නීතියේ හා සාමයේ මුර දේවතාවන් වූ පොලිසියේ ඇත්තන්ට ද කඳුළත් හසරැල්ලත් එක සේ සමාන වෙයි. ඒ ඔවුන්ද මනුෂ්‍යයන් වන නිසාවෙනි. මොනතරම් රාජකාරි බර හිස මත දැරූවද සිනාවෙන් විනෝදයෙන් කල්ගත කරනා පොලිස් නිලධාරීන්ද නැත්තේම නොවේ. මේ එවන් නිලධාරියෙකු පිළිබඳව කතාවකි. සාජන්ට් පුංචිසෝම කියන්නේ බොහොම නීතිගරුක අවංක පොලිස් නිලධාරියෙක්. ඔහුගේ හොඳම මිතුරා කොස්තාපල් රත්නපාලයි. දිනක් මේ දෙදෙනා මුර සංචාරයේ යෙදී සිටිනා අවස්ථාවක, පැමිණෙමින් තිබූ වෑන් රථයක් නවතා පරීක්ෂාවට ලක් කිරීමේදී, එහි තිබූ සෙම්බුවක් වැනි යමක් දැක එය විවෘත කර බැලීමේද, යකැදුරෙකු විසින් මන්ත්‍ර බලයෙන් ඒ තුළ සිරගත කර සිටි අමනුෂ්‍ය ප්‍රාණියකු එළියට පැමිණ සාජන්ට්ගේ කලිසම් සාක්කුවට පැන සැඟවේ. එදින රාජකාරී කටයුතු අවසන් වීමෙන් අනතුරුව සිය නිවසට යන සාජන්ට් හැඳ සිටි ඇඳුම් ගලවා දැමීමෙන් අනතුරුව, නිවස තුළ අසාමාන්‍ය සිදුවීම් රැසක් සිදු වේ. එසේ සිදුවන්නේ සාජන්ට්ගේ සාක්කුව තුළ සැඟවී සිටි අමනුෂ්‍ය ප්‍රාණියා නිදහස්ව දඩබ්බරකම් කිරීමට පටන් ගැනීමත් සමඟයි. කාරණය තේරුම්ගත් සාජන්ට් සිය බිරිඳගේ සහ රත්නපාලගේ සහාය ඇතිව අමනුෂ්‍ය ප්‍රාණියා නැවත අල්ලා බෝතලයක සිරකර, මින් පෙර සාජන්ට අරියාදු කළ ඇමතිවරයෙකුගේ ගෙදරට ගෙන ගොස් මුදා හරී. අවසානයේ ඇමතිවරයා සමග පාර්ලිමේන්තුවටත් යන අමනුෂ්‍ය ප්‍රාණියා සිදු කරනු ලබන හාස්‍යජනක සිදුවීම් රැසක් ‘සාජන්ට් පුංචිසෝම’ ප්‍රේක්ෂකයා හමුවට ගෙන එනු ලබයි.
උදයකාන්ත වර්ණසූරිය කලා ලොවට අවතීර්ණ වනුයේ නිර්මාණශීලී චිත්‍ර ශිල්පියෙකු ලෙසිනි. ඉතාමත් ජනප්‍රියතලයේ චිත්‍රකතා රැසක් පාඨකයා හමුවට රැගෙන ආ අතර, ‘එක මලක පෙති’, ‘කරදිය වළල්ල’ , ‘පරසතු උයන’, ‘යකඩ පිහාටු’ යන නිර්මාණ විශේෂිත විය. මැණික් කැටයම ඒකාංගික ටෙලි නාට්‍යය නිර්මාණයකරමින් පුංචි තිරයට පිවිසි ඔහු පසුව ‘හුමාලය’, ‘එකගෙයි කුරුල්ලෝ’, ‘දිය සුළිය’, ‘සාගරය පරදා’ සහ ‘සෙනෙහසේ ගීතය’ වැනි නිර්මාණ රැසක් ප්‍රේක්ෂකයා අතරට ගෙන ඒමට සමත්විය. උදයකාන්ත වර්ණසූරිය මුලින්ම සිනමා තිරයට පිවිසෙන්නේ, 1997 වසරේ තිරගත වූ ‘මහමෙර උසට’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමෙනි. දක්ෂ තිර පිටපත් රචකයකු මෙන්ම නිෂ්පාදකවරයෙකු වූ ඔහු පසුව විවිධ ශානරයන්ට අයත්, ‘ගිනි අවි සහ ගිණිකෙළි’, ‘බහුභාර්යා’, ‘රාජ්‍ය සේවය පිණිසයි’, ‘රෝස වසන්තේ’, ‘බහුභූතයෝ’, ‘ලේ කිරි කඳුළු’, ‘යකඩ පිහාටු’ ,‘දිය යට ගින්දර’, ‘රන්දිය දහර’, ‘හිරි පොද වැස්ස’, ‘රන් කෙවිට’, ‘ආසයි මං පියාඹන්න’, ‘පායා එන්න හිරුසේ’, ‘චැලෙන්ජර්ස්’, ‘සෙනසුරු මාරුව’, ‘රන් කෙවිට -2’, ‘කොස්තාපල් පුඤ්ඤසෝම’, ‘බහු භූතයෝ – 2’, ‘බන්ධනය’, ‘මධුර චාරිකා’,‘වස්සානේ සඳ’, ‘ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්’, ‘ගිනි මල් පොකුරු’, ‘ගින්දරි’, ‘රිදී සීනු’, ‘ගිනි අවි සහ ගිණිකෙළි -2’ යන චිත්‍රපට තිරයට ගෙන ආ අතර, ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘මේඝ වර්ෂා’ චිත්‍රපටය ඉදිරියේදී තිරගතවීමට නියමිතව ඇත.
රංගන දායකත්වය
ප්‍රියන්ත සෙනෙවිරත්න, රොඩ්නි වර්ණකුල, දුලීකා මාරපන, ශ්‍රියන්ත මෙන්ඩිස්, කුමාර තිරිමාදුර, මිහිර සිරිතිලක, ආනන්ද අතුකෝරාල, සරත් කුලාංග, චතුර පෙරේරා, සරත් පීරිස්, ජීවන් හඳුන්නෙත්ති, නන්දන හෙට්ටිආරච්චි, කුමාරි සේනාරත්න, බින්දු බෝතලේගම, අසංග පෙරේරා, නිමල් පල්ලෙවත්ත, උදේනි චන්ද්‍රසිරි, උපුල් වීරසිංහ, මදුශාන් නානායක්කාර, රාධිකා තිළිණි, දිල් මිහිරාජී, පියතිලක දුණුවිල, ප්‍රසාද් ගලප්පත්ති, කුලසිරි මල්ලිකාරච්චි, අනුර ශශ්‍රීනාත් හෙට්ටිආරච්චි, වසන්ත විට්ටච්චි ඇතුළු පිරිසකි.
කාර්මික දායකත්වය
- කතාව, තිර රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය- උදය කාන්ත වර්ණසූරිය
- කැමරා අධ්‍යක්ෂණය- අයේෂ්මන්ත හෙට්ටිආරච්චි
- සංස්කරණය- රුවන් චාමර රණසිංහ
- සහය අධ්‍යක්ෂණය- ඩොනල්ඩ් ජයන්ත
- අංග රචනය – වසන්ත විට්ටච්චි/ නන්දන හෙට්ටිආරච්චි
- කලා අධ්‍යක්ෂණය – මනෝජ් ප්‍රියන්ත
- ශබ්ද සැලසුම්කරණය – සශින් ගිම්හාන් පෙරේරා
- ග්‍රැෆික් නිර්මාණකරණය – වික්‍රම දීගල්ල
- පසුබිම් සංගීතය – සංගීත් වික්‍රමසිංහ
- ගීත තනු නිර්මාණය – මහේෂ් දෙනිපිටිය
- ගී පද රචනා – අතුල කල්දෙමුල්ල, මාමඩලේ ගැමුණු වික්‍රමසූරිය
- ගීත ගායනය – ෆැලන් ඇන්ඩ්‍රියා, ශෙනාල් නිශ්ශංක, ක්ලයිව් රිචඩ්ස්
- නිශ්චල ඡායාරූප හා වීඩියෝ නිර්මාණකරණය – ධම්මික පතිරත්න
- නිෂ්පාදන කළමනාකරණය- අශෝක ආරියරත්න
- පසු නිෂ්පාදන කටයුතු අධීක්ෂණය- හැරිස් නන්දසිරි
- ඇඳුම් නිර්මාණය – ප්‍රියන්ත දසනායක /නන්දන හෙට්ටිආරච්චි
- සහාය නිෂ්පාදන කළමනාකරණය – හේමන්ත බන්ධනගේ
- සහය නිෂ්පාදනය -සහන් රනුක වර්ණසූරිය
- වර්ණ සංයෝජනය – ඉසුරු මධුශාන්
- කැමරා සහය – හර්ෂණ කරුණාතිලක, කසුන් චාමර, චමිදු දිල්ශාන්
- දෙබස් පටිගත කිරීම – සුසන්ත ධර්මප්‍රිය, සම්පත් රත්නායක
