ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රයේ මිල්ටන් මල්ලවාරච්චි නාමය කිසිදා අමතක කළ නොහැකිය. ගීත අටසියයකට ආසන්න ප්‍රමාණයක් ගායනා කරමින් රසික හදවත් දිනා ගත් මිල්ටන් මල්ලවාරච්චිගේ ජීවන ගීතය සිනමාවට ගෙන ඒමට චිත්‍රපට අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන ලහි ලහියේ සූදානම් වන බව අපටද දැනගන්නට ලැබුණි. රූගත කිරීම් ආරම්භ වී ඇති බව මට දැනගන්නට ලැබිණි. පසුගිය දිනෙක එහි මුහුරත් උලෙළට සහභාගී වෙන ලෙස දන්වා මටද ආරාධනා පතක් ලැබුණි. ඒ මාධ්‍ය සම්බන්ධීකාරක ඇන්ටන් ජේ ප්‍රනාන්දු මහතා විසිනි. එදින මුහුරත් උලෙළ ජයටම සිදුකෙරිණි. අරුණ ජයවර්ධනගේ අධ්‍යක්ෂණයට උරදෙන නිෂ්පාදකවරුන් දෙදෙනා මා හොඳීන් දන්නා හඳුනන දෙදෙනෙකු වීමද විශේෂත්වයකි. මිල්ටන් මල්ලවාරච්චි පුතු රනිල් මල්ලවාරච්චිද එයට හවුල් ය. චිත්‍රපට නිෂ්පාදක අරෝෂ ප්‍රනාන්දු සිනමාවට ආගන්තුකයෙකු නොවේ. එහෙත් අනෙක් නිෂ්පාදකවරයා චමක මංජුල ය. ” එදා රෑ” ඔහු දායකත්වය ලබාදෙන ප්‍රථම සිනමා නිෂ්පාදනයයි. ආදි ආනන්දයකු වූ ඔහු මගේ පාසල් සමයේ ගජ මිතුරෙකි. පාසල් ජීවිතයෙන් සමුගෙන වසර තිස්තුනකට පසුව ඔහු මට මුණගැසුණේ” එදා රෑ ” මුහුරත් උලෙළේදීය. එය ඉතාම ලෙන්ගතු හමුවීමක් විය. මා සරසවිය පුවත්පතේ නිදහස් මාධ්‍යවේදිනියක් බව ඔහු දැනගත්තේ එදිනය. සිංහල සිනමාවට සරසවියෙන් වෙන සේවය මම ඔහුට කෙටියෙන් පැහැදිලි කර දුන්නෙමි.
” එහෙනම් නයනා ඔයාට පුළුවන්නේ එදා රෑ ගැන ලියන්න.
සරසවිය පුවත්පතින් ඒ සේවාව අකුරටම ඉටුකරන බව කවුරුත් හොඳීන් දන්නා කරුණකි. චමක මුහුරත් උලෙළට පසු දිනම ඕස්ට්‍රේලියාව බලා පිටත් විය. ඔහු පදිංචිව සිටින්නේ ඕස්ට්‍රේලියාවේය. දින කිහිපයකට පසුව මම දුරකතනයෙන් මම ඔහුව ඇමතීමි.
ඔහු මට සතුටු දායක ආරංචියක් පැවසීය.
” නයනා , ෂූටිං පටන් අරගෙන තියෙන්නේ. ඔයාට පුළුවන් ෂූටිං බලන්න යන්න”.
මම ඒ ගමනට සූදානම් වුණෙමි. රූගත කිරීම් කොතනද, කීයටද, කවදාදැයි මා දැනගත යුතුය. එදා රෑ ” සහය අධ්‍යක්ෂවරයාගේ දුරකතනය මට ලබා දුන්නේ ජනප්‍රිය යොවුන් නළු දිනෙත් ද සිල්වාය. ඔහුද එදා රෑ චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය සපයන්නෙකි. එදා රෑ ” සහය අධ්‍යක්ෂවරයා වන්නේ තරිඳු ආරච්චිගේය. ඔහු මට රූගත කරන ස්ථානය දන්වා එවා තිබුණි. ඒ සඳහා මම දිනයක් වෙන්කර ගතිමි. රූගත කිරීම් සිදුකරන්නේ බණ්ඩාරගම සර්වෝදය මධ්‍යස්ථානයේ බව ඔහු මට දැන්වීය. මා වෙන්කර ගත් දින පෙරවරු එකොළහට පමණ මම බණ්ඩාරගමට යාමට නිවසින් පිටත් වුණෙමි. මා එහි ළඟා වන විට පෙරවරු එකොළහයි තිහ පමණ විය.
සර්වෝදය භූමියට ඇතුල්වන විට මට දැනුණෙ අමුතුම හැඟීමකි. එය ඉතා නිස්කලංක පරිසරයක් විය. පසෙකින් බොල්ගොඩ ගඟ හරි හැඩට පෙනුණි. සර්වෝදය භූමිය මැදින් වැටී ඇති බොරළු පාර දිගේ මම ඉදිරියට පිය මැන්නෙමි. ටික දුරක් යන විට ” එදා රෑ රූගත කිරීම් සිදුකරන ප්‍රධාන ශාලාව දකුණු පසින් දිස්විය. මා එහි යනවාත් සමඟ මට ඇසුණේ පැරණි හින්දි ගීතයකි.
මෙරී සින්දලීකා
සාන්නිහාතා චලා ගයා
මම ශාලාවේ ප්‍රධාන දොරටුව අසලට ගොස් ඇතුළත විපරම් කෙරුවෙමි. ප්‍රධාන රංගන ශිල්පීන්, අතිරේක නළු නිළියන්, කාර්මික ශිල්පීන් සියලු දෙනාම රූගත කිරීම් අතරය. කාර්මික ශිල්පීන් නම් කඩි ගුලක් ඇවිස්සුණාක් මෙනි. සහය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන තරිඳු මල්ලී පැමිණ මාව පිළිගත්තේය. ඉන්පසු ” එදා රෑ” අධ්‍යක්වරයාට මාව හඳුන්වා දුන්නේය.
” මේ නයනාංජලී අක්කා. සරසවිය පත්තරෙන්”.
නයනාංජලී අක්කා මම නොදන්න කෙනෙක් ද. ” එසේ කියමින් අරුණ මල්ලී මාව ඉතා සුහදව පිළිගත්තේය. මම ගිය රාජකාරිය පිළිබඳව මම ඔහුට පැහැදිලි කළෙමි. කිසිදු පැකිළීමකින් තොරව ඔහු මට මගේ ඉල්ලීමට ඉඩ දුන්නේය. එහෙත් එක් කොන්දේසියකට මට යටත්වීමට සිදු විය. මිල්ටන් මල්ලවාරච්චිගේ චරිතය නිරූපණය කරන රොෂාන් රවීන්ද්‍රගේ පමණක් ඡයාරූප නොගන්නා ලෙසට අරුණ මල්ලී මගෙන් ඉල්ලා සිටියේය. මා මාධ්‍යවේදිනියක් වුවත් අධ්‍යක්ෂවරයාගේ ඉල්ලීම පසෙක දැමිය නොහැක.
මම අසල තිබූ අසුනක වාඩි වුණෙමි. මට අවශ්‍ය වූයේ ඒ අවස්ථාවේ එතන සිදු කෙරෙන කටයුතු මොනවාදැයි දැකබලා ගැනීමටය. කාර්මික ශිල්පීහු එහා මෙහා යමින් රූගත කිරීම්වලට අවශ්‍ය උපකරණ සකසමින් සිටියෝය. තවත් කරුණයන් කිහිපදෙනෙකු බැලුම්, රිබන් පටි එල්ලමින් ශාලාව සරසන්නට විය. සහය අධ්‍යක්ෂවරයා අතිරේක නළු නිළියන් හැසිරිය යුතු ආකාරය පිළිබඳව උපදෙස් දෙමින් සිටියේය. අංග රචනා ශිල්පීන් රංගන ශිල්පීන් හැඩ ගන්වමින් රූගත කිරීම්වලට ඔහුන්ව සූදානම් කළෝය. එදා රෑ චිත්‍රපටයේ ප්‍රධාන අංග රචනා ශිල්පියාලෙස කටයුතු කරන්නේ බුවනෙක රණවකය. උත්සව ශාලාව මඟුල් ගෙදරක සිරිය ගන්නට වැඩි වේලාවක් ගියේ නැත. එක් දර්ශනයක් දෙකක් ගැනීමට කෙතරම් නම් මහන්සි විය යුතුයද. චිත්‍රපටයක් තිරගත වූ පසු විචාර, ප්‍රතිචාර දීමට ලෙහෙසිය. එහෙත් එය තිරය මත දිගහැරීමට වෙන වෙහෙස මහන්සිය දන්නේ ඒ කටයුත්තට වෙහෙස වෙන පිරිසම පමණි. මා ඒ ගැන සිතමින් සිටින විට
“හරි අපි රියසල් එකකට යමු. ”
එසේ අණ දුන්නේ සහය අධ්‍යක්ෂවරයාය. අරුණ සූදානමිනි. රංගන ශිල්පින්ද ඒ ගැන අවධානයෙන් ය. ප්‍රධාන කැමරා ශිල්පියාගේ අවධානය කැමරාව වෙතය. එක් තැනක මංගල යුවළක් අසුන්ගෙන සිටිති. ඒ වටා මඟුල් ගෙදරට ආ අමුත්තන් ය. තවත් පසෙක හිනා පාමින් සිටින සුන්දර තරුණියන් ය. සංගීත කණ්ඩායම සුදානමින් ය. ගයක මිල්ටන් මල්ලවාරච්චි ගීතයක් ගැයීමට පටන්ගත්තේය. ඒ තාලයට පා තබමින් පිරිසක් නර්තනයේ යෙදෙන්නට වූහ. සුන්දර තරුණියෝ දෙදෙනෙක් කේක්, කෙසෙල් ගෙඩි වලින් අමුත්තන්ට සංග්‍රහ කරන්නට වූහ.
ඛ්භබ ජභබ….
ඒ අරුණගේ අණය.
මට නම් ඒ දෙස බලා සිටියදී දැනුණේ මෙය සැබෑවටම මඟුල් ගෙදරක් බවය. සියලු දෙනාට කෙටි විරාමයක් ලැබුණි. සංග්‍රහ කටයුතු කරන තරුණයා සිසිල් බීම වීදුරු සහිත බන්දේසියක් රැගෙන දර්ශන තලයට ආවේ සියලු දෙනාගේ පිපාසය නිවා ගැනීමට සිසිල් බීම වීදුරුවකින් සංග්‍රහ කිරීමටය. එය ළා කොළ පැහැති පානයකි. මා ළඟ සිටියේ අංගරචනා ශිල්පී බුවනෙක මල්ලිය. මා ඔහුගෙන් ඒ කුමක්දැයි විමසීය.
“අක්කේ ඒ පිපිංඤ්ඤ. ඒ අතර තුර මා සමඟ කතා බහට පැමිණියේ දිනෙත් ද සිල්වාය. ඉතින් කොහොමද අක්කේ. දිනෙත්ව දුටු මට සිහියට ආවේ හැට හැත්තෑව දශකයේ ජීවත් වූ තරුණයෙකුගේ විලාසයෙනි. ඉතා අලංකාර කමිසයකින් සහ කලිසමකින් සැරසී සිටි ඔහු ඇත්තෙන්ම කඩවසම් ය. දිනෙත් සිටියේ ගිටාරයක්ද අතැතිවය. කෙටි වේලාවක් මා සමඟ කතා කරමින් සිටි දිනෙත් මගෙන් මඳකට සමු ගත්තේ ගිටාරය වයන ආකාරය පුහුණු වීම සඳහාය. ඔහු ශාලාවේ කොණකට ගොස් තවත් තරුණයෙකු සමඟ ගිටාරය වාදනය කරන අයුරු පුහුණු වෙන්නට විය. මමද ඒ දෙස බලා සිටියේ මහත් ඕනෑ කමිනි. දිනෙත් “එදා රෑ” චිත්‍රපටයේ පෙනී සිටින්නේ ගිටාර් වාදකයෙකුගේ චරිතයටයි. ඒ කවුදැයි අසා දැනගැනීමට අවශ්‍ය වුවත් ඔහු පුහුණුවීම් වල නිරත වී සිටි නිසා මම ඔහුට බාධා නොකළෙමි. ඒ සඳහා තරුණයෙකු දිනෙත්ට සහය විය. ඒ අතරතුර ගිටාරයක් රැගෙන තවත් රංගන ශිල්පියෙකු ඒ අසළට පැමිණියේය. ඒ කවුරුන්දැයි මම හොඳීන් විපරම් කර බැලුවෙමි. ඔහු චරිත් අබේසිංහ බව හඳුනා ගැනීමට මට වැඩි වේලා ගතවූයේ නැත. ඔහුද දිනෙත් සමඟ එක්වූයේය.
” හරි ආයේ කට්ටියම හිටපු තැන් වලට යන්න.
නැවතත් රූගත කිරීම්ට සූදානම් වෙන ලෙස දැන්වූයේ සහය අධ්‍යක්ෂවරයාය. රොෂාන් සූදානම් ය. දිනෙත්, චරිත් සමඟ ශෂිරංග අදාළ ස්ථානවල ස්ථානගත වූහ. ඔවුන් තිදෙනා සමඟ තවත් ශිල්පීන් කිහිපදෙනෙකු වාදන ශිල්පීන් ලෙස පෙනී සිටියහ. ඔවුන්ට පැවරී තිබුණේ මඟුල් ගෙදරක ගී ගයන්නටය. ඔවුන් හරි අපූරුවට රංගනයේ යෙදුණහ. කැමරා කෝණ කිහිපයකින් එම දර්ශනය රූගත කෙරිණි. ඒ අතර මට අවශ්‍ය ඡයාරූප ලබාගත් මා අරුණ සිටින තැනට ළංවූයේ ඔහුගෙන් යම් අදහසක් ලබා ගැනීම සඳහාය. ඔහු ඉතා කැමැත්තෙන් මා සමඟ කතාබහට එක්විය.
” මට හරිම සතුටුයි මිල්ටන් මල්ලවාරච්චි වගේ ජනප්‍රිය දක්ෂ ගායකයෙකුගේ චරිතය ඇසුරෙන් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න ලැබුණ එකට. රූගත කිරීම් දවස් හතළිහක් ඇතුළත සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. මේක දැවැන්ත කටයුත්තක්. සංගීත සංදර්ශන පහක් ඇතුළත්.රංගන ශිල්පීන් එක් දහස් එකසිය විසිපහක් ඉන්නවා. ඒ අතර ලංකාවේ සිටින ජනප්‍රිය රංගන ශිල්පී ශිල්පිනියන් පනස් දෙනෙකු මේ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වෙනවා. මම ඒ සියලු දෙනාටත් කාර්මික ශිල්පීන් සියලුම දෙනාටත් ස්තූතිවන්ත වෙනවා.
ඔහු සමඟ කතාබහ කිරීමෙන් පසුව දිවා ආහාරය සඳහා රූගත කිරීම් නතර කෙරුණී. දිවා ආහාරය සූදානම් කර තිබුණේ ඉතා නිස්කලංක ස්ථානයකය. ඒ සඳහා මටද ආරාධනා ලැබුණත් මම එය ඉතා කාරුණිකව ප්‍රතික්ෂේප කළෙමි. දිවා ආහාරය සඳහා පිරිස සූදානම් වෙන අතරතුර මම රංගන ශිල්පී ශෂිරංග සමඟ කතා බහක යෙදුණෙමි.
” මට මේ චිත්‍රපටයේ චරිතයක් සඳහා ආරාධනා ලැබුණේ අරුණ ජයවර්ධනගෙන්. හරිම සතුටින් බාර ගත්තේ. මම රංගන ක්ෂේත්‍රයේ ඉන්නේ වසර ගණනාවක සිටයි. එහෙත් මම නිරූපණය කරන චරිතය නිසා එය මගේ ජීවිතයේ එක් සංධිස්ථානයක් වේවි. මම රඟපාන්නේ ලෙස්ලි ගෝමස් කියන චරිතය. මේ චිත්‍රපටය සෑම දෙනාම වැලඳ ගනිවී කියා සිතනවා. මා සමඟ අදහස් දැක්වීමෙන් පසුව ඔහුද දිවා ආහාරය ගැනීම සඳහා පිටත් විය. ඔවුන් දිවා ආහාරය ගන්නා තෙක් මම සර්වෝදය භූමියේ සිරි වින්ඳෙමි. අසලින් ගලා යන බොල්ගොඩ ඟං කොමලිය වෙනදාටත් වඩා හැඩවී තිබුණි. අවට සිරි නැරඹූ මම ඒ අසළ ඇති ගොඩනැගිල්ලක ආලින්දයට වී සිටියේ දිනෙත් සමඟ චිත්‍රපටය ගැන කතා කළයුතු නිසාවෙනි. ටික වෙලාවකින් දිනෙත් මා අසලට පැමිණියේය.
” අනේ අක්කේ ඔයා හිටියද මම එනකම්.
දිනෙත් ඉතා සුහදශීලීය. එමෙන්ම මාධ්‍ය සමඟ ඉතා නිහතමානීව කටයුතු කරන රංගන ශිල්පියෙකි.
ඔහු සමඟ මට නිදහසේ කතා කිරීමට හැකිවිය.
” අපේ සංගීත කණ්ඩායමේ නම ලා සිලෝනියන්ස්. තැන් තැන්වල සින්දු කියපු අපි කණ්ඩායමක් විදිහට වැඩ කරමු කියලා ගත්ත තීරණය නිසයි ලා සිලෝනියන්ස් ගෲප් එක හදාගත්තේ. අපිට විවිධ උත්සව, මඟුල් ගෙවල් වල වැඩ ආවා. මිල්ටන්ගේ ඉතා සමීප යාළුවෙක් මම. මම තිස්ස කුමාර පතිරණ. මිල්ටන්ගේ දුකේදි සැපේදි මම ළඟින්ම හිටියා. ඔහු ගායකයෙක් විදිහට ඉදිරියටම ගියා. ගීත තැටි කිහිපයක් කළා. මිල්ටන්ගේ මුල්කාලයේ සිටම ඔහුව අත්නොහැර ළඟින් සිටියා.
දිනෙත් ඒ වචන කියාගෙන ගියේ ඇත්තටම ඔහු තිස්ස කුමාර පරිද්දෙනි. එතරම් ඔහු ඒ චරිතයට සම වැඳී තිබූ බවක් මට දැනුණි. ඉන්පසු දිනෙත් කතා කළේ ඔහුගේ ඉදිරි සිනමා නිර්මාණ ගැනය. කොතැනකදී වුවද දිනෙත් හමුවුවහොත් ඔහු සමඟ ඡායාරූපයක් ගැනීම මගේ සිරිතය. එදිනද මම ඔහු සමඟ ඡයාරූප කිහිපයක් ලබා ගතිමි.
” කට්ටිය ඊළඟ සීන් එකට ඇඳුම් මරු කරගන්න”. ඒ විධානය සහය අධ්‍යක්ෂවරයාගෙනි. ඒ වනවිට පස්වරු දෙක පසුවී තිබුණි. ඊළඟ රූගත කිරීමට නියමිතව තිබුණේ සම්මාන උලෙළක දර්ශනයකි. එය අපේ රටේ තිබෙන වැදගත්ම සහ අභිමානවත්ම සරසවිය සම්මාන උලෙළයි. එහෙත් එය රූගත කරනා තුරු මට එහි රැඳී සිටිමට නොහැකි නිසා ඉතා කනගාටුවෙන් වුවද ඔවුන්ට සමුදීමට තීරණය කළෙමි.
එදා රෑ දර්ශන තලයේදී රංගන ශිල්පීන් ඇතුළු කාර්මික ශිල්පීන් ඉතා ඕනෑකමින් මාගේ රාජකාරිය කර ගැනීමට අවස්ථාව සලසා දුන්නේය. විශේෂයෙන් එක් කාරණවක් මෙහි සඳහන් කළ යුතුය. එහි සිටි අමතර ශිල්පීන් පිළිබඳවය. ඔවුන් රූගත කිරීම්වලට ලබා දුන්නේ අනගි සහයකි. ඔවුන්ව කැමරා කාචයට හසුවන්නටද නොවන්නටද ඉඩ ඇත. එහෙත් ඉතාමත් ඕනෑකමින් ඔවුන් සියලු දෙනාම එදා රෑ චිත්‍රපටයේ රූගත කිරීම් වලට දක්වන සහය අගය කළ යුතුය. ප්‍රධාන රංගන ශිල්පීන් සහ සෙසු රංගන ශිල්පීන් ඊළඟ රූගත කිරීම් වලට සූදානම් වන මොහොතේ මම දර්ශන තලයෙන් සමුගත්තේ “එදා රෑ” චිත්‍රපයට පාදක වූ මිල්ටන් මල්ලවාරච්චි නාමයද නැවත නැවතත් සිහිපත් කර ගනිමිනි.
සටහන සහ සේයාරූ නයනාංජලි දෙහිපිටිය
