Home » තිස්ස අබේසේකරයන් සමඟ රඟපෑමට ලැබුණු විරල භාග්‍යය

තිස්ස අබේසේකරයන් සමඟ රඟපෑමට ලැබුණු විරල භාග්‍යය

31 වැනි කොටස

by mavan
February 26, 2026 12:39 pm 0 comment

කොළඹින් හුඟාක් ඈත රජරට වියළි කලාපයේ පාළු පෙදෙසක පිහිටි කන්‍යාරාමයකට මගේ හිත දිව යනවා. කොල හැලිලා නාටුවෙලා ගිය ගස් අතරින් දුවිලිවලාවන්ගෙන් පිරි මහපොළොව මතට වැටෙන අව්කාශ්ටකේත් දරා ගන්න බැරි තරම්. අවට තිබුණු දැඩි නිසංසල භාවය බිඳීන්නේ කන්‍යාරාමයේ පිහිටි දේවස්ථානයේ සීනුව කිප විටක් නාද වීමෙන්. දේවස්ථානය ඉදිරියේ මාවත දිගේ කාරයකින් ආවේ තරුණියක් සහ තරුණයෙක් .රථයෙන් බිමට බැස්ස තරුණියගේ පෙනුම අලුත විවාහපත් වී ගැබ්බරට ළංවු පෙනුමක්. ඇය හිමිහිට රථයෙන් බැස කන්‍යාරාමයේ පඩිපෙළ නැග්ගා.

“මාත් එන්නද?”

රථයේ සිටි තරුණයා ඇගෙන් අහනවා.

‘එපා…. ,

ඔයා ආවොත් මට කතාකරගන්න බැරිවෙයි. මම තනියම ගිහින් එන්නම්…..”

ඒත් මේ තරුණයාට ඇයව තනියම යවන්න හිත දෙන්නේ නැති පාටයි.

‘ඔය පඩිපෙළ තනියම නඟින්න හොඳද ඔයාට…? ඩොක්ටර් කිව්ව නේද පරිස්සම් වෙන්න කියලා. …

“මං හෙමිහිට පරිස්සමින් නඟින්නම්…”

ඇය දේවස්ථානයේ පඩිපෙළ නැග්ගා. ඒත් කන්‍යාරාමයට ඇතුළුවන පඩිපෙළේ දොර වසා තිබෙනවා දැක ඇය ටිකක් වටපිට බැලුවා. දොරටුවේ පසෙක එල්ලෙන දම්වැල් පොටක් දැක, එය අදිනවාත් සමඟම කන්‍යාරාමයේ ඈත සීනුවක් නාද වෙනවා ඇයට ඇසුණා. කන්‍යාරාමය ඇතුළතින් කිසිවෙකුගේ පිය ගැටෙන හඬක් ඇසු‍ණෙන් ඇය මදක් ඉවසිල්ලෙන් බලා සිටියා.

බිත්තියේ වූ කුඩා කවුළුවක් විවෘත වන ශබ්දයක් ඇසුණා. ඇය ඒ දෙස නෙත් යොමා සිටි නිසා ඉන් එළියට පැමිණියේ කන්‍යා සොහොයුරියකගේ මුහුණකි. ආවේ කුමකටද යන ප්‍රශ්නාර්ථය ඇති මුහුණින් කන්‍යා සොහොයුරිය ඇය දෙස බලා සිටියා.

‘ මම ආවේ සිස්ටර් වත්සලා මුණ ගැසෙන්න.’

‘සිස්ටර් වත්සලා විසිටර්ස්ලා එන්ටර්ටේන් කරන්නේ නැහැ’

කන්‍යා සෙහොයුරියගේ උත්තරයෙන් ඇය අධෛර්යයට පත් නොවුණි.

“කරුණාකර කියන්න සිස්ටර්, තිළිණි කියලා කෙනෙක් ඇවිත් ඉන්නවා කියලා. …..”

මං හිතනවා මේ කිව්ව රූප රාමු වත්සලා අක්කා චිත්‍රපටය නරඔපු කෙනෙකුට නම් අමතක වෙන්න විදියක් නෑ. වසර ගනනාවක් ගිහින් වුණත් තාමත් මට මේ සිදුවීම් මතක් කර ගන්න පුළුවන්. ඒ වගේම මම ඒ අතීතය මතක් කරන්න ආසයි. ඒක ඇතුළේ තියෙන්නේ අමුතුම මිහිරියාවක්. සමහර විට ඒ ආශාව මගේ හදතුළ මෝරන්නේ මම වත්සලා අක්කාගේ චරිතයට අසීමිතව ආදරය කරන නිසා වෙන්න ඇති.

දශක ගණනාවක් ගිහින් වුණත් මේ දෙබස් මට තාමත් මතකයි.

වත්සලා අක්කා සිස්ටර් කෙනෙක් වුණාට පස්සේ තිළිණි වත්සලා අක්කව හොයාගෙන ආවේ එහෙමයි. වත්සලා අක්කගේ චරිතයට වගේම, කන්‍යා සොහොයුරියක් ලෙසින් කළ රංගනයටත් මම හරිම කැමැතියි. මම හිතන්නේ මගේ රංගන ජිවිතයේ මේ චිත්‍රපටයෙන් තමයි මම පළමු වරට කන්‍යා සොහොයුරියක් වුණේ.

වත්සලා අක්කා තිරගත වෙන්නේ 1985-6-28 වැනිදාවක. මේ චිත්‍රපටය නිසා මගේ ජිවිතයේ කිසිදාක අමතක නොවන සුවිශේෂි අත්දැකීම් සුමදායක් ලැබෙනවා. ඒ අත්දැකීම් සියල්ල ලැබෙන්නේ තිස්ස අබේසේකරයන්ගේ හමුවිම නිසයි. මට රඟපාන්න ලැබෙන්නේ තිස්ස අබේසේකරයන් සමඟ. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ සරත් ගුණරත්න විසින්. නළු නිළියන් විදියට තිස්ස අබේසේකර, මම ඉනෝකා අමරසේන, ශ්‍රියානි අමරසේන, දයා අල්විස්, අනුර මැදගොඩ, වසන්ත කොටුවැල්ල, ඩග්ලස් රණසිංහ, සීතා කුමාරි, අසංකා මොනරවිල ඇතුළු පිරිසක් එකතු වුණා. මගේ පරපුරේ මාත් එක්ක සිනමාවට පිවිසුණු කාටවත්ම මම හිතන්නේ තිස්ස අබේසේකරයන් සමඟ රංගනයට අවස්ථාවක් හිමිවෙලා නෑ. ඒ වාසනාව මම ලැබුවා. ඒ අතින් මේ චිත්‍රපටය මගේ රංගන ජිවිතයේ එක්තරා සන්ධිස්ථානයක්.

රංගනය පැත්තෙන් ගත්තත් ඉතාම ගැඹුරු මානුෂිය සබඳතාවයන් තමයි මේ චිත්‍රපටය පුරාම විදහා දක්වන්නට තිබුණේ. ඒ හැම හැඟීමක්ම දෙබස්වලට වඩා මුහු‍ණේ ඉරියව් වලින් කළ යුතු භාව ප්‍රකාශනයක් හැටියට තමයි මම හඳුනා ගත්තේ. මේ චිත්‍රපටය ඇතුළේ ඉතාම ගැඹුරු මානව සබදතාවයන් කිහිපයක්ම තිබුණා. එක පැත්තකින් බැලුවම ගැහැනු පිරිමි ප්‍රේමයක් පිළිබඳව වන සම්බන්ධතාවය වගේම අනෙක් පැත්තෙන් පියෙක් සහ දියණියක් අතර පවතින මානව බැදීමත්, පිය සෙනෙහස තමාගේ මව හැර වෙනත් ගැහැනියක් සමඟ බෙදා හදා ගැනීමේදි ඇතිවෙන ඊර්ෂ්‍යාව, නොකැමැත්ත මේ චිත්‍රපටයේ තිළිණි ගේ චරිතය වටා ගොඩ නඟනවා. මතුපිටින් අපි දකින සරල ප්‍රේම කතාවකට එහා ගිය කතාවක් විදියට මම වත්සලා අක්කා දකින්නේ ඒ හින්දයි. ගැහැනියකගේ හිතේ ඇතිවන ප්‍රේමය වුණත් මේ චිත්‍රපටයේ ප්‍රකාශයට පත් කරන්නේ වෙනත් ගැඹුරකින් යුතුව. ඒක සාමාන්‍යයෙන් තරුණ යුවළකගේ ආදරණියත්වය රැඳුණු සරල ප්‍රේම කතාවකින් එහා ගිය එකක්. මේ ගැඹුර චිත්‍රපටය පුරාම පවත්වා ගන්න විශේෂම හේතුවක් වුණේ තිස්ස අබේසේකරයන්ගේ භාව පූර්ණ රංගන කෞශල්‍යය කියලයි මට හිතුණේ.

මගේ රංගන ජිවිතය දිහා මින් ඉහතට පිරික්සා බැලුවහොත් මට රංගනයට අවස්ථාව ලැබිලා තියෙන්නේ මගේ වයසට සමපාත වෙන තරුණ නළුවන් සමඟ ඒ වනවිට මම විජය කුමාරතුංග, අමරසිරි කලංසුරිය, සනත් ගණතිලක, ගාමිණි ෆොන්සේකා වැනි නළු චරිත සමඟ විවිධ ආකාරයේ, විවිධ හැඩතල සහිත භූමිකා නිරූපණය කර තිබුණා. මේ සියලු දෙනා සමඟ ගත්විට තිස්ස අබේසේකරයන්ගේ රංගනයේ මම වෙනසක් දැක්කා. ඔහුගේ රංගන ස්වභාවයේ, මෙන්ම ඔහුගේ හැසිරීම් රටාවේත් මම අමුත්තක් දැක්කා. ඒ අමුත්ත මම වෙනත් කිසිම නළුවෙකුගෙන් දැකලා තිබුණේ නෑ.

ඔහුට තිබුණා අමුතු හැසිරීම් රටාවක්. ඔහු කතා කරන විදිහ පවා වෙනස්. එයා එයාව හසුරුවා ගනිමින් තමයි කතා කරන්නෙත්. හැබැයි ඔහුගේ ඒ කතා විලාසය හරිම ලස්සනයි. මෙවැනි ගනයේ නළුවකු සමඟ මට මෙතෙක් රංගනයේ යෙදෙන්න අවස්ථාවක් ලැබිලා නැති නිසා මට මේක වෙනස් අත්දැකීමක් වුණා. ඔහුගේ මේ අලුත් රංගන ශෛලියට අනුගත වෙන්න මට ටික වෙලාවක් ගියා.

ලබන සතියේ…. වත්සලා අක්කා අත්දැකිම් තවත්

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT