වසරක් පාසා ඒ වර්ෂය යටතේ තිරගත වූ කැපී පෙනෙන හොඳම චිත්‍රපට සහ ටෙලිකතා මාලා වෙනුවෙන් සම්මාන පිදෙන 83වැනි වාර්ෂික ගෝල්ඩන් ග්ලෝබ් (Golden Globe) සම්මාන උලෙළ පසුගිය 12 වැනි දින ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ බෙවර්ලි හිල්ටන්හි දී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණ. ලොව පුරා සිනමාව වෙත ආදරය කරන ප්‍රේක්ෂකයන් වඩාත් අවධානයට ලක්වන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළහි හොඳම චිත්‍රපට අංශයෙහි සම්මාන ලබන්නේ කවුරුන්ද? යන්න පිළිබඳ වඩාත් උද්යෝගයකින් පෙළුණු බව දක්නට ලැබුණි. සුපුරුදු පරිදි මෙවර ද හොඳම චිත්‍රපටය (Best Picture) සහ ටෙලි කතා මාලාව සඳහා සම්මානය පිරි නැමුණේ නාට්‍යමය (Drama) සහ සංගීතමය හෝ හාස්‍යමය (Musical or Drama) යන අංශ දෙකක් යටතේය.
ගෝල්ඩන් ග්ලෝබ් 2026 සම්මාන උලෙළෙහි ‘සංගීතමය හෝ ප්‍රහසන (Musical or Drama)’ අංශයේ හොඳම චිත්‍රපටය ”පෝල් තෝමස් ඇන්ඩර්සන්” අධ්‍යක්ෂණය කළ ‘වන් බැට්ල් ආෆ්ටර් එනදර්’ චිත්‍රපටය දිනා ගත්තේය. එහිදි හොඳම අධ්යක්ෂවරයාට පිරිනැමෙන සම්මානය දිනා ගත්තේ ද ‘පෝල් තෝමස් ඇන්ඩර්සන්’ සිනමාකරුවා විසිනි. එහිදි ප්‍රවීණ නළු ලියනාඩෝ ඩිකැප්රියෝ ප්‍රධාන චරිතය නිරූපණය කළ “One Battle After Another” චිත්‍රපටය නාමයෝජනා නවයක් ලබා ගනිමින් සම්මාන හතරක් සඳහා හිමිකම් කීවේය. ඒ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම සහාය නිළිය, හොඳම තිර රචනය යන සම්මාන සතරයි. හොඳම සහාය නිළිය සම්මානය ‘වන් බැට්ල් ආෆ්ටර් එනදර්’ චිත්‍රපටය වෙනුවෙන් නිළි ටෙයානා ටේලර් දිනා ගත් අතර හොඳම සහාය නළුවා වූයේ ‘සෙන්ටිමෙන්ටල් වැලිවු’ චිත්‍රපටය වෙනුවෙන් ප්‍රවීණ නළු ස්ටෙලාන් ස්කාර්ස්ගාඩ් ය.
නාට්‍යමය (Drama) අංශයේ හොඳම නිළිය ලෙස සම්මාන දිනා ගත්තේ ‘හැම්නට්’ චිත්‍රපටය වෙනුවෙන් නිළි “ජෙසී බක්ලි” විසිනි. නාට්‍යම අංශයේ හොඳම චිත්‍රපටය වෙනුවෙන් පිදෙන සම්මානට හිමි කරගත්තේ ද ඈ රඟපෑ ‘හැම්නට්’ චිත්‍රපටයයි. සම්මානනීය බ්‍රසීලියානු නළු ‘වැග්නර් මෝරා’ විසින් “The Secret Agent” (2025) චිත්‍රපටයේ ඔහුගේ රංගනය වෙනුවෙන් ගෝල්ඩන් ග්ලෝබ් 2026 සම්මාන උලෙළෙහි හොඳම නළුවා සම්මානය දිනා ගත්තේ නාට්‍යමය අංශය වෙනුවෙනි. විශේෂත්වය වන්නේ වැග්නර් විසින් ගිය වසරේ පැවති කෑන්ස් චිත්‍රපට උලෙළෙහි ද “The Secret Agent” (2025) චිත්‍රපටය වෙනුවෙන් හොඳම නළුවා සම්මානය දිනා ගැනීමට සමත් වීමයි. “The Secret Agent” (2025) චිත්‍රපටය වෙනුවෙන් හොඳම නළුවා යටතේ මේ දිනාගත්තේ දහවෙනි සම්මානයයි. එමෙන්ම ‘නාර්කොස්’ ටෙලි කතා මාලාවේ පැබ්ලෝ එස්කොබාර් නම් සුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවාගේ චරිතය උදෙසා මීට පෙර පැවති ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළෙහි හොඳම නළුවා සඳහා සම්මානය හිමි වීම ද කැපී පෙනෙන සිදුවීමකි. හොඳම අන්තර්ජාතික චිත්‍රපටය ලෙස සම්මානය හිමි වූයේ ද වැග්නර් රඟපෑ “The Secret Agent” බ්‍රසීල චිත්‍රපටය වෙතටයි.
සම්මාන උලෙළෙහි ‘සංගීතමය හෝ ප්‍රහසන’ අංශය වෙනුවෙන් හොඳම නළුවා ලෙස නළු “Timothée Chalamet” සම්මානයට පාත්‍ර විය. එක්වරක් සඳහා පිදෙන යාවජීව සම්මානය වන සිසිල් බී. ඩිමිල් විශේෂ ගෞරව සම්මානය හිමි වූයේ හොලිවුඩයේ ප්රශස්ත රූපණවෙිදිනියක වන ”හෙලන් මිරන්” වෙතටයි. එමෙන්ම නාට්‍යමය අංශයේ හොඳම රූපවාහිනී කතා මාලාව ලෙස සම්මානය දිනා ගත්තේ ”The Pitt” කතා මාලාවයි. එමෙන්ම සංගීතමය හෝ හාස්‍ය අංශයේ හොඳම රූපවාහිනී කතා මාලාව ලෙස සම්මානය දිනා ගත්තේ ‘The Studio” කතා මාලාවයි. සම්මාන උලෙළ වර්ණවත් කිරීම සඳහා හොලිවුඩයේ සුපිරි නළු නිළියන් ද අධ්‍යක්ෂවරයන්, විචාරකයන් ඇතුළු සිනමාවේදින් විශාල පිරිසකගේ සහභාගීත්වය දැකගන්නට ලැබිණ.
