එඩ්වින් එස්. පෝටර් 1903
1900 දශකය ආරම්භ වන විට ලෝක සිනමාව තිබුණේ අමුතුම සිරවීමක ය. ලුමියර් සහෝදරයන් සිනමාව හරහා සැබෑ ලෝකය වාර්තා කළ අතර, ජෝර්ජ් මෙලීස් කැමරාව ඉදිරිපිට මැජික් පෙන්වීය. නමුත් මේ දෙපිරිසටම පොදු වූ එක් දුර්වලතාවක් විය. එනම්, ඔවුන් සිනමාව දෙස බැලුවේ ‘වේදිකා නාට්‍යයක්’ දෙස බලන ආකාරයට වීමයි. ප්‍රේක්ෂකයා එක තැනක වාඩි වී සිටී; කැමරාවද එක තැනක (Static)ඇත; නළුවෝ ඇවිත් රඟපා යති. කතාව ගලා යන්නේ එකම රේඛාවක ය.
නමුත් ඇමරිකානු ජාතික එඩ්වින් එස්. පෝටර් (Edwin S Porter) මේ සම්ප්‍රදාය කෑලිවලට කඩා දැමීය. “ඇයි අපිට එකම වෙලාවේ තැන් දෙකක වෙන දේවල් පෙන්වන්න බැරි?” ඔහු ප්‍රශ්න කළේය. සිනමාවට “කාලය” සහ “අවකාශය” ජයගත හැකි බවත්, රූප කැබලි එකිනෙක යා කිරීමෙන් (Editing) අලුත් අර්ථයක් උපදවා ගත හැකි බවත් ලොවට කියා දුන් ‘සිනමා භාෂාවේ පියා’ ඔහු ය.
කාර්මිකයාගෙන් උපන් කලාකරුවා
එඩ්වින් එස්. පෝටර් යනු මුලින්ම කලාකරුවෙක් නොව, දක්ෂ කාර්මික ශිල්පියෙකි. තෝමස් අල්වා එඩිසන්ගේ සමාගමේ කැමරා ශිල්පියෙකු ලෙස සේවය කළ ඔහු, නිතරම චිත්‍රපට යන්ත්‍ර ගලවා සවි කිරීමට දක්ෂ විය. ඔහුට අවශ්‍ය වූයේ යන්ත්‍රය ඇතුළේ ඇති යාන්ත්‍රික ක්‍රියාවලිය, කලාවක් බවට පත් කිරීමටයි. මෙලීස්ගේ චිත්‍රපට නැරඹූ පෝටර්, මෙලීස් විසින් අතහැර දැමූ රූප රාමු එකිනෙක යා කිරීමේ කලාව (Continuity Editing) තවදුරටත් දියුණු කළේය.
මහා දුම්රිය කොල්ලය (The Great Train Robbery) – 1903
1903 වසරේදී එඩ්වින් එස්. පෝටර් අධ්‍යක්ෂණය කළ The Great Train Robbery (මහා දුම්රිය කොල්ලය) චිත්‍රපටය ලෝක සිනමාව උඩු යටිකුරු කළේය. විනාඩි 12ක් පුරා දිවෙන මෙය, සිනමා ඉතිහාසයේ පළමු “බටහිර පන්නයේ” (Western) චිත්‍රපටය මෙන්ම පළමු “ක්‍රියාදාම” (Action) චිත්‍රපටය ලෙසද සැලකේ.
කතාව සරලය; සොරුන් කණ්ඩායමක් දුම්රිය නැවතුම්පොළක ටෙලිග්‍රාෆ් පණිවිඩකරුවා ගැටගසති; දුම්රියට පැන මගීන් කොල්ලකති; පලා යති; අවසානයේ පොලිසිය ඔවුන් ලුහුබැඳ විනාශ කරයි. අදට මෙය ඉතා සරල කතාවක් වුවද, 1903 දී මෙය ප්‍රේක්ෂකයාට දරාගත නොහැකි තරම් සංකීර්ණ සහ ත්‍රාසජනක අත්දැකීමක් විය.
තාක්ෂණික විප්ලවය: සමාන්තර රූප සංස්කරණය (Cross-Cutting)
පෝටර් විසින් ලෝකයට දායාද කළ වටිනාම සංකල්පය වන්නේ Cross-Cutting හෙවත් සමාන්තර රූප පෙළගැස්මයි. මෙතෙක් කල් චිත්‍රපටයක් ගියේ A සිදුවෙයි, ඉන්පසු B සිදුවෙයි” යන පිළිවෙළටය. නමුත් පෝටර් මේ චිත්‍රපටයේදී, සොරුන් දුම්රිය කොල්ලකන දර්ශනය පෙන්වන අතරතුරම, අතරමැදදී ගැටගසා සිටින ටෙලිග්‍රාෆ් පණිවිඩකරුවාගේ දර්ශනයක් පෙන්වයි.
මෙයින් ඔහු ප්‍රේක්ෂකයාට කීවේ, “මේ සිදුවීම් දෙකම එකම වෙලාවේ, තැන් දෙකක සිදුවෙයි“ (Meanwhile)යන්නයි. සිනමාවට “එකම මොහොතක විශ්වය පුරා විහිදීමේ බලය” ලැබුණේ මෙම සංස්කරණ ක්‍රමය නිසාය. එමෙන්ම ඔහු කැමරාව එක තැනක නොතබා, දුම්රියට ඉහළින් දුවන සොරුන් ලුහුබැඳ යාමට කැමරාව වමට සහ දකුණට චලනය (Panning) කළේය.
තුවක්කු බටය ප්‍රේක්ෂකයා දෙසට එල්ල වීම මෙම චිත්‍රපටයේ වඩාත්ම ප්‍රසිද්ධ දර්ශනය වන්නේ එහි අවසානය (හෝ සමහර පිටපත්වල ආරම්භය) යි. කොල්ලකරුවන්ගේ නායකයා (ජස්ටස් ඩී. බාන්ස් විසින් රඟපාන) කෙළින්ම කැමරාව දෙස බලා, තම පිස්තෝලය ඇද, ප්‍රේක්ෂකයා දෙසට වෙඩි තබයි!
මෙය කතාවට සම්බන්ධ නැති වුවද, එය ප්‍රේක්ෂකයා තිගැස්මකට ලක් කළේය. ලුමියර්ගේ දුම්රිය පැමිණෙන විට මිනිසුන් දිව ගියා සේම, පෝටර්ගේ කොල්ලකරු වෙඩි තබන විට ප්‍රේක්ෂකයන් බියෙන් කෑගැසූ බව කියැවේ. මෙය සිනමාව තුළ “සිව්වන බිත්තිය බිඳ දැමීමක්” (Breaking the Fourth Wall ) ලෙස ශාස්ත්‍රීයව හඳුන්වයි.
විශ්වවිද්‍යාලයීය විමර්ශනය: දර්ශනය නොව රූපය (Shot vs Scene)
ශාස්ත්‍රීය වශයෙන් බලන කල, එඩ්වින් එස්. පෝටර් කළ ලොකුම සේවය නම් සිනමාවේ මූලික ඒකකය “ජවනිකාව“ (Scene) නොව “රූප රාමුව (Shot) බව තහවුරු කිරීමයි. මෙලීස්ගේ චිත්‍රපටවල එක ජවනිකාවක් යනු එක කැමරා දර්ශනයකි. නමුත් පෝටර් පෙන්වා දුන්නේ, එකම ජවනිකාවක් තුළ රූප රාමු (Shots) කිහිපයක් තිබිය හැකි බවත්, ඒවා මාරු කිරීමෙන් හැඟීම් තීව්‍ර කළ හැකි බවත්ය.
උදාහරණයක් ලෙස, මිනීමරුවාගේ මුහුණ පෙන්වා ඊළඟට පිහිය පෙන්වීමෙන්, මුහුණේ ඇති කෝපය සහ පිහියේ ඇති භයානකකම යන දෙකම එකතු වී තුන්වන අර්ථයක් (භීතිය) ජනනය වේ. පසුකාලීනව සෝවියට් රුසියාවේ ‘කුලෙෂොව්‘ (Kuleshov) වැනි අය වර්ධනය කළේ පෝටර් විසින් ඇරඹූ මෙම සංස්කරණ න්‍යායයි.
සමාප්තිය: හොලිවුඩයේ අඩිතාලම
”The Great Train Robbery” චිත්‍රපටයේ සාර්ථකත්වය කෙතරම්ද යත්, එය ඇමරිකාව පුරා කුඩා සිනමාහල් (Nickelodeons) බිහිවීමට හේතු විය. මිනිසුන් සිනමාව බැලීමට ගියේ මැජික් දැකීමට නොව, ‘කතාවක්’ අත්විඳීමට බව ව්‍යාපාරිකයෝ් තේරුම් ගත්හ. පෝටර් එදා දුම්රියක් කොල්ලකන හැටි පෙන්වූයේ නැත්නම්, අද අප දකින Mission Impossible හෝ Fast and Furious වැනි චිත්‍රපට බිහි නොවන්නට ඉඩ තිබුණි. ඔහු කැමරා කාචය තුළින් කතන්දර කීමේ භාෂාව ලෝකයට ඉගැන්වූ පළමු ගුරුවරයා ය.
සුධීර විශ්වනාථ කලංසූරිය
