ස්ත්‍රී චරිත නිරූපණයට නළුවන් යොදා ගැනීම සේම පුරුෂ චරිත නිරූපණයට නිළියන් යොදා ගැනීම සිනමාවට නුහුරු නුපුරුදු දෙයක් නොවේ. සිනමාවේ මුල් අවධියේ පටන්ම මෙයට අදාළ නිදසුන් දැක ගැනීම පහසුය. බොහෝවිට මෙම පිළිවෙත හාස්‍ය රසය දන්වනු පිණිසම භාවිත කළ බවයි පෙනී යන්නේ. ඇතැම් තැනකදී වෙනත් අරමුණු සමඟද මෙය එක්කරලන අවස්ථා පවතී. එනම් ත්‍රාසය, භීතිය, කුතුහලය බඳු හැඟීම් ඔප් නංවනු පිණිසය. එසේම ස්ත්‍රී- පුරුෂ සබඳතා සතු සංකීර්ණ හා පුළුල් තතු විනිවිද දැකීම උදෙසාය.
සිරිලක සිනමාවද ස්ත්‍රී චරිත නිරූපණයට නළුවන්ද, පුරුෂ චරිත නිරූපණයට නිළියන්ද බොහෝ දුරටම යොදා ගැනුණේ හාස්‍ය රසය මතු කරලීමේ අරමුණට අදාළවය. එනමුදු ඇතැම් සිනමාපටයකදී ස්ත්‍රියක පුරුෂයකු සේ තිරය මතට කැඳවන්නේ ස්ත්‍රීත්වය පිළිබඳ විසල් කතිකාවක් පොහොසත් කරලීමේ වුවමනාව පෙරදැරි කොට ගෙනය. එක් නිදසුනක් වූයේ ‘තනි තටුවෙන් පියාඹන්න’ යි. ‘මායා’, ‘මදර් ලංකා’ යන සිනමාපට වෙතින්ද හාස්‍ය රසය රහිත ස්ත්‍රී මුහුණුවරැති චරිත නළුවන් විසින් නිරූපණය කරන ලද වග අමතක නොකළ යුතුය.
සිනමා නිර්මාණකරණයට අලුතෙන්ම එක්වන චරිත් අබේසිංහ උත්සුක වන්නේද නළුවකු විසින් ස්ත්‍රී චරිතයක් නිරූපණය කරලන සිනමාපටයක් නිමවනු සඳහාය. ඊට හාස්‍යමය මුහුණුවරක් ගෙන එනු සඳහාය. ඔහු මෙම සිනමාපටය නම් කරන්නේද මේ වග ඉඟි කරමිනි. ‘මිස්ටර් මිසිස්’ ලෙසිනි.
මෙවැනි සිනමාපට අවඥාවෙන් බැහැර කිරීම සිනමා විචාරයේ පටු අරමුණු කුළුගැන්වීමක් වේ. මන්ද සිනමා විචාරයේ පොදු අරමුණ වන්නේ රසික නැණැස අවදි කරවන මාදිලියේම සිනමාපට නිමවිය යුතුය යන්න නිසාවෙනි. මෙය සිනමාවේ විවිධත්වය නොතකා හරින හා සිනමා වෙළෙඳ පොළ අවතක්සේරු කරලන අවස්ථා කරා යන්නේ ඉබි ගමනින් නොවේ.
මේ තතු මැද චරිත්ගේ ‘මිස්ටර් මිසිස්’ සලකා බැලීම නුවුමනා කටයුත්තක් නොවන්නට පුළුවන. මෙකරුණ තීව්ර වන්නේ සිනමාපටයේ නිපැයුම් ප්‍රමිතිය සම්බන්ධයෙන් සිනමාකරු චරිත් යම් සැලකිල්ලක් දක්වා ඇති වග පෙනෙන්නට ඇති නිසාය.
විද්වත් රසික සුළුතරයේද, එය බහුතරයක් බවට පත් කරලීමේ අභිලාසයෙන් යුතු රසික කණ්ඩායම් ආදියේද විසල් විමසුමට ලක්වන සිනමාපට කිහිපයක්ම තිරගත කෙරෙන පසුබිමක ‘මිස්ටර් මිසිස්’ බඳු සිනමාපටයක් තිරගත වීම කිසියම් ආගන්තුක බවක් දනවයි. මෙයද මෙහිදී අමතක නොකළ යුත්තකි.
‘මිස්ටර් මිසිස්’ නරඹන පළමු වටයේදීම පුරුෂයකු විසින් ස්ත්‍රී චරිතයක් නිරූපණය කළ වෙනත් සිනමාපට සිහිපත් වන්නේ යම් අනුකාරක ලකුණුද සහිතවය. මෙය ‘මිස්ටර් මිසිස්’ යනු වෙසෙසින් හඳුනා ගත යුතු නොවන සිනමාපටයක්ය යන අදහස ඉස්මතු කෙරෙන්නකි. සිනමාකරු චරිත් මෙතැනදී කල්පනාකාරී වන බව පෙනේ.
බිරිඳව රවටමින් සේවිකාවක සේ ඇගේ නිවහනේම රැඳෙන සැමියකුයි මෙහිදී රසිකයාට හමුවන්නේ. මෙවැනි තීන්දුවක් ගැනීමට තුඩු දෙන හේතු සිනමාකරු නොසඟවා ඉදිරිපත් කරයි. මෙහිදී යම් අනුකාරක පිළිවෙත් මත සරන්නට දරන මනාපයක්ද පෙනී යයි. අනුකරණය එක එල්ලේම පමණක් සිදු නොවේ. වක්‍රාකාරයෙන් සිදු කෙරෙන අනුකරණය සැණෙකින් නිශ්චය කර ගැනීම අසීරුය. කෙසේ වුවද සිනමාව විෂයෙහි අනුකරණය යන්න ගර්හාවට ලක් කළ යුත්තක්ම නොවන බවයි කියැවෙන්නේ. එක්තරා ආකාරයකින් අනුකාරක සිනමාපට යනු යම් සිනමා මාදිලියක්ම වේ. මෙය ලොව පුරාම හඳුනා ගත හැක්කකි. වඩාත් වැදගත් වන්නේ අනුකරණය වුව ඉහළ ප්‍රමිතියකින් සමන්විත කිරීමය. මෙතැනදී ජයගත් හා ජය ගැනීමේ වුවමනාව හා එක්වූ සිනමාකරුවක් කිහිප දෙනෙකුම මෑත කාලීන සිරිලක සිනමාව ඇසුරෙන් හඳුනා ගත හැකිය. මෙතැනට පැමිණීමේ සමත්කමක් සිනමාකරු චරිත් සතුව තිබේදැයි යන්න මේ මොහොතේදී නිශ්චය කර ගත හැකි නොවේ. ඔහුගේ දෙවන හෝ තෙවන සිනමා නිමවුම් විමසීමෙන් අනතුරුව මේ පිළිබඳ නිසැක අදහසක් සරි කර ගැනීම පහසුය.
සිනමාකරු චරිත් ‘මිස්ටර් මිසිස්’ නිමවා මෙසේ අවධානය දිනා ගැනීම පසුපස ඇති ප්‍රමුඛතම සාධකය වන්නේ රූපණ කාර්යයන් ප්‍රමාණවත් තලයක තබා ගැනීමට සාපේක්ෂව වුව දක්වන හැකියාවය. ස්ත්‍රියක සේ පැමිණෙන උද්දික ප්‍රේමරත්න වෙතින් ප්‍රමාණවත් හා විශ්වසනීය රූපණයක් සිනමාකරු චරිත් අපේක්ෂා කරන්නේ යම් පසුබෑමක් පෙන්නුම් කළහොත් සමස්ත සිනමාපටයම ඇද වැටෙන්නට ඉඩ ඇති හෙයිනි. සිනමා රූපණයේ සමත්කම් ගණනාවක්ම පෙන්නුම් කළ උද්දිකට මෙය එපමණ අභියෝගයක් නොවූ බව පළමු වර සිතේ. නමුත් ඔහු මෙම චරිතය ගොඩ නැංවීමට පමණක් නොව පවත්වා ගැනීමට දරන්නේ වෙහෙසකර තැතකි. ඔහු වෙත අපමණ නිදහසක් ප්රදානය කරන්නට සිනමාකරු චරිත් කිසිදු පියවරක් නොගන්නේ යැයි සිතේ. මෙනිසාම තිර රචනයේ මඟ පෙන්වීම් හා සිනමාකරුහේ විධානයන්ට යටත්ව ස්ත්‍රී චරිතය පණ ගන්වන්නටයි ඔහුට සිදුව ඇත්තේ.
මෙතැනට පැමිණෙන මහේන්ද්‍ර පෙරේරා ඉතා ඉක්මනින්ම සිය රූපණ බලය සිනමාපටයේ අස්සක් මුල්ලක් නෑරම පතුරුවා හරී. ඔහුට ලැබෙන්නේ ප්‍රධාන චරිතයට අතිශයින්ම ආසන්න සහය චරිතයකි. සිය හඬේ ගැඹුරද, හඬ හසුරුවාලීමේදී පළ කරන ප්රබලතාවද නිසා මහේන්ද්‍ර මෙම චරිතයට අවැසි අවධානය ඕනෑවටත් වඩා ලබා දෙන්නේ උද්දිකගේ රූපණය පසුකර යාමේ අවස්ථාද සහිතවය. උද්දිකට මෙන් සිනමාකරුගේ හසුරුවාලීමකට මහේන්ද්‍ර බඳුන් නොවේ. සිනමාකරු චරිත් මෙම චරිත ද්වය දෙස දෙයාකාරයකින් බැලීම නිසා රසිකයා තුළ මෝදු වන්නේ යම් නොපහන් හැඟීමකි.
ගිරිරාජ් කෞශල්‍ය විසින් ලියන ලද තිරනාටකය සිනමාකරු චරිත්ගේ අරමුණ සවිබල ගන්වන සාධක කිහිපය අතර පෙරමුණේම තිබේ. සරල හාස්‍යයට යම් පසුබිමක් සපයන ගිරිරාජ්ගේ තිරනාටක කිහිපයක්ම මීට පෙර සිනමාගත වුයේද ඒ ඒ සිනමාකරුවනට සවිබල සපයමිනි. ගිරිරාජ් විසින්ම නිමවන ලද සිනමාපටද මෙතැනදී සැලකිල්ලට ගත හැකිය. කෙසේ වුවද හාස්‍ය රසය ඔස්සේ රසිකයාගේ සිත් සතන් ප්‍රබෝධමත් කිරීමෙන් ඔබ්බට නොයාම ඔහුගේ වරදක් සේ දැකීම නම් අනුචිතය. මන්ද සිනමාව විවිධාකාර විය යුතුය යන දැක්ම තවදුරටත් යාවත්කාලීන වන නිසාවෙනි.
මූලික පුවත පරස්පරතා අවම කර ගනිමින් දිග හරින්නට සිනමාකරු චරිත් දක්වන උනන්දුව අවප්‍රමාණ නොකළ යුතුය. මෙය වෙනස් ආකාරයේ සිනමා මෙහෙයුම් වෙත නැඹුරුවීමට ඔහු දක්වන උනන්දුවේ පළමු අවස්ථාවක් යැයිද සිතේ. එසේම සදය උපහාසය වරෙක යම් උත්ප්රාසාත්මක බවකින් සනිටුහන් කරලීමටද ඔහු මෙහිදී වෑයම් කරයි. අන් ආකාරයක සිනමා මෙහෙයුමකදී මෙම සමත්කම් හා ඒ ඇසුරෙන් ලබා ගන්නා පරිචය සඵලදායී වන්නට ඕනෑ තරම් ඉඩ තිබේ.

තුසිත ජයසුන්දර
[email protected]
