Home » මගේ එකම බලාපොරොත්තුව දක්ෂ නළුවෙක් වීම

මගේ එකම බලාපොරොත්තුව දක්ෂ නළුවෙක් වීම

රංගන ශිල්පී සඳුන් හර්ෂණ ලියනගේ

by mavan
October 9, 2025 9:21 am 0 comment

ඔහු කුඩා කල සිටම න්‍යායාත්මක හා ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල නිරත වීමෙන් ලද පන්නරයෙන් නිරූපණ ක්ෂේත්‍රයේ නිරූපණ ශිල්පියකු ලෙස ගමන ඇරඹීය. දක්ෂ ගුරු මඬුල්ලක් යටතේ පෙර පුහුණුවීම කළ ඔහු අන්තර්ජාතික මට්ටමේ උළෙලවල් නියෝජනය කිරීමෙන් ජයක්ග්‍රහනද හිමිකර ගත්තේය. ගාල්ල ඔල්ෂෙන් හා රිච්මන්ඩ් විද්‍යාලයන් හි අධ්‍යාපනය ලබන කල සිටම ඔහු දක්ෂ නිරූපණ ශිල්පියෙක් හා නළුවකුය. උපතින්ම ගෙනා දක්ෂතාවය නිසා ඔහු පාසලේ කැපී පෙනෙන ශිෂ්‍යයෙක් බවට කුඩා කල සිටම පත්වන්නට ඔහුට හැකි විය.අද වේදිකාව, ටෙලි නාට්‍යය, සිනමාව, වෙළඳ දැන්වීම් කලාව කතාබහට ලක්වන චරිතයක් බවට ඔහු පත්ව ඇත. මේ දිනවල සඳුන් හර්ෂණ ලියනගේ ගැන වැඩිම කතාබහට ලක්වන්නේ ප්‍රේක්ෂකයන් අතර සුසුමට පවා රහසින් ටෙලි නාට්‍යය නිසායි. මේ ඔහු සමඟ සරසවිය කළ පිළිසඳරයි.

කලා ගමන කොතනින්ද පටන් ගන්නේ?

මම පාසල් යනකාලේ ඉඳන්ම රඟපාන්න හා සින්දු කියන්න, ෆැෂන් කරන්න කැමතියි. පෙර පාසල් යනවිට හැමදාම උදේට සහ හවසට සින්දු කියනවා පන්තියේ ඉඳන්. ඒ වගේම ඒකට හරි යන්න රඟපාලා ටීචර් ඉස්සරහා මම පෙන්නනවා. විවිධ නාළිකාවල යන නාට්‍ය බලලා මම ගොඩක් ඒ චරිත විදිහට නිරූපණ කරන්න හා රඟපාන්න පුරුදු වුණා. පාසල් කාලයේ මාධ්‍යයේ ඒකකය කටයුතු කිරීම හා විවිධ සමිති සමාගම්වල කටයුතු කරන්නට අවස්ථාව ලැබුණා. පාසල් වේදිකාවේ නිරුපණ ශිල්පියකු හා නාට්‍යය රුසක රඟපාන්නට අවස්ථාව ලැබුණා. ඒ විදිහට තමයි මම රඟපාන්නට එන්නේ.

ගාල්ලේ ඉඳන් කොළඹට එන්නේ ඇයි?

පාසල් අධ්‍යාපනය නිමවීමත් සමඟ කලා ක්ෂේත්‍රයට තිබෙන ආශාව නිසාම 2014 වසරේ කොළඹට පැමිණෙනවා. ඒ කලා ක්ෂේත්‍රයේ ප්‍රගුණ කිරිමත් බ්‍රිතාන්‍ය කවුන්සලය මඟින් කරනු ලබන ඉංග්‍රීසි පාඨමාලාවක් හැදෑරීම මූලික කරගෙනයි.

ඉංග්‍රීසි පාඨමාලාව කරන අතරතුරේ නිග් ජයමහා සිංහල සංස්කෘතික මධ්‍යස්ථානය සුදර්ශිය පවත්වාගෙන ගිය නිරූපණ පාඨමාලාවක් සඳහා ඇතුළත් වී එහි පාඨමාලාව නිම කරනවා. මේ කාල වකවානුවේදිම සුගත් සමරකෝන් සහ මහේන්ද්‍ර පෙරේරාගේ රංගන පාඨමාලාවද සුදර්ශයේදී හදාරන්ට අවස්ථාව ලැබෙනවා. මගේ ජීවිතේ මම ගොඩක් බලාපොරොත්තු තියාගෙන තමයි කොළඹට පා තැබුවේ. ඒ ආපු ගමන මට අද සතුටු වෙන්න පුළුවන් පරිසරයක් මම නිර්මාණය කර ගත්තා.

මේ දවස්වල ගොඩක් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා නේද ?

මේ දවස්වල සිරස නාළිකාවෙන් විකාශන වන ‘සුසුමට පවා රහසින්’ ටෙලි නාට්‍යය නිසා කවුරුත් මට ආදරේ කරනවා. මගේ මිත්‍රයන් ඇතුළු සියලු දෙනාම ඒ කරන චරිතයට සාධාරණයක් කරනවා කියලා පවසනවා. එනිසා මේ දවස්වල සතුටක් තියෙන්නේ.

මේ වනවිට මොනාද රඟපාලා තියෙන්නේ?

මගේ මුල්ම සිනමා නිර්මාණය වන්නේ සුදත් සමරකෝන්ගේ අපේ කාලයේ පටාචාරායි .එහි මානසික රෝගියෙකුගේ චරිතයයි මම නිරූපණය කරන්නේ. ඉන්පසු ආදරණීය කතාවක් මගේ දෙවැනි සිනමා නිර්මාණය වන්නේ. ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා නිර්මාණය වන සැඟවුණු නගරයේ නගර නිර්මාණකරුවකුගේ චරිතය මම එහි නිරූපණය කරනවා. පෝය නාට්‍යය කිහිපයක චරිත නිරුපණය කරන්නට ලැබේනවා. ඉන් පසු සුගලා දේවිය ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙනවා උප ප්‍රධාන චරිතයකට ඇමතිවරයකු ලෙස. ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ ටෙලිනාට්‍යයක් වන රුයිත හතරක් සමග සිරස නාලිකාවේ විකාශය වන සුසුමට පවා රහසින්, සහ දිසාපාමොක් ඇතුළු වේදිකා නාට්‍ය තුනක් හතරක් සම්බන්ධ වී සිටිනවා. ලක්මාල් ධර්මරත්න ගේ කුඹියෝ ටෙලිනාට්‍යයේ සහය නිෂ්පාදක කළමණාකරු ලෙස කටයුතු කරන්නට මට අවස්ථාව ලැබුණා. දසුන් සුරංගගේ සහ දිනෙස් සුභසිංහගේ මියුසික් විඩියෝ කිහිපයකටද රංගනයෙන් දායක වුණා. අලුත් සිනමාපට කිහිපයක රඟපාන්න කතා කරලා තියෙනවා.මීට අමතරව විවිධ වෙළඳ දැන්වීම් වල මම රඟපාලා තිබෙනවා.

අලුත් නිර්මාණවලට ආරාධනා ලැබෙනවාද?

ඔව් මේ වන විටත් සිනමාපට තුන හතරකට රඟපාන්න කතා කරලා තියෙනවා. ඒ වගේම ටෙලි නාට්‍යය කිහිපයකටත් මේවන විට කතා කළා. මේ වන විටත් නිර්මාණ කිහිපයකම රූගත කිරීම් අවසන් කරලයි තියෙන්නේ. හැබැයි තාම විකාශය වුණේ නැහැ. බොහෝ විට මේ මාසේ අන්තිමට හරි ඊළඟ මාසයේ මුල හරි විකාශය වෙයි. ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ නවතම සිනමාපටය සැඟවුණු නගරය ලබන වසරේ තිරගත වීමට නියමිතයි.

හර්ෂණ ටෙලි නාට්‍ය වේදිකාව සහ සිනමාව යන අංශ වලින් වැඩිපුරම කැමති?

මම තුනටම කැමතියි. මොකද තුනේම රඟපන ආකාර එකිනෙකට වෙනස්. මේ තුනේම රඟපානවා කියන එක ලේසි නෑ. ඒ නිසා ඉගෙනගන්න ඕනේ හොඳට රඟපාන්න මේ තුනේම. නළුවෙක් නම් ගායකයෙක් නම් ඕනෑම තැනක තමන්ගේ දක්ෂතාවය පෙන්නන්න පුළුවන් වෙන්න ඕන. ඒ නිසා මගේ අරමුණත් ඒකයි. ඊට අමතරව මම නිරූපණ ක්ෂේත්‍රයේ දිගු කාලයක් රැඳී සිටින නිරූපණ ශිල්පියෙක් ලෙස කටයුතු කරනවා.

වැඩපුරම රඟපාන්න කැමති මොන වගේ චරිතද?

එහෙම කියල විශේෂ චරිතයක් නැහැ.ඕනෑම චරිතයක් මම කරන්න කැමතියි. යම් අධ්‍යක්ෂවරයකු මාව චරිතයකට තෝරා ගත් පසුව ඒ දෙන චරිතය මම සතුටින් බාරගෙන රඟපානවා. නළුවෙක්ගේ කාර්යභාරය වෙන්නේ ඕනෑම චරිතයක් කරන්න පුළුවන් වෙන්න එකයි.

මේ වන විට පැජෙන්ට් කීයකට සහභාගි වෙලා තියෙනවද?

දැනට අවුරුදු දහයක් තිස්සේ මම නිරූපණ ක්ෂේත්‍රයෙන් රූපණ ශිල්පියෙකු ලෙස කටයුතු කරනවා.ඒ හරහා තමයි මම පැජෙන්ට් කිහිපයකටම සහභාගි වුණේ. 2023 වර්ෂයේ පිලිපීනයේ පැවැති මිස්ටර් වර්ල්ඩ් නෝබල් කින් කියන පැජෙන්ට් එක නියෝජනය කළේ ලංකාවේන් මමයි. එහිදී එම්බසිඩර් නම් ටයිටල් එක මට ජයග්‍රහණය කරන්නට ලැබුණා. ඉදිරියේදී තව පැජෙන්ට් කිහිපයකටම යන්නට සූදානමින් සිටින්නේ.

රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට නළු ජීවිතයෙන් පමණක් ජිවත්වන් පුළුවන්ද?

ලෝකයේ අනිත් රටවල් එක්ක සංසන්දනය කරපුවාම ලංකාවෙ වැනි රටකට නළු වෘත්තියෙන් පමණක් ජීවත් වෙන්න අමාරුයි.අනිත් රටවල් වල වෘත්තියක් හැටියට සිනමාව සහ නාට්‍ය කලාව වේදිකාව, වෙළඳ දැන්වීම් කලාව, පවත්වාගෙන යනවා. මේ තුළ ඔවුන් සෑම මොහොතකම සුරක්ෂිත භාවයකින් සිටින්නේ. ඒත් ලංකාව වැනි රටක සුරක්ෂිතභාවයක් දකින පේන තෙක් මානයකවත් නෑ. ඒ නිසා රංගන ශිල්පියකු හෝ ශිල්පිනියක මාසික ආදායමක් ලැබෙන කුමන හෝ රැකියාවක හෝ ව්‍යාපාරයක් කළ යුතු වෙනවා.මම මගේ දෙවැනි වෘත්තිය හැටියට රංගනය කරන්නේ. මම මේවන විට වෙළඳ දැන්වීම් ආයතනයක රැකියාවේ නිරත වෙනවා. රැකියාව කරන අතරතුර තමයි මම යම් නිර්මාණයකට දායකත්වය ලබා දෙන්නේ.

අද කලා ක්ෂේත්‍රයේ මොනවාගේ වාතාවරණයක් ද දක්නට ලැබෙන්නේ?

වේදිකාව ටෙලිනාට්‍ය සිනමාව යන ත්‍රිත්වය තුළම අඩු වැඩි නැතුව නිර්මාණ බිහිවෙනවා. ඒත් වැඩි පිරිසක් ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුමෙන් තොර ශිල්පීන් තමයි සිටින්නේ. බාහිර ස්වරූපය තුළ නිර්මාණවලට ශිල්පීන් දායක කර ගැනීම අද දක්නට ලැබෙන විශේෂ දෙයක්.එනිසා දක්ෂ හැකියාවන් තිබෙන තරුණ තරුණියන් එළියේ සිටිනවා ඔවුන්ට නිර්මාණ වලට දායක වෙන්නට අවස්ථාවක් නැතුව. ක්ෂේත්‍රයට අවතීර්ණ වන කිසිවෙකුට නියම නාට්‍ය හා රංග කලාව පිළිබඳ වෘත්තීමය ස්වභාවයෙන් සහ ගුණාත්මක බවින් යුතු අධ්‍යාපනයක් ලබාගන්නට අපිට පාසලක් නොමැතිකම අද සියලු දෙනාගේම කතාබහට ලක්වෙන ප්‍රශ්නයක් බවට පත්වෙලයි තිබෙන්නේ. ක්ෂේත්‍රයේ පවතින මූලික ප්‍රශ්නවලට හරි විසඳුම් ටික ලැබෙනවා නම් අපිට හොඳ ගමනක් යන්න පුළුවන් කියලා හිතනවා.

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

මගේ බිරිදගෙන්ද මේ සැමවැඩ කටයුත්තකටම හොඳ සහයෝගය ලැබෙනවා. පවුලේ සියලු දෙනාගෙන්ද සහයෝගය ලැබෙනවා. මම රඟපාන ඒවා බලල මගේ අම්මා, තාත්තා ඇතුළු මගේ සියලු හිතෛෂීන් විචාරකයන් බවට පත්වෙලා සිටින්නේ. ඒ ලැබෙන විචාරය තමයි මගේ කලා දිවියේ ඉදිරි ගමනට පිටුවහලක් කරගන්නේ.

ජීවිතේ ඉදිරි බලාපොරොත්තුවක් තියෙනවාද?

නළුවෙකුගේ කාර්යභාරය මැනවින් වටහාගෙන ඉන්න මට සමාජයට හොඳ පණිවිඩයක් දෙන්න පුළුවන් චරිත කිරීම තමයි මගේ එකම අරමුණ වෙන්නේ. ඊට අමතරව නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න අදහසක් තිබෙනවා. ජීවත්වන කෙටි කාලයේ හැමෝමත් එක්කම සතුටින් ඉන්න එක තමයි මගේ බලාපොරොත්තුව. රංගනය පිළිබඳ හොඳට ඉගෙනගෙන හොඳ දක්ෂ නළුවෙක් වෙන්න තමයි මගේ එකම බලාපොරොත්තු වෙන්නේ.

සටහන සහ සේයාරූ නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT