Home » කරුණාසේන ජයලත් කැමැතිම නිළිය

කරුණාසේන ජයලත් කැමැතිම නිළිය

by mavan
January 15, 2026 10:52 am 0 comment

25 වැනි කොටස

නිළියෙක් විදියට මගේ ජීවිතේ මට තිළිණ කරපු හරි ලස්සන චරිත ටිකක් තිබෙනවා. ඒවා ගනනින් ගත්තම හරි ටිකයි. නමුත් ඒ චරිත ඇතුළෙ ජීවත්වුණු මගේ රංගන හැකියාව දශක ගණනාවක් පුරා මාව බබළවන්න හේතු වුණා. මේ චරිත අදටත් මගේ රංගන ජීවිතයේ ඓතිහාසික සන්ධිස්ථාන. සුමිත්‍රා පීරිස් මැතිනියගේ ‘යහළු යෙහෙළි’ කියන්නෙත් මගේ සිනමා මුතු මාලයට ඇමිණුන තවත් එක් මුතු ඇටයක්. ‘මුදිතලතා’ ගැන මතක් වෙද්දි දැනේනනේ හරි ආදරයෙන් මම ළඟ තියාගත්ත සහෝදරියක් වගේ හැඟීමක්. මුදිතලතා මට තිළිණ කරන්නේ සුමිත්‍රා පීරිස් මැතිනිය. ඇයට ඇය සිනමාවට තිළිණ කළ, හඳුන්වාදුන්න නිළි චරිත තිබියදිත් මා වැනි කෙනෙක් මේ චරිතයට තෝරා ගන්න තව විදියකින් බලපෑමක් ඇතිවෙලා තිබුණා කියලා මට දැන ගන්නට ලැබෙනවා. ඒ බලපෑම එල්ල වුණේ ‘යහළු යෙහෙළි’ නවකතාව රචනා කළ කරුණාසේන ජයලත් ගෙන් කියලා මම අහලා තියෙනවා. ඔහු රචනා කළ ‘මුදිතලතා’ වඩාත් සුදුසු මාය කියන ස්ථාවරය ඔහුට තිබුණා. එතුමා ඒක නොයෙක් වර ප්‍රකාශ කරද තිබුණා. මට මතකයි. ඒ නිසාම අධ්‍යක්ෂවරියට මේ සඳහා මාවම යොදා ගන්න හේතු වෙන්න ඇති කියලා මට හිතෙනවා.

කොහොම වුණත් මගේ මතකය අතීතයට ගෙනයන විට සුමිත්‍රා පීරිස් මැතිනිය මට මුලින්ම මුණ ගැහෙන්නේ බැද්දේගම දර්ශන තලයෙදි. ලෙස්ටර් පීරිස් සමඟ ඇයත් ඒ දර්ශන තලයේ රැදි සිටියා මට මතකයි. අපි අතර ඇතිවුණ සුහද මිතුරු දම එදා ඉඳලා ඇය මිය යන මොහොත දක්වාම හරිම බලවත්ව තිබුණා. මම නිතර දෙවේලේම ලෙස්ටර් පීරිස් නිවහනට යන එන කෙනෙක් බවට පත්වුණා. මම ආදරේට ඇයට ආමන්ත්‍රණය කළේ ‘ආන්ටි සුමිත්‍රා‘ කියලයි. එක පැත්තකින් ඇය අපට ආදරය , සෙනෙහස, රැකවරණය ලබා දුන්න ආදරණිය මවක් වුණා. තවත් විදියකින් ඇය අපගේ දුක සැප බෙදා ගන්න, අපේ ඕන දෙයක් කියන්න පුළුවන් හොඳම යෙහෙළිය බවට පත්වුණා. අපේ දුක සැප අසල සංවේදි වෙන දයාබර වැඩිමල් සොයුරියක් විදියටත් අපි ඇයට බෙහෙවින්ම ගෞරව කළා. මේ කුමන සම්බන්ධතා අපි අතර පැවතියත්, එහෙම කියලා කවදාවත් ඇය ඇගේ චිත්‍රපටවල චරිත සඳහා මාව තෝරා ගත්තේ නෑ. අදාළ චරිතයට අතිශයින්ම සුදුසු නම් පමණයි ඇය ඇගේ චිත්‍රපටයකට කෙනෙක් තෝරා ගත්තේ. ඒක තමයි ඔවනුගේ චිත්‍රපට කලාව.

මම සිනමාවට එන යුගය වනවිට සුමිත්‍රා ආන්ටි වසන්ති චතුරාණි වැනි නිළියකත් සිනමාවට හඳුන්වා දි තිබුණා. අනෙක් පැත්තෙන් සබිතා පෙරේරා වැන්නියකුත් , වාණිජ සහ කලාත්මක චිත්‍රපට දෙඅංශයෙන්ම කටයුතු කරමින් සිටියා. මැණික් කුරුකුලසුරිය , ගෝතමි පතිරාජ වැන්නවුනුත් මේ වනවිට සිනමා තිරය තුළ හිටියා. සිනමාවේ දිප්තිමත් තරු විදියට බැබළුණ අපේ පෙර පරපුරත් සිනමාව තුළ ඉන්න අතරතුර තමයි මා වැන්නියකුත් සිනමාවට ප්‍රවිෂ්ට වෙන්නේ. මේ නිසා නිළියන්ගේ හිඟයක් මේ කාලයේ සිනමාවට තිබුණේ නෑ. නමුත් නැඟීගෙන එන සිනමා නිළියන් අතරට මේ කාලය වනවිට මගේ නමත් එකතුවි තිබුණා.

මගේ ජිවිතේ කිසිම දවසක මාව චිත්‍රපටයකට ගත්තේ නැ කියලා ඔවුන් සමඟ තිබෙන මිත්‍ර සබඳතා මම කවදාවත් අතහැරලා නෑ. මගේ තිබුණ ඒ හිතවත් කම් හැමදාමත් එක වගේම තිබුණා. සුමිත්‍රා ආන්ටි කෙරෙහිත් මට තිබුණේ ඒ වගේ හැඟීමක්. ඒ සඳහා වන හොඳම උදාහරණයක් මේ වර්තමානයෙනුත් මට ගෙනත් පෙන්වන්න පුළුවන්. රේණුකා බාලසුරිය සහ සෝමරත්න දිසානායක කියන්නේ දශක ගණනාවක් පුරා මගේ සමිපතම පවුලේ මිතුරන්. එහෙත් මේ ඊයේ පෙරේදා ඔහු අධ්‍යක්ෂනය කළ ‘රේපිස්ට්‘ චිත්‍රපටයට රංගනයෙන් දායක වනතුරු මම ඔහුගේ කිසිම නිර්මාණයකට මේ වනතුරු දායක වි තිබුණේ නෑ. නමුත් අවුරුදු තිස්පහක් තිස්සේ අපි හොඳම යාළුවෝ. මම ජාතික චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරි ලෙස කටයුතු කරන සමයේ සෝමරත්න දිසානායකයන්ගේ චිත්‍රපටයක ටිකට් වැඩි මිලට විකුණුවා යැයි කියමින් පොළොන්නරුව ජයන්ති සිනමා ශාලාවට විරුද්ධව ලොකු විමර්ශනයක් සිදුවුණා. දිර්ඝ කට උත්තරයක් දෙන්න මටත් ඒ සඳහා සම්බන්ධ වෙන්න සිද්ධ වුණා. විරුද්ධ පාර්ශ්වය හැමවිටම චෝදනා කරන්න පටන් ගත්තා මම ඔවුන්ගේ මිතුරෙක් නිසා ඔවුනගේ පාර්ශ්වයට වාසි සහගත වන ආකාරයෙන් මම කට උත්තර දෙනවා කියා. නමුත් රාජකාරියයි, මිත්‍රත්වයයි කියන එක මම කෙදිනකවත් පටලවා ගන්න ගියේ නෑ.

මගේ මේ ප්‍රතිපත්ති ගරුක ජිවිතය සුමිත්‍රා ආන්ටිත් හොඳීන් හඳුනාගෙන සිටියා. යහළු යෙහෙළි චිත්‍රපටයෙන් පස්සේ මම සුමිත්‍රා ආන්ටි කරපු ලොකුදුව චිත්‍රපටයේ ඉතාම සුළු චරිතයක් නිරූපණය කළා හැරෙන්න ඇයගේ වෙනත් චිත්‍රපටයකට කවදාවත් සම්බන්ධ වුණේ නෑ. එහෙම වුණා කියලා අපි අතර තිබුණ මිතුරු කමට බැඳීිමට කවදාවත් හානියක් වුණේත් නෑ. ඒ නිසාම අපට ඉතාම සුහදශීලිව ජීවත්වීමේ හැකියාව ලැබුණා.

යහළු යෙහෙළි චිත්‍රපටයට නළු නිළියන් තෝරන මෙහොතෙදි මට ආරංචිවෙනවා කරුණාසේන ජයලත් මාව ඒ සඳහා අතිශයින්ම සුදුසුයි කියලා නිර්දේහ කළා කියලා. නමුත් මට හිතෙනවා සුමිත්‍රා ආන්ටිට අවශ්‍ය වෙනවා මේ චරිතයට ඇයගේ නිළිය යොදවන්න. එහෙත් ඒ සඳහා කරුණාසේන ජයලත් දැඩි විදියට විරුද්ධ වෙනවා කියලා මට දැනගන්න ලැබෙනවා. ජයලත් මහත්මයා එක හෙළාම කියා සිටින්නේ එයට සුදුසු මම කියලයි.

ඒ කාලේ එක්තරා පුවත්පතකඑක් විශේෂාංගයක් සඳහා කරුණාසේන ජයලත්ගේ කැමතිම නිළිය නදිකා ගුණසේකර කියලා සඳහන් කරලා තිබුණා. මේක දැකලා ආන්ටි සුමිත්‍රා කරුණාසේන ජයලත් ගෙන් මෙහෙම අහලා තිබුණා.

‘‘ජයලත් ….. ඔයාගේ කැමතිම නිළිය අනුලා කරුණාතිලක නේද?

‘‘ඒ වුණාට මගේ යහළු යෙහෙළි පොතේ මුදිතලතා ඒ විදියටම චිත්‍රපටයේ ඉන්නවා……

කරුණාසේන ජයලත් උත්තර දිලා තිබුණේ ඒ විදියටයි. මෙතනදි මට දැනෙන දේ තමයි මා කෙරෙහි කරුණාසේන ජයලත් තැබු විශ්වාසය කොයි තරම් ද කියන එකයි. මම විශ්වාස කරනවා ඒ විශ්වාසය මම බින්දේ නෑ කියලා. මගේ අතින් ඒක බිඳුණ නම් ඔහුගෙන් එහෙම කතාවක් අහන්න මට ලැබෙන්නේ නෑ.

යහව යෙහෙළි චිත්‍රපටය රු ගත කරන කාලය පුරාම කරුණාසේන ජයලත් දර්ශන තලයේ රැඳී සිටියා. ඔහුගේ නව කතාව ඇසුරින් චිත්‍රපටයේ තිර රචනය සිදු කළෙත් කරුණාසේන ජයලත්මයි. මට මුදිතලතා වෙන්න ඔහුගෙන් ලොකු යහිහයක් ලැබුණා. සමහර දර්ශන පුහුණු වීම් කරද්දි මම හරිද? කියන පැනය බොහෝ වෙලාවට ඔහු ළඟට ගිහිල්ලා අහනවා. ඒ වගේම තමයි චරිතය ගොඩනඟන්න අධ්‍යක්ෂවරිය වුණු සුමිත්‍රා ආන්ටිගෙන් ලැබුණු උපදෙස්. මම හරියටම ඒ අපදෙස් පිළිපැද්දා. සාමාන්‍යයෙන් ආචාර්ය පීරිස් වගේම සුමිත්‍රා ආන්ටිත් චිත්‍රපටයක තිර රචනය දුන්නට පස්සේ ස්කි‍්‍රප්ට් රීඩින්, පෙර පුහුණුවිම් වගේ දේවල් කරන්නේ නෑ. සියලු කළමණාකරන කටයුතු කරන්නේ සහාය අධ්‍යක්ෂ උපාලි පෙරේරා විසින් චරිතය ගැන අවබෝධයක් ලබා දුන්නට පස්සේ නළුවට හෝ නිළියට නිදහසේ රඟපාන්න අවස්ථාව දෙනවා. ඒ රංගනයේදි කිසියම් වෙනසක් අවශ්‍ය වුණොත් එතනදි ඒක දැනුම් දෙනවා.

ලබන සතියේ
මුදිතලතාගේ රුව ගුණ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT