හිස් කැන්වසයක් පින්තාරු කිරීම යනු නෙක නෙක වර්ණ මිශ්‍ර කිරීම පමණක් නොව, හැඟීම් පරාවර්තනය කරන අවකාශයකි. වර්ණ පිරී සෑම බුරුසු පහරකම යම් ප්‍රකාශ කිරීමක් දැකිය හැකිය. චිත්‍ර ශිල්පී සිසිල් ප්‍රනාන්දු අතින් නිමැවෙන සිතුවම්වල ගැබ්ව ඇත්තේ හරවත් සමාජ ප්රකාශනයන් ය. චිත්‍ර කලාවේ නව මානයන් අත්හදා බලන ඔහු සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෘශ්‍ය කලා පිළිබඳ ගෞරව උපාධිධාරියෙකි. වත්මනෙහි එක්සත් රාජධානියේ දකුණු වේල්ස් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය සම්පූර්ණ කර ඇති අතර ඔහු වීදි සරන සිත්තරෙකු ලෙස ප්‍රකට ය. මෙවර සරසවිය හරහා චිත්‍ර ශිල්පී සිසිල් ප්‍රනාන්දු සමඟ අපි සංවාදයක යෙදුනෙමු
ඔබ මුලින්ම චිත්‍ර කලාවට පිවිසෙන්නේ කොහොමද?
කුඩාකල සිටම චිත්‍ර විෂයට කැමැත්තක් දැක්වූ කෙනෙක් මම. මගේ පියාටත් චිත්‍ර ඇදීමේ හැකියාව තිබෙනවා. මං හිතන්නෙ ඔහුගෙන් ලැබුණු ආභාසය සහ චිත්‍ර ඇඳීමට මා තුළ ඇති ආශාව මා මෙම විෂයට වඩාත් නැඹුරුවීමට හේතුවෙන්නට ඇති. මෙහෙම අසාවට ඇදපු චිත්‍ර චිෂයක් විදියට හදාරන්න පටන් ගත්තහම තමයි තේරුණේ මේක ඉතා පුළුල් විෂයක් බව. එහිදී චිත්‍ර ශිල්පීන්, ශිල්පක්රම, වර්ණ, රේඛා, හැඩතල, වස්තුවිෂය, පරිමාව වැනි ගොඩක් කරුණු ගැන විමසමින් චිත්‍රකරණයේ යෙදුණා. ඕනෑම ක්ෂේත්රයකට පිවිසීමට පෙර එහි මුල අග දැනගෙන සිටීම ඉතාම වැදගත් කියලයි මං හිතන්නේ. එහෙම වුණහම ඒ තුළ ගමන් කිරීමේ දී මුහුණ දීමට සිදුවෙන හොද හෝ නරක යන දෙක ගැනම හොඳ අවබෝධයකින් ඉස්සරහට යන්න පුළුවන් කියන විශ්වාසය මා තුළ තිබෙනවා. චිත්‍ර කලාව කියන්නේ විශ්ව භාෂාවක්. ඒක කවදාවත් ඉගෙනගෙන අවසන් කළ හැකි දෙයක් නෙමෙයි කියන එක මම ව්ශ්වාස කරනවා. දවසින් දවස අලුත්වෙන චිත්‍ර කියන දැවැන්ත විෂයට මා පිවෙසෙන්නේ එහෙමයි.
ඔබගේ සිතුවම්කරණය සඳහා වැඩි වශයෙන් තේමා කරගන්නේ නාගරික වීදි. මෙහි විශේෂත්වය මොකක්ද?
නගරය කියන්නෙ හරිම සක්‍රීය අවකාශයක්. නිතරම වාගේ කාර්යබහුලයි. පවුල් විදිහට කුටුම්බ ගතවෙලා ගෙවල් ඇතුළේ ඉන්න ගොඩක් මිනිස්සු නගරයට එන්නෙ එයාලගේ හීන බලාපොරොත්තු ඉටු කරගන්න පාරවල් හොයාගෙන. නගරයේ විවිධ වීදි ඔස්සේ ගමන් කරමින් තමන්ටම හරියන පාරක් හොයාගන්න දඟලන මිනිස්සුන්ගෙන් පිරුණු තැනක් තමයි නගරය කියන්නේ. විවිධ සිතුවිලි, වර්ණවත් ඇඳුම් පැළඳුම්, විවිධ මාදිලියේ යාන වාහන, විවිධ ප්‍රමාණයේ ගොඩනැගිලි, වීදි ලාම්පු ගස්කොළන් මේ හැමදෙයක් තුළම චිත්‍ර ශිල්පියෙකුට අවශ්‍යය හැම දේම ගැබ්වෙලා තියෙනවා. සෑම තප්පරයකදිම වෙනස්වෙනවා. දුක, සතුට දෝලනයවෙන අරුම පුදුම පරිසරයක් නගරය ඇතුලේ නිර්මාණය වෙනවා. මගේ සිතුවම් තුළ ඒ සතුට දුක වේගය පරිමාව වියුක්ත හැඩ වැඩ්ශයෙන් දකින්න ලැබෙන්නේ ඒ නිසයි. ලංකාවේ විවිධ නගර මෙන්ම විවිද සංස්කෘතික ලක්ෂණවලින් පිරුණු බ්‍රිතාන්‍යයේ ඓතිහාසික නගර සිතුවම් කිරීමට ලැබීම මාගේ ජීවිතයේ සුවිශේෂී අත්දැකීමක් කියල මං හිතනවා. මෙතරම් විශාල අර්ථ පූර්ණ නගරවල යම් කොටසක් මගේ සිතුවම් රාමුව ඇතුළට ගේන්න මා උත්සහ කරන්නෙ ඒ නිසයි. මගේ සිතුවම් තුළින් කවදා හෝ දවසක ඒ නගරවලට යම් ඓතිහාසික වට්නාකමක් ලබා දෙන්නට පුලුවන් නම් එය මගේ වෑයමේ ප්රතිඵලයයි.
ඔබ කැන්වසය මත මිශ්‍ර මාධ්‍යයෙන් අඳීන සිතුවම් සඳහා සතුන් සමඟ මිනිස් ඇසුර පිළිබඳ තේමා කරගනු ලබනවා. මෙම ප්‍රකාශන හරහා ඔබ කියන්නට උත්සාහ දරන්නේ මොකක්ද?
මිනිසා සහ සතුන් අතර සම්බන්ධය වසර දහස් ගනණකට එහා ගිය එකක්. විශේෂයෙන් දඩයම් යුගයේ සිට කෘෂි ආර්ථිකය පදනම් කරගත් සමාජ ක්‍රමය ඔස්සේ වර්තමානය දක්වාම ඒ සම්බන්ධය නොනැසී පවතින්නක්. මිනිසුන් විදිහට අපි හරිම කැමතියි හැමෝමත් සමඟ සහසම්බන්ධව ජීවත් වෙන්න. ජීවිතේ එක එක කාලවලදී එක එක විදිහේ සම්බන්ධතා ඇති කරගන්නවා. එක එක විදිහේ මිනිසුන් චරිත විදිහට අපේ ජීවිතවලට එනවා යනවා. යහළු මිත්‍රයන් විදිහට, අඹුසැමියන් විදිහට, දරුවන් විදිහට, සහෝදරයන් විදිහට, ගුරුවරුන් විදිහට ඒ අය ජීවිතවලට එනව යනවා. ඒත් එක වෙලාවක් එනව අපිට කාත් කවුරුවත්ම නෑ වගේ හැඟෙන මොහොතවල්. කොච්චර මිනිස්සු හිටියත් තනිවෙලා වගේ දැනෙන මොහොතවල්. සමහර වෙලාවට එහෙම වෙලාවල්වල කාටත් වඩා ළඟින්ම ඉන්නෙ අපි හුරතලේට ඇතිකරන සතුන්. එයාල අපිත් සමග කතා නොකළට ගොඩක් දේවල් කියනවා. එයාලගෙ ඇස්වලින්, කන්වලින්, වලිගයෙන් එයාල අපිත් සමග කතාබහ කරනවා. අදහස් බෙදාහදා ගන්නවා. Off වෙලා තිබුණ අපේ ජීවිතේ Powerඑක එයාල ON කරනව. සතුන් සහ මිනිසුන් සම්බන්ධව මා ඇඳපු සිතුවම් මාලාව The Power of Life කියල නම් කලේ ඒ නිසයි. ඉතිං මෙම ප්‍රකාශන හරහා මම උත්සහ දරන්නේ මිනිසුන් සහ සතුන් අතර සම්බන්ධයට කලාත්මක වටිනාකමක් එක් කරන්න.
ඔබ ඇඳී දියසායමි සිතුවම්වල වයනය (texture) සහ වර්ණ තානය (tone) ඔබටම ආවෙිණික වූවක් සහ අනෙක් මාධ්‍යයන්ට වඩා දියසායමි මාධ්‍ය හැසිරවීම මනා ශික්ෂණයකින්, ඉවසීමකින් කළ යුතු දෙයක්. දියසායමි චිත්‍ර ශිල්පියකු ලෙස මේ සම්බන්ධයෙන් දක්වන අදහස මොකක්ද?
ඔව්. දියසායම් සිතුවම්කරණයේ දී ශිල්පියා තුළ මනා සංයමයක් තිබිය යුතුයි. ජලය සහ කඩදාසි එක්ක කරන හරඹයක් නිසාම එය පරිස්සමෙන් කළ යුතු එකක්. ජලය සමඟ වැඩකිරීමේ දී එහි අඩු වැඩිය ගැන අවබෝධය ඉතාම වැදගත්. එය එසේ නොවුණහොත් සිතුවම අවසානයේ අපි බලාපොරොත්තු වූ ප්‍රතිඵලය ලබාගන්නට බැරිවෙන්නට පුළුවන්. නමුත් මගේ සිතුවම්වල ඒ සංයමය දකින්න ලැබෙන්නෙ නැහැ. නාගරික දර්ශන අඳීන නිසා නගරයේ ඇති කලබලකරී ගතිය පෙන්වීම සදහා වේගවත් රේඛා, විසිරුණු තීන්ත, වේගවත් පින්සල් පහරවල් භාවිතා කරනවා. දේදුන්නේ තියනව වගේ වෛවර්ණ කලර් පැලට් එක මගේ සිතුවම් වල දකින්න ලැබෙන්නෙ නැහැ. ගොඩනැගිලි, වාහන, මානව රූප ආදී වස්තූන් අපි දකින ආකරයටම වැඩිය නිර්මාණාත්මකව කඩදාසිය මත ගොඩනැඟීම චිත්‍ර ශිල්පීන්ගේ විශේෂත්වයයි. ජායාරූප ශිල්පීන් හා චිත්‍ර ශිල්පීන් අතර වෙනස එයයි.
ඔබේ සිතුවම්කරණය සඳහා වැඩිපුරම බලපෑ චිත්‍ර ශිල්පීන් කවුද?
මම ප්‍රිය කරන ශිල්පීන් කිහිප දෙනෙක්ම ඉන්නවා. Tomas Pajdlhauser, Ch’ng Kiah Kiean, Martin Lachmair, Prakash Thombre, Albert Kiefer මේ ඒ අතරින් කිහිපයක්. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය හරහා ඔවුන්ගේ නිර්මාණ අධ්‍යයනය කරන්න ලොකු පහසුවක්. තව කෙනෙකුගේ නිර්මාණයක් දැකලා ඒ තුළින් දෙයක් ඉගෙනගෙන තව අලුත් නිර්මාණයක් කරන්න පුළුවන් නම් මං හිතනවා එය තමයි විය යුත්තේ.
ඔබ ඉදිරියේ දී නරඹන්නන් වෙත සිතුවම් සම්බන්ධයෙන් කරන්න ඉන්න ප්‍රදර්ශන සහ කාර්යයන් මොනවද?
ඇත්තටම එංගලන්තයේ ජීවත්වන කාලය තුළදී මට චිත්‍ර ප්‍රදර්ශන කිහිපයකට සම්බන්ධ වන්නට අවස්ථාව හිමි වුණා. ඓතිහාසික ලන්ඩන් නුවර චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වන්නට තිබුණා නම් කියන එක මගේ හීන අතර උඩින්ම තිබුණ එකක්. ඕනෑම චිත්‍ර ශිල්පියෙක් ඒ හීනය දකින්න කැමති ඇති. මගේ සිතුවමක් ඇතුළත් තවත් චිත්‍ර පදර්ශනයක් එළඹෙන ඔක්තෝම්බර් 24, 25, 26 කියන දිනවල ලන්ඩනයේදී පැවත්වීමට නියමිතයි. කණ්ඩායම් ප්‍රදර්ශනයක් ලෙස පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට ලොව වටා ජීවත්වන චිත්‍ර ශිල්පීන් ශිල්පිනියන්ගේ නිර්මාණ මොහෝමයක් අන්තර්ගතයි. එ වගේම විවිධ ස්ථානවලට සංචාරය කරමින් ඒ ස්ථාන සජීවීව සිතුවමට නඟන ආකාරය youtube, face book, instergram, tiktok මාධ්‍යයන් ඔස්සේ මගේ සිතුවම්වලට ප්‍රියකරන අයට දකින්නට පුළුවන් වේවි.
ඔබ දැනටමත් එක්සත් රාජධානියේ චිත්‍ර කලාව අධ්‍යයනය කරමින් ඉන්නේ. නූතන යුරෝපයේ සිතුවම් කලාව සහ ලාංකේය නූතන සිතුවම් කලාව අතර ඔබ දකින වෙනස්කම් මොනවද?
අද වනවිට ලෝකයේ සිතුවම් කලාව ඉතාම දියුණු මට්ටමක පතිනවා. නව තාක්ෂණික ක්‍රම ශිල්ප හරහා ශිල්පීන් දැනුමෙන් මෙන්ම ශිල්ප ක්‍රම අතිනුත් ඉතා ඉහළ මට්ටමක සිටිනවා. අතීතයේ වගේ නෙවෙයි දැන් සමාජ මාධ්‍ය හරහා පහසුවෙන්ම තමන්ගේ නිර්මාණ මිනිසුන් අතර ගෙන යා හැකියි. ලෝකයේ කුමන කෙළවරක සිට වුවද මුලු ලෝකයටම තමන්ගේ නිර්මාණය පෙන්විය හැකි තරමටම තාක්ෂණික දියුණුවක් තිබෙනවා. ලාංකේය සිතුවම් කලාවත් ඒහා සමානවම දියුණු මට්ටමක පැවතීම සතුටට කාරණයක්. නූතන යුරෝපීය සිතුවම්කරණය සහ ලාංකික නූතන සිතුවම්කරණය අතර මා දකින ප්‍රධානම වෙනසකම නම් තරඟකාරිත්වයයි. යුරෝපය කියන්නෙම Art Hub එකක්. යුරෝපය ලෝකය පුරාම විහිදී තිබෙන නිර්මාණ එකට එකතුවෙන තැනක්.
නූතන යුරෝපයේ ශිල්පීන් අතර දැඩි තරගකාරිත්වයක් නිර්මාණය වී තිබෙනවා. කලාගාරයකට අයදුම්පතක් යොමු කළ සැණින් එම කලාගාරයට අපේ සිතුවම් ඇතුළත් කිරීමේ අවස්ථාව හිමිවන්නේ බොහොම කලාතුරකින්. අයදුම්පත් විශාල සංඛ්‍යාවක් අතරින් තේරී පත්වීම ද විශාල ජයග්‍රහණයක් විදිහටයි මා නම් දකින්නේ. අද යුරෝපයේ මෙන්ම ආසියාවේ ද ශිල්පීන් බොහෝමයක් නිර්මාණ සිදු කරන්නේ යම් ආර්ථික වාසියක් බලාපොරොත්තුවෙන්. චිත්‍ර ප්‍රදර්ශන පවා ව්‍යාපාර බවට පත්වී අවසන්. නමුත් යුරෝපයේ ඇතැම් ශිල්පින් සිතුවම්කරණය ව්‍යාපාර මට්ටමෙන් ඔබ්බට ගොස් තමන්ගේ අදහස් හා මතවාද ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් ලෙස භාවිතා කරනු දක්නට ලැබීම සතුටට කාරණයකි. සමස්ථයක් ලෙස ගැනීමේ දී නූතන යුරෝපයේ මෙන්ම නූතන ලංකාවේ ද චිත්‍ර කලාව වාණිජකරණය වී ඇති බව දක්නට ලැබෙන කාරණයකි.
මලින්ත විතානගේ
