Home » ‘දොරකඩ දෙවොල’ ලිව්වේ කාන්තාව සතු ශක්තිමත් බව පෙන්වීමටයි

‘දොරකඩ දෙවොල’ ලිව්වේ කාන්තාව සතු ශක්තිමත් බව පෙන්වීමටයි

ලේඛිකා, තිර රචිකා තරංගා දිසානායක

by mavan
February 12, 2026 10:38 am 0 comment

මේ දිනවල ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වන ‘දොරකඩ දෙවොල’ ටෙලි නාට්‍යයට පාදක වූ නවකතාව ඇය රචනා කරන ලද්දකි. එකී ග්‍රන්ථය ඇසුරින් ලලිත් රෝහිත එදිරිසිංහ අධ්‍යක්ෂණය කළ එනමින්ම යුත් ටෙලිනාට්‍යයේ තිර රචනය ද ඇය විසින්ම ලියනු ලැබුවාය. එකී නිර්මාණය පිළිබඳවත්, සිය සාහිත්‍යකරණ දිවිය පිළිබඳවත් කතාබහ කිරීමට ලේඛිකා තරංගා දිසානායක සරසවියට මෙසේ සම්මුඛ වූවාය.

ඔබේ ‘දොරකඩ දෙවොල’ නවකතාව ආශ්‍රයෙන් මේ දිනවල විකාශය වන ඔබ විසින් තිර රචනය ලියූ එනමින් යුත් ටෙලිනාට්‍යයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා නේද ?

ඔව්, ඇත්තෙන්ම ‘දොරකඩදෙවොල’ ට විශාල ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ‘දොරකඩ දෙවොල’ පොතටත් එක්කම තමයි මේ ප්‍රතිචාර ලැබෙන්නේ. මා ලිව්ව ‘දොරකඩ දෙවොල’ නවකතාව කියවපු බොහෝ පාඨකයන්ගේ ප්‍රතිචාර ටෙලි නාට්‍යයටත් එක්කම ලැබෙනවා. සියල්ලම වගේ සුබවාදී ප්‍රතිචාර තමයි ලැබෙන්නේ. ඉඳලා හිටලා අයහපත් ප්‍රතිචාරයකුත් එනවා. එහෙම ප්‍රතිචාරයක් දෙන්නේ මේ සම්පූර්ණ කතාවම දන්නේ නැති කෙනෙක්ගෙන්. ඒ කියන්නේ නවකතාව නොකියවූ කෙනෙක්ගෙන්. මට සිතෙනවා ඉදිරියේදීත් සුබවාදී ප්‍රතිචාර ලැබේවි කියලා.

දොරකඩ දෙවොල’ තිර රචනයට යොමු වූ ආකාරය සිහි කළොත් ?

මීට කලින් මගේ ‘කඳුළු කුණාටුව’ නවකතාව ‘ඉරගිනි මද්දහන’ නමින් ටෙලි නාට්‍යයකට නැඟුණා. එහි අධ්‍යක්ෂවරයා ලලිත් රෝහිතමයි ‘දොරකඩ දෙවොල’ ත් අධ්‍යක්ෂණය කරන්නේ. “ඉරගිනි මද්දහන’ රූගත කිරීමේදී අපි ඊළඟට මොකක්ද කරන්නේ කියා කතාවෙද්දි ‘දොරකඩ දෙවොල’ ටෙලිනාට්‍යයකට කරමු කියා තීරණය කළා.

නවකතාවට කේන්ද්‍රගත වූ කාන්තාව ගැන කෙටියෙන් පැහැදිලි කළොත් ?

දොරකඩ දෙවොල’ කියන්නේ මගේ අතින් ලියවුණු හොඳම නවකතාවක්. මේක කොහොමද ලියන්නේ කියා මම අවුරුදු 5-6ක කාලයක් තිස්සේ සැලසුම් කළා. මේකට වස්තුබීජය මගේ ඔළුවට ආවේ මගේ ගම වූ කුරුණෑගල, මාස්පොත, බෝගොඩ පැත්තේ සිටි කාන්තාවක් කේන්ද්‍ර කරගෙන. ඒ කාන්තාව ජීවිතයට මුහුණ දෙන විදිහ දැක්කම මට පුදුම හිතුණා. මම දුටු ආත්මශක්තිය වැඩිම කාන්තාව වුණේ ඇයයි. ඇයගේ ජීවිතයේ දුක්කම්කටුලුවල නිමක් නැහැ. මහසයුර වගේ. ඇය පෙනුමෙන් ඉතා සිහින් සිරුරක් සහිත කාන්තාවක්. අද වෙද්දි ඒ කාන්තාව ජීවතුන් අතර නැහැ. ඇගේ දරුවෙකුටවත් බැරිවුණා නිවැරදි මාර්ගයක යන්න. නාමලී නමින් මම ගත්ත ඒ චරිතය ඇතුළේ තවත් කතා ගොඩාක් තිබෙනවා. මේ කතාවට අදාළ කාන්තාවට තිබෙන එකම විකල්ප වුණේ විවාහය. සැමියා මොනදේ කළත් එතැනින් ඉවත් වෙන්න ඒ කාන්තාව සිතන්නේ නැහැ. ඇගේ ස්ථාවර පදනම එතැන බව ඇය සිතනවා. ඒ සමාජයේ දික්කසාදය කියන දේ ඇත්තෙම නැහැ. ඇය සැමියාගෙන් තැලුම් කාපු කාන්තාවක් වුණා. සැමියාගේම තැළුම් කාපු අයුරින්ම ඇය තම පුතාගෙනුත් තැළුම් කනවා. ඒක හරිම ඛේදනීය කතාවක්. කිසිම දිනක සැනසීමක් නොලද කාන්තාවක්. ඇගේ ජීවිතය මහා සාගරයක් වගේ නම් මගේ නවකතාව පුංචි දිය බිඳක් වගේ. එයිනුත් සුළු කොටසක් තමයි ටෙලිනාට්‍යයකට යොදාගත්තේ. ටෙලි නාට්‍යයට මුළු කතාවම අඩංගු වන්නේ නැහැ. නවකතාවේ එම කාන්තාවගේ ජීවිතයේ වසර 25ක පමණ කාලයක් දිගහැරුණත් ටෙලිනාට්‍යයේ දිගහැරෙන්නේ වසර 2,3ක කාලයක්.

‘දොරකඩ දෙවොල’ නවකතාව ලියන්න පෙලඹුණේ කොහොමද ?

මෙයට පාදක වූ කාන්තාව ජීවත් වූ දුෂ්කර පරිසරය හා ඒ දුෂ්කරත්වය සමඟ ඔවුන් ශක්තිමත් වන බව පෙන්වන්න මට අවශ්‍ය වුණා. මේ කාන්තාවන් තුළ තිබෙන ශක්තිමත් බව, දරා ගැනීමේ හැකියාව පෙන්වීමට අවශ්‍ය වූ නිසයි ‘දොරකඩ දෙවොල’ ලියන්න පෙලඹුණේ.

ඔබේ ‘කඳුළු කුණාටුව’ නවකතාව ‘ ඉරගිනි මද්දහන’ වූ හැටි කීවොත් ?

ඔව්, ඒකත් කාන්තාව පසුබිම් කරගෙන තමයි ලිව්වේ. ඒකෙත් දොරකඩ දෙවොලේ චරිතයත් සමඟ සුළු සම්බන්ධයක් තිබෙනවා. ඇත්ත කතාවක් ගත්තට මම ලියන්නේ සත්‍ය සිද්ධිය සමඟ මගේ මන:කල්පිතය මුසුකරලයි. ඒ චරිත ගත්තත් කාට හෝ කියන්න බැහැ මේ මගේ කතාව කියලා. මොකද මගේ නවකතාව තුළ, ඒ චරිත තුළ වෙනමම කතාවක් ගොඩනඟනවා. ‘කඳුළු කුණාටුව’ මම ලියන්නේ බත් කඩයක් කරගෙන ධෛර්යවන්තව ජීවිතය ජයගන්න උත්සාහ කරන කාන්තාවක් ගැන. ඇගේ කුඩා කාලය මම දුටුවා. ඇගේ මව දරුවකු ලැබෙන්න ගිහින් මියයනවා. තාත්තා බීමත්කමට යොමු වෙලා. ඔහු මේ පවුලේ ළමුන් තිදෙනාව අතහරිනවා. පසුව ඒ තිදෙනාම විසිරිලා ගිහින් තැන්තැන්වල හැදෙනවා. එහිදී ‘සමන්තා’ නමැති චරිතය නැන්දා ළඟ හැදෙනවා. නවකතාවේ එන සමන්තාව මම දෑසින් දකිනවා. ඒ ළමයා මහා කාන්තාවක් වගේ මහන්සි වෙලා වැඩ කරනවා. දුෂ්කර පළාතක සිටි ඒ ළමයි සෑහෙන දුර ඇවිදගෙන වතුර ගේන්න යනවා, මහ ගැහැනියක් වගේ බත් උයනවා. ඇය ලොකු වෙද්දි ඇගේ ප්‍රේමයයි මෙහි තියෙන්නේ. සමන්තාගේ දරුවා මහතුන්ගේ. ටෙලිනාට්‍යය ආරම්භයේදීම කාගෙද මේ ළමයා කියලා යම් කුතුහලයක් සහිතව ටෙලි නිර්මාණය ඉදිරිපත් කෙරෙන්නේ.

කාන්තාව කේන්ද්‍ර කරගෙන නවකතා ලිවීමට විශේෂ කැමැත්තක් තියෙනවද ?

කාන්තා චරිතවලින් මිදී මම ලියූ නවකතාත් තිබෙනවා. එහෙත් බොහොමයක් තිබෙන්නේ කාන්තාව මූලික කරගත් නවකතා තමයි. සමහරවිට ඒ මමත් කාන්තාවක් නිසාම වෙන්න ඇති. නවකතාවක් තුළ මම හැඟීම්බර විය යුතුයි. මම විශ්වාස කරන විදිහට නවකතාවක කතාන්දරයක් තියෙන්න ඕනේ. කතාව කියනකෙනා හැඟීම්බර වෙන්න ඕනේ. නවකතාව කියවන කෙනාට එහි පිටු අතර කොතැනක හෝ තමන්ට ටඥඥත වෙන තමන්ගේ කතාවේ සුළු කොටසක් හෝ තියෙන්න ඕනේ. ඒක දැනුණොත් තමයි ඒ නවකතාව කියවන කෙනාට එය රසවත් වෙන්නේ. ඒ නිසයි ලියද්දි උත්තම පුරුෂ දෘෂ්ටියෙන් ආරම්භ වී මම කාන්තාවකටම බහින්නේ. මම සිතනවා නවකතාව තුළ මම ස්වාභාවිකයි ගැහැනු චරිතයට ආරූඪ වුණාම.

‘ පිරිමි නැකතක ගැහැනියක්’ ගැනත් කියමු ?

ඔව්, මම ඊළඟට ටෙලි නිර්මාණයක් කරනවා නම් ‘ පිරිමි නැකතක ගැහැනියක්’ ආශ්‍රයෙන් කරන්න කැමැතියි. ඒ කතාවට මම ඉතා කැමැතියි. මම විශ්වාස කරනවා ගැහැනියක් මූලික වෙන්නේ ඊට පිරිමියා ඉඩ දෙන නිසා කියලා. සමහර කතුන් ඉන්නවා සැමියාට අවනතව සිටින. සමහරු ඉන්නවා තනි තීරණ ගන්න කාන්තාවන්. සැමියා විදෙස්ගත කතුන් තනියම පිරිමියා වගේ වැඩ ටික කරනවා. තනි තීරණ ගන්නවා වගේම හරිම ශක්තිමත්. මම සිතන විදිහට ශක්තිසම්පන්න ගැහැනු කියන්නේ ගොඩක් රිදුණු ගැහැනු කියලා. ඒ රිදීම තුළිනුයි ගැහැනිය ශක්තිමත් වෙන්නේ. බැටකන තරමටයි ශක්තිමත් වෙන්නේ. මගේ නවකතාවලින් මම ශක්තිමත් ගැහැනියයි පෙන්වන්නේ..පරාජිත කතුන් මගේ නවකතාවලින් මම පෙන්වන්නේ නැහැ.

සාහිත්‍ය දිවියට ආභසය ලැබුණේ කොහොමද ?

මෙහෙමයි, මම කුඩා කාලයේ ඉඳන්ම පත්තර කියවනවා. ‘සිළුමිණ’ පත්තරේ අපේ ගෙදරට අනිවාර්යයෙන් ගන්නවා. තාත්තා ‘සිළුමිණ’, අම්මා ‘සිරිකත’ ගන්නවා. මට ගන්නවා ‘විජය, මිහිර, විදුසර’ පත්තර. මගේ මල්ලිලා නංගිලාට ‘සුරතලා’ ගන්නවා. අපේ ගෙදර එකම පත්තර යායක්. ‘සිළුමිණේ’ තියෙන නවකතා, චිත්‍ර කතා ඒ කාලයේ මම කියවනවා. මම ‘විරාගය’ කියවද්දී මට අවුරුදු 11ක් වගේ. ‘මනුතාපය’ කියෙව්වේ ශිෂ්‍යත්වය කරන කාලයේ. ඊට පෙර ‘ගම්පෙරළිය, කලියුගය’ වගේ ඒවා කියවනවා. ඒත් එහි අන්තර්ගත වූ දේ මට එකල තේරුණේ නෑ. අනික මගේ තාත්තා පුදුම රසකාමියෙක් හා සාහිත්‍යවේදියෙක්. ඔහු පොතකුත් ලිව්වා අපේ ගම් ප්‍රදේශයේ ඉතිහාසය අලළා. ඔහු නිතර කවි සහ කතා කියනවා, ලියනවා. තාත්තා මාව නිදිකරවන්නේත් කතන්දරයක් කියාදෙමින්. ඒ කාලයේත් මම හරිම සංවේදියි. දුක හිතෙන කතාවලට අඬනවා. මේ ආභාසය සහ අපේ ගෙදර තිබූ පරිසරය මගේ සාහිත්‍යකරණයට බලපාන්න ඇති. තාත්තගේ කාර්යාල කාමරයේ තිබ්බා දිග පොත් රාක්කයක්. ඒකෙ තිබෙන පොත්, සඟරා මම හරියට කියෙව්වා. සිත්තර, සත්සිරි වගේ චිත්‍රකතා පත්තරත් මට රස සාගරයක් වුණා. අපට දැනෙන සාහිත්‍යකාමී වටපිටාවක් මගේ ගම්පළාත තුළ තිබුණා. පසුකාලයේ තමයි මම එක් එක් ලේඛකයන්ගේ පොත් කියවීමට පටන් ගත්තේ.. පසුකාලීනව මම කියවූ පොත්වල ලේඛකයෝ, චිත්‍ර ශිල්පීන් මගේ ජීවිතයට මුණගැසෙනවා.

තරංගා දිසානායක නමැති පුවත්පත් කලාවේදිනිය ගැන සිහි කළොත් ?

උපාලි බණ්ඩාර වීරසේකර මහතාගේ ‘සබද’ පුවත්පතට මගේ නවකතාවක් තෝරා ගැනුණා. එතැනින් පුවත්පත් කලාවට ආරම්භය වැටෙනවා. ඊට පෙර ‘විදුසර’ට පාසල් කාලයේ විද්‍යාත්මක ලිපි ලිව්වා. මගේ ‘ ඇතුගල තාමත් නිහඬයි’ නවකතාවත් සබද පත්තරේ පළවෙනවා. ඒ කාලයේ ‘අහිංසා, පූජනී, දිනිති’ කාන්තා පුවත්පත්වලටත් මම ලිව්වා . විවාහවී පුතා ලැබුණට පසුව පුවත්පත් කලාදිවිය නැවතිලා නවකතා කලාවටම යොමු වුණා. අද වෙද්දි පුවත්පත් කලාවට කාලය වැය කිරීමට මට අපහසුයි. නවකතාව තමයි අද මගේ ජීවන වෘත්තිය වෙන්නේ.

නවකතාකරණයේ ආරම්භයට ගියොත්?

මගේ මුල්ම නවකතාව ‘සත්‍යා’. පාසල් ප්‍රේමයයි ‘සත්‍යා’ට පාදක වුණේ. ‘ඇතුගල තාමත් නිහඬයි’ වගේ මුල්කාලීනව මම ලිව්වේ ප්‍රේම කතා. මගේ පාසල් පසුබිම, යහළුවන්ගේ අත්දැකීම් එකට එකතු වී ඒ ප්‍රේම කතා ලියවුණා කිව්වොත් හරි. පසුකාලීනව පවුල් ජීවිතයට ගියාම කාලයත් සමඟ සංකීර්ණ නවකතා කලාවට පිවිසුණා. ඒක ඉබේම සිදුවූවක්. අද වෙද්දී මට ප්‍රේම කතා ලියන්න බැහැ. ප්‍රේමය කියන්නේ වෙනම වයිබ් එකක්. සමහරු කියනවා ඔයාගේ ඒ කාලයේ ලිව්ව කතා තරම් දැන් ඒවා ලස්සන නැහැ කියලා.

වසන්ත ඔබේසේකරයන්ගෙන් ඔබ සිනමා තිර රචනය ඉගෙනගත්තා නේද ?

මම වසන්ත ඔබේසේකර මහතාගේ ‘ආගන්තුකයා’ චිත්‍රපටයත් සමඟයි සිනමා තිර රචනයට පිවිසෙන්නේ. ඒක පාඨමාලාවක් වගේ තමයි. එහිදී මම එතුමාගේ සහායිකාව ලෙස වැඩකළා.. දෙබස් එකතු කරනවා, ගැළපීම්, නොගැළපීම් බලනවා. එතුමාගේ අදහස් මගේ අතින් ලියවෙනවා. මහාචාර්ය ජේ. බී. දිසානායක සර් මාර්ගයෙන් තමයි වසන්ත ඔබේසේකර මහතා මට හමුවුණේ. ‘ආගන්තුකයා’ මට ලොකු අත්දැකීමක් වුණා. මගේ සමහර නවකතා කියවලා සමහර අධ්‍යක්ෂවරුන් මගෙන් තිර රචනයක් ඉල්ලුවා. ‘දේවස්මිකා’ නමින් රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබූ මගේ කෘතියටත් සෑහෙන ඉල්ලීම් ආවා. අධ්‍යක්ෂවරුන් එකොළොස් දෙනෙක් ඒක ඉල්ලලා තිබුණත් ඒකෙන් ටෙලිනාට්‍යයක් කෙරුණේ නැහැ. ඉන්පසු තමයි අපිම නිෂ්පාදනයක් කරන්න ඕනේ කියලා ‘ඉරගිනි මද්දහන’ තෝරාගත්තේ.. මායි සැමියයි එය නිෂ්පාදනය කළා. එහි තිර රචනය සහ තේමා ගීතය මගේ.

අද සාහිත්‍යකරණයට පිවිසෙන නවකයන් ගැන මොකද සිතෙන්නේ සහ ඔවුන්ට මොකක්ද කියන්න තියෙන්නේ ?

මේ ක්ෂේත්‍රය තුළ ඉවසීම ප්‍රගුණ කළ යුතුයි. හරි දේ තෝරා ගත යුතුයි. අද තරුණ පිරිසගේ යම් හිතුවක්කාරී ගමනකුත් තිබෙන බව පේනවා. පෙරමඟ සලකුණු පෙන්වන නවකයන් කිහිපදෙනෙක්ම ඉන්නවා . ඔවුන් කන්ද මුදුනටම යාවි කියා සිතෙනවා. අනෙක් අයගේ දේවල් නවකයන් කොපි කරන බවට පැමිණිලි තිබෙනවා. ඉවසීමෙන් මේ ගමන යන්න කියා නව පරපුරට කියන්න කැමැතියි.. නවකතාවක් දෙකක් ලිව්ව පමණින් කන්ද උඩටම නැග්ගා කියා සිතුවොත් පහළටම වැටෙනවා.

ඔබ තුළ සිටින නිෂ්පාදිකාව ගැන කියනවනම් ?

‘ඉරගිනි මද්දහන’ නිෂ්පාදනය ලොකු අභියෝගයක් වුණා. එතැනදී ලොකු වියදමක් කරන්නත් වුණා.. ඊළඟ පියවරට යන්න ආර්ථික ශක්තියක් තිබ්බේ නැහැ. ටෙලිනාට්‍ය රැසක් නිෂ්පාදනයට ආරාධනාත් ආවා. ඉදිරියේදී නිෂ්පාදනයට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. නිෂ්පාදනය ගැන නොදැන ගිය ගමන සුන්දර වුණා.

‘තාරා’ පොත් ප්‍රකාශන ආයතනයත් ඔබේ?

‘තාරා’ ප්‍රකාශන කියන්නේ මගේ සාර්ථක ගමනක් කිව්වොත් හරි. වසර 20කටත් වඩා වැඩියි මේ ප්‍රකාශන ආයතනය ආරම්භ කරලා. විවාහයටත් පෙරයි මේක පටන් ගන්නේ. මට මේ ව්‍යාපාරය සාර්ථක කරගන්න පුළුවන් වුණේ මූල්‍ය කළමනාකරණය නිවැරදිව කළ නිසා කියා මම සිතනවා .

සම්මාන උලෙළයන් ගැන ඔබේ මතය දැනගන්න කැමැතියි ?

සාහිත්‍ය සම්මාන එකම අයට බෙදී යන බවක් පේනවා. මට ප්‍රශ්නයක් තිබෙනවා ඇයි සාහිත්‍යය තුළ අලුත් අය බිහිනොවන්නේ කියලා. නම දැක්කම සම්මාන දෙනවද, වෙනත් හේතු මත සම්මාන දෙනවද කියලා ප්‍රශ්නයකුත් මට තිබෙනවා. සාහිත්‍යය කියන්නේ රසයනේ. එහි රසය නම් අනිවාර්යයෙන් කියවිය යුතු පොතක් වෙන්න ඕනේ. ‘ගම්පෙරළිය’ වගේ නවකතාවක් ඕනෑම තරාතිරමක කෙනෙක්ට කියවන්න පුළුවන්නේ. අපි සාහිත්‍යයේදී බලාපොරොත්තු වන්නේ ඒ වගේ දෙයක්. ‘සක්කාරං, සෙංකොට්ටං, ස්වයංජාත’ වැනි නිර්මාණවලට සම්මාන ලැබීම ගැන සතුටුයි. මගේ නවකතාවක් කවදාවත් ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශ වෙලාවත් නැහැ. ‘දොරකඩ දෙවොල’ අවසන් 10ටවත් තේරුණේ නැහැ. මගේ ‘දේවස්මිකා’ වයඹ රාජ්‍ය සාහිත්‍ය උලෙළේ පළමු ස්ථානය දිනා ගත්තා. ඒකම මේවට ඉදිරිපත් කළා නම් නොතේරෙන්න තිබ්බා.

ඔබේ නිර්මාණ ටෙලිනාට්‍යයකට නැඟේදී, චරිත තෝරා ගැනීමේදී අධ්‍යක්ෂ සමඟ ඔබේ ගනුදෙනුව කෙසේද ?

එහිදී මගේ සිතේ තිබෙන රූපයයි අධ්‍යක්ෂගේ සිතේ තිබෙන රූපයයි සසඳන්න ඕනේ… බජට් ප්‍රශ්න නිසා අපට ඒ චරිතයට සුදුසුම කෙනා ගන්න බැරි වෙන අවස්ථා තිබෙනවා. එහිදී ඊළඟ ර්‍ණනබඪධද එකට යනවා. ‘ ඉරගිනි මද්දහන’ට නම් තරින්දිව ගන්නම ඕනේ කියා දැඩි තීරණයක හිටියේ. අධ්‍යක්ෂවරයා සහ මගේ අදහස් බොහෝ දුරට සමාන වුණා.

අනාගත නිර්මාණ කාර්යයන් ගැන කීවොත් ?

අනාගතයේත් මම ටෙලිනාට්‍යකරණයේ යෙදේවි. මගේ ‘පිරිමි නැකතක ගැහැනියක්’ බොහෝ දුරට ඊළඟට ටෙලිනාට්‍යයකට නැඟේවි. ඒ වගේම මගේ තව ලස්සන නවකතාවක් තිබෙනවා ‘පහන් අඳුර ළඟ’ නමින්..ඒකට අන්තර්ගත වෙන්නේ එකගෙයි කෑමක්. ඒක ටෙලිනාට්‍යයකට නඟන්න අදහසක් තිබෙනවා. ඒත් විශාල පිරිවැයක් යාවි. එයට නිෂ්පාදකයෙක් අවශ්‍ය වෙනවා. මගේ දුව දොරකඩ දෙවොලේ රඟපානවා. එයාට හොඳ ප්‍රතිචාර තිබෙනවා. එයා කියනවා අපේ පොත්වලින් තව නිර්මාණ කරමු කියලා.

මනෝජ්රු ක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT