Home » චිත්‍රපට නිෂ්පාදකවරියක් වූ හැටි

චිත්‍රපට නිෂ්පාදකවරියක් වූ හැටි

37 වැනි කොටස

by mavan
April 9, 2026 11:18 am 0 comment

සිනමා තිරයේ විවිධ චරිත නිරූපණය කර තිබුණත් රූපවාහිනි මාධ්‍යයට උනන්දුවක් හෝ ආරාධනාවක් තිබුණේ නෑ. මට නමුත් මාලිනි අක්කගේ මිතුරුකමත් සමඟ මට ඇයගෙන් ආරාධනාවක් ලැබෙනවා. ටෙලි නාට්‍යයක් කරමු කියලා. මේ ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කරන්නෙත් මාලිනි ෆොන්සේකා. මේ ආරාධනාව ප්‍රතික්ෂේප කරන්න මට හේතුවක් තිබුණේ නෑ. ඒ නිසා මේක මටත් අලුත් අත්දැකීමක් නිසා මම කැමැති වෙනවා. ඒ තමයි මගේ පළමු ටෙලිනාට්‍යය අත්දීම වු ‘ නිරූපමාලා‘ ආරම්භය. මේ ටෙලිනාට්‍යෙය් මම රඟපැවේ ලකී ඩයස් ගේ බිරිඳ විදියට. මාලිනී අක්කා ඔහුගේ පෙම්වතිය විදියට රඟපෑවා.

මේ කාලය වනවිට මට ගිරාදුරුකෝට්ටේ රෙදි සාප්පුවත් තියෙනවා. අපි තුන්හතරදෙනා නිවාඩුවට ගිරාදුරුකෝට්ටෙත් යනවා. නිරූපමාලා ටෙලිනාට්‍යය මාලිනි අක්කා නිෂ්පාදනය කරමින්ම අධ්‍යක්ෂණය කළා. ඇය එහි නිරූපණය කළේ ප්‍රසිද්ධ නැටුම් ශිල්පිනියකගේ චරිතය. ලකී අයියා චිත්‍ර ශිල්පියකු ලෙසින් රංගනයට එක් වුණා. මේ ටෙලි නාට්‍යය කොටස් තුනකින් සමන්විතව එවකට ස්වාධීන රුපවාහිනියෙන් විකාශය වුණා. මාලිනී අක්කා, ලකී අයියා සහ මම හැරුණු විට දෙනවක හාමිනේ, යු ආරියවිමල් සහ ළමා නළු නිළියන් කිහිප දෙනකුත් මේ සඳහා රංගනයෙන් එක්වුණා. මේ ටෙලිනාට්‍යෙය් සංගීත නිර්මාණය සිදුකළේ ප්‍රවීණ සංගීතඥ සරත් දසනායක විසින්. ටෙලි නාට්‍යයට එක් ගීතයක් අන්තර්ගත වුණු අතර , ඒ ගීතය මට මතකයි මාලිනි අක්කා විසින්ම රචනා කළා. ගීතය ගායනය කළේ විශාරද මාලිනි බුලත්සිංහල විසින්.

මේ හමුවෙන් පස්සේ අපි අතර තිබුණු බැදීම තව තවත් වැඩිවුණා.මේ අතරෙදි තමයි සාකච්ඡා වුණේ චිත්‍රපටයක් කරමු කියලා. අපේ සාකච්ඡාවෙන් පස්සේ අපි චිත්‍රපට කතාව ලියන්න සෝමපාල ලීලානන්දට පවරනවා. හැබැයි චිත්‍රපටයට මුල් වෙන්නේ ‘ඒපබඩ’ හින්දි චිත්‍රපටයේ කතාව. ඒ චිත්‍රපටයේ සබානා ආස්මී සහ ස්මිතා පටෙල් රඟපෑවා. සබානා රඟපෑව චරිතය තමයි මාලිනි අක්කා කරන්න තෝරා ගත්තේ. කොහොම හරි චිත්‍රපටය කරලා ඉවර වුණාට පස්සේ බොහෝ දෙනෙක් කියන්න ගත්තා හින්දි චිත්‍රපටයට වඩා සිංහල චිත්‍රපටය ලස්සනයි කියලා. ඒ චිත්‍රපටය තමයි ‘ අහිංසා.

ඇත්තටම කිවුවොත් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න ඒ කාලේ මාලිනි අක්කට මුදල් තිබුණට මට ඒ තරම් ආර්ථික හයියක් තිබුණේ නෑ. අනිත් පැත්තෙන් මම කවදාවත් චිත්‍රපට නිෂ්පාදිකාවක් වෙන්න ඕන කියන තැනක හිටපු කෙනෙකුත් නොවෙයි. නමුත් මාලිනි අක්කා

ෆිල්ම් එකක් කරමු නදීකා….. තියලා කිව්වම මම බෑ කිවුවෙත් නෑ. අන්තිමේ කොහෙන් කොහෙන් හරි මුදල් ලැබුණා චිත්‍රපටය කරන්න . අපි දෙන්නා සියයට පනහ පනහ මුදල් යොදවලා තමයි අහිංසා චිත්‍රපටය නිෂ්පාදනය කළේ. ඒ කාලේ වෙනකොට චිත්‍රපට කරලා හම්බකරගත් සල්ලි ටිකකුත් තිබුණා. මේ කාලයේ බොහෝ වෙලාවට සති අන්තයේ අපි ඉන්නේ ගිරාදුරුකෝට්ටේ. අපිත් එක්ක මේ ගමන් යන්න බොහෝ වෙලාවට ලකී අයියා සහ මාලිනි අක්කත් එනවා. චිත්‍රපටය ගැන බොහෝ සාකච්ඡා අපි තිබ්බේ එහෙදි. මම බොහෝ වෙලාවට සාප්පුවට ඕන කරන රෙදි කොළඹින් අරගෙන යනවා. අපේ අම්මගේ නංගි ඒකාලේ හිටියේ මහවැලි සි කලාපයේ. පුංචි අම්මා විවාහවෙලා හිටිය බාප්පට එහේ විශාල බංගලාවක් ලැබිලා තිබුණා. ඉතින් අපි ගියාම ඉන්නෙත් වැඩිපුර එහේ තමයි.

1985 අප්‍රියෙල් 30 වැනිදා තමයි අපි අහිංසා චිත්‍රපටය පටන් ගන්නේ.හරියටම මාලිනි අක්කගේ උපන්දිනය දවසේ. අහිංසා මාලිනි අක්කගේ දෙවැනි අධ්‍යක්ෂනය. මගෙයි මාලිනි අක්ගෙයි හවුල් නිෂ්පාදනයක් වුවත්, මේ මුහුරත් උළෙලට මට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. මට මතකයි ඒ වනවිටත් මට ඇමරිකාවට යන්න සිද්ධ වෙලා තිබුණා. එහි නිෂ්පාදනය වන ටෙලි චිත්‍රපටයකට දායක් වන්න. නමුත් අහිංසා මුහුරත්උත්සවය මාලිනි අක්කා නළු නිළි ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් පවත්වලා තිබුණා. සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා තමයි එදින ආරාධිත අමුත්තා වෙලා තිබුණේ. අහිංසා තිරගත වෙන්නේ 1987-12-17 වැනිදා. ඇත්තටම අහිංසා කියන්නේ හරි ලස්සන ආදර කතාවක්. මට තාමත් මතකයි චිත්‍රපටයේ ප්‍රධාන චරිත තුන වන සුරේෂ්- කල්පනා සහ සරෝජා ගැන ලියවිලා තිබුණ විදිය. ඒ කාලේ මේ චරිත තුන සිනමා ප්‍රේක්ෂකයෝ අතර හරියට ජනප්‍රිය වෙලා තිබුණා. මේ චරිත තුන ප්‍රේක්ෂකයන් අතරට මාධ්‍ය විසින් අරගෙන ගියේ මෙහෙමයි.

‘‘ රන් කෙන්දෙන් බැද අතැගිලි එක්කල ආදරය සහ පෙම් රැහැනින් බැද සිතුම් වසග කළ ආදරය අතර අතරමං වු සුරේෂ්……….‘‘

‘‘ඔබ සදිසි කුමරුවකුගේ පාද පරිචාරිකාව වන්නට මා මිස වෙන ළදක් මේ සක්වල තලයේ තවත් නැත….. ඇලේ හදවත් දෙවොලේ සුරේෂ් වෙනුවෙන් නැගුණු තේවා මුරය එයම විය………..සුරේෂ්ගේ හද දිනු කල්පනා….

‘‘ අනේ ඇය සුරේෂ් ගේ දෛවයේ තාරකාවද? කුලුඳුලේ උපන් පෙම් පැතුම් සුණු විසුණු වී ගොස් ගිනිගත් පෙම් විජිතයට මත් පැනින් සිසිලස සෙවූ හදක් සුවපත් කළ සරෝජා සදහටම ඉකිබිදින්නියක් වන්නේද?…. නැත සරෝජා එවැන්නකට කිසිසේත් සුදුසු නොවේ…..

‘‘ හඩන හදක් සුවපත් කරන්නට මන්ද ස්වරයෙන් වෙන තත හැඩවූ රාජ් ගේ දිවියේ අකාස්මික වෙන්වීම සාධාරණද? බමන මතින් සැලෙන ගතින් යුතුව වූ ඇය වාරු කරගෙන තරු නිවුණ යාමයේ නිවසට පැමිණි රාජ්……

සුරේෂ්- ලකී ඩයස්

කල්පනා – නදිකා ගුණසේකර

සරෝජා – මාලිනි ෆොන්සේකා

රාජ්- ජිවන් කුමාරණතුංග

අහිංසා ඒ විදියට අවසන් වුණා. සිංහල සිනමා ඉතිහාසයේ මම කියන තැනැත්තිය චිත්‍රපට නිෂ්පාදිකාවක් විදියට නම ලියවුණා. මේ චිත්‍රපටය හරහා මට ලැබුණු එකම වාසිය මට ලැබුණු සම්මානය විතරයි. එහෙම නැතුම මට සත පහක ආර්ථික වාසියක් ලැබුණේ නෑ.

ලබන සතියේ ඔක්කොම රජවරු සමග…

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT