Home » පින්සල මැනවින් හැසිරවීම භාවනාවේ ඉහළ ඵලයක් අත්කර ගැනීමක්

පින්සල මැනවින් හැසිරවීම භාවනාවේ ඉහළ ඵලයක් අත්කර ගැනීමක්

- චිත්‍ර ශිල්පිනී උපාධ්‍යා නිර්මාණි

by mavan
January 29, 2026 2:14 pm 0 comment

චිත‍‍්‍ර කලාව යනු මානව වර්ගයා තමා සමඟම ආරම්භ කළ පැරණිතම සංවාදයයි. කැන්වසය මත ඇඳෙන වර්ණ, රේඛා සහ හැඩතල හුදෙක් හැඟීම් ප්‍රකාශනයකි. චිත්‍ර ශිල්පිනියක ලෙස උපාධ්‍යා නිරිමාණි ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ උසස් පෙළ ගණිත අංශයෙන් හදාරා වර්තමානයේ යාපනය විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා (computer science) උපාධියක් හදාරමින් සිටියි. ඇය චිත්‍ර කලාව පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කරමින් සිටින අතර ‘ඕපභඵඩ Brush Strokes’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයක් ද පවත්වා තිබේ. මෙවර සරසවිය කලාපයේ ඉඩ හසර වෙන්වෙන්නේ චිත්‍ර ශිල්පිණි උපාධ්‍යා නිර්මාණි සමඟ සිදු කළ කතාබහ සමඟිනි.

චිත්‍ර ශිල්පිනියක ලෙස ඔ⁣බ නිර්මාණකරණයේ යෙදෙන්න පසුබිම සහ ආරම්භය මොකක්ද?

මම පොඩි කාලෙ ඉඳන්ම චිත්‍ර ඇන්දා. ඒ කාලෙ කොළ කෑලිවල, බිම, බිත්තිවල චිත්‍ර ඇඳලා තිබුණා. ඒ චිත්‍ර වල විශේෂත්වයක් දැක්ක නිසා තාත්තා ඒවවල පවා පින්තූර අරන් තිබුණා. පොඩි කාලෙ ඉඳන් ම මම චිත්‍ර තරඟවලටත් ඇන්දා. ඒ තිබුණු තරඟ හැම එකකටම වගේ අඳීන්න උනන්දු කරේ තාත්තායි, අම්මයි. ඒවාවලින් සමස්ත ලංකා, පළාත් ජයග්‍රහණ ගොඩක් ලැබුණා වගේම මට මුල්ම සමස්ත ලංකා ජයග්‍රහණය ලැබුණේ අවුරුදු 6 දී. ඒ කාලෙ ඉඳන් තාමත් මම චිත්‍ර තරඟවලට අඳීනවා. මට චිත්‍ර ඇඳීමට සහජ දක්ෂතාවක් තියෙනවා. ඒක මට මගේ පවුලෙන් උරුම වූ දෙයක්.

ඔබේ සිතුවම්වල කැපී පෙනෙන ලක්ෂණයක් තමයි ඇත්ත ඇති සැටියෙන් පවතින දේ ඒ විදියටම අඳීන්න උත්සහ කිරීම. මේ පිළිබඳව යමක් කියන්න පුළුවන්ද?

මම ගොඩාක් කැමතියි live drawing කරන්න. ඒක ගොඩක් සංයමයකින් කළ යුතු දෙයක්. Live drawing කරන විට ඒ තියෙන වර්ණ, ආලෝකය වැනිදේ ඒ අයුරින්ම අපි අපේ සිතුවම් තුළ ප්‍රතිනිර්මාණය කළ යුතුයි. ඒක දුෂ්කර කාර්‍යයක්. එමෙන්ම අභියෝගයක්. හැබැයි නිර්මාණය සාර්ථක කියලා හිතුනම ලොකු සතුටක් දැනෙනව.

ඔබ ඇඳී සිතුවම්වල වයනය (texture) සහ වර්ණ තානය (tone) ඔබටම ආවෙිණික වූ එකක් සහ ඇක්‍රලික්, තෙල් සායම් වැනි මාධ්‍යයන් හැසිරවීම මනා ශික්ෂණයකින්, ඉවසීමකින් කළ යුතු දෙයක්. චිත්‍ර ශිල්පිනියන ලෙස මේ පිළිබඳව දක්වන අදහස මොකක්ද?

චිත්‍ර ශිල්පයේදී යමෙකුට ආවේණික දෙයක් ගොඩනඟා ගැනීමට ඒ කෙනා හදාරා ඇති styles ගොඩක් බලපානවා. ඔව්, ඔබ මගේ චිත්‍රවල එවැනි ආවේණික ලක්ෂණ යම් ප්‍රමාණයක් දැක්කත්, මම හිතන්නෙ අවුරුදු 20 කට ආසන්න කාලයක් විවිධ ගුරුවරුන් යටතේ චිත්‍ර ඇඳීම හදාරා තිබුණත්, මට තාම මගේම කියල සුවිශේෂී අනන්‍යතාවයක් ගොඩ නඟාගන්න නම් මම තවත් ගොඩාක් දුර යන්න ඕනෑ. මම කියන්නෙ, මගේ චිත්‍රයක් දැක්ක ගමන් ඒක මගේ එකක් කියල කියන්න පුළුවන් identity එක. ඕනෑම මාධ්‍යයක් හැසිරවීමට මනා සංයමයක් තිබිය යුතුයි. ඇත්තෙන්ම මේක භාවනාවක්. අපි අපේ පින්සල මැනවින් හසුරුවනව කියන්නෙ අපි ඒ භාවනාවේ ඉහළ ඵලයක් අත්කරගෙන ඉන්නවා කියන එකයි. ඇත්තෙන්ම එතෙන්ට එන්න මනා පුහුණුවක් අත්‍යවශ්‍යයි. ඒ කියනෙ සතත අභ්‍යාසය. Practice make perfect.

ඔබ ඇඳී බොහෝ සිතුවම් සඳහා තේමා වන්නේ භූ දර්ශන. මෙහි විශේෂත්වය මොකක්ද?

මම ගොඩක් ආසයි සොබාදහමට. ඒ වගේම live drawing කරන්න. සොබාදහමේ ඉන්න සත්තුන්ව කුරුල්ලන්ව අඳීන්න ටිකක් අමාරුයි ඒගොල්ල එක විදියකට ඉන්නෙ නැති නිසා. හැබැයි භූ දර්ශන එහෙම නැහැ. අනිත් එක අපි ඉගෙනගෙන තියෙන පර්යාවලෝකනය (perspective) මැනවින් යොදාගන්න පුළුවන් තැනක් තමයි භූ දර්ශන.

ඔ⁣බේ සිතුවම්කරණය සඳහා වැඩිපුරම⁣ බලපෑ චිත්‍ර ශිල්පීන් හෝ ශිල්පිනියන් කවුද?

ජයසිරි සේමගේ මහතාගේ චිත්‍ර මගේ සිතුවම්කරණයට යම් බලපෑමක් කලා කිව්වොත් මා නිවැරදි. එතුමාගේ චිත්‍ර දැක්කට පස්සෙ ඇත්තෙන්ම මම මගේම ශෛලියක් නිර්මාණය කර ගත්තා. නමුත් මම සාම්ප්‍රදායික චිත්‍ර හා එතුමාගේ චිත්‍ර අධ්‍යයනයෙන් හදාගත් ඒ ශෛලිය පාසල් මට්ටමේ දි අඳීන තරඟවලදි යම් ආකාරයක ප්‍රතික්ෂේප වීමකට ලක්වුණා. ඒ නිසා මම ඒ තුළ දිගින් දිගට යෙදීම නවතා දැම්මා.

චිත්‍ර ශිල්පය හදාරන අයෙකුට ඔබට දෙන්න තියෙන උපදෙස් මොනවාද?

මෙය ඉතාම ඉවසීමෙන් සංයමයෙන් හා කැපවීමෙන් යුතුව කළ යුතු දෙයක්. පරිපූර්ණ ශිල්පියෙක් වීම දවසකින් දෙකකින් කළ හැකි දෙයක් නොවේ. ඒ සඳහා නිරන්තර පුහුණුව තුළින් පරිපූර්ණත්වය ළඟා කරගත යුතුයි. අපේ අධ්‍යාපන පද්ධතිය තුළ චිත්‍රකරණය නිසි ඇගයීමකට ලක්වෙලා නැහැ. පන්තියක මොකුත්ම බැරි ළමයි තමයි චිත්‍ර විෂයයට එන්නෙ. අපේ රටේ වැරදි මතයක් තියෙනවා චිත්‍ර වගේ විෂයයක් ඉගෙනගෙන හොඳ ආර්ථික මට්ටමක් හදාගන්න බෑ කියල. ඒක වැරදි. ඔබ චිත්‍ර ශිල්පය හදාරන විට දක්ෂ ගුරුවරුන් ගේ මඟ පෙන්වීම අනිවාර්යයෙන් ලබාගන්න. ඒවගේම ඔබ ඒ තුල ස්වයං අධ්‍යයනය කරන්න. එමෙන්ම ඔබ ඔබව අපේ රටට පමණක් සීමා නොකර ජාත්‍යන්තරය සමග අත්වැල් බැඳගන්න. එවිට ඔබට පැහැබර හෙටක් උදාවෙන එක නියතයි.

ඔබ චිත්‍ර ශිල්පිනියක ලෙස මේ ආපු ගමනට උදව් කළ පිරිස ගැනත් කියමු…

මුලින්ම මගේ දෙමාපියන්ගෙන්. ඔවුන්ගෙන් තමයි මට මේ සහජ හැකියාව ලැබුණෙ. ඉන් අනතුරුව මගේ පෙර පාසල් ගුරුවරිය, ඒ කියන්නෙ මගේ ලොකු ටීචර් , කුමාරි පනංගල මහත්මිය. ඊළඟට මට මුලින්ම ශිල්පයක් ලෙස චිත්‍ර උගන්නපු, ගම්පහ ජයමි සේනාරත්න මහත්මිය. ජයමි ටීචර්ගේ චිත්‍ර පන්තියේ අඬ අඬා හිටි අවුරුදු 4 ක පුංචි දැරියක්ව සිටි මාව ළඟට අරන් ලස්සනට පාට කරන්න , අඳීන්න කියල දුන්න පබා ටීචර්. එමෙන්ම, R. M.S.බණ්ඩාර ගුරු පියාණන් හා පුෂ්පා ටීචර් හා ඉස්කෝලෙ කාලෙ ඉඳල අද දක්වා මාව මේ ශිල්පයේ ඉහළටම ගෙනාව මගේ චිත්‍ර ගුරුතුමා, සරත් ප්‍රේමසිංහ මහතාවත් ආදරයෙන් සිහිපත් කරනව.

ඔබේ ‘Brush Strokes’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනයට ලැබුණු ප්‍රතිචාර කොහොමද?

Brush Strokes මගේ මුල්ම චිත්‍ර ප්‍රදර්ශනය. ඒක කරන්න මාව පෙලඹුවේ සරත් සර්. එමෙන්ම එය මගේ මුල්ම ප්‍රදර්ශනය ලෙස අති සාර්ථකයි. මම බලාපොරොත්තු නොවුන තරම් පිරිසක් ඒක බලන්න ආව. ඒ ගැන මම ගොඩාක් සතුටු වෙනව. මට ඒක දින දෙකක් දක්වා දීර්ඝ කරන්න නොහැකිවීම ගැන කනගාටුයි. හැමෝගෙන්ම උණුසුම් සුබ පැතුම් ලැබුණා. ඇත්තෙන්ම ඒක සාර්ථක කරගන්න මගේ මව හා පියා දැක්වූ දායකත්වය අතිමහත්.

මලින්ත විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT