Home » මේ නත්තල් ගීතයේ අරමුණ මිනිස් සිත සුවපත් කිරීමයි

මේ නත්තල් ගීතයේ අරමුණ මිනිස් සිත සුවපත් කිරීමයි

ගායන ශිල්පී සහ වාද්‍ය ශිල්පී ක්‍රිශාන්ත පෙරේරා

by shanaka
December 25, 2025 1:00 am 0 comment

අද දෙසැම්බර් 25 වෙනිදා. මුළු ලොවටම සාමය රැගෙන ආ ජේසු කුමරාගේ මහෝත්පත්තිය අදයි. ලෝකයේ සෑම රටක්ම නත්තල් අසිරියෙන් හැඩවී ඇත. එහෙත් ලංකාවාසී අපට මෙවර සතුටින් නත්තල සැමරිය නොහැක. පසුගිය දා සිදු වූ නායයාම්වලින් සහ ගං වතුරින් අපේම සහෝදර ජනතාවට වූ හානිය සුළුපටු නොවේ පවුල් දස දහස් ගණනක් තවමත් අවතැන් වී ඇත. මේ අවස්ථාවේ ලංකාවාසී සියලුම දෙනා එක්ව ඔවුන්ගේ ජීවිත ගොඩ නඟා ගැනීමට සහය විය යුතුය. ඔවුන්ගේ මනස සුවපත් කළ යුතුය. විශේෂයෙන් සංගීතයෙන් මිනිසාගේ වියවුල් තත්වයට පත් වූ මනස ඉක්මනින් සුවපත් කළ හැකිය. තෑගි භෝග වලින් සිත් සනසනවාට වඩා සංගීතයෙන් ඔවුන්ගේ මනස යථා තත්වයට පත්කිරීමට ඉදිරිපත් වූ පිරිසක් පිළිබඳ අද නත්තල් දා සරසවියෙන් හඳුන්වා දීමට අවස්ථාව ලැබුණි. සීතල දෙසැම්බරයේ අපට දසතින් ඇසෙන්නේ නත්තල පිළිබඳ ගැයෙන ගීතය. එහෙත් මෙවර නත්තල උත්සවශ්‍රීයෙන් සැමරීමට ලක්වාසි අපට සිත් දෙන්නේ නැත. එනිසා ඒ වෙනුවෙන් නත්තල් ගීතයක් තිළිණ කිරීමට අපේ රටේ සිටින දක්ෂ සංගීත කණ්ඩායමක් ඉදිරිපත් වී සිටීම අගය කළ යුතු කරුණකි.

අහසේ තරුවක් දිලිසෙනා…………

ගවළෙන තුළ බැබළෙනා………..

ජේසු බබා ඉපදුණා

සාමය ලොව පුරා

පැතිරෙනා………

ලොව සැම සමරනා

මේ දිනේ………

සාමයේ කුමරුගේ උපන්දිනේ……

මෙම පදවැල් සවනට ඇසෙන විට අපේ සිත්වලට දැනෙන්නේ අමුතුම හැඟීමකි. මෙම අපූරු ගීතයේ සැබෑ අයිතිකරුවන් සරසවියෙන් හඳුන්වා දීම යුතුකනකි.

මෙම අපූරු නත්තල් ගීතය පිළිබඳ විස්තර සපයන්නට අප හා එක්වූයේ The warehouse Project සංගීත කණ්ඩායමේ ක්‍රිශාන්ත පෙරේරාය.

මම කැමතියි මම සංගීතයට යොමු වූ කාලේ පටන් කතා කරන්න. මම ඉගෙන ගත්තේ කොළඹ ශාන්ත ජෝසප් විදුහලේ. ඒ කාලේ මම බටහිර තූර්ය වාදක කණ්ඩායමේ හිටියා. මම එහි නායකයා විදිහට කටයුතු කළා. පාසලේ තිබුණ සෑම සංගීත වැඩසටහනකදීම මම ගීත ගායනා කළා. පාසලේ හිටපු පියතුමන්ලා සහ ගුරුවරුන්ගෙන් මට ඒ වෙනුවෙන් හොඳ සහයෝගයක් ලැබුණා.

ඒ කාලේ සිරස නාලිකාවේ තිබුණා සිරස කැරෝකේ ස්ටාර් කියලා වැඩසටහනක්. එහි විනිශ්චය මණ්ඩලයේ සිටියේ භාතිය, සන්තුෂ් සහ කොරීන් අල්මේදා සමඟින් රංග දසනායක. මට ඒ වැඩසටහනට සහභාගී වෙලා ජයග්‍රහණය ලැබුවා. එතකොට මට වයස අවුරුදු 16 යි.

ඉන්පසුව මම ලංකාවේ හිටපු හොඳම ගිටාර් වාදකයා හමුවුණා. ඔහු තිලක් ඩයස්. තිලක් අන්කල් මට එයාලගේ බෑන්ඩ් එකේ ප්ලේ කරන්න කතාකළා. ඒකේ නම ආකාශ්. ලන්ත්‍රාත් ඒකේ ප්ලේ කළා. පසු කාලෙකදී ලන්ත්‍රායි මමයි වෙනම බෑන්ඩ් එකක් පටන් ගමු කියලා තීරණය කළා. ඒ 2005 දී. අපි ඩොක්ටර් බෑන්ඩ් එක පටන් ගත්තා. ඒකේ මම 2019 වෙනකං සංගිත කටයුතු කළා. ඔය විදිහට එහි සංගීත වැඩ කටයුතු කරගෙන යන අතරේ මට හිතුණා දැන් ඇති කියලා. එහෙම හිතෙන්න හේතුවක් තිබුණා. මම ඒ වෙනකොට රැකියාවක නිරත වෙලා හිටියේ. මගේ වෘත්තිය තොරතුරු තාක්ෂණය පැත්තට සම්බන්ධයි. උදේට වැඩට යනවා. හවසට ගෙදර එනවා. ආයේ රෑට බාන්ඩ් එකත් එක්ක ඉවෙන්ට්ස්වලට යනවා. ඒ රටාව අමාරුයි. මහන්සි වැඩියි.

ඔය විදිහට ටික කාලයක් ගත කරන කොට warehouse Project සංගීත කණ්ඩායමෙන් මට ආරාධනාවක් ලැබුණා. ඔවුන් සමඟ සම්බන්ධ වෙලා නැවතත් සංගීත කටයුතු කරන්න කියලා. මමත් ඒකට කැමති වුණා. දැන් වසරක පමණ කාලයක සිට ware-
house Project එකට සම්බන්ධ වෙලා ප්ලේ කරනවා. අපි විවිධ ඉසව් සඳහා සංගීතය සපයනවා. මංගල උත්සව, කාර්‍යාල සාද, ඇතුළු විවිධ උත්සව අවස්ථාවන් සඳහා අපට ආරාධනා ලැබෙනවා.

අපේ බෑන්ඩ් එකේ බොහෝ අය කතෝලික. අපි වේදිකාවට ගොඩ වෙන්නෙත් දෙවියන් සිහි කරලා යාඥා කිරීමෙන් පසුවයි. ඉතින් අපට හිතුණා මෙවර නත්තල වෙනුවෙන් අපිත් මොනවා හරි කරන්න ඕන කියලා. ඊට කලින් ‘හුරයිරෝ’ නමින් අලුත් ගීතයක් නිර්මාණය කරල තිබුණේ. ඒක ළඟදීම එළිදක්වන්නත් හිතාගෙන සිටියා. එහෙත් අපි ඒ තීරණය කල් දැම්මා. පසුගිය දා අපේ රටම සිදුවූ විනාශය නිසා අප සියලු දෙනාගේ දෛනික ජීවිතය වෙනස් වුණා. අපේ රටේ අපේම ජනතාව පීඩාවට පත්වුණා. ඒ වගේ තත්වයක් තිබියදී අපට අලුත් ගීතය එළිදක්වන්න සිතුණේ නැහැ.

අපේ බෑන්ඩ් එකේ අයත් අපේ පවුල් වල අයත් එකතු වෙලා අපිට පුළුවන් විදිහට ඒ අයට ආධාර උපකාර කළා. අපේ බෑන්ඩ් එකේ සාමාජිකයෙකුත් ගංවතුරෙන් පීඩාවට පත්වුණා. ඒ වගේම අප දන්නා තවත් කට්ටිය ඒ වගේ කරදරයට ලක්වුණා. අපි අනුරාධපුර ප්‍රදේශයේ පීඩාවට පත්වූ පවුල් පන්සියයකට ද්‍රව්‍යමය ආධාර ලබා දුන්නා. අපි ඒ කිසි දෙයක් ප්‍රසිද්ධිය බලාපොරොත්තුවෙන් හෝ ජනප්‍රිය වෙන්න හිතාගෙන කළේ නැහැ. අපි ඒ දේවල් කළේ හදවතින්මයි. අද හොඳ දෙයක් කළත් මිනිස්සු ඒක විවේචනය කරනවා. ඒකේ වැරැද්දක් දකිනවා. ඒ නිසා අපි නිශ්ශබ්දව ඒ දේවල් කළා.

ඉතින් රටේ හැමදෙනාම සිත් තැවුලට පත්වෙලා ඉන්න වෙලාවේ සංගීතයෙන් කුමන හෝ දෙයක් කරමු කියලා අපේ බෑන්ඩ් එකේ හැමෝම කතාවුණා. ඒ අනුව තමයි ‘මේ නත්තලේ’ කියන නත්තල් ගීතය නිර්මාණය කළේ. මෙවර නත්තල වෙනුවෙන් විශේෂ ගීත නිර්මාණ කවුරුවත් කරල තිබුණෙත් නැහැ.

අපි ඕස්ට්‍රේලියා ගිය වෙලාවක මගෙ හොඳම යාළුවෙක් හමුවුණා. ඔහු මගේ පාසල් මිතුරෙක්. ඔහු ශානක තෙන්නකෝන්. ඔහු මට අපුරු ආරංචියක් දුන්නා. ලංකාවේ බර්ගර් ජාතික කොල්ලෙක් සිඩ්නි වල ඉන්නවා. ඔහු ගීත රචකයෙක්. ඔහු ගාව ලියපු ගීත රාශියක් තිබිලා තියෙනවා. එ ගීත අතර තමයි ‘මේ නත්තලේ’ කියන ගීතයත් තිබිලා තියෙන්නේ. ඔහු මගෙ යාළුවා ශානකට කියලා තියෙනවා ඒ ගීතය ගැළපෙන්නේ ක්‍රිෂාන්තටයි කියලා. ඒ නිසා තමයි මට ඒ ගීතය ලැබුණේ.

බෑන්ඩ් එකේ අයත් ඒ ගීතයට කැමති වුණා. අපි සේරම එකතු වෙලා ලස්සනට ඒ ගීතය නිර්මාණය කර ගත්තා. ඒක හරි ලස්සන වැඩක්. ඒ වගේම ඒ ගීතයටම ගැළපෙන විදිහට අපි ඇඳුම් පවා තෝරා ගත්තා. දැන් මේ ගීතය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වෙනවා. ඒ ගීතය අසන විට අපේ හිත්වලට අමුතුම හැඟීමක් එනවා.

මේ දවස්වල බොහෝ අයගේ මනස හරි කලබලයි. ඒ නිසා මෙවර නත්තල් ඉතාමත් චාම්ව තමයි කවුරුත් සමරන්නේ. නත්තල වෙනුවෙන් අපිට තිළිණ කරන්න පුළුවන් හොඳම දේ සහ යහපත්ම දේ තමයි ගීතයකින් මිනිසුන්ගේ මනස සුවපත් කිරීම. අපිට පුළුවන් ආයෙමත් නැඟිටින්න. අපේ බෑන්ඩ් එකේ හත් දෙනෙක් ඉන්නවා අපි එකමුතුවෙන් වැඩ කරනවා. පසන් ප්‍රනාන්දු, ජිත් සිරිමාන්න, මංගල පෙරේරා, චමිල් සන්දරගේ, රචිත විතානගේ, මින්දද මාධව තමයි අපේ බෑන්ඩ් එකේ සාමාජිකයින් වන්නේ.

මම කලින් සඳහන් කරපු අලුත් ගීතයත් ලබන මාසේ එළිදක්වනවා. ඒක ලිව්වේ අන්සා අමීර් සංගීතවත් කළේ අපේ රටේ ඉන්න දක්ෂ සංගීත ශිල්පියෙකු වන දිනේෂ් සුබසිංහයි. ඒකත් හරිම ලස්සන ගීතයක්. ජිප්සීස්ලගේ වගේ ඉතාමත් ආකර්ෂණීය ගීතයක්.

මේ අසිරිමත් නත්තලේ අපි වටා ඉන්න ගීත ලෝලීන්ට මේ වගේ අපූරු ගීතයක් තිළිණ කරන්න ලැබීම ගැන සතුටුයි.

අපි මිනිස්සුන්ට උදව් කරන්න ඕන. දෙවියන් වහන්සේ එසේ කියල තියෙනවා. කෙනෙක්ට උදව් කරන්න ඕන ඒ පුද්ගලයාගෙන් අපි දෙයක් බලාපොරොත්තු නොවී. අපි අනෙක් අයට උදව් කරනවා කියලා ලෝකෙටම හඬ නඟා කියන්න අවශ්‍යත් නැහැ. කාට හෝ උදව් කරල සතුටින් ජීවත් වෙන එක තමයි උදා වූ නත්තලේ එකම අරමුණ.

මේ අවස්ථාවේ warehouse Project සංගීත කණ්ඩායමේ සියලුම සාමාජිකයන්ට මම සුබ නත්තලක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඉදිරියේදීත් අපේ බෑන්ඩ් එකෙන් වෙනස්ම නිර්මාණ එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම මගේ බිරිඳ ශේෂාද්‍රි ප්‍රියසාද් මගේ සංගීත කටයුතු වලට විශාල සහයෝගයක් දෙනවා. ඒ වගේම චූටි දුවත් අපිට කිසිම කරදරයක් කරන්නෙ නැහැ. ඉතින් අපි හැමෝටම උදව් කරගනිමින් මේ නත්තල සතුටින් සමරනවා.

නයනාංජලි දෙහිපිටිය
[email protected]

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT