ලොවට ජනිත වූ විවිධ පුද්ගලයින් විවිධ වූ දක්ෂතාවයන්ගෙන් පොහොසත්ය. ඒ ඒ පුද්ගලයින් තම සිතැඟි හැකියාවන් කොතෙකුත් සමාජගත කර ඇතත් ඒ සැවොම එකාමෙන් සමාජයේ විරාජමානව වැජඹෙන්නේ නැත. ඔවුන් අතරින් ඒ බැබැලීමේ වාසනාවද හිමිව ඇත්තේ ඒ අතරින් අතළොස්සක් වූ පිරිසකට පමණි. එවන් වූ අය අතුරින් කිහිපදෙනෙක් කලාවේද නිරතව ඇත. කලාවේ විවිධ ඉසව් සොයායමින් පර්යේෂණයන් හි නියැලෙමින් හරවත් ගුණවත් යමක් සමාජ ශෝධනය සඳහා එක් කරලන්නට නිරන්තරයෙන් වෙර වීරිය යොදවන්නන්ද මේ අතර සිටිනු ඇත. අද අපේ සංවාද කතාබහේ නියමුවාද එවැනි ගණයේ පුද්ගලයෙකි. විවිධ වූ කලා ක්ෂේත්‍රයේ දක්ෂතා බොහොමයකින් පොහොසත් වූ ඔහු විටෙක ගීත රචකයෙක්, මාධ්‍යවේදියෙක්, පූරකයෙක්, නිපුණතා හඬ වැඩසටහන් මෙහෙයවන්නෙක්, නවකතා ළමා කතා, කවි ශාස්ත්‍රීය පොතපත රචනයේ නියුතු ගත් කතුවරයෙක්, ජනශ්‍රැති පර්යේෂකයෙක්, ප්‍රාසංගික ශිල්පියෙක්, සම්මාන උලෙළ පිටපත් රචකයෙක්, අපේ හෙළ ගී සංස්කෘතිය විවිධ රටවලට රැගෙන යන ඒ රටවල ගීත වැඩමුළු පවත්වන ගීත රචකයෙක්, දේශකයෙක් ආදී බොහෝ හැකියාවන්ගෙන් සම්භාවනයට පාත්‍ර වූ පුද්ගලයෙකි. නමින් ඔහු උපුල් ගුරුගේ. නිරන්තරයෙන් කලාවේ විවිධ ශෛලීන් ඔස්සේ නිර්මාණකරණයේ නියැළෙන උපුල් ගුරුගේ හා සංවාදාත්මක කතාබහකට මුලපුරමු.
උපුල් ගුරුගේ කියන්නේ?
කලා ක්ෂේත්‍රය සොයායන්නෙක්, හදාරන්නෙක්, කලාවේ විවිධ ඉසව් සොයා ගෙන යන්නෙක්, මම එක තැන කොටුවුණු කොටුවෙන පුද්ගලයෙක් නොවෙයි.
මේ දවස්වල ඔබ නියැලී ඇති කාර්යයන් මොනවාද?
විවිධ රටවල ගීත රසවින්දන වැඩසටහන්වලට සහභාගි වෙනවා.
ඒ රටවල පදිංචි සිංහල ප්‍රජාව ඒ සඳහා මට ආරාධනා කරනවා.
මොන වගේ රටවලින්ද ඒ සඳහා ඔබට ආරාධනා ලැබෙන්නේ?
චීනය, ජපානය, නේපාලය, රුසියාව, ඉතාලිය වගේ. රටවල අපේ ශ්‍රීලාංකිකයෝ වසර විස්ස තිහ අපේ රටෙන් ඈත්වෙලා ඒ රටවල්වල පදිංචි වෙලා ඉන්නවා. මෙන්න මේ අය තමයි ඒ වගේ ගීත රසවින්දනාත්මක විචාරක වැඩසටහන් සංවිධානය කරලා මට දේශකයෙක් ලෙස ආරාධනා කරන්නේ.
ඉන්දියාවේ පැවති සාක් සාහිත්‍ය සමුළුව වෙනුවෙන් ලංකාව නියෝජනය කරන්න පවා ඔබ භාග්‍යමත් වූවා නොවේද?
ඉන්දියාව, පකිස්ථානය, නේපාලය, භූතානය, මාලදිවයින, බංගලාදේශය මේ හැම රටකටම නියෝජිතයන් හා ගනුදෙනු කරන්න මට අවකාශ උදා වුණා. ඔවුන්ගේ දැනුම හුවමාරු කරගන්න වගේම ඒ අය සමඟ මිත්‍රත්වයක් ඇතිකරගන්නත් මට මේ සමුළුව ලොකු පිටුවහලක් වුණා. සාක් රටවල ඉන්න ලේඛක ලේඛිකාවන් හා සබඳතා ගොඩනඟා ගන්න ඒ ලේඛක ලේඛිකාවන්ගේ පොතපත පරිශීලනය කරන්න වගේම ඒවා පරිවර්තනය කරන්නත් මට අවස්ථාව උදා වුණා.
මේ දවස්වල පොතපත පරිශීලනය ලේඛන කලාව මදකට නතර කරලාද?
නෑ කීචි බීච් කියලා ළමයින් සඳහා ළමා ගීත පොතක් රචනා කළා. අද වෙනකොට ළමා ගීත කියන ශානරය අද හරි අඩුයි. අද තියන රියලැටි වැඩසටහන්වල පවා දකින්න තියෙන්නේ දරුවෝ කියන්නේ වැඩිහිටියන්ගේ ගීත. ඒ අඩුව පුරවන්න තමයි මම අධ්‍යයනයක නිරත වෙලා නිර්මාණාත්මකව ළමයින්ගේ වයස් කාණ්ඩයන්ට සුදුසු ආකාරයේ ළමයින්ට සුදුසු වෙනස්ම ආකාරයේ ගීත කලාවකට දරුවෝ හුරු කරන්න මම ළමා ගීත රචනයක් සිදු කළා. ගීත අහන දරුවකුට නිර්මාණාත්මක පදනම, සන්නිවේදනය ඇති කරන්න තමයි මම කිචිබීචි රචනා කළේ.
ඒ වගේම දකුණු පළාතේ බස් වහර යොදාගෙන පර්යේෂණාත්මක නවකතාවක් ලිව්වා. නේත්‍රාවතී කියලා. බොහෝවිට මේ පොත් දෙක ලබන මාසයේ හෝ ලබන අවුරුද්දේ ජනවාරි මාසයේ ජනගත කරන්න අදහස් කරලා තියෙනවා.
නේත්‍රාවතී ඔබේ නවතම නවකතාව මොනවගේ පැතිකඩක් විවරණය වන ලෙසින් ද රචනා කළේ?
දකුණේ බස්වහර ඇතුව කිසිදු දේශපාලන දෘෂ්ටි කෝණයකට නොමැතිව දකුණු පළාතට ආවේණික වූ යාතු කර්ම, ඇදහිලි, විශ්වාසයන් පිළිබඳ කතා කරමින්. ඒ හරහා ගලා ගෙන යන ප්‍රේමකතාවක් පාදකවන ලෙසින් තමයි මෙය රචනා වෙලා තියෙන්නේ. මම හිතනවා මෙය නවකතාවේ පිටපත බොහෝ විට රූප රචනයකට වඩාත් සුදුසුයි කියලා. ඒ ඉඩ තුළ මම අදහස් කරනවා ලබන වසරේ එය රූප මාධ්‍යයේ නිර්මාණයක් ඇතුවත් දෙයක් කරන්න.
ගී පද රචනයත් අද ඔබ සීමා කරලද?
මම ළඟ ලියපු ගීත නිර්මාණ විශාල ප්‍රමාණයක් තියනවා. ඒවා පොතක් හැටියට ගෙන එන්න ලොකු පිරිවැයක් අවශ්‍යයි. අද කාලේ හැටියට පොතක මිල පිරිවැය කෙනෙකුට දරාගැනීම ගැන ගැටලුවක් තියනවා. මගේ අතේ රැඳී දුරකතනයේ නෝට් පෑඩ් එකේ පිරිලා ඉතිරිලා තියෙන්නේ එහෙම ලියවුණු නිර්මාණ. අද වෙනකොට ගීත රචනා කලාව ව්‍යාපාරයක් වෙලා තියෙනවා. අවර ගණයේ පිරිස් අතින් මේ කලාව අද ගොදුරක් වෙලා තියෙනකොට හොඳ දෙයක් කිරීම ගැටලුවක් වෙලා තියනවා. එහෙම වුණා කියලා අපි හොඳ දෙයක් මේ පොළොවේ පැල කරන්න උත්සාහ නොගෙන ඉන්නේ නෑ.
උපුල් ගුරුගේ හා පුරා කියලා කලාව වැළඳ ගන්නේ කොහොමද?
1996 වසරේ මම කැලණිය විශ්වවිද්‍යාලයට තේරිලා ඉන්නකොට මට අවස්ථාවක් උදා වුණා ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ ‘කේමදාස පදනමට’ සම්බන්ධ වෙන්න. එතැනදී තමයි මට තේරුනේ මේ ලෝකය මොනතරම් විශාල ද කියලා. ඒ කියන්නේ ජන සංගීතයට, හින්දුස්ථාන් රාගධාරී සංගීතයට පාසලේ දී රාගවලට සීමා වෙලා හිටිය මට නව ලෝකයේ සංගීත සම්ප්‍රදායන් තියනවා. අපි ඒවා එකින් එක සොයා යා යුතුයි කියන අදහස මගේ ඔළුවට දැම්මේ කේමදාස මාස්ටර්. ඊට පස්සේ එතුමාගේ ඔපෙරාවලට සම්බන්ධ වුණා. ඒ ගැන හැදෑරීමේ භාග්‍යය මට ලැබුණා.
ආචාර්ය කේමදාසයන්ගේ කුමන නිර්මාණයට ද ඔබ මුලින්ම සම්බන්ධ වෙන්නේ?
පිරිනිවන් මංගල්‍යයට. ලෝකයේ පළවෙනි බෞද්ධ කැන්ටාටාවට. ඊට පස්සේ දොරමඩල, මානසවිල, අග්නි ඇතුළු එතුමන්ගේ අවසන් නිර්මාණ දක්වාම මම සම්බන්ධ වෙනවා.
ඔබ කේමදාසයන් පිළිබඳ පොතක් පවා රචනා කරනවා?
එතුමන්ගේ තිබුණු පෘථුල දැනුම ජ්‍යේෂ්ඨත්වය මම සැලකිල්ලට ගෙන එතුමන්ගේ සංගීත දිවිය අලළා සංගීතයේ හෙට දවස කේමදාස නමින් මම එතුමන් ගැන පොතක් රචනා කළා. ශිෂ්‍යයෙක් හැටියට මේ පොත මම ලිව්වේ. 1998 වසරේ පසු කලෙක මා අතින් ලියවුණු පොත සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ගුරුවරුන් භාවිත කරන අත්පොතක් බවට ගොඩක් ජනප්‍රිය වුණා. මේ පොත ලියනකොට කැලණිය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ශිෂ්‍යයෙක් මම.
“සංගීතයේ හෙට දවස කේමදාස” කෘතිය ඔබට වාසනාව රැගෙන ආවා කිව්වොත් ?
ඔව් එහෙම දෙයක් වුණා. මම මේ පොත රචනා කරලා ජනගත කළාට පස්සේ මට ගොඩක් දොරවල් ඇරුණා. සාමාන්‍යයෙන් කේමදාසයන් ගැන පොතක් ලියන්න සමහරු බයයි. බොහෝ දෙනෙක් හිතන් හිටියේ මාස්ටර් හරි සැර පරුෂ කෙනෙක් කියලා. මොකද මාස්ටර් හරි සෘජු අදහස් පළකළ කෙනෙක්.
නමුත් එතුමන් හරි සුන්දර හදවතක් තිබුණා. හුඟාක් අය ඒ සුන්දර හදවත දැක්කේ නෑ. මම ඒ සුන්දර හදවත දැක්කා. මෑත කාලයෙත් මට ආරාධනාවක් ආවා ළමුන් සඳහා අපදාන පෙළක් ලියන්න. එතැනදී මම ආදරණීය මාස්ටර් කියලා චිත්‍රපෙළක් සහිතව පොතක් කරන්නත් ලැබුණා. ඒ තුළින් දරුවන්ට කේමදාස මාස්ටර් හඳුන්වා දීමක් තමයි සිද්ධ කළේ. ඊට පස්සේ මේ ශෛලීන්ගෙන් සුනිල් ශාන්ත, නන්දා මාලිනී, මොහිදින් බෙග් පිළිබඳ ළමයින් සඳහා අපදාන කීපයක් කලා.
තව තවත් එක් එක් අයගේ අපදාන ලියන්න ඔබට ආරාධනා පැමිණියාද?
ඔව් අපදානයක් ලියන්න කිව්වටම බෑ. ලියන කෙනාටත් ඒ පුද්ගලයා පිළිබඳ කැමැත්තක් තිබිය යුතුයි. ඒ අනුව කලාකරුවන් කීපදෙනෙක් පිළිබඳවත් මට අපදාන ලියන්න ආරාධනා පැමිණියා. ඒ අනුව සරත් ද අල්විස්ගේ අපදානය ලියන්න මට බාර වුණා. එයාගේ පුතා සුරංග තමයි ඒක මට භාර කළේ. හැබැයි එතුමා මේ ගැන දැනගන්න බෑ. මම ඒ සඳහා කළේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ලෙස නිබන්ධනයකට තොරතුරු ගන්න යනවා වගේ ගිහින් තමයි එතුමන්ගෙන් තොරතුරු ගත්තේ. නෙළුම් පොකුණ රඟහලේ තමයි කෘතිය ජනගත කළේ. එවක හිටිය අමරදේවයන්ගේ පටන් අජිත් බණ්ඩාර දක්වා සිටි සියලුම ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් පැවති ගායන ප්‍රසංගයක් සමගින් තමයි ඒ කෘතිය ජනගත කළේ. ඒකත් මට ලොකු ආලෝකයක් වුණා.
ඊට පස්සේ මම සිනමාව පැත්තේ අපදානයන් ලියන්න රෝයි ද සිල්වා තෝර ගත්තා. ඒ කටයුත්ත කරගෙන යනකොට එතුමන් අතරමගදී ජීවිතය හැර ගියා. නමුත් මම ඒ කෘතිය නිර්මාණය කළා.
අපදානයන් ඔබ අතින් ලියැවෙන අතරේ නවකතා රචනයටත් ඔබ යොමුවීමක් සිද්ධ කළා නේද?
කිඳුරියකට පෙම්බැද, පායන්න තරුවේ, නිළියකගේ කතාව, එස්.එම්.එස් මන්දාකිණි, ඊට පස්සේ මම ළමා සාහිත්‍ය පැත්තට යොමු වෙනවා. ළමයින් වෙනුවෙන් මම පොත් පහළොවක් විතර රචනා කරනවා.
පොතක ආකෘතිය පවා වෙනස් කළ පුද්ගලයෙක් ඔබ?
මම අතින් රචනා වූ ඵ.ථ.ඵ මන්දාකිණි කියන නවකතා පොත මම මුද්‍රණය කළේ ෆෝන් එකක ප්‍රමාණයේ ආකෘතියකට. මේ වෙනසත් ඒ තුළ ඇතුළත් වූ කතාවත් ලියල තිබුණු භාෂා රටාවත් කතාව ගොඩනඟල තිබුණු ආකාරයත් අනුව මේ පොත ගොඩක් ජනප්‍රිය වුණා. 2013 වසරේ තමයි මම මේ පොතේ ආකෘතිය වෙනස් කළේ. ලොකු තරුණ ප්‍රජාවක් මේ පොත ආදරෙන් වැලඳ ගත්තා.
වැඩිහිටියන්ට ලේඛන කලාවෙන් කතා කරමින් හිටි උපුල් ළමයින්ටත් ලේඛන කලාවෙන් පිළිතුරු සොයන්න පටන් ගත්තෙත් ඔබේ ජීවිතේ වෙනසක් සමඟින් ද?
එහෙම කිව්වත් වරදක් නෑ. මට දුවයි පුතයි ලැබීමත් සමඟ ඒ වෙනසට මම පරිවර්තනය වුණා. ඒ අනුව මම මුලින්ම චන්දු, දළඹු බබා කියලා පොත් දෙකක් දරුවන්ට නිර්මාණය කළා. ඊට පස්සේ තැනට නුවණ, දඟකාර මෝරපැටියා, සුදු දෝණි, ගාදියි සුදුයි, චූටික්කී බෝනික්කී, නිල් සයුරයි, පුංචි චූටූ ආදී පොත් බොහොමයක් නිර්මාණය කළා.
මම මගේ දරුවො දෙන්න ලැබෙන්න ඉන්නකොට ඒ දරුවෝ අම්මගේ බඩේ ඉන්නකොටත් ගෙදරදි පුංචි කතන්දර කිව්වා. මේ වගේ වටපිටාවක් තුළ මට ගෙදරින් යෝජනාවක් ආවා ඔය කතන්දර එකතු කරලා පොතක් කරන්න කියලා. අන්තිමට ඒ යෝජනා මේ අයුරින් ප්‍රකාශන මාධ්‍යයෙන් එළි දැක්කා.
ලේඛන කලාවෙන් බැහැරව ඔබ විද්්‍යුත් මාධ්‍යයෙත් නිරන්තර ගනුදෙනුවක් අරඹනවා නොවේද?
විවිධ රූපවාහිනී වැඩසටහන්වල පූරකයෙක් ලෙස කටයුතු කරන්න පටන් ගත්තා. රූපවාහිනී වැඩසටහන්වල තිරරචකයෙකු ලෙස කටයුතු කළා. ගීත විචාරකයෙක් ලෙස විද්්‍යුත් මාධ්‍යයේ කටයුතු කිරීම සිද්ධ කළා.
රූපණවේදියෙකු ලෙසත් ඔබ කටයුතු කරනවා නොවේද?
මට තියන කාර්යබහුලත්වය මත රංගනය අද මම තෝරා බේරාගෙන කරන දෙයක්. ඒ සඳහා ගතකරන්න තියන කාලය වැඩියි. ඒ කාලය ඇතුළත යම් ලේඛන කලාවේ කාර්යයක් කරගන්නවා නම් ඊට වැඩි දෙයක් කරන්න පුළුවන්. මුලදි මම විදේශ චිත්‍රපටවල රඟපෑවා. මදර් තෙරේසා, මියුසික් ගාඩන් නැමැති ප්‍රංශ චිත්‍රපටයේ මම රඟපෑවා. රංග බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ “සාපලත් ස්මරණය” නත්තල් ඒකාංගික ටෙලි නාට්‍යයේ මම රඟපෑවා. පූජකවරයෙක්ගේ චරිතයක් රූපවාහිනී නාට්‍ය අංශයේ නාට්‍ය සඳහා දායක වන අතරේ වේදිකා නාට්‍ය නිර්මාණ සඳහාත් මම දායක වීමක් කළා. තරංග දන්දෙණියගේ අසිනි වලාහක, රාජිත දිසානායකගේ වීරයා මැරිලා, පූජිත ද මැල්ගේ අසනි මාලි වේදිකා නාට්‍යවල රඟපෑවා. නමුත් මම ඒ සඳහා පූර්ණ කාලීනව යොමු වෙන්න තියන අපහසුකම මත මමම සීමා කරගත්තා රඟපෑම. අද මම තෝරා බේරාගෙන රඟපාන නළුවෙක් කිව්වොත් හරි. වෘත්තීමය රංග ශිල්පියා කියන තැනට මට යන්න අදටත් අපහසුයි. සුරංග ලක්මාල් සෙනෙවිරත්නගේ බැමි ටෙලි නාට්‍යයට මම මේ වසරේ රංගනයෙන් සම්බන්ධ වුණා. ඒක නුදුරේදී විකාශය වෙයි.
උපුල් ගුරුගේ තාත්වික රංගනයට උපන් හපන්නෙක් කියලත් දැනගන්න තියෙනවා?
මම ෆාදර් කෙනෙක්ගෙ චරිතයක් කළා. මේ චරිතය කරනකොට මට මාවම හඳුනගන්න බැරිව ගියා දර්ශන තලයේදී ඒක පටිගත කළ ප්‍රදේශයේදී සමහර අය ඇවිත් මගෙන් ආශිර්වාද ගන්න පවා උත්සාහ කළා. ඒ වගේ රැවටීමකට පවා ඔවුන් ලක්වුණා. මගේ පෙනුම හැසිරීම.
ඔබ ගීත රචකයෙකු ලෙස කළ නිර්මාණ එකතුවක් ලෙස එළිදැක්වීමකට අදහසක් නැද්ද?
මා අතින් නිර්මාණය වූ ගොඩක් නිර්මාණ තියෙනවා. ඒ නිර්මාණ අතුරින් විවිධ ගායක ගායිකාවන්ට ලියූ අදටත් ජනප්‍රිය තලයේ ගීත බොහොමයක් තියෙනවා. මම හිතා ඉන්නවා මේ දෙවර්ගයේම නිර්මාණ එකතුවක් කරන්න.
විදේශ රටවල ගීත විචාරක වැඩමුළුවලට මේ මෑත භාගයේ ආරාධනා නැද්ද?
එළැඹෙන දෙසැම්බර් 26 වැනිදා ඉතාලියේ ගීත විචාරක වැඩමුළුවකට එරට ඉන්න ශ්‍රී ලාංකිකයෝ මට ආරාධනා කරලා තියනවා නිපුණතා සංවර්ධන වැඩසටහනක් ඒ රටේ ඉන්න ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කරන්නත් එදාට සැලසුම් කරලා තියනවා.
ඔබ දේශකයෙක් විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්යවරයෙක්, වැඩමුළු සංවිධායකවරයෙක් මේ සෑම අයුරකින්ම පොහොසත් ඔබ විවිධ වූ දක්ෂතා බොහොමයකින් පොහොසත් පුද්ගලයෙක්. එවන් වූ පසුබිමක් තුළ ඔබ වඩාත් කැමැත්ත දක්වන්නේ කුමන පැත්තටද?
මා ළඟ තියන සියලු දර්ශන මගේම දරුවෝ. මට විශේෂත්වයක් නෑ. මම හොඳම දේ සමාජයට දෙන්න උත්සාහ ගන්න කෙනෙක්. මම මොන පැත්තෙන් නිර්මාණය කළත් ඒ දේට උපරිම සාධාරණයක් කරන්න උත්සාහ ගන්නවා. මගේ වැඩසටහන්වල දේශන නොවෙයි තියෙන්නේ වැඩමුළු ක්‍රියාකාරකම් තුළින් තමයි මම මගේ පණිවිඩය ජන සතු කරන්නේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා ගනුදෙනු කිරීමේදීත් මම මේ ක්‍රමය භාවිතා කරනවා.
ඔබ කුඩා කල පටන් සිහින මැව්වාද?
මට හීන තිබුණා කේමදාස මාස්ටර් හඳුනාගෙනවත් නැතුව මම එතුමාව රූපවාහිනීයෙන් දකිනකොට මම හිතුවා මම කවදාහරි මෙතුමාගෙන් ඉගෙන ගන්නවා කියලා. විශ්වවිද්‍යාලයකට යනවා කියන හීනය තිබුණා. අපේ පවුලේ කවුරුවත් විශ්වවිද්‍යාලයක ගිහින් නෑ. පොතක් පතක් ලියලා නෑ. නමුත් මගේ හිතේ හීනයක් තිබුණා හැමවෙලාවෙම මම මේ දේ කරනවා කියලා. මම හැදී වැඩුණු පරිසරයේ කවුරුවත් මට මෙහෙම කෙනෙක් වෙන්න කියලා කිව්වේ නෑ. මම ගොඩාක් පොත් කියෙව්වා. මම විශ්වාස කරනවා මාව මේ තත්ත්වයට ගෙන ආවේ මගේ පරිකල්පන ශක්තිය කියලා. ළමා සාහිත්‍ය කෘති පරිශීලනය තුළ දරුවෙකුගේ විශාල පරිවර්තනයක් ජීවිතයේ ඇති කරන්න පුළුවන් කියන විශ්වාසය මා අත්විඳලා තියනවා. පරිකල්පනය තුළින් දරුවෙකුගේ ජීවිතයේ දොරවල් ගණනාවක් ඇරලන්න පුළුවන්. මම විශ්ව ශක්තිය විශ්වාස කරන කෙනෙක්.
මෙපමණ කාර්යන් බොහෝමයක් තුළ ගමනක් යන ඔබව සම්මානනීය ඇගයුම් අතරේ ඇගැයීමක් සිදුවුණාද?
මට ඉල්ලන් ගන්න සම්මාන වලින් වැඩක් නෑ. යමෙක් යම් දෙයක් වෙනුවෙන් සම්මානයක් ලබනවා නම් ඒ ලැබෙන දේ තමන්ම ඉල්ලාගත් දෙයක් නොවිය යුතුයි කියලයි මම කියන්නේ. මම ලබලා තියෙන්නේ ජනතා සම්මාන තැනකට ගිහින් මම දෙයක් කළාට පස්සේ එතැන ඉන්න කෙනෙක් කියනවා නම් අනේ මහත්තයා අපිට ඔබතුමාව හම්බවෙන්න තිබුණේ මීට ඉස්සර කියලා අන්න ඒ වචනෙ මට සම්මානයක්.
මම මොන දේ කළත් අත්හදා බැලීමක් කරලා කියවලා ඒ දේ ගැන මම සතුටු වෙලා තමයි ඒ දේ තවකෙනෙකුට බෙදලා දෙන්නේ. එහෙම නැතුව අහසින් පාත් වුණා වගේ අතහැරල දාන ක්‍රම විධි මම ළඟ නෑ. සමාජයට අපි තිළිණ කරන්න ඕනේ හොඳම දේ.
යොවුන් ප්‍රජාව ඔබෙන් ඈත් වෙලාද?
නෑ මම ඒ අයට කතා කරනවා. මම ඔවුන්ට සිහිනවලට යන්න පාර කියනවා. යොවුන් ප්‍රජාව දැනුම්වත් කරන්න පොත් පෙළක් ලියාගෙන යනවා. ජීවිතය ඔබේ කියලා.
ඔබ චිත්‍රපට සඳහා පිටපත් රචනයත් සිද්ධ කළා නේද?
ඔව් බොහෝවිට කෙටි චිත්‍රපට සඳහා මම පිටපත් ලිව්වා විතරක් නෙවෙයි. ඒවායේ රඟපෑමත් කළා. ළහිරු ආසිරි සමරසිංහගේ අපේ ගෙදර, ලක්ෂ්මන් ඩයස්ගේ ටුමාරෝ අනුර මාධව ජයසේකරගේ අධ්‍යක්ෂණයෙන් කරන ගිය ද්විත්ව චරිතයක් ඇතුළු ලියවූ මගේ පිටපතක් චිත්‍රපටයකට කරන්න ගිහින් අතරමඟ නතර වුණා. මම රචනා කළ එස්.එම්.එස් මන්දාකිණි නවකතාව ඇසුරින් සෝමා එදිරිසිංහ මහත්මිය චිත්‍රපටයක් කරන්න සැලසුම් කළා. ඒකත් අතරමඟ නතර වුණා පූජි සිනමා ඇකඩමියත් සමඟ මම ගනුදෙනු කරමින් ඉන්නවා. අපේ රටේ සංගීතමය චිත්‍රපට අඩුයි මගේ අදහසක් තියෙනවා එවැන්නක් වෙනුවෙන් දායකවීමක් කරන්න. අවර ගණයේ චිත්‍රපටවල මල් පොකුරක් වෙන්න මම කැමති නෑ. රූපමය ආඛ්‍යානයක් ඔස්සේ රූප පෙළක් මැවීම තමයි මගේ එක හීනයක්. ඒ දේ මම මැරෙන්න කලින් ඉටු කිරීම. මගේ අරමුණක් වෙනස් ආකාරයක වෙනස් හැඩයක දෙයක් කිරීම තමයි මගේ ආශාව.
මෙවන් වූ සුවිශාල කාර්යභාරයක් කරන්නට ඔබට ගෙදරින් ලැබෙන සහයෝගය කොයි වගේද?
මගේ බිරිය පවිත්‍රා මල්ශ්‍රීනි ඇය තමයි මට මේ ගමන එන්න ලොකු ශක්තියක් වෙලා තියෙන්නේ. පුතා ගාධිත්‍ය දුව චේත්‍යා ඒ දෙන්නම හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. ඒ දෙන්න තමයි මගේ ළමාපොත්වල මුල්ම විචාරකයෝ දෙන්නා. මම ලියන දේවල්වල ගුණදොස් කියන ගෙදරම ඉන්න අනෙක් විචාරකයා තමයි මගේ බිරිය මල්ශ්‍රී ඒ වගේම මගේ අතින් ලියවෙන පොතපත ගැන බොහෝ මට කියලා දෙන මගේ ජීවිතයට ශක්තියක් වෙන බොහෝ පිරිසක් ඉන්නවා. ආචාර්ය නුවන් නයනජිත්, සමුද්‍ර වෙත්තසිංහ, කැත්ලින් ජයවර්ධන, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහින්ද රත්නායක, මහින්ද කුමාර දළුපොත වගේ පිරිසක් ඉන්නවා. මට නිර්ලෝබීව උදවු කරන මගේ නිර්මාණ ගැන මට උපදෙස් දෙමින් ශාස්ත්‍රාලීය දිරියක් දෙන්න මේ කවුරුත් දන්නවා මම දෙයක් කරනවා නම් ලොකු කැප කිරීමක් කරනවා කියලා මම මේ වෙනකොට හම්බ කරලා තියෙන්නේ මනුස්සකම.

