චේත්‍යා විදානපතිරණ ගී පද රචනයට සහ කාව්‍ය රචනයට දක්ෂ ඇති කලාකාරිනියකි. ඇය විසින් රචිත “නමක් නැති හිතවතෙක්” කුලුඳුල් කාව්‍ය සංග්‍රහය පාඨක අවධානය දිනාගන්නට සමත් වූ අතර මේ දිනවල ශ්‍රාවකයන් අතර ජනප්‍රිය වන “ඇවිදන් ගියාවේ” ගීතයෙහි පද රචනය ද ඈ විසින් නිර්මාණය කර තිබේ. ඈ මීට පෙර “නුහුරු නුපුරුදු”, “සිනිඳු මොළකැටි”, “කොහේවත් හමු නොවුණ”, “සියුමැළිම මුදු හදිනී” සහ “කුණාටුවකින්” යන ගීත පෙළෙහි පද රචනය සිදු කර ඇති අතර මෙවර සරසවිය කලාපයෙහි ඉඩ වෙන්වූයේ ගී පද රචක සහ කිවිඳීයක වන චේත්‍යා විදානපතිරණ සමඟ සිදුකළ කතාබහ සමඟිනි.
චේත්‍යා කලා ක්ෂේත්රයට හඳුන්වාදෙන්න කැමති කොහොමද?
කලාවේ තදබල රසිකයෙක් විදියට මට මාව හඳුන්වලා දෙන්න පුළුවන්. කලාව රස විඳීමින් තමයි මම ජීවත් වෙන්නේ. ඊට අමතරව කවි පොතක් සහ ගීත කිහිපයක් රචනා කරලා තියන කෙනෙක් විදියට.
චේත්යාට ලිවීමේ ආසාව මුලින්ම ඇතිවෙන්නෙ කොහොමද?
පොඩිම කාලේ ඉඳන් මම කවි, කතා ලියනවා. ඒවා ළමා පත්තරවලට යවනවා. පත්තරේක නිර්මාණ පළ වුණාම ඒ කාලෙ හරිම ආසයි. තව ඉස්කෝලෙ යන කාලයේ තරඟවලින් ජයග්‍රහණය කළ අවස්ථාත් ලොකු උත්තේජනයක් වුණා තව තව නිර්මාණ කරන්න.
ඔබ ගී පද රචනයට වඩාත් දක්ෂයි. ගී පද රචනාවන් වෙත මෙතරම් ඇල්මක් දක්වන්න හේතුව මොකක්ද? ගී පද රචනය සම්බන්ධයෙන් ඔබ සතු අත්දැකීම ගැන කියමු…
අපේ තාත්තා ගෙදරදි නිතරම ගීතයක් මුමුණමින් ඉන්නෙ. ගුවන් විදුලියෙනුත් අපිට හැමවෙලාවෙම රසවත් අර්ථවත් ගීත ඇහුණෙ. මම ඉස්සර සින්දු අහන ගමන් තමයි පාඩම් කරෙත්. එක එක කාලවලදී දේවල් විඳ දරාගන්න උදව් වුණේ සංගීතවත් වෙලා ඇහුණ ගී පද රචකයන්ගෙ පරිකල්පනයෙන් බිහි වුණ ආදරණීය වචන. ඒ නිසා ගීත කියන්නෙ ජීව්තේම කොටසක් වගේ. ඒ තරම් සමීපයි.
මුල ඉඳලම මම කවි පොතක් පළ කරන්න තමයි ආසාවෙන් හිටියෙ. ඇත්තටම ගීතයක් ගැන හීනයක් මට මුලින් තිබුණෙ නෑ. පොතක් වෙනුවෙන් එකතු කරපු කවි ටික ඒකට කොයිතරම් සුදුසු ද? කියල අදහසක් ගන්න කියවන්න දුන්නෙ ගී පද රචකයෙක් වන සුගත් සෝමවීර මහත්මයාට. ඒ කවි කියවල ගීතමය ලක්ෂණ තියෙනව කියල මගපෙන්වීමක් කරපු එක කවියක් ගීතයකට වඩාත් ගැළපෙන විදියට තවදුරටත් වෙනස් කරලා තමයි ‘නුහුරු නුපුරුදු’ කියන ඒ ගීතය නිර්මාණය කළේ. සංගීතවේදී මාලක රත්නායක මහත්මයා තමයි සංගීතවත් කළේ.
ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිෂාන්ත එරන්දක මහත්මයා තමයි ගායනා කළේ. ඒ ගීතයට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඊට පස්සෙ ප්‍රවීණ සංගීතවේදීන් වන දර්ශන වික්‍රමතුංග, නාලක අංජන කුමාර, අරුණ ගුණවර්ධන මහත්වරුන් සංගීතවත් කරලා ගීත කිහිපයක් කරා. ඒවා ගායනා කළේ ශානිකා සුමනසේකර, ඩේසික කමලාංජන, පියුමාලි ලියනගේ සහ චතුරිකා නිර්මාණි කියන ගායන ශිල්පීන්. තව මගේ අක්කා වන ගයනි විදානපතිරණත් මා ලියූ ගීයක් ගැයුවා.
ඔබ පද රචනා කළ “ඇවිදන් ගියාවේ” ගීතය ගැන කතා කරමු…
අරුණ ගුණවර්ධන කියන සංගීතවේදියාගේ ගීත සමවැදිලා වගේ අහන කෙනෙක් මම. ගොඩක් ආසාවෙන් හිටියෙ ඒ සංගීතය මගේ වචනවල පසුබිමින් අහන්න. මේ ගීතය ගායනා කළේ චතුරිකා නිර්මාණි ගායන ශිල්පිනිය. මං ඇගේ මිහිරි කටහඬට හරිම කැමතියි. ප්‍රියංක එදිරිසිංහ මහත්මයා තමයි තාක්ෂණ කටයුතු කළේ. මේ ගීතයට වෙනස් විදියෙ ආකර්ෂණීය වීඩීයෝවක් නිර්මාණය කළේ ලෂාන් සංජීව කියන කැමරා ශිල්පියා. මට අවශ්‍ය වුණේ සාමකාමීව රසවිඳීන්න පුළුවන් සෞම්‍ය ගීතයක්. අවසානයේ මම ආස විදියේ නිර්මාණයක් හැදුණා. මං හිතන්නෙ ඒක අහන අයත් ආසාවෙන් වැලද ගත්තා. විශේෂයෙන්ම මේ ගීතයේ තේමාවට ගොඩක් දෙනෙක් කැමතියි කියලා තිබුණා.
’නමක් නැති හිතවතෙක් ‘ කාව්‍ය සංග්‍රහය ලියවුණේ කොහොමද?
මගේම පොතක් මුද්‍රණය කරන එක මට පොඩි කාලේ ඉඳන් තිබුණ හීනයක්. ඒ හීනය හැබෑ වෙමින් 2022 වසරේදී රුහාරා ප්රකාශනයක් විදියට නමක් නැති හිතවතෙක් කියන මගේ පළමුවෙනි කාව්‍ය සංග්‍රහය කොළඹ මහවැලි කේන්ද්‍රයේදී එළි දැක්වුණා. ඒක මං ජයගත්ත ලොකුම අභියෝගයක්. පොඩි කාලේ ඉඳන් සාහිත්‍යයට ආස වුණාට ලියන්න ආසාවෙන් හිටියට මං අධ්‍යාපන ලැබුවේ ගණිත අංශයෙන්. විශ්ව විද්‍යාලයේදී ඉගෙන ගත්තෙ භෞතික විද්‍යාව. අන්තිමට රැකියාව කරන්නෙත් ශශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ භෞතික විද්‍යාඥවරියක් විදියට.
ඒ ඔක්කොම කලාවට ගොඩක් ඈතයි. ඒ නිසා කවි පොතක් කරන එක මොනතරම් සාර්ථක වෙයිද කියලා දෙගිඩියාවක් මට තිබුණා. භාෂාව සහ සාහිත්‍යය ගැන ඉගෙන ගන්න මං ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකත්ව හා ජන සන්නිවේදන පාඨමාලාව හැදෑරුවා. ගොඩක් සාහිත්‍ය කෘති පරිශීලනය කළා. සාහිත්‍යට කලාවට සම්බන්ධ මිනිස්සුන්ව ආශ්‍රය කළා. කතා බහ කළා. අන්තිමේ කොහොමහරි පොත කළාට පස්සෙ සාහිත්‍ය ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් වගේම පොත් කියවන රසිකයන්ගෙනුත් ඉතාම යහපත් ප්‍රතිචාර ලැබුණා.
කාව්‍ය සංග්‍රහයේ කවි රචනා කරලා තියෙන්නේ තියුණු සමාජ නිරික්ෂණයක් එක්ක කියලා මට හිතෙනවා. කෘතිය රචනා කිරීමේදි ඔබ ලැබු අත්දැකීම් කොතරම් බලපෑවද?
මිනිස්සු ගැන, සමාජය ගැන, මානව හැඟීම් ගැන මගේ කෝණයෙන් බැලීමක් තමයි පොතේ කවිවල තියෙන්නෙ. බොහෝ දුරට ඒවා මට මුණ ගැහුණ අත්දැකීම්. උදාහරණයක් විදියට මම වැඩ කරන මහරගම අපේක්ෂා රෝහලේදී එදිනෙදා උදේ හවස දකින ජීවිතේ ගැන කිසිම බලාපොරොත්තුවක් නැතුව ඉන්න මිනිස්සු අනිත් අයටත් ශක්තියක් වෙමින් ජීවිතයට බලාපොරොත්තුවක් එක්ක මූණ දෙන හැටි ගැන මං ලිව්වා.
“ජීවිතේ කෙළවරට එද්දිත්
අත් නොහැර හිත ළඟම රැඳුණූ
වාරු නැති ජීවිතේ ගමනට
කිහිලිකරු වුණු පිරිමි ගැහැනූ“
කියලා කවියක්.
මේ වගේ තමා ගොඩක් කවිවලට හේතු වුණේ මං අහපු දැකපු දේවල්. නැත්නම් පොත් කියවද්දි චිත්‍රපටියක් බලද්දි හිතට වැදෙන විදියට මට දැනුණ දේවල්.
ඔබේ කලා කටයුතු සාර්ථක කර ගැනීමට උදව් කළ පිරිසත් මතක් කරමු…
මගේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ, නෑදෑයෝ, යාළුවෝ, ගුරුවරු, මගේ නිර්මාණවලට උදව් කරපු අය,නිර්මාණවලට දායක වුණ අය, ඒ වගේම නිර්මාණ රස විඳපු අය, ඒවයේ ගුණ දොස් පෙන්නලා දීපු අය මේ හැම කෙනෙක්වම මාව නිර්මාණකාරියක් විදියට ඔසවලා තියන්න උදව් වුණා. ඒ අයව මං හැමදාම ගෞරවයෙන් ආදරයෙන් මතක් කරන්න කැමතියි.
මලින්ත විතානගේ
