Home » ඉදිරියේදී විද්‍යා ප්‍රබන්ධ ආශ්‍රිත නිර්මාණ බිහිවෙන්නේ AI තාක්ෂණයෙන්

ඉදිරියේදී විද්‍යා ප්‍රබන්ධ ආශ්‍රිත නිර්මාණ බිහිවෙන්නේ AI තාක්ෂණයෙන්

ලේඛක, මාධ්‍යවේදි වජිර කැලුම් පෙරේරා්

by mavan
December 4, 2025 3:57 pm 0 comment

– ජනමාධ්‍යවේදියෙකු ලෙස වසර විසිපහක අත්දැකීම් සහිත, සන්නිවේදන හා ජනමාධ්‍ය පුහුණුකරුවෙක්, ක්‍රිකට් විස්තර විචාරකයෙක් වන වජිර කැලුම් පෙරේරා ජනසන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධරයෙකි. ඔහු විද්‍යා ප්‍රබන්ධ ශානරයට වඩාත් ප්‍රිය කරන ලේඛකයකු වන අතර ‘බිත්තර යුගය’ කෙටි කතාව ඔහු ලියූ ප්‍රථම කෘතියයි. ඉන් අනතුරුව ‘ඔන්රිත්’ සහ ‘ටියුල්’ නමැති විද්‍යා ප්‍රබන්ධ කෘති ද්ව්ත්වය පාඨක අවධානය දිනාගැනීමට සමත් විය. මෙවර සරසවිය කලාපයෙහි ඉඩ වෙන්වූයේ මාධ්‍යවේදි, ලේඛක වජිර කැලුම් පෙරේරා සමඟ සිදුකළ කතාබහ සමඟිනි.

ඔබ ලියු නවතම විද්‍යා ප්‍රබන්ධ කෘතිය වන ටියුල් ලියවුණේ කොහොමද? අපි ඒ ගැන මුලින්ම කතා කරමු..

ටියුල් කියන්නේ මේ අවුරුද්දේ මුලින්ම නිකුත් වෙච්ච මා ලියූ විද්‍යා ප්‍රබන්ධය. ටියුල්වලට පස්සේ තමයි ඔන්රිත් කියන විද්‍යා ප්‍රබන්ධය නිකුත් කළේ. මට හිතෙන විදිහට ටියුල් කියන්නේ ටිකක් වෙනස් ප්ලොට් එකක් මත ලියපු පොතක්. සාමාන්‍යයෙන් මට විවිධ අදහස් එනවා, ඒ අදහස් එන්න හේතු සාධක මොනවද? කියන එක මං ඇත්තටම දන්නේ නැහැ, ඉබේ ඇතිවෙන සිතුවිල්ලක් පාදක කරගෙන තමයි ටියුල් ලියන්නේ. හැබැයි කතාවකට සාධකයක් මනසට ආවට පස්සේ ඒක ටික කාලයක් වර්ධනය කරන එක තමයි මගේ ක්‍රමය. ඒකත් එක්ක කතා වින්‍යාසය ගොඩනැගෙනවා , ඊට පස්සේ මම ලියන්න පටන් ගන්නවා. ඉතින් ටියුල් ලියවෙන්නෙත් ඒ විදිහටම තමයි.

ඔබ ලියු විද්‍යා ප්‍රබන්ධ කෘති අතරින් ඔන්රිත් කෘතිය හරහා ගෙන එන්නේ ගෝත්‍රික සමාජයක පැවැත්ම සඳහා බලපෑමක් එල්ල කරන පාරිසරික විපර්යාසයක් පිළිබඳව. ඔන්රිත් හරහා ගෙනඑන පණිවුඩය තාක්ෂණය අතික්‍රමණය කරපු නූතන පරම්පරාවට ඇති වැදගත්කම මොකක්ද?

මම හිතන්නෙ ගෝත්‍රික ජන සමාජයක් පදනම් කරගෙන රසවිඳීන්න පුළුවන් කතාවක් විදිහට මම ඔන්රිත් ලියනවා. ඇත්තටම මේක ඇතුළෙ තියන්නේ සාම්ප්‍රදායික ජන ජීවිතයක් වෙනස් කරපු සාධකයක් පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයකින් ඒ අභියෝගය ජයගන්නේ කොහොමද කියන කාරණය. එතකොට මට හිතෙනවා මේ මේ ප්‍රශ්නෙත් එක්ක දැන් නූතන පරම්පරාව තාක්ෂණය අතික්‍රමණය කරලා නැහැ. හැබැයි තාක්ෂණය නූතන පරම්පරාවත් එක්ක බද්ධ වෙලා තියෙනවා හැබැයි මේ කුමන කාරණයක් වුණත් මානවවාදීත්වය කියන කාරණය ප්‍රමුඛව ඕනෑම ජන සමාජයක තියෙනවා. එතකොට මානවවාදීත්වය අවදි කරන්න එහෙම නැත්නම් ඒක ව්‍යාප්ත කරන්න මිනිස්සුන්ට පුළුවන් නම් ඒක හරිම වැදගත්. ඔන්රිත් කතාවෙදි මම උත්සාහ කරන්නේ මානවවාදී ලක්ෂණත් ආරක්ෂා කරගෙන යම්කිසි අභියෝගයක් තාර්කිකව විසඳන්නේ කොහොමද? කියන කාරණය පිළිබඳව අවධානයක් දෙන්න. ඕක වර්තමාන සමාජයට ගැළපුවොත් එහෙම වර්තමාන සමාජය විවිධ සංස්කෘතික සාධක මත මේ මානවවාදීත්වය කියන එක ලඝු කරලා තියෙනවා.

ජාතිය ආගම භාෂාව වගේ සංකල්ප, මානවවාදී වීමට වඩා ඉහළින් ජනතාව පාලනය කරන සාධක බවට පත්වෙලා තියෙනවා. හැබැයි තාර්කිකව මේ එකක්වත් නෙවෙයි මානවවාදීත්වය කියන්නෙ. ඊළඟ කාරණය තමයි මේකෙ ඉතිහාසයට ගිහිල්ලා බැලුවොත් මේ ආගම කියන සංකල්පය ඇතුළු සංස්කෘතික සාධක බිහිවෙන්නෙම මානවවාදීත්වය ව්‍යාප්ත කරන්න. ඒත් වර්තමානයට එනකොට මේ කියන කිසිදු ආගමකට හෝ කියන කිසිදු සංස්කෘතික සාධකයකට මානවවාදීත්වය සම්පූර්ණයෙන්ම ඔසවා තබන්න බැරිවෙලා තියෙනවා. එහෙනම් සමාජය වඩාත් තාර්කික තැනකට ගෙනියන්න පුළුවන් අලුත් සංකල්ප බිහිවිය යුතුයි කියලා මං විශ්වාස කරනවා. ඔන්න ඔය පණිවිඩය ඔන්රිත් ඇතුළේ හැංගිලා තියෙනවා. විද්‍යා ප්‍රබන්ධයක් වුණත් මම මේක ඇතුළේ උත්සාහ කළේ මානවවාදීත්වය ප්‍රමුඛ කරන්න.

විද්‍යා ප්‍රබන්ධ රචනය සඳහා ඔබව මුලින්ම ආකර්ෂණය කළේ කුමක්ද? සහ වසර ගණනාවක් පුරා මෙම ශානරය සමඟ ඔබේ ලිවීම සිද්ධ වෙන්නේ මොන ආකාරයෙන්ද?

මේක ටිකක් දිග කතාවක්. මොකද මගේ කොට්ටාව ගමේ කුලසෙවණ මාවතේ සුභසාධක සමිතියක් තියෙනවා. ඒකත් එක්ක බැඳුණු මා සමාජ ක්‍රියාකාරීත්වයක් තිබුණා. මේ සුභසාධක සමිතියේ බල ප්‍රදේශයට වෙන්වුණු පුස්තකාලයක් තිබුණා. මේ පුස්තකාලෙ නිසා මගේ කියවීම වැඩිවුණා. ඊට කලින් වයස අවුරුදු හතර පහ වෙද්දීත් මම ගොඩක් කියවනවා. ඒකට හේතුව අපේ ගෙදර පරිසරය. එවකට තාත්තා ගුරුවරයෙක්. තාත්ත බොහෝ පොත්පත් කියවපු කෙනෙක්. අම්මා නිවසේ හිටියට අම්මත් බොහෝ පොත්පත් කියවපු කෙනෙක්. ඒ ආභාසය මටත් එනවා. හත් පෙති මල, සුදු මුවා, ලස්සන වසීලිස්සා වගේ පරිවර්තන කතා පුංචිම කාලෙ කියෙව්වා. ඊට පස්සේ හය හත අට වසර වෙද්දි මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා, කෝර්සිකානු සහෝදරයෝ, යුද්ධය හා සාමය, ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතා, උභය ජීව, ඔය වගේ පරිවර්තන කතා රැසක් කියවන්න පුළුවන්කම ලැබුණා.

ඊට අමතරව ලංකාවේ ලියවුණු බොහෝමයක් යොවුන් නවකතා කියවුවා. ඊට අමතරව විරාගය, ගම්පෙරළිය, විජයබා කොල්ලය, රෝහිණී, පැපිලියානේ කුමාරයා වගේ බොහෝ පොත් කියවලා ඉවර කළා. ඔය තත්ත්වය නිසාම ගමේ පුස්තකාලෙට පොත් ගේනකොට, ගේන්න ඕන පොත් ගේන්න ඕන පොත් තීරණය කරන්නත් මම ඇතුළු පොත් කියපු කණ්ඩායමට අවස්ථාව ලැබුණා. මම හිතන්නේ උසස් පෙළ කරන කාලෙ වෙනකොට පොත් ඉතා විශාල සංඛ්‍යාවක් මම කියවල ඉවරයි. ලංකාවේ ඒ කාලයේ ප්‍රකට සියලු ලේඛකයන්ගේ පොත් ඒ අතර තිබුණා. ඒ එක්කම මම විවිධ දේවල් ලියන්න පටන් ගත්තා. මම ලියපු මුල්ම පුංචි කතාව ගැන මතකය එන්නේ හෝමාගම ජනාධිපති විද්‍යාලයේ තුන වසරෙදි. තාරා පැටව් හතර දෙනෙක්ගෙ කතාවක් පොතකින් ගලෝගත්ත කොළයක් පුංචි ප්‍රමාණයකට කපලා, පොඩි පොතක් හදලා පන්ති පුස්තකාලෙට දැම්මා.

ඔය විදිහට විවිධ දේවල් ලිව්වා. මට කැමැත්තක් තිබුණේ නැහැ, සාමාන්‍ය කතා ලියන්න. ඒ නිසා විද්‍යා ප්‍රබන්ධ මගේ අතින් ලියවුණා. අවුරුදු ගාණක් ලියපු විද්‍යා ප්‍රබන්ධ කෙටිකතා එකතු කරලා, බිත්තර යුගය කියන පොත 2021 දී එළි දැක්වුවා. එතැන් සිට විද්‍යා ප්‍රබන්ධවලට කාලය වැය කළා. මම හිතන්නේ මම කියවපු පොත්වලින් මම වඩාත්ම කැමති උභය ජීව කියන පරිවර්තනයට. ඒක කියවද්දි ඉක්තියැන්දර් කියන චරිතය මට මැවී පෙනුණා. ඒක මම නොදන්න උත්තේජනයක් වෙන්න පුළුවන් විද්‍යා ප්‍රබන්ධ රචනයට යොමු වෙන්න.

ඔබ ලියන කෘති බොහොමයක් තාක්ෂණය සහ මනුෂ්‍යත්වය අතර සීමාවන් ගවේෂණය කරනවා. මෙම තේමාවන් හරහා ඔබ මතු කිරීමට උත්සාහ කරන්නෙ මොනවාද?

අර මම මුලින් කිව්වා වගේ අපි ජන සමාජයක් විදිහට ගත්තොත්, අපි අතර බෙදීම් රැසක් තියෙනවා. ඒ බෙදීම් නිසාම ප්‍රධාන වශයෙන්ම අපිට අහිමි වෙන්නේ අපි මිනිස්සු කියන සංකල්පය. මොන තාක්ෂණය භාවිත කළත්, මොන සංස්කෘතික ලක්ෂණ දරුවත්, අපිට පුළුවන් වෙන්න ඕනේ හැම පුද්ගලයෙක්ම එක සමානයි කියන අදහස වටහාගන්න. මං හිතන්නේ විද්‍යාත්මකව අවශ්‍ය පසුබිම අපි ගාව තියෙනවා. අපි කොයි විදිහට වෙනස් වුණත් හැම මිනිහෙක්ගෙම ඇගේ තියෙන්නේ රුධිර ගණ හතරකින් එකක්. හැම මිනිහෙක්ගෙම තියෙන්නේ එක හා සමාන ජාන යුගල් සංඛ්‍යාවක්. ඒවායේ තැනුම් ඒකක එකයි. විද්‍යාත්මකව සරලවම හඳුන්වනවා නම් මානවයා කියන්නේ එක ජීවී විශේෂයක්. මෙන්න මේක තේරුම් ගත්තොත් අපි හැමෝම එක හා සමාන වෙනවා.

මම විශ්වාස කරනවා, මෙන්න මේ ඇත්ත තේරුම් ගන්න අපි සූදානම් නැත්තේ සංස්කෘතික විවිධත්වය නිසා කියලා. ඒකෙන් මම අදහස් කරන්නේ නැහැ. සංස්කෘතික විවිධත්වය නොතිබිය යුතුයි කියලා. එහෙම නෙවෙයි. සංස්කෘතික විවිධත්වය ඇතුළේම අපි සියලු දෙනා මිනිස්සු කියන සංකල්පය අපි ඇති කර ගත යුතුයි කියලා මං විශ්වාස කරනවා. මට හිතෙනවා ඒ වෙනුවෙන් මානව සංකල්ප වෙනස් කිරීමේ ක්‍රියාවලියකට අපි යන්න ඕනේ කියලා. මම ද්විතීයිකව ඉගෙන ගන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ. මට එතනදි විවිධ ජාතිවල යාළුවො හම්බවෙනවා. අදටත් ජාතිකත්වය අනන්‍යතාවලින් තොරව අපි බොහොම ලෙන්ගතු ලෙස ඇසුරු කරනවා. හැබැයි අපේ අධ්‍යාපනය ඇතුළේ මේකට බාධා තියෙනවා. එකම උදාහරණයක් ගත්තොත්, ජාතික ධජය ගැන උගන්වද්දී, ඇතැම් කණ්ඩායම් වල අභිමානයට හානි වෙන්නේ නැද්ද? මම කියන්නේ එතන ඉඳන් සමාජය වෙනස් වෙන්න ඕනේ කියලා.

විද්‍යා ප්‍රබන්ධවලින් බොහෝ විට සිද්ධ වෙන්නේ අනාගතය පුරෝකථනය කිරීම හෝ විවේචනය කිරීමක්. වත්මන් ගෝලීය සිදුවීම් දෙස බලනවිට ඔබ දකින නිරික්ෂණ මොනවද? සහ එය විද්‍යා ප්‍රබන්ධ රචනයට බලපාන්නේ කොහොමද?

මම මේක දකින්න ටිකක් වෙනස් විදිහට. බොහෝ විට අපි හිතනවා විද්‍යා ප්‍රබන්ධවලින් වෙන්නේ අනාගතය පුරෝකථනයක් කියලා. හැබැයි ඒකට හේතුව බවට පත්වෙන්නේ අපේ නිර්මාණාත්මක සීමා කියලා මම හිතනවා. වර්තමානය පවා විද්‍යා ප්‍රබන්ධයක සාධකයක් වෙන්න පුළුවන්. මගේ ඇතැම් විද්‍යා ප්‍රබන්ධවලදී අනාගත පුරෝකථනයක් සිද්ධ වෙන්නේ නෑ. පවතින සමාජ සංස්කෘතික වටපිටාව ඇතුළේ සිදුවන ඇතැම් දේවල් විද්‍යාත්මකව විශ්ලේෂණයක් හෝ විද්‍යාත්මක පරිකල්පනයක් මගින් සකස් කිරීමක් වෙනව. හැබැයි ඔබ කියනවා වගේ අනාගතය සම්බන්ධ පුරෝකථනයන් විද්‍යා ප්‍රබන්ධවල අන්තර්ගතයි. පවතින විද්‍යාවේ ලක්ෂණ මත ඇතැම් පුරෝකථන යථාර්ථයක් බවට පත්වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට මරණයෙන් තොර ජීවිතයක්. මම පෞද්ගලිකව විශ්වාස කරනවා වර්තමාන විද්‍යාත්මක දියුණුවත් එක්ක තවත් අවුරුදු දෙසීයක් යනකොට මේ කතාව ඇත්ත වෙන්න පුළුවන් කියලා. දැනටමත් විවිධ මානව අවයව ස්වාභාවික ආකාරයටම නිෂ්පාදනය කරන්න විද්‍යාඥයන් සමත් වෙලා තියෙනව. මේකේ ප්‍රතිඵලය බොහෝවිට මරණයෙන් තොර මානවයෙක් වෙන්නට පුළුවන්. ඒ වගේ ඇතැම් කරුණු, ඇතැම් පුරෝකථනයන් යථාර්ථයක් වීමේ ඉඩකඩ තියෙනවා.

අනාගතවාදී සංකල්ප මේ ආකාරයෙන් ආඛ්‍යාන ලෙස රචනා කිරීමෙිදි ඔබ පරිකල්පනය මෙහෙයවීම ⁣සහ සිතුවිලි අවදිවෙන හැටි පිළිබඳ යමක් කියන්න පුළුවන්ද?

මෙතනදී තියෙන්නේ සම්පූර්ණයෙන්ම තාර්කිකභාවය. වර්තමාන තත්ත්වය මොකක්ද? වර්තමාන තත්ත්වය වෙනස් විය හැක්කේ කොහොමද? ඒ වෙනස් වෙනකොට වගේ සාධක ඊට බලපායිද? ඒ සාධකවලින් කෙතරම් සාධක මේ වෙනසට එරෙහි වෙයිද? සාධක මේ වෙනසට සාධාරණත්වයක් කරයිද? කියන කාරණා පිළිබඳව හිතන්න වෙනවා. එතනදී අපිට අවශ්‍ය වෙන්නේ එක පැත්තකින් වර්තමානයේ පවතින තත්ත්වය පිළිබඳ පුළුල් අවබෝධයක්. උදාහරණයක් විදියට අපි හිතුවොත් අඟහරුවල මානවයා ජීවත් වෙනවා කියලා, මානවයාට පෘථිවියේ ජීවත් වීමට අවශ්‍යය සාධක මොනවද? කියන කාරණය පිළිබඳ පුළුල් අවබෝධයක් අපිට තියෙන්න ඕන. ඒ සාධකවලට විකල්ප විදිහට යොදාගත හැකි සාධක මොනවාද? කියන කාරණය පිළිබඳවත් පුරෝකථනයක් කරන්න පුළුවන් නම් ඒක නිර්මාණයක් බවට පත්වෙනවා. ඊළඟට මේ අපි කතා කරන්නේ පවතින දේවල් නිසා අඟහරුවල තත්ත්වය පිළිබඳවත් යම් දැන ගැනීමක් තියෙන්න ඕනේ. මේ දෙක එකතු කරලා අඟහරු වල ජීවය ස්ථාපනය තාර්කිකව පාඨකයාට පිළිගත හැකි පරිදි රචනා කිරීමයි කරන්න වෙන්නේ. ඒ නිසා මට හිතෙන්නේ විද්‍යා ප්‍රබන්ධයක් අනාගතවාදී සංකල්පයකින් රචනා කරනවා නම්, වර්තමාන තත්ත්ව පිළිබඳ විධිමත් අවබෝධයක්, ඒ තත්ත්ව වෙනස් විය හැකි විද්‍යාත්මක සහ තාර්කික ක්‍රමවේදයක් පරිකල්පනය කළ යුතුමයි.

අනාදිමත් කාලයක සිට විද්‍යා ප්‍රබන්ධ කියන්නේ හොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය සිනමා ශානරයක්. බොහෝමයක් නවකතාවලින් නිර්මාණය වූ චිත්‍රපට සහ ටෙලිකතාමාලා තිබෙනවා. ඔබේ නිරික්ෂණ සහ අදහසට අනුව ලංකාවේ ලියවෙන විද්‍යා ප්‍රබන්ධ ආඛ්‍යානයන් ලාංකේය සිනමාව තුළ නිර්මාණය නොවන්න හේතුව කුමක්ද?

මේකට මට හිතෙන්නේ උත්තරේ හරි සරලයි. මම මුලින්ම ලියපු බිත්තර යුගය කියන විද්‍යා ප්‍රබන්ධ කෙටිකතා එකතුවේ එකම කෙටි කතාවක්වත් ලංකාව තුළ චිත්‍රපටයක් බවට පරිවර්තනය කරන්න, වර්තමාන චිත්‍රපට තාක්ෂණයත් එක්ක හැකියාවක් නෑ කියන විශ්වාසය මට තියෙනවා. ඒකට හේතුව තමයි මේ කතාවල, පොදුවේ විද්‍යා ප්‍රබන්ධවල අන්තර්ගත පරිසර තත්ත්ව, සමාජ තත්ත්ව, තාක්ෂණික ලක්ෂණ ප්‍රතිනිර්මාණය කරන්න පහසු නොවීම. ඒවා ප්‍රතිනිර්මාණය කරනවා නම් මම හිතන්නෙ ලංකාවේ අති විශාල මුදලක් ඒ වෙනුවෙන් වැය කරන්න සිද්ධ වෙනවා. ඒ වගේ විශාල මුදලක් වැය කරලා විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් හදලා අලාබ නොවිඳීන තත්වයක් නිර්මාණය කරගන්න ලංකාවේ සිනමා කර්මාන්තයට බැහැ. මම මේ කියන්නේ වර්තමාන චිත්‍රපට නිර්මාණ තාක්ෂණයත් එක්ක. හැබැයි මේක වෙනස් වෙන්න පුළුවන් කෘත්‍රිම බුද්ධිය නිසා. සමහර වෙලාවට විද්‍යා ප්‍රබන්ධයකින් නිර්මාණය කරන චිත්‍රපටයකට අවශ්‍ය පසුබිම් තල සහ චරිත වගේ දේවල් වඩාත් නිවැරදිව සහ අවශ්‍ය පරිදි නිර්මාණය කරන්න කෘත්‍රිම බුද්ධිය පාවිච්චියෙන් පුළුවන් වෙනවා. ඒ නිසා ඇතැම්විට ඉදිරියේදී විද්‍යා ප්‍රබන්ධ ආශ්‍රිත නිර්මාණ බිහිවෙන්නේ ඉඩකඩ තියෙනවා. හැබැයි චිත්‍රපට තාක්ෂණයෙන් නෙවෙයි කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන්.

ඔබේ චින්තනය හැඩගස්වා ඇති හෝ ඔබේ කතන්දර කීමේ විලාසයට ආභාෂය වී ඇති විද්‍යා ප්‍රබන්ධ කතුවරුන් හෝ කෘති මොනවාද?

මම හැම විටම උත්සාහ කරන දෙයක් තියෙනවා, මගේම අනන්‍යතාවක් ගොඩනගන එක. ඒ නිසා විද්‍යා ප්‍රබන්ධ රචනයට මාව යොමුවෙන්න නිශ්චිත ලේඛකයෙක් හෝ නිශ්චිත ග්‍රන්ථයක් මට කියන්න බෑ. හැබැයි උභයජීව අදටත් මාව උත්තේජනය කරන කතාවක්. ඉතාමත්ම ප්‍රවීණ විද්‍යා ලේඛකයෙක් මට කියනවා ” මම හිතුවේ විද්‍යා ප්‍රබන්ධයක් වර්තමාන කාල භාෂාවක් භාවිත කරමින් ලියන්න බැහැ කියලා. හැබැයි ඔයා එහෙම ලියලා තියෙනවා. මම ලියාගෙන යන කතාවක් තියෙනවා ඒක ගැන මම දැන් නැවත හිතනව ” කියලා. මේ ප්‍රකාශය මට අතිශය වැදගත් එකක් බවට පත්වෙනවා. හේතුව තමයි මේ ප්‍රකාශය කරන ලේඛකයා ලංකාවේ පළවෙන අති බහුතරයක් විද්‍යා ප්‍රබන්ධ කියවන කෙනෙක්. ඔහුගේ ප්‍රකාශය ඇතුළෙම තියෙනවා මම වෙනසක් කරන්න උත්සාහ කරලා තියෙනවා කියලා. ඒ නිසා බොහෝවිට මේ ඉතිහාසය ඉඳන් කියවපු ‍විද්‍යා ප්‍රබන්ධ සහ විද්‍යා ප්‍රබන්ධ නොවන සියලු ග්‍රන්ථවලින් මගේ ලේඛන ශෛලිය සහ චින්තනයට පිටිවහලක් ලැබිලා ඇති කියලා මම විශ්වාස කරනවා.

ඔබේ අදහසට අනුව, මේ යුගයට අදාළව විද්‍යා ප්‍රබන්ධවලින් ඉටු කළ යුතු කාර්යභාරය කුමක්ද?

මම හිතන්නේ සාහිත්‍ය ග්‍රන්ථයකින් සිදුවිය යුත්තේ පළමු කාරණය පාඨකයාට වින්දනයක් ලබාදීම. ද්විතීයික කාරණය පාඨකයා ඥානනය කිරීම. සාහිත්‍ය කෘතියකින් නොකළ යුත්තේ, මානව සමාජයට අයහපත් ලක්ෂණ එක් කිරීම. විද්‍යා ප්‍රබන්ධ කියන්නේ සමස්ත සාහිත්‍යයේ තවත් එක උප කොටසක්. එතකොට මෙන්න මේ සාහිත්‍යයේ ප්‍රමුඛ වගකීමෙන් විද්‍යා ප්‍රබන්ධවලටත් මිදෙන්නට බැහැ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT