Home » නිර්මාණයක් කියන්නේ ඉවසීමක්

නිර්මාණයක් කියන්නේ ඉවසීමක්

අධ්‍යක්ෂ - තිසර ඉඹුලාන

by mavan
October 30, 2025 10:21 am 0 comment

කොළඹ මහානාම විද්‍යාලයෙන්. ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදැරු ඔහු පාසලේ කැපී පෙනෙන ශිෂ්‍යයෙක්දද විය.පාසල් අවධියේ සිටම කලාවට දැක්වූ දක්ෂතාවය නිසාම 2004 වසරේදී ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා යටතේ රංගනය පිළිබඳ පාඨමාලාවක් හැදෑරි ඔහුගේ ගමන් මගේ සන්ධිස්ථානයක් විය.ඒ ඔහුගේ පළමු සිනමාව පිළිබඳ පළමු හැදෑරීමය. ඉන් අනතුරුව ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමාකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීමත් වැඩිදුර අධ්‍යාපනය සදහා ඉන්දියාවේ දිල්ලිවල සිනමා හා රූපවාහිනිය පිළිබඳ ආසියානු ඇකඩමියට ඇතුළත් වීමට අවස්ථාව උදාවිය. 2009 වසරේදී ඔහුගේ මුල්ම සිනමා පටය වන නිනෝ ලයිව් සිනමාපටය අධ්‍යක්ෂණය කරමින් සිනමා අධ්‍යක්ෂකවරයකු බවට පත්විය. ඒ තුලින් 2016 වර්ෂයේ මතු බලාපොරොත්තු තැබිය හැකි අධ්‍යක්ෂකවරයා ලෙස ආචාර්ය ලෙස්ට ජේමිස්ස් පීරිස් සරසවි සම්මානයෙන් ඔහු පිදුම් ලැබීය. මේ දිනවල වැඩියෙන්ම කතා බහටලක්වන මෝඩ තරිඳු සිනමා පටයේ අධ්‍යක්ෂකවරයා ඔහුය. නමින් තිසර ඉඹුලාන විය.මේ ඔහු සමග පසුගිය දින සරසවිය කළ කතාබහයි

නිනෝ ලයිව්” වලින් පසු දිගු කාලයක් නිහඬ වීමෙන් නැවත සිනමා පටයක් නිර්මාණය කරන්නේ නේද ?

මගේ ජීවිතය මම බාධක කම්කටලු මැඩගෙන ආපු ගමනක් මේ තියෙන්නේ.

මගේ රැකියාව වෙළෙඳ දැන්වීම් නිර්මාණය සහ සංගීතය සඳහා රූප රචනය කිරිමයි.මේ රැකියාවේ නිරත වන ගමන් තමයි සිනමාවට යොමු වුණේ. අපි කරපු පළමු සිනමාපටයෙන් පසුව අපි බලාපොරොත්තු වුණු ආකාරයේ ඉලක්කවලට යන්න බැරි වුණා. ඒ නිසා අපේ දෙවැනි සිනමා නිර්මාණය හොඳට ප්ලෑන් කරලා ගැටලු ඇති නොවෙන්න කල්පනාවෙන් කරන්න ඕන කියලත් හිතුවා.එහි ප්‍රතිඵලයක් ලෙස තමයි මෝඩ තරිඳු සිනමා පටය නිර්මාණය වෙන්නේ.

“මෝඩ තරිඳු” වගේ චිත්‍රපටයක් නිර්මාණය කළේ ඇයි ?

මේ නිර්මාණය අපි හදන්න හිටපු චිත්‍රපටය නෙවෙයි. වෙනත් එකක් තමයි අපි හදන්න හිටියේ. නමුත් අපට වෙනත් නිර්මාණ කාර්යයක් සඳහා පිටපතකට ආරාධනාවක් ලැබුණා. ඒ ආරාධනාව නිසා ලියපු පිටපත තමයි මේ මෝඩ තරිඳු. අපට ආරාධනා කළ අයට ඒක කර ගන්න බැරි වුණා. ඒ නිසා අපි මේක කරන්න තීරණය කළා. ලෝකය පුරා ඇති 4500 කට අධික ආගම් ප්‍රමාණයකින් බහුතරයක් මරණින් මතු ජීවිතයක්, නොපෙනෙන ලෝකයක් ගැන කතා කරනවා. මේ නොපෙනෙන ලෝකය ගැන මිනිස්සු තුළ ඇත්තේ, නොසංසිඳෙන කුතුහලයක්. ඒක කෙදිනකවත් අවසන්වෙන් නැති දෙයක්.

ඒ ශානරය ඔස්සේ යමින් තමයි, “මෝඩ තරිඳු” චිත්‍රපටය නිර්මාණය කළේ.විවිධ අභිනයන් උපයෝගී කරගනිමින් උත්ප්‍රාස රසය සමඟ නොපෙනෙන ලොව සහ පෙනෙන ලොව අතර සහසම්බන්ධය, වෙනස් මානයකින් ප්‍රේක්ෂකයාට ගෙන එන්නයි මට සහ මගේ කෲ එකට අවශ්‍යතාවය තිබුණේ“මෝඩ තරිඳු” නිර්මාණයවන්නේ ඒ ආකාරයෙනි.

ඔබ නවතම සිනමා පටය තුළින් මතු කරන්න උත්සාහ කරන්නේ කුමක්ද? වර්තමාන සමාජයට සාපේක්ෂව

මේක නොපෙනෙන ලෝකය සහ පෙනෙන ලෝකය අතර කතා පුවතක්. ඒ වගේම අද වර්තමානයේ මේ වැනි දෙවල් “විය හැකි” සත්‍යයක් යැයි ප්‍රේක්ෂකයන්ට ඒත්තු ගන්වන්න ඕන කියන විශ්වාසය තුළ මම ඉන්නවා. මේ ගලා යන සිද්ධි දාමයන්, සිනමාපටයෙන් මම කියන්න උත්සාහ ගන්නේ මොකක්ද කියන එක ප්‍රේක්ෂකයන් සිනමාපටය නරඹලා දැන ගන්න වෙනවා.හැමදාම දකින රැල්ලට එහා කතා කරන මාතෘකාවක් බවට මේ සිනමා පටය ගේන්නටයි නිර්මාණය කළේ. අපි සියලු දෙනාටම අවශ්‍යතාවය තිබුණේ අපේ අනන්‍යතාව එක්ක වෙනත් රසයකින් ප්‍රේක්ෂකයන් ආමන්ත්‍රණය කරන්නය. අපි වැඩ කළේ අපේ අනන්‍යතාවට අපේ රහට චිත්‍රපටයක් ප්‍රේක්ෂකයන්ට රස විඳීන්න දෙන්නයි.ප්‍රේක්ෂකයන් ප්‍රේක්ෂාගාරයට එන්නේ යම් සිනමා පටයකින් රස වින්දනයක් බලාපොරොත්තුවෙන් ඒ රසවින්දනය අපිට දෙන්න පුළුවන් තැනට අපි සිනමාව පටය නිර්මාණය කළ යුතුයි කියන තැන මම හැමදාම හිටියා.

සිනමා පටය ප්‍රේක්ෂකයාට වඩාත් හොඳීන් ග්‍රහණය වෙන්න යෙදූ උපක්‍රම මොනවාද ?

චිත්‍රපටයක් කියන්නේ තාක්ෂණික කාරණාවක්. තිර රචනය කරන කාලයේ පටන්ම අපි උත්සාහ කළේ පැය 2ක් තිස්සේ ප්‍රේක්ෂකයන් කොහොමද රඳවා තියා ගන්නේ කියන කාරණාවයි. මුල් විනාඩි 10, ඊළඟ විනාඩි 15 මේ ආදී ආකාරයට අපි ප්‍රේක්ෂකයන් පැයක් රඳවා තබා ගන්න විවිධ ආකාරයේ අන්තර්ගත උපක්‍රම යෙදුවා.ඒ හරහා පැයයි විනාඩි 45 කට දෙකකට දිග හැරෙන කතා මාලාවක් තුළ ප්‍රේක්ෂකයාට මොහොතින් මොහොත සිදු වෙන්නේ කුමක්ද කියන එක වටහා දෙන්නට තිර රචකයා සහ අධ්‍යක්ෂකවරයා සහ එයට දායක වන සියලු දෙනාගේම කැපවීම අත්‍යවශ්‍ය බව අපි තේරුම් ගත්තා. මේ සඳහා දර්ශන තල හැටියට පාවිච්චි කළෙත් කොළඹ සහ අවිස්සාවේල්ල යන ප්‍රදේශ පණයි.අපි සියලු දෙනාගේ තේරුම් ගැනීම තමයි මේ සිනමා පටයේ සාර්ථකත්වයට මූලිකත්වය වූයේ.

විවිධ ප්‍රශ්නවල හිරවෙලා මිරිකිලා ඉන්න ප්‍රේක්ෂකයා ප්‍රේක්ෂකාගාරයක් තුළට කොටුකර සිනහ ගැන්වීම ගැන කියන්නට ඇත්තේ කුමක්ද ?

සිනමා පටයේ කතාව සහ තිර රචනය තිසර මංගල බණ්ඩාර සහ මමයි කළේ. දෙබස් යොදනකොටත් අපි නළු නිළියන් නියමිත වෙලාවට දෙබස් කියන්නේ කොහොමද ? බැරි වෙලාවත් නූලක තරම්වත් පරතරයක් ඇති වුණොත් අදහස වෙනස් වෙනවා. රසය නැති වෙනවා. ඒ වගේම සංස්කරණ ශිල්පියා, සංගීතය, කැමරාව, ශබ්ද මේ හැම දෙයක්ම හරියටම එකතු වුණාම අදාළ රසය ජනිත වෙනවා. සිනහව කියන කාරණාවේදී එය විශේෂයි.ඒ අනුව තප්පරයක් තත්පරයක් පාෂා අපි ප්‍රේක්ෂකයා ගැන හොඳ අවධානයෙන් මේ සිනමාපටය නිර්මාණය කළේ.ඒ අනුව ප්‍රේක්ෂකාගාරයට ආපු කිසිවකු සිනහ නොවී ගියා කියන්න බැහැ.ප්‍රේක්ෂකයා ඉල්ලන දේ අධ්‍යක්ෂකවරයා සහ නිෂ්පාදක මණ්ඩලයේ හැටියට අපිට දෙන්න පුළුවන් උණා කියන තැන අද මම ඉන්නවා.

සිනමා පටයට තෝරා ගත්ත නළු අරම සිදුවුණේකොහොමද?

මේ තිර පිටපත ලියන විටම අපි ඒ ඒ නළුවන් නිළියන් ඒ චරිත වලට තෝරාගෙන තමයි තිර පිටපත ලියන්න ගත්තේ.ඒ සියලූම තෝරා ගත්ත නළු නිළියන් ඔවුන්ගේ චරිතයට සාධාරණයක් ඉෂ්ට කරලා තියෙනවා කියලා මම දකිනවා.ඔවුන්ගේ එය රංගන කර්තව්‍ය හරියටම ඉෂ්ට කළ නිසා තමයි අද ප්‍රේක්ෂකාගාරය වෙත ප්‍රේක්ෂකයෝ ඇදී එන්නේ.

නිර්මාණය බලපු ගොඩක් දෙනෙක් කියනවා මෙය තවත් නිර්මාණයක පිටපතක් කියලා ඒ ගැන මොකද කියන්නේ?

නිර්මාණයක් බලලා ඕනෑම කෙනෙකුට අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා.ඒත් නිර්මාණකරුවා හැටියට මම ඉන්නේ වෙනත් තැනක.මේ නිර්මාණය සීයට සීයක් තිර පිටපත් රචකයා සහ මම වග කියනවා ස්වතන්ත්‍ර නිර්මාණයක් බව අපි ගෙනා නිර්මාණය.විවිධ රසයන් තුළින් විවිධ නිර්මාණයන් ප්‍රේක්ෂකාගාරය වෙත එන විට අදහස් ප්‍රකාශ කරන්න විතරක් ඉන්න කොට්ඨාසයක් ඉන්නවා.ඒ අයට තියෙන්නේ ඒ වෙලාව පමණයි. ඒ නිසා ඒ කට්ටියට ඕනෑම අදහසක් ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා.නිර්මාණයක් බිහිවන්නේ නිර්මාණකරුවාගේ සිත තුළ මැවෙන චිත්ත රූප කායන් එකට එකතුවීම තුළින්ය. ඒ කිසිම දෙයක් නිර්මාණයක් තුළ නැත්නම් ඒ නිර්මාණයක් නොවේ. නිර්මාණකරුවා කියන්නේ නිර්මාණයක් මැවුම්කරුවා කියන තැනයි ඉන්න ඕනේ.

මේ වන විට ප්‍රේක්ෂකාගාරය කොතනද තියෙන්නේ?

රිද්ම මණ්ඩලයේ සිනමා ශාලාවල සහ අනිකුත් සියලූම සිනමා මණ්ඩලවල දැනට සිනමා පටය ප්‍රදර්ශනය ආරම්භ කරලා සති තුනක් වැනි කාලසීමාවක් ගත වන්නේ.මේ වන විට සිනමාශාලා අසූ හතක සිනමා පටයේ ප්‍රදර්ශනය වෙනවා.මේ දක්වා තිරගත වූ සියලූම දර්ශන වාර වලට ප්‍රේක්ෂකයන්ගේ පැමිණීම හොඳ තත්ත්වයක තිබේනනේ.සිනමා පටය ප්‍රදර්ශනය කරන්නට ප්‍රථම විශේෂ දර්ශන කිහිපයක්ම පැවැත්තුවා.එයින් ලැබුණු ප්‍රතිචාර සහ සිනමා පටය ප්‍රදර්ශනය වන අතරතුර සිනමා පටය නැරඹූ සියලු දෙනාගෙන් මේ වන විට හොඳ ප්‍රතිචාර සිනමාපටය වෙනුවෙන් දැක්වීමත් විශේෂත්වයක්ය.

නවක අධ්‍යක්ෂකවරයකු ලෙස චිත්‍රපට සංස්ථාවෙන් ලැබෙන සහයෝගය කොහොමද?

සංස්ථාවේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය හොඳ සහයෝගයක් මගේ සිනමා පටය වෙනුවෙන් මේ වන විට ලබාදෙනවා.රිද්මා මණ්ඩලයේ සිනමා පටයක් ලෙස මෙය ප්‍රදර්ශනය වන්නේ.ඒ වෙනුවෙන් ඔවුන්ගේ කාර්යභාරය මැනවින් ඉටුකිරීම ගැන මම ඇත්තටම ඒ සියලු දෙනාටම ස්තූතිය පුද කරන්න කැමතියි.වෙනදාට වැඩිය හොඳ අරමුණක් ඇතුව අද සංස්ථාව කටයුතු කරනවා කියලා කියන්න පුළුවන්. ඉදිරි නිර්මාණකරුවන්ට එය හොඳ පිටුවහලක් වෙනව ඇතැයි මම සිතනවා. ලාංකේය සිනමාවට හොඳ අනන්‍යතාවයක් දෙන්න නම් සංස්ථාව හොඳ තැනක ඉන්නව දකින එක සිනමාකරුවන් හැටියට අපි සතුටු විය යුතුයි කියලා මම හිතන්නේ.

ඔබේ නිර්මාණ වල වෙනස්ම ආර්යයක් දකින්නේ එයට හේතුව මොකක්ද ?

මම හදාගත්ත ක්‍රමවේදයක් තියෙනවා. ඒ හරහා තමයි මම හැම දෙයක්ම සිදු කරන්නේ.මගේ මුල්ම සිනමා පටය නිනෝ ලයිව් කළෙත් මිත්‍ර සමාගමක් එක්කයි. ඒ අය මම ගැනත්, මගේ රුචි අරුචිකම් වගේම මමත් එයාලගේ රුචි අරුචිකම් සහ වැඩ කරන විදිහ දන්නවා. ඒ නිසා පිටපතේ සිට නිර්මාණය අවසානය දක්වාම මේ මිත්‍ර සමාගම එක්කයි වැඩ කරන්නේ. අපි හැමෝම මේ වැඩේ තමන්ගේ වැඩක් විදිහට සලකලයි වැඩ කරන්නේ. 2003 වසරේයි අපි මෝඩ තරිඳු වැඩ ආරම්භ කළේ. වසර දෙකකින් පස්සේ දැන් දිවයින පුරා සියලු සිනමා හල්වල මෝඩ තරිඳු තිරගත කරන්නට ඔවුන්ගේ ශක්තිය තමයි මේ ලැබිලා තිබුණේ .හොඳ ශක්තිමත් බැම්මක් මාවටා තිබෙන නිසා තමයි මගේනිර්මාණ වෙනස් ආකාරයෙන් දකින්න පුළුවන් වෙන්නේ.මේ නිර්මාණය වෙනස්ම ආකාරයෙන් දකින නිසා ලබන මස සිට විදේශීය රටවල තිරගතවීම ආරම්භභ වෙනවා.

තිරේ ඉදිරියේ දකින අයට වඩා තිරේ පිටුපස ඉන්න පිරිස ගැන කතා කළොත් ?

නිර්මාණයක් වෙනුවෙන් උරදෙන්නේ තිරේ පිටුපස සිට කටයුතු කරන අය තමයි විශේෂයෙන්. ඔවුන්ගේ කාර්යභාරය පෙනෙන අයට වැඩිය සිය දහස් ගුණයකින් වැඩියි.ඔවුන් නොමැති වුණොත් නිර්මාණයක අවසානය දකින්නන අමාරුයි. විධායක නිෂ්පාදනය වෙනුවෙන් කිහිප දෙනෙක් සම්බන්ධ වෙනවා. අමිල ද සිල්වා, තුෂාරි ප්‍රනාන්දු, හසිත වර්ණසූරිය, දිනේෂ් ගමගේ, නන්දසේන ඉඹුලාන සහ තිසර මංගල බණ්ඩාර කියන අය. ඒ වගේම රේඛීය නිෂ්පාදනයට උදිත ලක්මාල් කහඳවආරච්චිත් කැමරාකරණයෙන් හසිත වර්ණසූරියත් සංස්කරණයෙන් චන්දන ප්‍රසන්නත් සංගීත අධ්‍යක්ෂණයෙන් දිනේෂ් ගමගේත් වේශ නිරූපණයෙන් චාමර නිරෝෂාන්, කලා අධ්‍යක්ෂණයෙන් උදාර චින්තකත් ඇඳුම් නිර්මාණයෙන් සුධීර චන්ද්‍රසේනත්, ශබ්ද සැලසුම සහ නාද ශික්ෂණයෙන් සසික රුවන් මාරසිංහත් වර්ණ සංයෝජනයෙන් භවන්ත ගමගේත් නර්තන අධ්‍යක්ෂණයෙන් කවිඳු මදුෂාන්, ඍජ්ඔ – හිරූෂ පතිරණත් පෝස්ටර් නිර්මාණය – සංතුෂ් අඹේපිටියත් නාමාවලියෙන් හිරූෂ පතිරණ, හසිත ජයසංඛත් සහාය අධ්‍යක්ෂණය – තිසර මංගල බණ්ඩාර, නිෂ්පාදන අධීක්ෂණය – සමීර බණ්ඩාර, නිෂ්පාදන සම්බන්ධීකරණය – රජන්ත ජයසිංහ, නිෂ්පාදන කළමනාකරණය – සශිත් දේවින්ද, ශෙහාන් ජයසේකරත් දායකත්වය සපයන අතර රංගනයෙන් සූර්යා දයාරුවන්, කෞශල්‍යයා ප්‍රනාන්දු, ශනුද්‍රි ප්‍රියසාද්, ධනුක ඩිල්ෂාන්, ශෙහානි කහඳවල, සේවියර් කණිෂ්ක, නිල්මිණි කෝට්ටෙගොඩ, නිමල් ජයසිංහ, උපාලි සිල්වා, නිල්මිණි සිගේරා, චතුර රාජපක්ෂ, ශාක්‍ය ශ්‍රීවර්ධන සහ රොවෙල්‍ රෙහාන් කොතලාවල (ළමා නළු) දායක වෙනවා.මෝඩ තරිඳු ප්‍රේක්ෂකයා වෙත ගෙන එන්නට තිරේ පිටුපස සහ තිරයේ ඉදිරියේ සිට කටයුතු කළ අයයි.

සිනමාව අද වන විට පුළුල් වෙමින් තියෙනවා. ඒ ගැන මොනවද කියන්න තියෙන්නේ ?

සිනමාව කර්මාන්තයක් හැටියට පුළුල් වෙනවා නම් එය හොඳ ලක්ෂණයක් ලෙස මම දකිනවා. ශ්‍රී ලංකාවට සිනමාව සම්බන්ධයෙන් මෑතකාලීනව පැමිණි නොයෙක් ප්ලැට්ෆෝම් අලුත් ඒවා වුණාට සිනමා කර්මාන්තයක් විදිහට ලෝකයට අලුත් ඒවා නෙවෙයි. හොලිවුඩ් බොලිවුඩ් කොලිවුඩ් වැනි දැවැන්ත සිනමා කර්මාන්ත ලෙසට ඇති අන් රටවල එවන් අංශ බොහෝමයක් විවෘත වෙලයි තියෙන්නේ. අපි නිර්මාණකරුවන් හැටියට පළමුවෙන්ම කළ යුත්තේ අපි කර්මාන්තයක් ලෙස ස්ථාපිත වීමයි. දැන් අපි කළ යුත්තේ සිනමා ශාලා වෙත සිනමාවට ආදරය කරන පිරිස් ගෙන්වා ගැනීමයි. මේ කාරණාව ස්ථාවර වුණාට පසුව තාක්ෂණික කාරණා ගැන අවධානය යොමු කරන එක හොඳ බවයි මගේ අදහස. විවිධ සිනමා පාඨමාලා අද ඇති වීම යහපත් දෙයක්.ඒ සියලූම පාඨමාලාවන් කොපමණ ගුණාත්මක භාවයෙන් තියෙනවද කියන එකත් හැබැයි සමහරවිට ප්‍රශ්නයක් බවටපත්වෙනවා.ක්ෂේත්‍රයට ඕනෑම කෙනෙකු පැමිණෙනවා නම් ක්ෂේත්‍රය ගැන කියවීම සහ අධ්‍යයනය කිරීම වැදගත් කියලයි මම හිතන්නේ.

අද වන විට අපේ සිනමාව ගැන බලාපොරොත්තු තැබිය හැකියි කියලා විවිධ පුද්ගලයන්අදහස් ප්‍රකාශ කරනවා. මීට වසර 10කට විතර පෙර තමයි නව පරපුරක් ලෙස සිනමාවට අවතීරණ වන්නේ. ඒ අය ප්‍රේක්ෂකයන් අතරට යන්නේ දැනුයි. ඒ කාලේ පැවතුණු සමාජ, ආර්ථික, දේශපාලනික සහ සමාජ ඉල්ලීම් වැනි නොයෙක් කාරණා එක්ක නව නිර්මාණ කරුවන් වැඩ පටන්ගත්තා. ලක්මාල් ධර්මරත්න, ඉලංගෝ රාම් වැනි අය ඒ ආකාරයට වැඩ පටන්ගත් අය. ඔවුන් වැඩ අරඹා වසර ගණනාවක් වෙනවා. ඒත් එන්න ලැබුණේ මෑත කාලීන. නව නිර්මාණකරුවන්ට දොර ඇරෙනවා කියන්නේ හොඳ ප්‍රවණතාවක් ලෙස දකින්න පුළුවන්ය.

ඉදිරි නිර්මාණකරණය ගැන මොනවගේ අදහසක්ද තිබේන්නේ?

මෝඩ තරිඳු සිනමා පටය තිරගත වී අවසන් වීමෙන් පසු තමයි මම ඊළඟ සිනමා නිර්මාණය කරනවාද නැද්ද කියන තැන ඉන්නේ.ලියපු තිර පිටපත් කිහිපයක්ම තියෙනවා. නමුත් පටන්ගත් මේ නිර්මාණය හරහා ප්‍රේක්ෂකයාගෙන් ලැබෙන ප්‍රතිචාර එක්ක තමයි ඊළඟ නිර්මාණය ගැන හිතන්නේ.නිර්මාණයක් කිරීමේදී හොඳ ඉවසිලිමත්ව කටයුතු කළ යුතු කාල සීමාවක් තිබෙනවා. මම හෙමින් ගමනක් යන පුද්ගලයෙක් නිසා මේ සියලු දේටම කාලයට ඉඩ දීමයි මම කරන්නේ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT