Home » යොවුන් රංගන ශිල්පී රජීව් සුරංග

යොවුන් රංගන ශිල්පී රජීව් සුරංග

විනය රංගනයට අත්‍යවශ්‍ය දෙයක්

by mavan
December 4, 2025 12:03 pm 0 comment

හමුදා වෘත්තියත් , කලාවත් හාත්පසින්ම වෙනස් වූ වෘත්තීන් දෙකකි. රට වෙනුවෙන් තම ශක්තිය සපයන වීරෝදාර රණවිරුවන් තුළ කලාකාමී මිනිසෙකු සැඟවී සිටින්නට පුළුවනි. එවන් තරුණයන් හදුන්වා දීම සරසවියේද වගකීමකි. රංගන ශිල්පියෙක් වීමට හිතේ ආශාවක් තිබුණත් එම හීනය පසෙකලා නාවික හමුදාව තෝරාගත් නිර්භීත තරුණයෙක් පසුගියදා සරසවියට හමුවට පැමිණියේය. එහෙත් ඔහු මේවන විට තම හීනය සැබෑ කරගනිමින් කලා ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් යාමට සැරසෙන රංගන ශිල්පියෙකි. ඔහු රජීව් සුරංගය. ඔහුගේ රංගන ජීවිතය ගැනත් ඉදිරි කලා කටයුතු ගැනත් කතා කරන්නට සරසවිය සමඟ එකතු වුයේය.

කුඩා කාලයේ සිට හීනයක්, ආශාවක් නම් තිබුණා නළුවෙක් වෙන්න. අපේ රටේ සිටි ජ්‍යේෂ්ඨ රංගවේදීන් වූ ගාමිණි ෆොන්සේකා, ජෝ අබේවික්‍රම සිනමා තිරයේ ඉන්නවා දැක්කහම මටත් හිතුණා එහෙම වෙන්න පුළුවන් නම් කියලා. පාසල් කාලයේ නම් කලා කටයුතු වලට සම්බන්ධ වුණේ නැහැ. මම දක්ෂතාවය දැක්වූයේ ක්‍රීඩාවට. මම පාසල් ගියේ විල්පිට මහා විද්‍යාලයට. එක වසරේ සිට එකොළහ වසර දක්වා එම විද්‍යාලයේ ඉගෙන ගත්තා. උසස් පෙළ කළේ මංතින්ද පිරිවෙන් විද්‍යාලයේ. උසස් පෙළට මම කළේ කලා විෂයයන්. උසස් පෙළ සමත්වීමෙන් පසු මට සඹරගමුව විශ්වවිද්‍යාලයට යාමට වරම් හිමිවුණා. එහිදී මම කළේ ක්‍රීඩා විද්‍යාව සහ කළමනාකරණය. විශේෂ විද්‍යාවේදී උපාධිය මම එහිදී ලබා ගත්තා. එය තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය.

පසුව මම උප ලුතිනන්වරයෙකු ලෙස නාවික හමුදා සේවයට එක්වුණා. ඒත් මගේ හීනය හිතින් ඉවත්වුණේ නැහැ. වර්තමානයේ මම ලුතිනන්වරයෙකු ලෙස ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාලයට අනුයුක්තව සේවය කරනවා. මෙසේ වැඩ කටයුතු කරගෙන යන අතරේ මුහුරත් උලෙළකට සහභාගී වීමට ආරාධනාවක් ලැබුණා. කලා ලෝකයේ දැවැන්තයන් එයට සහභාගී වී සිටියා. මම ඔවුන්ව දන්නවා වුණාට සමීප ඇසුරක් තිබුණේ නැහැ. එම උත්සවයට සහභාගී වී සිටි එක් තැනැත්තෙක් මා සමඟ කතා බහට එකතු වුණා. ඔහු හරිම සුන්දර තැනැත්තෙක්. ඔහු ප්‍රකට අධ්‍යක්ෂවරයෙක් වන ලලිත් රෝහණ එදිරිසිංහ. අපි දෙදෙනා රසවත් කතාබහක නිරතවන අතරේ මගේ ආශාව, හීනය ගැන ඔහුට කිව්වා.

මගේ හීනය සැබෑ වෙන බව මට එදා දැනුණා. ඔහු මට අවස්ථාවක් දුන්නා. ඒ අනුව තමයි ඉරගිනි මද්දහන ටෙලි නාට්‍යයේ අජිත් සර්ගේ චරිතය මට ලැබුණේ. එම චරිතය මගේ සැබෑ ජීවිතයට සමාන බවක් තිබුණා. අජිත් සර් කියන්නේ සන්සුන් තැන්පත් චරිතයක්. මමත් සැබෑ ජීවිතයේ කලබලකාරී චරිතයක් නෙවෙයි. ඉරගිනි මද්දහන පළමු දර්ශනයට මුහුණ දීමේදී පොඩි කුතුහලයක්, තිගැස්මක් හිතට ආවා. අධ්‍යෂවරයාට අවශ්‍ය විදිහට භාෂාව හසුරුවන්නේ කොහොමද, මගේ රංගනය කෙසේ ඉදිරිපත් කළ යුතුද යන ප්‍රශ්න මගේ ඔළුවට ආවා. මගේ මුල්ම දර්ශනය තිබුණේ චමීර ලියනගේ අයියා සමඟ. මම හිතපු නැති විදිහට ඔහු මට සහයෝගය ලබා දුන්නා.

අධ්‍යක්ෂවරයාගේ උපදෙස් වලට අවනත වෙමින් ඔහුට අවශ්‍ය පරිදි අපේ රංගනය ඉදිරිපත් කිරීමෙන් සාර්ථක රංගන ශිල්පියෙක් වෙන්න පුළුවන්.ලලිත් අයියා මාව නිතරම උනන්දු කළා. මුළු නිෂ්පාදන කණ්ඩායමම මට සහයෝගය දුන්නා. මගේ බිරිඳ විදිහට රඟපෑවේ ලෝචනා නංගී. ඇයත් සමඟ වැඩ කරන්න මට පහසු වුණා.

නාවික හමුදා ජීවිතයයි, රංගනයයි කියන්නේ එකිනෙකට වෙනස්ම ක්ෂේත්‍ර දෙකක්. හමුදා සේවයේදි පැය විසි හතරම සේවයට බැඳීලා ඉන්නේ. රාජකාරියට බාධා නොවන අන්දමින් මම මගේ රංගන කටයුතු කරගෙන යනවා. ඒ නිසා හමුදාව පැත්තෙන් මට ලැබෙන සහය අතිමහත්. හමුදා සේවයේදී නීතිරීති මාලාවක් තියෙනවා. විශේෂයෙන් විනය, වේලාවට වැඩ කිරීම, ඒ නීති හමුවේ මම ලැබූ පන්නරය මට රංගන ජීවිතයටත් රුකුලක් වුණා. විශේෂයෙන් රංගනයේදී වෙලාවට වැඩ කිරීම, විනය කියන දේ රංගන ශිල්පියෙකු සතුව තිබිය යුතුම ගුණාංග වෙනවා. නාවික හමුදාව ඇතුළෙන් මට ලැබෙන ප්‍රතිචාරත් ඉහළයි. වෙනත් අංශවල රාජකාරි කරන නිලධාරීන් පවා මගේ රංගනය ගැන කතා කරනවා. එක චරිතයක් කරල එවැනි ප්‍රතිචාර ලැබෙන කොට සතුටුයි.

රංගනයට අමතරව මම මියුසික් වීඩියෝවල රූප රචනා වලට රංගනයෙන් දායක වෙනවා. මුලින්ම පෙනී සිටියේ ජනප්‍රිය ගායක දයාන් විතාරණ සහ අනූෂා හේරත්ගේ ” හිතේ සුසුම් ” කියන මියුසික් වීඩියෝවට. පසුව වෛද්‍ය නාමල් විජේසිංහ ගායනා කරන, යමුනා සරෝජිනි රචනා කළ හැන්දෑවක ගිම්හානේ කියන ගීතයේ රූප රචනාවටත් පෙනී සිටියා. මගේ ජීවිතයේ විශේෂම සිදුවීම තමයි අපේ රටේ ජ්‍යෙෂ්ඨ සහ ප්‍රවීණ ගායිකා විශාරද නන්දා මාලිනිය ගැයූ සිතෙන් සමුගෙන යමි” ගීතයේ රූප රචනාවට පෙනී සිටීම. එය මගේ රංගන ජීවිතයටත් ආලෝකයක් වුණා. එමෙන්ම දයාන් විතාරණ සහ පූර්ණා රූපසිංහ එක්ව ගැයූ ” රැඳෙන්නට තව ටික මොහොතකට” ගීතයට පෙනී සිටියා. එහි මාත් සමඟ රූප රචනාවට පෙනී සිටියේ ඉරගිනි මද්දහන ටෙලි නස්ට්‍යයේ රඟපෑ ලෝචනා නංගීමයි.

සිනමාවටත් සම්බන්ධ වෙන්න ආසාවක් තියෙනවා. මම ආසයි සිනමාවේ ක්‍රියාදාම චරිතයක් රඟපාන්න. හමුදා ජීවිතයත් , ක්‍රීඩාවට තියෙන දක්ෂතාවයත් නිසා මට එවැනි චරිත රඟපාන්න පහසුවෙයි කියා සිතනවා. ඉදිරියේදී තවත් ටෙලි නිර්මාණයකට ආරාධනා ලැබී තියෙනවා. එයත් ලලිත් රෝහණ එදිරිසිංහගේ නිර්මාණයක්.

මට මේ ගමන එන්න බොහෝ දෙනෙක් අතහිත දුන්නා. විශේෂයෙන් මගේ අම්මා සහ තාත්තා. මම මේ අවස්ථාවේ ඒ දෙපළට මගේ ප්‍රණාමය පුදකරනවා. ඒ වගේම මගේ රඟපෑමේ සිහිනය සැබෑ කළ ලලිත් රෝහණ අයියාව ආදරෙන් මතක් කරනවා. මට රඟපෑමට පූර්ණ සහය දෙන නාවික හමුදාවේ නිලධාරීන්ට , නාවික හමුදාවේ මගේ හිතවත් මිතුරු මිතුරියන්ට සහ මට සහය දෙන සියලුම දෙනාට මම මේ අවස්ථාවේ ස්තූතියි කියනවා.

මගේ නාවික හමුදා ජීවිතයට හානියක් නොවන පරිදි දිගටම රංගන ක්ෂෙත්‍රයේ රැඳී සිටින්න මම බලාපොරොත්තු වෙනවා.

සේයාරූ – දුෂ්මන්ත මායාදුන්න

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT