Home » මම දැඩි ලෙස කලාවට ආදරය කරන කෙනෙක්

මම දැඩි ලෙස කලාවට ආදරය කරන කෙනෙක්

රංගන ශිල්පී - ප්‍රසාද් හිරන්ත

by mavan
February 19, 2026 11:45 am 0 comment

කුඩාකල සිටම ගුවන් නියමුවකු වීමට සිහින මැවූ ඔහු අද රංගන ශිල්පියෙකි. රංගන ශිල්පියෙකු වීමේ සිහිනයක් ඔහුගේ සිතේ තිබී නැත. එහෙත් අහම්බෙන් හෝ රංගන ක්ෂේත්‍රයට පැමිණීමට ඔහුට හැකිවී ඇත. ඔහු නමින් ප්‍රසාද් හිරන්තය. රංගනයට අමතරව ඔහු කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. පිටපත් රචකයෙකි. ටෙලි නට්‍ය, සිනමාපටවල රංගනයේ යෙදී ඇතත් තවමත් ඔහුට ප්‍රධාන චරිතයකින් ප්‍රේක්ෂකයා හමුවට පැමිණීමට අවස්ථාව ලැබී නැත. එහෙත් ඔහු රංගනයට දක්ෂයෙකි. දීර්ඝ කාලයක් රංගනයේ යෙදී සිටියත් කිසිදු ඇගැයීමකට ලක් නොවූ කලාකරුවන් සඳහා සම්මාන පිරිනැමීමේ උලෙළක් පසුගිය දා පැවැත්වුණි. රෑන ක්‍රියේෂන්ස් මඟින් සංවිධානය කර තිබූ රෑන ඕඥඵබ ඒපබඪඵබඵ 2025 සම්මාන උලෙළෙදී ර්භතබඪ බචතඥදබඥඤ ඒපබඪඵබ ලෙස සම්මානය හිමි කරගත්තේ ප්‍රසාද් හිරන්තයි. එවැනි ඇඟයීම් මෙම තරුණ කලාකරුවන්ට ලබාදීම ඔවුන්ව දිරිමත් කිරීමකි. එනිසා ඔවුන් වෙනුවෙන් සටහනක් තැබීම සරසවිය පුවත්පතේ අප සතු යුතුකමකි. පසුගිය දා රංගන ශිල්පී ප්‍රසාද් හේමන්ත සරසවිය හමුවට පැමිණියේ ඔහුගේ කලා ජීවිතය පිළිබඳව කතා කිරීමටයි.

පොඩි කාලේ මගේ හීනය වුණේ ගුවන් නියමුවෙකු වෙන්න. මම ඉගෙන ගත්තේ කෑගල්ල මයුරපාද ජාතික පාසලේ. පාසල් කාලයේ මම රංගනයට උනන්දුවක් තිබුණේ නැහැ. ඉගෙන ගත්තේ චිත්‍ර විෂය. ලොකු වුණාම පයිලට් කෙනෙක් වෙනවා කියල තමයි හිතාගෙන හිටියේ. උසස් පෙළින් පසුව හමුදාවේ හැම ඉන්ටවීව් එකකටම ගියා. ඒත් මම හමුදාවට බැඳෙනවට අම්මා කැමති වුණේ නැහැ. ඒ නිසා ඒ හීනෙන් මම බැහැර වුණා. ඒ අතරේ මට රඟපාන්න අවස්ථාවක් ලැබුණා. ඒකත් හරි පුදුම විදිහට සිදුවුණේ. මට යාළුවෙක් මුණ ගැසුණා. මුහුණු පොතෙන්. ඔහු තරංග කළුආරච්චි. ඔහුව මට සැබෑවටම මට මුණ ගැහිලා තිබුණේ නැහැ. තරංග මට දවසක් කතා කළා. රඟපාන්න ආසද කියලා ඇහුවා. කොළඹ ගංඟාරාමය ගාව ෂූටිං කරනවා කියලා මට එන්න කිව්වා. එතනදී තරංග මට දිල්රුක්ෂි වීරපරාක්‍රම අක්කාව හඳුන්වලා දුන්නා. ඇයත් නිළියක්. ඉන්පසුව මට රඟපාන්න අවස්ථාව ලැබුණා. “සැලෙන නුවන්, වැකේෂන් කියන ටෙලි නාට්‍යවල චරිත ලැබුණා. වැකේෂන් ටෙලි නාට්‍යයේ රඟපෑවේ මැර චරිතයක්. චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ ගේ චිත්‍රපටයකත් රංගනයෙන් දායක වුණා. ඒකට තාම නමක් දාල නැහැ. ඒ වගේම මා රඟපෑ අත්පුඩි චිත්‍රපටය ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා. සූර්යා, ගිනිඅවි සහ ගිනි කෙළි චිත්‍රපට දෙකටත් මම රංගනයෙන් දායක වුණා. ගෝඩ් කියන ඉන්දියානු චිත්‍රපටයේත්, ද කින්ඩම් දෙමළ චිත්‍රපටයේත් මට රඟපාන්න අවස්ථාව ලැබුණා. මට දෙමළ භාෂාව කතා කරන්න පුළුවන්. මට තවම ප්‍රධාන චරිත ලැබිලා නැහැ. පොලිස් චරිත, මැර චරිත තමයි මට වැඩියෙන් ලැබෙන්නේ. එක්තරා චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් ලැබුණත් එහි නිෂ්පාදකවරයාගේ ප්‍රශ්නයක් නිසා ඒ චිත්‍රපටය කෙරුණෙ නැහැ.

රංගන ශිල්පියකුට අමතරව මම කෙටි චිත්‍රපට නිෂ්පාදකවරයකු සහ ගායකයකු ලෙසද කටයුතු කරනවා. මම කෙටි චිත්‍රපට කිහිපයක් අධ්‍යක්ෂණය කරල තියෙනවා. සේයා, ටික්ටොක්, සතුට අරං, පමා වූ වසන්තේ, හිමි අහිමි, කාකී සහ සංවේදනා මම අධ්‍යක්ෂණය කළ කෙටි චිත්‍රපටයි. සේයා කෙටි චිත්‍රපටය මම තරඟාවලි දෙකකට ඉදිරිපත් කළා. තරුණ සේවා තරඟාවලියටත් ඉදිරිපත් කළා. එයින් අන්තිම විසිපහ අතරට සේයා තේරුණා. සේයා මට අධ්‍යක්ෂණය කරන්න හිතුණේ ලංකාවේ සිදුවූ එක්තරා සිද්ධියක් නිසා. ඒ සඳහා මට පුංචි දුවෙක් උවමනා වුණා. තිස්පස් දෙනෙක් විතර මට හමුවුණා. ඒ අයට මම විස්තට කිව්වා. ඒ අතරින් එක් දුවෙක් කැමති වුණා. ඒ දුව මම දුන් අභියෝගය භාර ගත්තා. ඇය මේ වන විට රූපවාහිනී නාළිකාවල වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්. ඒ වගේම රංගන ශිල්පිනියක්. මෙවර ඇය රෑන ක්‍රියේෂන්ස් සම්මාන උලෙළෙ දී හොඳම ළමා නිළිය සම්මානයද ලබා ගත්තා. මම තවත් කෙටි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරමින් ඉන්නවා. එහි පෙන්වන්නේ අංග චලනයන් පමණයි. රංගන ශිල්පීන්ගේ මුහුණු පෙන්වන්නේ නැහැ. මේවන විට එයින් අඩක් පමණ අවසන්. මම හිතන විදිහට එවැනි කෙටි චිත්‍රපටයක් ලංකාවේ නිර්මාණය වෙන පළමු වතාවට. මගේ කෙටි චිත්‍රපට සඳහා මම සම්මාන දිනා ගෙන තියෙනවා. දීර්ඝ චිත්‍රපටයක් කිරීමේ ආශාව තියෙනවා. ඒත් ඒකට තාම සුදුසු කාලය ඇවිත් නැහැ. සිනමාවට සෘජුව සම්බන්ධ වෙන්න ආසාවක් තියෙනවා. වර්තමානයේ සිනමාවේ කැපී පෙනෙන වෙනසක් සිදුවී තියෙනවා. 2025 වසර එයට කදිම නිදසුනක්. සිනමාවේ නව පිබිදීමක් ඇතිවුණා. ඒත් මම මෙහෙම දෙයක් දකිනවා. එදා වගේ නෙවෙයි අද වීරයෝ අඩුයි. දුෂ්ටයෝ අඩුයි. එදා සිනමාවේ තරු පිරිලා. එහෙත් අද එහෙම තත්වයක් නැහැ. රංගන ශිල්පී ශිල්පිනියන්ට වටිනාකමක් දිය යුතුයි. ඔවුන්ව ඇඟයීමට ලක් කළ යුතුයි. පසුගියදා පැවැත්වුණ රෑන ක්‍රියේෂන්ස් ඕඥඵබ ඒපබඪඵබ සම්මාන උලෙළෙදී මට සම්මානයක් හිමිවුණා. තවත් අංශ කිහිපයකට කුසලතා සහතික පත් හිමිවුණා. තිරරචනය, කෙටි චිත්‍රපට අංශය, ගායනය අංශ සඳහා මාව නිර්දේශ වෙලා තිබුණා. එහිදී ර්භතබඪ බචතඥදබඥඤ ඒජබධප සම්මානය හිමිවුණේ මට. හොඳම කෙටි චිත්‍රපට පහ අතරට මගේ ටික්ටොක් කියන කෙටි චිත්‍රපටය තේරුණා. ගායන අංශයෙන් අවසන් පස්දෙනා අතරට මාව තේරුණා. අපි වැනි ශිල්පීන්ට එවැනි ඇඟයීමක් ලැබීම සතුටක්. මම යන්නේ හිමින් ගමනක්. ඒ ගමනේදී ජ්‍යේෂ්ඨ ශිල්පීන්ගෙන් ලැබුණ සහය අතිමහත්. ඒ වගේම මම කලාවට, කලාකරුවන්ට ආදරෙයි. මම ව්‍යාපාරිකයෙක්. මම උපයාගත් මුදලින් මම කලාවට සේවයක් කරනවා. මම කණිෂ්ඨ කලාශිල්පීන් එකතු කරගෙන අවුරුදු උත්සවයක් කළා. මේ වසරේත් තුන්වන වරට මම එය සංවිධානය කරනවා. මම දැඩිලෙස කලාවට ආදරය කරන නිසයි මම එවැනි කටයුතු කරන්නේ.

මේ සියලු කටයුතු අතරේ මම ගීත ගායනා කරනවා. මම ගායනා කරපු ගීත අටක් තියෙනවා. ඒ ගීත මේ වසරේ එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. මට ඒ ගීත රචනා කරදුන්නේ මගේ හිත මිතුරන් වෙන දිනේෂ් ජයරත්න සහ ලසන්තිකා මධුවන්ති. මේ ගීතවල සංගීතය සහ තනුවත් මගේ නිර්මාණය වුණේ මගේ අතින්මයි. මම සංගීතය ඉගෙන ගෙන නැහැ. ඒත් මගේ තාත්තා සංගීතය කරපු කෙනෙක්. ඒ ආභාසය මට තියෙනවා. අන්තර්ජාලයෙන් මම සංගීත දැනුම ලබා ගන්නවා. මම ගීත එළිදක්වන්න සිටියේ ගිය වසරේ. ඒත් හදිසියේම තාත්තා නැතිවුණා. එ නිසා මේ වසරේ තාත්තාගේ උපන් දිනය දාට මේ ගීත එළිදක්වන්න සිතාගෙන ඉන්නවා.

මට මේ ගමන එන්න උදව්කළ පිරිසක් මතක් කරන්න අවශ්‍යයි. තරංග කළුආරච්චි , දිල්රුක්ෂි වීරපරාක්‍රම, පද්මා මෙන්ඩිස්, සුසිල් ජයසූරිය, සම්පත් රන්දෙණිය, මම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මගේ ළඟින්ම සිටින මිතුරා අශාන් හේවාවසම් ගැන කතා නොකර බැහැ. මාව දිරිමත් කරන්නේ ඔහු. ඔහු මගේ ගමන සාර්ථක කරගන්න හැමවෙලාවෙම ශක්තිය දෙන කෙනක්. පවුලේ අයගෙනුත් මට හොඳ සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන් අම්මාගෙන්. මගේ බිරිඳ ධනංජි නදීශානි. ඇය නම් මුලදි අකමැති වුණා මම රඟපානවට. ඒත් දැන් ඇයගේ අකමැත්තක් නැහැ. අපි හරිදේ කරනවා නම් අපිට වරදින්නේ නැහැ. කලාව කෙනෙකුට ලෙහෙසියෙන් පිහිටන දෙයක් නෙවෙයි. ඉතින් මට ලැබුණ මේ අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන අරගෙන දක්ෂ රංගන ශිල්පියෙකු වෙන්න බලාපොරොත්තු වෙනවා. මට මේ අවස්ථාව ලබා දුන් සරසවිය පුවත්පතටත් බෙහෙවින් ස්තූතියි.

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT