මීළඟට මගේ සිනමා ලැයිස්තුවේ ස්ථානගත වෙන්නේ දයානන්ද ජයවර්ධන අධ්‍යක්ෂණය කළ ‘බට්ටි’ චිත්‍රපටය. රු ගත කිරීම් වේලාසනින් කෙරුණත් ‘බට්ටි’ චිත්‍රපටය තිරගත වෙන්නේ 1984-9-28 වැනිදාවක. බට්ටි චිත්‍රපටයට පසුබිම් වෙන්නේ ඒ යුගයේ ලේක්හවුස් ප්‍රකාශන වූ ‘ සතුට’ සහ ‘මධුර’ චිත්‍රකතා පුවත්පත්වල පලවුණ එනමින් යුත් චිත්‍ර කතාව. බට්ටි කතාව ලිව්වේ සහ ඇන්දේ පී. වික්‍රමනායක විසින්.
මාතර පැත්තේ පිහිටි පැරැණි වලව්වක් වටා තමයි මේ කතාව ගෙති තිබුණේ. මේ වලව්වේ අධිපති වුණේ ආටි හාමු. (සෝමසිරි දෙහිපිටිය) ඔහුගේ බිරිඳ ළමා තැනී (රත්නාවලි කැකුණවෙල) ආටි හාමුට පුතුන් දෙදෙනෙක් සහ දුවරුන් තිදෙනෙක් සිටියා. මෙරිල් හාමු (ආනන්ද වික්‍රමගේ) සුරේන් හාමු (සනත් ගුණතිලක) මෙරිල් හාමු කියන්නේ හරිම කෙළිලොල් තරුණයෙක්. කිසිම දෙයක බරක් පතලක් තිබුණ කෙනෙක් නොවෙයි. මේ වලව්වේ බැලමෙහෙවරකම් කරන පුංචි දුප්පත් පවුලක් හිටියා. පරම්පරාවෙන්ම මේ පවුල වලව්වට පක්ෂපාතයි. මේ පවුලට හිටිය එකම යුවතිය වුණේ ‘බට්ටි’ ඇගේ චරිතය තමයි මට නිරූපණය කරන්න සිද්ධ වුණේ. බට්ටිගේ මව එතනහාමි (ශ්‍රියා කළුබෝවිල) බට්ටිගේ අයියා කළුවේ (ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු) අම්මල නංගිලා වලව්වේ බැල මෙහෙවරකම් කරනවට කළුවා කොහොමත් අකමැතියි. බට්ටිලා ජීවත්වුණේ වලව්වේ පොල්වත්තේ කොනක පිහිටි අතුපැලක. වලව්වේ ආවතේව කරන අනෙක් සේවකයා වුණේ අදිරියන් (ඩී.ආර් නානායක්කාර) ඔහු දෙපිටකාට්ටු ගති පැවතුම් ඇත්තෙක්. සුරේන් හාමු පිළිබඳ බලාපොරොත්තුවෙන් වලව්වට පැමිණෙන ඔවුන්ගේ ඥාති දියණියක් සිටියා කෝසලා කියලා (අනෝජා වීරසිංහ)
එක් දිනක් ආටි හාමුලා කොළඹ යනවා, ඔවුන් ඥාතියෙකුගේ මංගල උත්සවයකට සහභාගි වෙන්නට. මේ ගමනට සුරේන් හාමු සහ මෙරිල් හාමු සහභාගි වුණේ නෑ. ඔවුන් වලව්වේ නැවතුණා. එදා බට්ටිගේ මවට අසනීප වී සිටිය නිසා වලව්වේ වැඩට ආවේ බට්ටි. සුරේන් හාමු මේ වනවිට ග්‍රාමසේවක හමුවීමට වලව්වෙන් එළියට ගිහින්. බට්ටි උදේ තේ එකත් අරගෙන මෙරිල් හාමු ගේ කාමරයට ගියා. වලව්වේ කිසිවෙකු නොමැති මොහොතේ කෙලිලොල් මෙරිල් හාමුට අහිංසක බට්ටි ගොදුරක් බවට පත් වුණා.
සුරේන් හාමු වලව්වට පැමිණෙන විට බට්ටි හිටියේ අඬමින්. බට්ටි තම සොහොයුරා අතින් අනාත වු බව දැනගත් සුරේන් මෙරිල්ව සොයා ගොස් ඔහුට තර්ජනය කරනවා. මෙරිල් හදිසියේම වලව්වෙන් අතුරුදන් වෙනවා. බට්ටි නිවෙසට යනවිට ඇගේ මවට අසාධ්‍යයි. සුරේන් හාමු බට්ටිගේ මව වලව්වේ බක්කි කරත්තයෙන් ඉස්පිරිතාලෙට ගෙන යනවා. ආටි හාමුලා කොළඹ ඉඳලා වලව්වට ආවම අදිරියන් ඔවුනට කියන්නේ ඉට්ටි මෙරිල් හාමුව වරදට පොළඹවා ගත් බවයි. මේ නිසාම ආටි හාමු බට්ටිගෙන් පළිගැනිමට මැරයින් යොදා ගන්නවා.
බට්ටි විවාහ අපේක්ෂාවෙන් ඉන්නේ උක්කුන් මහත්තයා සමඟ (ජයසේකර අපොන්සු) ආටි හාමු මැරවරයින් ලවා බට්ටිගේ නිවෙස ගිනිබත් කරනවා. ඊට පස්සේ ආටි හාමු බට්ටිව පැහැර ගන්නවා. මේ සිද්ධිය වනවිට සුරේන් හාමු වලව්වේ නැහැ. නීති විද්‍යාලයේ ඉගෙනුම ලැබු ඔහු ඒ වනවිට ගාල්ල උසාවියේ වැඩ කරනවා. බට්ටිගේ අයියා කළුවේට බට්ටි පැහැරගෙන ගොස් සඟවා ඇති තැන ආරංචි වි ඔහු ඇය සොයා යනවා. එහිදි ඇතිවෙන ගැටුමෙන් කළුවේ අතින් උක්කුන් ජීවිතක්ෂයට පත් වෙනවා. කළුවේ අත් අඩංගුවට පත් වුණාම ඔහු වෙනුවෙන් පෙනි සිටින්නේ සුරේන් හාමු. අවසානයේ සුරේන් බට්ටිව විවාහ කර ගන්නවා.
ඕක තමයි බට්ටි චිත්‍රපටයේ කතාව. හරිම ලස්සන, ඒ වගේම මේ කතාව හරහා යුගයේ සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික පසුබිමකුත් අනාවරණය කරන්නක්. වලව් පෙළැන්තියේ මාන්නය, අහිංසක දුප්පතුන් තලාපෙළා දමන ආකාරය සහ මේ අසාධාරණයට විරුද්ධව වලව් පෙළැන්තියේම අයෙකු නැඟී සිටින ආකාරය මේ කතාව ඇතුළත තිබුණා. මේ චිත්‍රපටයේ කතාව හා දෙබස් පී. වික්‍රමනායකගේ වුණාට තිර නාටකය ලිව්වේ අර්නස්ට් වඩුගේ විසින්. කැමරාකරණය කළේ ඩොනල්ඩ් කරුණාරත්න විසින්. සංගීත අධ්‍යක්ෂණය කළේ සරත් දසනායක. සංස්කරණය ග්ලැඩ්වින් ප්‍රනාන්දුගේ . චිත්‍රපටය නිෂ්පාදනය කළේ ජයවර්ධන සහෝදරයෝමයි. කරුණාදාස ජයවර්ධන, ඥානසේන ජයවර්ධන සහ සුමනසේන ජයවර්ධන)
ලබන සතියේ
බට්ටි අත්දැකිම් සමඟ
