Home » “රුදුරු ධනවාදයේ නියත අර්බුදය කිය පෑ අභූතරූපීි සිනමා චාරිකාව” Bugonia

“රුදුරු ධනවාදයේ නියත අර්බුදය කිය පෑ අභූතරූපීි සිනමා චාරිකාව” Bugonia

by mavan
March 12, 2026 12:41 pm 0 comment

“බුගෝනියා” චිත්‍රපටය සරල සිනමාපටයක් නොවේ. එය මහා ප්‍රේක්ෂකාගාරය වැලඳ ගන්නට සමත්වන ආකාරයේ සිනමා ආඛ්‍යානයක හැඩරුවක අසිරිය නොගනී. “බුගෝනියා” සිනමාපටය නිර්දේශ කරන්නේ සමාජ යථාර්ථය පිළිබඳ සවිඥානික සබුද්ධික ප්‍රේක්ෂකයා වෙතට ය. සිනමාපටයේ ආඛ්‍යානය පිළිබඳ අවධානය යොමු කරමු. ටෙඩී නම් තරුණයා උත්සාහ කරන්නේ රෝහලේ ප්‍රතිකාර ලබන තම මව සුව කර ගැනීම සඳහා ය. පිටසක්වළ ජීවියෙකු යැයි සැලකෙන ප්‍රධාන ඖෂධ සමාගමක ප්‍රධාන විධායක නිලධාරිනිය වන මිෂෙල් ෆුලර් නම් ධනවත් තැනැත්තියව ටෙඩී සහ ඇගේ සොයුරා විසින් පැහැර ගන්නේ ඇය මෙලොවට බට පිටසක්වළ ජීවියෙකු බව සපථ කරන හෙයිනි. නමුත් ඇයගේ බාහිර පෙනුමෙන් මනුෂ්‍ය කාන්තාවක් බව ප්‍රේක්ෂකයා ව්ශ්වාස කරයි. පිටසක්වළ ජීවියෙකු බව ප්‍රේක්ෂකයාට සිතන්නට කිසිදු ලක්ෂණයක් ඇගෙන් දිස් නොවේ. නමුත් ටෙඩී ඇයව තඹ දොයිතකුදු විශ්වාස කරන්නේ නැත.

ටෙඩීගේ දෘෂ්ටියට අනුව ඇය මනුෂ්‍ය වෙස්ගෙන සිටින පිටසක්වළ ජීව්යෙකි. ඩස්ට්ගේ මෙම උන්මන්තකයකු ලෙස හැසිරීම හරහා ඔහු පිළිබඳ වැරදි නිගමනයට එළඹෙන්නට සිනමාකරුවාගේ රූප රචනය ශූර වෙති. ප්‍රේක්ෂකයා නිසැකවම සිතන්නේ මේ කාන්තාව සිරගෙන සිටීම උන්මන්තකයකුගේ ඵල රහිත පිස්සුසහගත ක්‍රියාවක් බවයි. ටෙඩී යනු පිස්සු හාදයෙක් බව ප්‍රේක්ෂකයා චෝදනා කරන්නට දෙවරක් පෙලඹෙන්නේ නැත. නමුත් සිනමාපටයේ අවසානයේ අප දකින සමස්ත රූප සමුදාය විසින් ප්‍රේක්ෂකයා සහමුලින්ම පාහේ ත්‍රාසයට පත් කරයි. ටෙඩී යනු උන්මන්තකයෙකු නොව, ඔහු බුද්ධිමත් සහ තියුණු නිරික්ෂකයකු බව හෙළිදරව් වෙයි.

ටෙඩී සිරකරගෙන සිටි තැනැත්තිය මිනිස් වෙසින් පෘථිවියේ සැරිසරන පිටසක්වළ ජීවියෙකු බව ප්‍රේක්ෂකයාට පිළිගන්නට සිදු වෙයි. “බුගෝනියා” සිනමාපටය සරල වූ කතන්දරයකින් සමන්විත චිත්‍රපටයක් නොවේ. සිනමාකරුවා ගොඩනඟන මෙම ප්‍රබන්ධය හරහා ප්‍රේක්ෂකයාට සන්නිවේදනය කරන්නේ කුමක්ද? ලියුම්කරුගේ අදහසට අනුව පරිසර පද්ධතිය ද, මනුෂ්‍යයාගේ පැවැත්ම ද විනාශ කරන රැදුරු ධනවාදය විසින් නිෂ්පාදනය කර ඇති ආශාව (desire) හඹායෑම ඔස්සේ පරිසර සමතුලිතතාවය බිඳවැටීම පිළිබඳ අදහසක් සිනමාපටය හරහා ගෙන එයි. ටෙඩී මහත් ආශාවෙන් ඇති කරන ඇති මී මැස්සන්ගේ පැවැත්මට කර්මාන්ත හරහා සිදුවන පරිසර දූෂණය තර්ජනයක් බව ඔහුගේ අදහසයි. ටෙඩිගේ දුර්වලතාවයෙන් ප්‍රයෝජන ගෙන ඔහු මුළාවට පත් කරන ධනවත් තැනැත්තිය හරහා බලෝන්මාදී දිවියක තතු සටහන් කරන්නකි.

“Bugonia” සිනමාපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ සුප්‍රකට ග්‍රීක ජාතික සිනමාකරුවකු වන යෝගොස් ලැන්තිමෝස් විසිනි. ඔහු මීට පෙර අධ්‍යක්ෂණය කළ “ද ලොබ්ස්ටර්”, “ද කිලිං ඔෆ් අ සේක්‍රඩ් ඩියර්”, “පුවර් තින්ග්ස්”, “ඩෝග්ටූත්” සිනමාපට ඔස්සේ සමාජ සහ දේශපාලනික ප්‍රපංචයන් පිළිබඳ හෙළිදරව් කරන්නට සමත් විය. “Bugonia” චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙපළකි. ටෙඩී සහ මිෂෙල් ෆුලර් නම් ධනවත් තැනැත්තියයි. ඇගේ රංගනය මෙහිදි කැපී පෙනෙයි. යෝගෝස් විසින් අධ්‍යක්ෂණය කළ “poor things” සිනමාපටයේ බෙලා නමැති චරිතය නිරූපණය කළේ එමා ස්ටෝන් විසිනි. “බුගෝනියා” චිත්‍රපටයේ ද එමාගේ රංගනය ප්‍රේක්ෂකයාගේ අවධානය දිනා ගනී. තට්ටය සහිත හිසින් යුතු එමාගේ උපහාසය දනවන හැසිරීම චිත්‍රපටයට අනන්‍යතාවයක් රැගෙන එයි. ඇගේ චරිතයේ අපූර්වත්වය නිසාම මෙම වසරේ මාර්තු මස පැවැත්වෙන ඔස්කාර් සම්මාන උලෙළෙහි හොඳම නිළිය සඳහා නිර්දේශ වී තිබේ.

සිනමාපටයේ මහා සිනමා හාස්කම් දක්නට නොමැත. සුපුරුදු හොලිවුඩ් සිනමාපටයක් දක්නට ලැබෙන ආනුෂංගික අංශයන්ගේ ප්‍රමිතිය දක්නට ඇත. සිනමාපටයේ අවසානයේ දකින කාලය සහ අවකාශය අතික්‍රමණය කළ පෘථිවියේ විවිධ තැන්වල මියගිය මිනිසුන්ගේ සමෝධානිත රූප පෙළ හරහා මරණය සහ ජීවිතය පිළිබඳ හැඟීම තීව්‍ර කරන්නකි. “බුගෝනියා” සිනමාපටය විශේෂ චිත්‍රපටයක් වී ඇත්තේ කෙසේද? යන්න පැනයට පිළිතුර ලෙස සැපයිය හැක්කේ ප්‍රේක්ෂකයාට අභූතරූපි රසයක් සපයන සිනමාත්මක ප්‍රබන්ධයක් ලෙස නිර්මාණය කර තිබීම යන සාධකය නිසා ය. සිනමාකරු යෝගෝස් ලැන්තිමෝස්ගේ සිනමාපටවල ආවේණික ලක්ෂණයක් වන්නේ මිනිසාගේ ජීවිතය කෙබන්දක් ද? යන්නට අර්ථ ව්‍යාඛ්‍යාන සැපයීමයි. “බුගෝනියා” 2025 වසරේ තිරගත වූ වැදගත් චිත්‍රපටයකි. කුඩා ආඛ්‍යානයකින් සමන්විත වුව ද පශ්චාත් මානවවාදය (Post Humanism) පිළිබඳ කදිම සංරචකයක් ලෙස නිර්මාණය වී තිබීම නිසා විචාරකයන්ගේ ඉහළ කිත් පැසසුම් ලබන්නට හේතු වී තිබේ.

මලින්ත විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT