කේෂාන් ධනුද්ධර කලා විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ රාජ්‍ය සම්මාලාභී ගායකයෙකි. ගුවන් විදුලි සංස්ථාවේ ”ඒ” ශ්‍රේණීයේ ගායකයකු ලෙස කේෂාන් ධනුද්ධර ශාස්ත්‍රීය ගායනයට මෙන්ම බටහිර ගීත ගායනයට වඩාත් දක්ෂ අයෙකි. ඔහු ගැයූ කුවේණි, රාවණා, සරදියෙල්, ඇස් පියාගෙන, අලුත් ආදරය, රළ බිඳෙන්නේ වැනි ගීත රසිකයන් අතර වඩාත් ජනප්‍රිය වූ ගීත වෙති. මෙවර සරසවිය කලාපයෙහි ඉඩ වෙන්වූයේ ගායක කේෂාන් ධනුද්ධර සමඟ සිදුකළ කතාබහ සමඟිනි.
කේෂාන් ගායන ක්ෂේත්‍රයට පිවිසීමේ ආරම්භය සිද්ධ වෙන්නේ කොහොමද?
මගේ පවුලේ මීට ප්‍රථමයෙන් මගේ තාත්තා සංගීතය කරලා තියෙනවා. තාත්තා සංගීතය කළත් හැබැයි එයාට සිංදු කියන්න බැහැ. තාත්තාගේ සංගීතය ඇසුරත් එක්ක මට නිතරම සමීප වුණා සංගීතය. මෙි නිසාම පොඩි කාලේ ඉඳන් මම සංගීතයට කැමතියි. තාත්තගේ ආභාසය මටත් තිබුණා. මම මුලින්ම සංගීතය ව්ෂයක් විදියට ඉගෙනගත්තේ 2012 දී ෂෙල්ටන් ප්‍රේමරත්න සර්ගෙන්. මගේ වාද්‍ය භාණ්ඩය වුණේ මුලින්ම වයලීන් එක. පාසල් යනකාලේ නර්තනය යටතේ බෙර වාදනය කරලා තිබුණ නිසා වාදනයටත් ආසාවක් තිබුණා. ඒ කාලෙත් සිංදු කියුවා. මුලින්ම මම අවුරුදු අටෙදි තමයි ස්ටේජ් එකකට නැඟලා සිංදු කියුවේ. කාලයක් ගිහින් මියුසික් ටික ටික ඉගෙන ගත්තා. මම විවිධ වෘත්තීන් සිදු කළා. ඒ නිසාම යම් කාලයක් සංගීතය මඟහැරුණා. ඒ අතරේ රොමේෂ් විත් ටියුන්ස් කියන රොමේෂ් සුගතපාලගේ සංගීත කණ්ඩායමත් එකක් ගායකයෙක් විදියට මම වැඩ කළා. ඊටපස්සේ එතනින් අයින් වෙලා ෂේන් සිංගේ ලයින් වන් සංගීත කණ්ඩායම සමඟ එක්ව වැඩ කළා. ඔන්න ඔය ආකාරයෙන් තමයි සංගීතය සහ ගායනයට යොමු වුණේ.
ඔබේ පළමු ගීතය නිර්මාණය වුණේ කොහොමද?
ඔහොම සංගීත කණ්ඩායම් සමඟ වැඩ කරද්දි මට හිතුණා මගේම ගීතයක් නිර්මාණය කරන්න ඔින කියලා. ඊටපස්සේ මගේ පළමු ගීතය නිර්මාණය වෙනවා ”අලුත් ආදරය” නමින්. දුමින්ද අලෙහේන්ද්‍ර තමයි ගීතය ලියුවේ. ගීතය සංගීතවත් කළේ සංගීතවේදි මහින්ද බණ්ඩාරගේ පුත් තිසර බණ්ඩාර. ඊටපස්සේ ඒක ගුවන් විදුලියේ විකාශය වුණා. මගේ රසිකයෝ සුළු ප්‍රමාණයක් හිටියේ ඒ දවස්වල. ඇත්තටම ගීතයට ඒ අයගෙන් හොඳ ප්‍රතිචාර තිබුණා.
ඊටපස්සේ ”සොඳුරියේ” ගීතය නිර්මාණය කළා. ඒක ලියුවේ දිනේෂ් එස්. වෛද්‍යරත්න. ඒකත් ගුවන් විදුලි නාලිකාවල විකාශය වුණා. 2019දී ‘රළ බිඳෙන්නේ’ කියලා සිංදු හයක ඇල්බම් එකක් කළා. සරදියෙල්, මට හීන දුන්න කුමාරි, වෙිදනා සංකා, හිත රිදෙන තරමටම ඒ වගේ සිංදු තිබුණා ඇල්බම් එකේ. ඒ හරහා මම නිත්‍ය ගායකයෙක් විදියට ස්ථානගත වුණා.
ගීතයකට රූප රචනාවක් කළ පළමු සිංදුව මොකක්ද?
‘ජවුසන් නෑ’ කියන සිංදුවට මම පළමු රූප රචනාව කළා. ඒකත් සාමාන්‍ය දුරකට හිට් වුණා. ඊටපස්සේ කවර් සෝන්ග්ස් කළා. ඊටපස්සේ ඔහොම යනකොට නවරත්න ගමගේ කියන සංගීතවේදියා මුණ ගැහෙනවා. එතුමා සහ මගේ කවර් සිංදු අහලා මේජර් රුවන් ජයරත්න කියන පද රචකයා ‘ඇස් පියාගෙන’ කියන ගීතය ලියලා දෙනවා. ඒකට රූප රචනාවක් කළා. ‘කුවේණි’ නමින් ගීතයක් කළා. ඒකට සංගීත සංයෝජනය කළේ ප්‍රියන්ත නාවලගේ මහත්මයා. ගීතය ලියුවේ නයෝම් වෙලගෙදර. ඒකට සෑහෙන ප්‍රතිචාර තිබුණ ගීතයක්. අනුරාගයේ ආදරය නමින් ලිරික් විඩියෝ කළා අන්තිමට.
ඔබට ගීත ගායනා කිරීමේ දී ශානරමය වශයෙන් සීමාවක් නැහැ නේද?
ඔව්. ඇත්තටම ශාස්ත්‍රීය සංගීත ශානරයේ ගීතත් මට ගායනා කරන්න පුලුවන්. ඒ වගේම බටහිර ශෛලියේ ගීතත් ගායනා කරන්න පුලුවන්. මම වඩාත් කෑපි පෙනෙන්නේ ශාස්ත්‍රීය ගායනාවලදි වුනත් බොහෝ අය කියන්නේ වඩාත් දක්ෂ ඉංග්‍රිසි සිංදු කියන්න කියලා.
ඔබ ගැයූ ‘සරදියෙල්’ කියන ගීතය විශේෂ ගීතයක් නේද? ඒ ගැන කියමු…
සරදියෙල් කියන ඓතිහාසික චරිතය ඇසුරින් නිර්මාණය කළ මා ගැයු සරදියෙල් ගීතය පෞද්ගලිකවම මගේ හදවතට දැනුණු ගීතයක්. සරදියෙල් ගීතයට සම්මානයක් ලැබුණා සංස්කෘතික අමාත්‍යාංශයෙන්. ඒක ලියුවේ ආචාර්ය ශිරෝමි අරුණතිලක කියන කථිකාචාර්යතුමිය. මට ඇත්තටම කඳුළු ආවා ඇස් දෙකට ඒ පද රචනාව දැකලා. ‘සරදියෙල්’ ගීතවත් කළේ අමිල දිල්හාන් මහත්මයා විසින්. ගීතයට කලා විභූෂණ සම්මානය ලැබුණා. සරදියෙල් කියන චරිතය ලංකාවෙි යටත්විජිතවාදී යුගයක බිහිවුණු සුදු අධිරාජ්‍යයය විරුද්ධව තනියම කැරළි ගහපු වීර චරිතයක් නිසා ඒ ගීතය බොහෝ දෙනා අතර වඩාත් කතාබහට ලක් වූ ගීතයක් වුණා.
ඔබට ලැබෙන පද රචනාවක් තෝරා ගැනීමේදි සැළකිළිමත් වෙන කාරණා මොනවද?
මම දැනට ගායනා කරලා තියෙන ගීත බොහෝමයක් ප්‍රේමය සහ විරහව සම්බන්ධ ගීත. නමුත් මම වඩාත් කැමති ඓතිහාසික චරිත සම්බන්ධයෙන් ලැබෙන පද රචනාවලට. විශේෂයෙන් මා ගැයු ‘සරදියෙල්’, ‘කුවේණි’ සහ ‘රාවණා’ වැනි චරිත ඇසුරින් ලියු ගීත මා වඩාත් ආසා කළා. පද රචනාවක් තෝරා ගනිද්දි මාව වඩාත් ආසක්ත කරන වචන තියෙනවා නම් මම කැමතියි. විශේෂයෙන් මා ගැයූ ‘ඇස් පියාගෙන’ කියන ගීතය සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වූ ගීතයක්. මම ඒ වගේ ගීතවලට ආසයි. සමීප වෙන ගී පද රචනාවක් තිබුණොත් අනිවාර්යයෙන්ම ගායනා කරන්න තෝරා ගන්නවා.
ඔබ ගායනා කළ රාවණා ගීතය නිර්මාණය වෙන්නේ අහඹු ප්‍රතිඵලයක් විදියට නේද?
මම අංගම්පොර හැදැරීම කළා. මගේ අංගම්පොර ගුරුවරයා තමා සුමුදු අමල්ක. එතුමා තමා මට මේ රාවණා සිංදුව ලියුවේ. සංගිතවත් කළේ අජන්තා රාජකරුණා. රාවණා ගීතය නිර්මාණය කළේ 2022දී. මම හිතුවා මේකට මම වීඩ්යෝ එකක් කරන්න ඔින කියලා. එතකොට ලංකාවට ඒධ් තාක්ෂණය ආපු මුල්කාලයේ. ඒධ් වලින් ලංකාවෙි කරපු මුල්ම රූප රචනාව තමා ‘රාවණා’ කියන්නේ. ග්‍රීන් ස්ක්‍රීන් දාලා කළේ. ඊටපස්සේ කළා ‘අනන්තය වෙත නවාතැන්වල රැඳී රැඳී යන ගමන මේ සසරේ’ ගීතය. ඒක සංසාර චක්‍රය ගැන කියවෙන සිංදුවක්. එයත් විශේෂ සිංදුවක් වුණා.
ඔබේ ගීතවලට ඇලුම් කරන රසිකයන් බොහෝ අය පවසන්නේ ශාස්ත්‍රීය ගීත ගායනා කළාට බටහිර ගීත තමා ඔබට වඩාත් හොඳීන් ගායනා කරන්න පුලුවන් කියලා. බටහිර ගීත ගායනා කිරීම පිළිබඳවත් කතා කරමු.
ඇත්තටම මම ශාස්ත්‍රීය මට්ටමේ ගීත ගායනා කළාට මම මුලින්ම ආස වුණේ ඉංග්‍රිසි සිංදු කියන්න. එල්ටන් ජෝන්, ලයනල් රිචි, ස්ටීව් වොන්ඩර් වගේ ගායකයන්ගේ ගීත වලට මම වඩාත් ආශා කළා. බොහෝ තැන්වල මම ඉංග්‍රිසි සිංදු ගායනා කරලා තියෙනවා. විශේෂයෙන් මම සංචාරය කරපු රටවල අවන්හල්වල ගීත ගායනා කරලා තියෙනවා. සිංදු අහපු ඇතැම් අය මගේ කටහඬේ තිබුණ ගුණය බෙහෙවින් අගය කළා. එහිදි ලැබුණ ප්‍රතිචාර එක්ක එන වසරේදී ඉංග්‍රිසි සිංදු කිහිපයක් එළි දක්වනවා.
ඔයා මෙතෙක් ගැයු ගීත ලැයිස්තුවේ වැඩිපුරම දැනුණු ගීතය මොකක්ද?
රළ බිඳෙන්නේ ගීතය. ඒ ගීතය වඩාත් දැනෙන්න හේතුව තමයි මගේ ඇල්බම් එකේ පළවෙනිම සිංදුව. අනෙක් අතට ඒ සිංදුව මට සෑහෙන ආත්මීය වුණු ගීතයක්. ඒ සිංදුව ලංකාවෙි නමගිය ජනප්‍රිය ගායකයෝ වොයිස් කරලා තිබුණා. නමුත් ඒ අයට වඩා අවසානයේ ඒ ගීතය මට ගායනා කරන්න අවස්ථාව ලැබුණා. ඒකේ මියුසික් පැත්තෙන් හදවතට වැදුණු ගීතයක්.
මෙතෙක් ආපු ගමනට උදව් කරපු පිරිස ගැන මතක් කරමු….
මගේ හෙවණැල්ල වගේ හිටපු මගේ අම්මා සහ තාත්තා. මගේ මල්ලි. ඒ වගේම මගේ යාලුවෝ. මාව විශ්වාස කරපු හැමෝම.

මලින්ත විතානගේ
