රාජේෂ් ඛන්නා යනු ඉන්දියානු බොලිවුඩ් සිනමා කර්මාන්තය තුළ රංගන ශිල්පියෙකු , නිෂ්පාදකයෙකු මෙන්ම සම්මානලාභියෙකු ද වූ විශිෂ්ට කලාකරුවෙකි.ඔහුට 2008 වසරේ දී “දාදා සහේබ් පාල්කේ පුරාවෘත්ත ස්වර්ණමය නළු සම්මානය” සහ 2009 ජුනි 13 වන දින ” ධ්ධ්ජ්ඒ 2009 ජීවිත කාලීන ජයග්‍රහණ සම්මානය” ඔහු වෙත පිරිනැමිණ. ඔහු තම සිනමා ජීවිතය තුළ ජාතික හා ජාත්‍යන්තර සම්මාන රාශියක් දිනා ඇති අතර ෆිල්ම් ෆෙයාර් සම්මාන උලෙළේ හොඳම නළුවාට හිමි සම්මානය තුන් වතාවක් දිනා ගත් අතර එම සම්මානය සඳහාම 14 වතාවක් නම් කෙරිණ. එමෙන්ම ඔහු හොඳම නළුවාට හිමි සමස්ත ඉන්දීය විචාරක සම්මානය 7 වතාවක් ලබා ගත් අතර එම සම්මානය සඳහාම 10 වතාවක් නම් කෙරිණ. රාජේෂ් තම සිනමා ජීවිතය තුළ චිත්‍රපට 180 කට වඩා නිර්මාණය කළ අතර ඉන් 168 ක් වෘත්තාන්ත චිත්‍රපට සහ 12 ක් කෙටි චිත්‍රපටයි. ඔහු රඟපෑ මුළු සිනමාපටවලින් ප්ලැටිනම් ජුබිලි 48 ක් ද, ස්වර්ණමය ජුබිලි 26 ක් ද, රිදී ජුබිලි 22 ක් ද, සාමාන්‍ය ජනප්‍රිය චිත්‍රපට 9 ක් ද ජයග්‍රහණ ලැබීය. කාකා, ෂෙසාඩා, “අම්”(ආර්.කේ) යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වන ඔහු, පළමු වරට නිල වශයෙන් ඉන්දියානු චිත්‍රපට කර්මාන්තයේ “සුපිරි තරුව” ලෙස ද හඳුන්වනු ලැබීය.එදා ඔහු වසර 7 ක් (1969-1976) සුපිරි තරුව ලෙස වැජඹිණි.
2012 වසරේ දී ඔහුගේ මරණින් පසුව ඉන්දියාවේ තුන්වන ඉහළම සිවිල් සම්මානය වන පද්ම භූෂණ සම්මානය පිරිනැමිණ.
ළමා අවධිය
පන්ජාබි ජාතික ජටින් ඛන්නා(රාජේෂ් ඛන්නා) 1942 දෙසැම්බර් 29 වන දින අම්රිත්සර් හි ඛත්‍රි පවුලක උපත ලැබීය. ඔහුගේ ජීව විද්‍යාත්මක දෙමාපියන් වූයේ ලාලා හිරනන්ද් ඛන්නා සහ චන්ද්‍රානි ඛන්නා ය. නමුත් ඔහුව හදා වඩා ගනු ලැබුවේ ඔහුගේ දෙමව්පියන්ගේ ඥාතීන් වන චුන්නිලාල් ඛන්නා සහ ලීලාවතී ඛන්නා විසිනි.ඔවුන්ට රාජේෂ්ව හදාවඩා ගැනීමට පෙර දියණියන් තිදෙනෙකු සිටියහ.ඔහුව හදාගත් පියා 1935 දී ලාහෝර් සිට මුම්බායි වෙත සංක්‍රමණය වන දුම්රිය කොන්ත්‍රාත්කරුවෙකි. ඔහු මුම්බායේ තකුර්ද්වාර් හි සරස්වතී නිවෙස් හි ජීවත් විය. ඔහු(රාජේෂ්) රවි කපූර් (පසුව ජීතේන්ද්‍ර ලෙස හැඳීන්විණි) සමඟ මුම්බායි හි ශාන්ත සෙබස්තියන් ගෝන් උසස් පාසැලේ අධ්‍යාපනය ලැබීය. ඔහු පූනේ නව්රෝස්ජී වාඩියා විද්‍යාලයෙන් කලා උපාධිය ලබා ගත් අතර ඉන් පසුව ඔහු මුම්බායි හි කේ.සී. (කිෂින්චන්ද් චෙල්ලාරම්) විද්‍යාලයට සම්බන්ධ විය. පාසල් වේදිකාවේ බොහෝ අවස්ථාවල ඔහු රංගනයෙන් දායක වූ අතර අන්තර් විද්‍යාල නාට්‍ය තරඟවලදී බොහෝ ත්‍යාග දිනා ගත්තේය. ඔහුගේ මාමා වන කේ.කේ. තල්වාර් චිත්‍රපටවලට සම්බන්ධ වීමෙන් පසු ඔහුගේ නම ” ජටින් ඛන්නා” වෙනුවට “රාජේෂ් ඛන්නා” ලෙස වෙනස් කළේය. ඔහුගේ මිතුරන් බොහෝ විට ඔහුව හැඳීන්වූයේ “කාකා” යනුවෙනි.
පෞද්ගලික ජීවිතය
1960 දශකයේ අගභාගයේදී, අංජු මහේන්ද්‍රු සමඟ පෙම් සබඳතාවක් ඔහු පැවැත්වීය. නමුත් අංජු ඔහු සමඟ විවාහ වීම ප්‍රතික්ෂේප කළ අතර ඔහු ඇය සමඟ විවාහ වීමට කැමති විය. එහෙත් 1970 දශකයේ මුල් භාගයේදී ඔවුහු වසර 7ක පෙම් සබඳතාවයෙන් වෙන් වූහ. ඉන්පසු ඔහු නවක නිළියක් මෙන්ම ඔහුගේ රසිකාවක් වන 16 හැවිරිදි ගුජරාටි ජාතික ඩිම්පල් කපාඩියා සමඟ 1973 මාර්තු මාසයේදී විවාහ විය.ඉන් අනතුරුව ඇයගේ මංගල චිත්‍රපටය වන “බොබී” 1973 නොවැම්බර් මාසයේදී නිකුත් විණි.
ඇයගේ වැඩිමහල් සහෝදරිය වන සිම්පල් කපාඩියා(දැන් ජීවතුන් අතර නොමැති) වෘත්තියෙන් රංගන ශිල්පිනියක් මෙන්ම ඇදුම් නිර්මාණ ශිල්පිනියක් ලෙස ද කටයුතු කර ඇති අතර ඇයගේ බාල සහෝදරිය වන රීම් කපාඩියා( නිදි පෙති අධික මාත්‍රාවලින් ලබා ගැනීම නිසා තරුණ වයසේදීම ජීවිතයෙන් සමුගත්තා) ද ඉන්දියානු ඇඳුම් නිර්මාණ ශිල්පිනියක් සහ නිළියක් ලෙස සිය වෘත්තීය ජීවීතය පවත්වා ගෙන ඇත.
රාජේෂ් සහ ඩිම්පල් කපාඩියා 1982 දී වෙන් වූ නමුත් ඔවුන් දික්කසාද වූයේ නැත. ඔහුගේ දිනචර්යාව නිසා ඔහුව බොහෝ කාලයක් ඇයගෙන් ඈත් කිරීමට හේතු විය. ඉන්පසු ඇය රංගනය වෘත්තියක් ලෙස කරගෙන යාමට කැමැත්තක් දැක්වූවාය. විවාහ දිවියෙන් වෙන්වීමෙන් පසු, ඔහු සමඟ චිත්‍රපට 11 ක් රඟපෑ ටීනා මුනිම් ඔහුට ආදරය දැක්වූ අතර ඔහු සමඟ විවාහ වීමට කැමති විය. නමුත් රාජේෂ් ඔහුගේ දියණියන් වෙනුවෙන් ඇගේ යෝජනාව ප්‍රතික්ෂේප කළේය. වසර කිහිපයක වෙන්වීමෙන් පසු, කපාඩියා සහ ඔහු අතර සම්බන්ධතාවය නැවත වරක් මල් ඵල ගැන්වූ අතර එය සමීප මිතුරන්ගේ සම්බන්ධතාවයක් ලෙස පැවතිණි. ඔවුන්ගේ වැඩිමහල් දියණිය ට්වින්කල් ඛන්නා, අභ්‍යන්තර අලංකරණ ශිල්පිනියක් මෙන්ම හිටපු හින්දි චිත්‍රපට නිළියක් ද වේ. ඇය බොලිවුඩයේ ජනප්‍රිය නළුවකු වන අක්ෂේ කුමාර් සමඟ විවාහ වී සිටියි.ඔවුන් දෙපළට ආරව් කුමාර් භාටියා නමින් පුතෙක් ද නිතාරා කුමාර් භාටියා නමින් දුවෙක් ද සිටී.
රාජේෂ්ගේ බාල දියණිය වන රින්කේ ඛන්නා, ඉන්දියානු නිළියක් ද වේ. ව්‍යවසායකයෙකු වන සමීර් සරන් සමඟ ඇය විවාහ වී සිටී. ඔවුන්ට නයෝමිකා සරන් නමින් දියණියක් ද ඒවගේම පුතෙකුද සිටී.
පසුකාලීනව ඩිම්පල් සමඟ ඔහුගේ විරසකය මධ්‍යයේ, රාජේෂ් 2004 වසරේ දී කෙටිකාලීන රංගන ශිල්පිනියෙකු වූ අනිටා අද්වානි සමඟ ජීවත් වීමට පටන් ගත් බව වාර්තා වන අතර, ඇයට අනුව, ඔහු 2012 වසරේ දී මිය යන තෙක් ඔවුන් එකට සිටියහ.
මුල් සාර්ථකත්වය (1966–1974)
රාජේෂ් ඛන්නාගේ චිත්‍රපට ජීවිතය ආරම්භ වූයේ 1965 දී යුනයිටඩ් නිෂ්පාදකයින්ගේ සමස්ත ඉන්දීය කුසලතා තරඟය ජයග්‍රහණය කර තරඟකරුවන් 10000 ක් අබිබවා පළමු ස්ථානයට පත්වීමත් සමඟය. ඔහු 1966 වසරේ දී “ආක්රි ඛාට්” චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි අතර, පසුව “රාස්” චිත්‍රපටයේ වීරවරිය වූ බබිතා සමඟ රඟපෑ නමුත් ඒ දෙකම විශාල සාර්ථකත්වයක් අත්කර ගත්තේ නැත. ඔහු ඊළඟට රඟපෑ ” බහරොන් කේ සප්නේ” සිනමාපටය තුළින් කැපී පෙනෙන රංගනයක් දක්නට ලැබිණි. ඉන්පසු ඔහු රඟපෑ ඕරත් (1967), ඛමෝෂි සහ ආරාධනා (1969) වැනි සිනමාපට බොක්ස් ඔෆිස් වාර්තා තැබීය.1969 වසරේ දී ඔහු ආරාධනා චිත්‍රපටයේ රඟපෑමෙන් පසුව සුපිරි තරුවක් බවට පත් විය. එදා ඔහු අංක 1 තරුව බවට පත් වූ අතර ජාතියේ උන්මාදය බවට පත්විය.නමුත් අමිතාබ් බච්චන් සාර්ථක තරුවක් ලෙස නැගී ඒමත් සමඟ (1977-1991) සුපිරි තරුව යන නාමය රාජේෂ්ට අභියෝගයක් විය.
වසර 3 ක් තුළ (1969-1971) ඒක පුද්ගල ජනප්‍රිය චිත්‍රපට 17 ක් නිර්මාණය කර ඔහු ලෝක වාර්තාවක් තැබීය.
ජනප්‍රිය ප්‍රධාන චරිතයක් ලෙස ස්ථාපිත වූ ඔහු බොහෝ ආදර නිර්මාණ සහ සමාජීය චිත්‍රපටවල පෙනී සිටි අතර, බොහෝ විට ෂර්මිලා තාගෝර්, මුම්ටාස්, හේමා මාලිනී සහ ආශා ෆරේක් වැනි නිළියන් සමඟ රංගනයෙන් දායක විය. ඔහු සිය වෘත්තීය ජීවිතයේ දී ඉතා ජනප්‍රිය තත්ත්වයට පැමිණි අවස්ථාවේ ඔහුට මැර ප්‍රහාර එල්ල විය. එදා රසිකයන් ඔහුගේ මෝටර් රථය සිප ගත් විට එය ලිප්ස්ටික් සලකුණු වලින් වැසී තිබූ අතර ඔවුහු පාරේ පෙළ ගැසී ඔහුගේ නමට ප්‍රශංසා කළහ. එකල රසිකාවන් තමන්ගේම රුධිරයෙන් ලියා ඇති ලිපි ඔහුට යැවීය. ඔහුගේ දෙබස් ඉදිරිපත් කිරීම විශේෂයෙන් කැපී පෙනුණ අතර ඔහුගේ ඇවිදීමේ සහ කතා කිරීමේ ආකාරය බොහෝ මිනිසුන්ව උමතු කිරීමට සමත් විය.
1970 ගණන්වලදී කිෂෝර් කුමාර් විසින් ගායනා කරන ලද ජනප්‍රිය ගීත කිහිපයක්ම රාජේෂ් පාදක කරගත් ඒවා වූ අතර ඒවායින් බොහොමයක් සංගීතය රචනා කරන ලද්දේ ආර්.ඩී. බර්මන් විසිනි. ඔහු 1969 සිට 1971 දක්වා ජනප්‍රිය චිත්‍රපට රාශියක රඟපෑවේය. එම චිත්‍රපට නම් ආරාධනා (1969), දෝ-රාස්තේ (1969),
බන්ධන් (1969), ඩොලි (1969), සච්චා ජූටා (1970), කටි පතං (1970), ආන් මිලෝ සජ්නා (1970), සෆර් (1970), ද ට්‍රේන් (1970), හාති මේරේ සාති (1971), දුෂ්මන් (1971), මර්යාදා (1971), අන්දාස්(1971) සහ අමර් ප්‍රේම් (1971).
ඔහු අප්නා දේශ් (1972), දාග් (1973), නාමක් හරාම් (1973), ප්‍රේම් නගර් (1974), ආප් කි කසම් (1974) සහ රොටි (1974) යන චිත්‍රපටවලට රිදී ජුබිලි ජයග්‍රහණ දිගටම ලබා ගත්තේය. නමුත් 70 දශකයේ මැද භාගයේදී (1976-78) ඔහුගේ චිත්‍රපටවල බොක්ස් ඔෆිස් ප්‍රතිඵල අඩු වීමට පටන් ගත්තේය.
පසුකාලීන වෘත්තීය ජීවිතය
1976 න් පසු, රාජේෂ්ට “ආයිනා” සහ “මෙහබූබා” ඇතුළු සිනමාපටවලින් බොක්ස් ඔෆිස් අසාර්ථකත්ව මාලාවක් පැන නැගුණි. හැත්තෑව දශකයේ අග භාගයේ මාධ්‍ය වාර්තාවලින් පෙනී ගියේ ඔහුගේ සාර්ථකත්වය ඔහුව උදාසීන කිරීමට හේතු වූ බවත්, බොහෝ විට රූගත කිරීම් සඳහා ප්‍රමාද වී පැමිණ කෝපයට පත් වූ බවත්, ඔහුගේ රූගත කිරීම් සඳහා ඔහු සමඟ උපහාසාත්මක පිරිසක් පැමිණීමට හේතු වූ බවත්ය. මෙම හැසිරීම 1970 දශකයේ අගභාගයේ සහ 1980 දශකයේ මුල් භාගයේදී ආදර සහ සමාජීය චිත්‍රපටවලින් ක්‍රියාදාම-නැඹුරු බහු-තරු චිත්‍රපට දක්වා වෙනස් වූ ප්‍රවණතාවය මත බොක්ස් ඔෆිස් ශ්‍රේණිගත කිරීම් අනුව රාජේෂ්ගේ වෘත්තීය ජීවිතය පහත වැටීමට හේතු විය. අමර්දීප්, තෝඩි සී බෙවාෆයි, ඩාර්ඩ්, ධන්වාන්, අවතාර්, අගාර් තුම් නා හෝටේ, සවුටන්, යනාදී (1979 සිට) සිනමාපට තුළින් විවේචනාත්මකව පැසසුමට ලක් වූ බොක්ස් ඔෆිස් ජයග්‍රහණ හරහා රාජේෂ් වැඩි සාර්ථකත්වයක් අත්කර ගත්තේය.
ඔහු කුද්‍රත්, රාජ්පූත්, ධරම් ඕර් කනූන්, අශාන්ති වැනි ප්‍රධාන චරිත නිරූපණය කළ බහු තරු චිත්‍රපට කිහිපයකම රඟපෑවේය. ඔහු ආර්.ඩී. බර්මන් සහ කිෂෝර් කුමාර් සමඟ ඉතා සමීප සම්බන්ධතාවයක් පැවැත්වීය. විශිෂ්ට ක්‍රියාකාරී සම්බන්ධතාවයක් තිබූ මෙම තිදෙනා ඉතා සමීප මිතුරන් වූ අතර චිත්‍රපට තිහකට වැඩි ගණනක එක්ව වැඩ කර ඇත. ඔහුගේ බොහෝ චිත්‍රපටවල නළු නිළියන් කිහිප දෙනෙකු සිටි අතර සුජිත් කුමාර්, ප්‍රේම් චොප්රා, මදන් පූරි, අස්රානි, බින්දු, විජේ අරෝරා සහ ඒ.කේ. හන්ගල් ඇතුළත් වූ අතර ඔවුන් අසූව දශකයේ අග භාගය වන තෙක් ඔහුගේ “කණ්ඩායමේ” කොටසක් ලෙස සිටියහ. අනූව දශකයේ මුල් භාගයේදී, චිත්‍රපට ඇරයුම් ඔහු ප්‍රතික්ෂේප කිරීමට පටන් ගත් අතර දේශපාලනයට පිවිසියේය. ඔහු 1991 සිට 1996 දක්වා නවදිල්ලි මැතිවරණ කොට්ඨාසයේ කොංග්‍රස් පක්ෂය වෙනුවෙන් මන්ත්‍රීවරයෙකු ලෙස සේවය කළේය.ඔහු 1992 වසරේ දී නවදිල්ලි ආසනයෙන් ලෝක් සභා මැතිවරණය ජයග්‍රහණය කර ඡන්ද 25000 කින් ශතෘඝ්‍රාන් සිංහා පරාජය කර වසර 4ක් මන්ත්‍රීවරයක් ලෙස සිටියේය.එම කාලය තුළ ඔහු නැවත රංගනයට පිවිසියේ “කුඩයි” (1994) හි පෙනී සිටිමිනි. ඉන්පසු ඔහු “ආ අබ් ලවුට් චලෙන්” (1999) සහ ක්‍යා දිල් නේ කහා (2002) හි එන්.ආර්.අයි. ලෙස නැවත පැමිණියේය. 2007 සැප්තැම්බර් මාසයේදී, ඔහු විශාල තිරයට නැවත පැමිණීමට සැලසුම් කර ඇති බව නිල වශයෙන් නිවේදනය කළේය. සමහර රූපවාහිනී කතා මාලා ඇතුළු නව චිත්‍රපට කිහිපයක් සඳහා ද ගිවිසුමක් අත්සන් කළේය. රාජේෂ් සෑම මවකගේම පුතෙකු, සෑම සහෝදරියකගේම සහෝදරයෙකු සහ සෑම ගැහැනු ළමයෙකුගේම කඩවසම් පෙම්වතා විය.
මරණය
රාජේෂ් පිළිකා රෝගයෙන් පෙළුණි. ඔහුව මුලින්ම 2012 වසරේ ජුනි 23 වන දින මුම්බායි හි ලීලාවතී රෝහලට ඇතුළත් කරන ලද අතර ජූලි 8 වන දින රෝහලෙන් පිටව ගියේය. පසුව ඔහු ජූලි 14 වන දින නැවත රෝහලට ඇතුළත් කරන ලද නමුත් ජූලි 16 වන දින ඔහුගේ නිවසේදී මිය යාමට අවශ්‍ය බැවින් රෝහලෙන් පිටව ගියේය. ඔහු 2012 ජූලි 18 වන දින ඔහුගේ බංගලාව වන ” ආශිර්වාද් ” හිදී මිය ගියේය. ඔහුගේ අවමංගල්‍යය ජූලි 19 වන දින සිදු වූ අතර එයට ඉන්දියාවේ සහ විදේශ රටවල රසිකයන් ලක්ෂ 9 ක් පමණ සහභාගී විය.එදා ඔහුගේ පවුලේ සාමාජිකයන් ඇතුළුව තවත් බොහෝ අය මෙම අවමගුල් උත්සවයට සහභාගී වූහ. ඔහුගේ මුනුපුරා “ආරව්” සහ බෑනා වූ අක්ෂේ කුමාර්ගේ සහාය ඇතිව ඔහුගේ චිතකයට ගිනි දැල්වීය. ඔහුගේ අළු 2012 ජූලි 25 වන දින ඔහුගේ බිරිඳ ඩිම්පල් සහ ඔහුගේ බාල දියණිය රින්කි විසින් හරිද්වාර් හි ගංගා නදියේ ගිල්වන ලදී.
රාජේෂ් ඛන්නා තම මිතුරන්ට සහ රසිකයින්ට තමා කෙරෙහි දැක්වූ ආදරයට ස්තූති පූර්වක වූ අතර ඔහු පිටුපස කිසිදු ගෝඩ් ෆාදර්වරයෙකු නොමැතිව සාර්ථක නළුවෙකු වූ බව අවසාන වශයෙන් සඳහන් කර ඇත.
වසුන්දරා කුමාරී ධර්මරත්න
