සිනමා දැන්වීම්, දින දර්ශන, දුම්වැටි මෙහිලා මතක හිටින සුලු සංකේත සේ සඳහන් කරලන්නට පුළුවන. මෙතැනට ප්‍රකට පුද්ගල නාම, වදන් ආදියද ඇතුළත්ව ඇත.

දසක කිහිපයකට පෙර කාල වකවානු නිරූපණය තවදුරටත් සිරිලක සිනමාවට පහසු නොවන බව ඉඟි කරන්නටද ‘ෆාදර්’ සූදානම්ය. නගර, උසාවි සංකීර්ණ හා කඩමණ්ඩි හුවා දැක්වීමේදී කිසියම් කෘත්‍රිම බවක් පෙර එන්නේ බාධාවකින් තොරවයි . දෙස් විදෙස් සිනමාපට නිරතුරු නරඹන රසිකයනට මේ වග හඳුනා ගැනීම අපහසු නොවේ. එහෙත් සිනමාපටයේ ක්‍රියාදාම ලකුණු තීරණාත්මක අයුරින් දුර්මුඛ කරන්නට ඒවා හේතු නොවන බව කිව යුතුය. වෙසෙසින්ම සමූහ ජවනිකා රූගත කිරීමේදී හා සංස්කරණයේදී මතුවන ගැටලු සමඟ චමින්ද අරගල කරමින් සිටි වග නොරහසකි.

සිනමා මෙහෙයුමට දුහුනකු වුවද සිය කැමරා ශිල්පියාගේ හා සංස්කරණ ශිල්පියාගේ සමත්කම් අවැසි පරිදි ගොනු කර ගන්නට චමින්ද දක්වන කැපවීම සිනමාපටයේ සෑම තැනකදීම පාහේ දක්නට ලැබේ. සංත්‍රාසය, තිගැස්ම දැනවීමේදී කැමරා ශිල්පී විශ්වජිත් කරුණාරත්න, සංස්කරණ කටයුත්ත සමඟ මනා එකඟතාවකින් කටයුතු කර ඇති බව දත හැකිය. සමීප රූප සමඟ නළු නිළි මුහුණු දකින්නට විශ්වජිත් උනන්දු නොවන තරම්ය. ඩෙස්මන් හා ඔහුගේ පිලද, අදමිටු පිලද ඔහු දකින්නේ සමාන අයුරිනි. ඩෙස්මන් පරයා යන අයුරින් අදමිටු නයුවන් හැසිරෙන තැන්ද කිහිපයකි. මෙවැනි විටෙකදී චමින්ද කෙසේ හෝ අදමිටු රූපණ පාලනයට වෙහෙස වෙයි. ඩෙස්මන් පිළ සතුව සිනමා රූපණයේ වැඩිදුරක් ගිය අයවළුන් එපමණ නොසිටීමද මෙයට එක් හේතුවකි.

මේ අනුව ‘ෆාදර්’ හි රූපණය වෙතින් සමාන ලකුණු වැඩිපුර දැක ගන්නට ඉඩක් ලැබේ. ඩෙස්මන්ගේ චරිතය චමින්දට අවැසි පරිදි දැක්වීමට පූජන දන්දෙණිය දරන තැත අගනේය. විටෙක සිය මුහුණේ ඉරියව් ඊට මහෝපකාරී කර ගන්නට ඔහු සමත් වන්නේද යන පැනය මතුවන බවද සඳහන් කළ යුත්තකි. ජගත් මනුවර්ණ, ශ්‍යාම් ප්‍රනාන්දු හා බිමල් ජයකොඩි හා සෞම්‍ය ලියනගේ ඇතුළු සියලු දෙනා සිනමා රූපණයේ සිය සමත්කම් විදහා දක්වන්නේ පූජන නොඉක්මවමිනි. මේ චමින්දගේ රූපණ මෙහෙයුමට අනුකූලවයි. සිනමාපටයේ ඔවුහු පූජනගේ අදමිටු පිළ නියෝජනය කරනවුන් වෙති.

‘ෆාදර්’ හා රසිකයා අතර සමීපතා වඩා සහතික කෙරෙන්නේ සටන් ජවනිකා හා ප්‍රචණ්ඩ සිදුවීම් නිසාමය. මෑතකදී මෙකරුණට අදාළව විශ්වාසනීයත්වය පෙරට වඩා තහවුරු කළ අවස්ථා ගණනාවක්ම සිරිලක සිනමාපට කිහිපයකදී දක්නට ලැබිණි. ඒවා සිහිපත් කරමින් හා ඒවා ඉක්මවාලීමට සූදානම් බව සලකුණු කරමින් ‘ෆාදර්’ ඉස්මතු වන බව පෙනේ. ඇතැම් ගිනි අවි දල්වන ජවනිකා විදෙස් ක්‍රියාදාම සිනමාපටද සිහිගන්වයි.

ඩෙස්මන් පිළ හා පසමිතුරු පිල අතර ඇවිල යන ගැටුම් දිගින් දිගටම දැක්වීමේදී සිනමාකරු චමින්ද අනුචිත නොවන පරිදි ගීත දෙකතුනක්ද එක් කරන්නට පියවර ගනී. ඉන් චාමර වීරසිංහ ගයන ගීය සිනමාපටය ඇරඹෙද්දීම රසික දෙසවනට වැටෙන්නේ සිනමාපටයේ අත්දැකීම පිළිබඳ පූර්විකාවක් ලෙසිනි. සෙසු ගීත ඒ ඒ අවස්ථා ප්‍රබලව දැනවීමට උපයෝගී කර ගෙන තිබේ.

සිනමාවේ යහ පැවැත්ම උදෙසා විවිධත්වය යන සාධකයට හිමිවන වැදගත්කම ගැන සිනමාකරු චමින්ද තුළ ඇති වැටහීමද ‘ෆාදර්’ ඔස්සේ දත හැකිය. ඔහු ‘ෆාදර්’ නරඹන්නට ඇරියුම් කරන්නේ සුපුරුදු රසිකයනටම නොවේ. අද වන විට නව රසික පිරිස් සිරිලක සිනමාව හා එක්වන සෙයක් දක්නට ලැබේ. චමින්ද ඔවුන්වද අමතයි. බිහිසුණු හා මාරාන්තික දසුන් ඇතැම් පවුලේ රසිකයන් සසල කරන්නට ඉඩ ඇති බවද ඔහු නොදන්නවා විය නොහැකිය. එහෙත් තවදුරටත් පවුලේ රසිකයන් මත පමණට වඩා රැඳීම අවදානම් සහගත විය හැකි බවද ඔහුගේ සිනමා වැටහීම තුළ පවතින බව පෙනේ.

තුසිත ජයසුන්දර

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT