එළැඹෙන පෙබරවාරි 14 ආදරවන්තයින්ගේ දිනය දා ඇගේත් උපන්දිනයයි. එදිනට ‘පානා ඔයා රූ ඡායා’ නමින් අලුත්ම නිර්මාණයක් (රූප රචනාවක්) එළිදැක්වීමට මේ දිනවල යුහුසුලුව කටයුතු කරමින් සිටින ඇය යොවුන් රංගන, ගායන, නර්තන ශිල්පිනියක වන ගංගු ප්‍රශානා ය. ‘පානා ඔය රූ ඡායා’හි රංගනයෙන්, ගායනයෙන් මෙන්ම නර්තනයෙන් දායකවන්නේද ඇයයි. නවතම නිර්මාණ කාර්යය ගැනත් සිය කලාදිවිය ගැනත් කතා කිරීමට ගංගු ප්‍රශානා සරසවිය හා මෙසේ එක්වූවාය.
ආදරවන්තයන්ගේ දිනයට අලුත් වැඩක් එළිදක්වනවා නේද ?
ඔව්, ඒක මටත් ප්‍රේක්ෂක රසික ජනතාවටත් විශේෂ දෙයක්. මේ දවස්වල සම්පූර්ණ කාලය යොදවමින් ඉන්නේ එම නිර්මාණයේ වැඩකටයුතු සඳහායි. නිර්මාණය ගැන සම්පූර්ණ විස්තරයක් නොකියා යම් ඉඟි ටිකක් විතරක් දෙන්නම්. ඒ ගැන මම මෙහෙම කියන්නම්කෝ. මෙය “පානා ඔය රූ ඡායා” නමින් තමයි නම්කර තිබෙන්නේ. මේක මියුසික් වීඩියෝවක්. මම “පානා ඔය රූ ඡායා”ට රංගනයෙන්, ගායනයෙන් සහ නර්තනයෙන් දායකවෙනවා. මෙය හිතන්නවත් බැරිතරම් වෙනස්ම ආකාරයකට නිර්මාණයක්.. මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලනවා මේතාක්දුරට මාත් එක්ක රැඳීලා මගේ නිර්මාණවලට යම් වටිනාකමක් ලබාදුන්නා හා සමානවම පෙබරවාරි 14 ආදරවන්තයන්ගේ දවස හෙවත් මගේ උපන්දිනය දවසේ එළිදක්වන මේ අලුත්ම, වෙනස්ම නිර්මාණය රසවිඳ මට ප්‍රතිචාර දක්වන්න කියලා.
“පානා ඔය රූ ඡායා”ට මූලික අඩිතාලම දැමුණේ කොහොමද ?
මම දැනට ප්‍රසංග වේදිකාවේ ආරාධිත ගායන ශිල්පිනියක් ලෙස ගීතවත් වෙනවා. ඉතින්, දැනට මගේම ගීත නිර්මාණ කිහිපයක්ම තිබෙනවා ඛ්ධමඥප ඉධදඨ කිහිපයකුත් සමඟම. නව වසරේ මගේම නිර්මාණයක් කරන්න ඕනෑ කියා සිතුණු නිසා මේ නිර්මාණයට අඩිතාලම දැමුණා.
මෙයට නිර්මාණ දායකත්වය දැක්වූ පිරිස මතක් කළොත් ?
“පානා ඔය රූ ඡායා” හි ඕඩියෝව කළේ සඳරු කුමාරගේ අයියා. මියුසික් වීඩියෝව කරන්නේ ඡ්නඪජථධබඪධද ඍඥඤඪධ ර්‍ථපධඤභජබඪධද එකෙන්. මේක ඩාන්සින් ටයිප් එකට කෙරෙන්නේ. මෙහි රංගනය, ගායනය, නර්තනය යන සියල්ලටම මගේ දායකත්වය ලැබෙනවා. විශාල පිරිසකගේ දායකත්වයෙන් මේ නිර්මාණය ලස්සන කරගන්න මම උපරිම උත්සාහයක් දරනවා
“පානා ඔය රූ ඡායා”වලට අමතරව මොනවද මේ දවස්වල සිදුකෙරෙන කලාකටයුතු ?
අලුත් අවුරුද්දේ අලුත්ම වැඩකටයුතු රැසක් කරමින් ඉන්නේ. ඒ අතරින් මුලින්ම රිලීස් කළේ “සඳ තනිවෙලා” මාෂප් එක. එහි “සඳ තනිවෙලා” ගීතය එක්ක තව ගීත 02ක් මික්ස් වෙලා යන්නේ. සියලුම ගීත 03යි. පරණ ගීතවලට ආස කරන අය වෙනුවෙන්මයි “සඳ තනිවෙලා” නිර්මාණය කළේ. ගංගු ප්‍රශානා නම් මගේ යූ ටියුබ් චැනල් එකට සහ ෆේස්බුක් එකට ගිහින් ඔයාලට ඒක රසවිඳීන්න පුළුවන්..
“සඳ තනිවෙලා” මියුසික් වීඩියෝව ගැන කීවොත් ?
මුලින්ම මාෂප් එකේ ඇතුළත් සියලුම ගීතවලට මුල් ගායකයන් සහ ඒ ගීතවල හිමිකරුවන්ව ආදරයෙන් සහ ගෞරවයෙන් සිහිපත් කරනවා. මගේ ” සඳ තනිවෙලා” නිර්මාණය සියලු දෙනාටම ගෞරවයෙන් පුදකරනවා . “සඳ තනිවෙලා” මාෂප් එක ගැන කියනවනම් මම ඉතා කැමැත්තෙන් සහ සතුටින් කළ තවත් නිර්මාණයක් කියා හඳුන්වන්න පුළුවන්.. මම ඒ නිර්මාණයට ගොඩාක් ආදරෙයි.. මම පරණ ගීතවලට බොහෝදෙයින් ආසාවක් දක්වන කෙනෙක්. “සඳ තනිවෙලා” නිර්මාණයට දායක වූ සෑම දෙනාටම ස්තුති කිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා
මෙහි නිර්මාණ දායකත්වය ගැන විස්තර කරනවානම් ?
“සඳ තනිවෙලා” ඕඩියෝව කළේ මධු ස්ටුඩියෝ එකේ මධුසංඛ. ඒවගේම මියුසික් වීඩියෝව කළේ ඡ්නඪජථධබඪධද ර්‍ථපධඤභජබඪධද හි මධුර සේනානායක අයියා.. ඛ්ධඵබභථඥ ඉනධදඵධප කළේ චිරන්ත අයියා. ඉතින් හරිම ලස්සන වැඩක් විදිහට මෙය කරගන්න ලොකුවටම සහයෝගය හැමෝටම ස්තුති කරනවා.
මියුසික් වීඩියෝ කලාවට යොමුවූ ආකාරය සිහිකළොත් ?
මුලින්ම මම කළේ මියුසික් වීඩියෝවලට රංගනයෙන් දායක වුණු එකයි. ඉන්පසුව මගේම නිර්මාණවලටත් මගේ දායකත්වය ලබාදුන්නා. එය මගේ රසිකයන් අතර රැඳීසිටින්න ලොකු අවස්ථාවක් කියා මම සිතනවා
රංගන ශිල්පිනියක ලෙස කොහොමද ආරම්භය සිදුවුණේ ?
පාසල් කාලයේ සිටම කලාවට සම්බන්ධ වුණා. රංගනය, ගායනය, නර්තනනය, නිවේදනය වැනි අංශවලින් ඉදිරිපත් වූ තරග රැසකින්ම මම ජයග්‍රහණ ලබා තියෙනවා. 2014 රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේ දක්ෂතම ළමා නිළිය ලෙසත් මම සම්මානයට ලක්වුණා. එසේ සම්මාන ලැබීම තමයි මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ.
මුලින්ම කැමරාවට මුහුණදෙද්දි මොකද සිතුණේ ?
මෙහෙමයි, රංගනය ගැන මුලින්ම හැදෑරීම් කළේ සුමිත් සමරසිංහ සර්ගෙන්. ඒ දවස්වල තමයි මගේ පළමු ටෙලි නිර්මාණයේ රංගනයට දායකවුණේත්. ඒ ටෙලිනාට්‍යයේ නම “කතන්දර ගෙදර”. ගුරුහරුකම් මැද රංගනයට අවස්ථාව ලැබුණු නිසා ලොකු බයක් කියලා එහෙම දැනුණේ නැහැ. කැමරාවෙන් මාව දකිද්දි ඒ දැනුණු සතුට අද වගේ මට මතකයි.
මෙතක් දායක වු ටෙලිනිර්මාණ මොනවද ?
මගේ මුල්ම ටෙලිනාට්‍යය “කතන්දර ගෙදර ” අනතුරුව ජාතික රූපවාහිනියේ විකාශය වූ “අමාන්තය” ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑවා. “අසංවර වැස්සක්, බඹරෙක් ඇවිත්, ඇයි අපි සුදුද ” වැනි ටෙලිනාට්‍ය රැසකටම මම රංගනයෙන් දායක වුණා.
රඟපෑ චරිත අතරින් වඩාත් කතාබහට ලක්වූ චරිතයක් වේද ?
ඔව්.. චරිත් අබේසිංහ අධ්‍යක්ෂණය කළ “බඹරෙක් ඇවිත් ” ටෙලිනාට්‍යයේ “සමන්මලී” චරිතය ප්‍රේක්ෂකයා අතර වඩාත්ම කතාබහට ලක්වුණා.. ‘සමන්මලී’ කියන්නේ මගේ රංගන ජීවිතයේ ලොකු වෙනසක් සිදුකළ චරිතයක්. ගැමි චරිතයක් වුණු එය මටත් සිතාගන්න බැරිතරම් වෙනස්ම මාදිලියේ චරිතයක්.
රංගනය ගැන යම් හැදෑරීමක් කර තියේද ?
ඔව්. පාසල් සමයේ සිට මේ දක්වාම රංගනය ගැන ඉගෙන ගනිමින් ඉන්නේ
රංගනයේදී යම් සීමාමායිම් දාගෙනද ඉන්නේ ?
තරමක්දුරට ඔව්. නමුත් නිර්මාණය අනුව එය වෙනස්වෙන්නත් පුළුවන්.
දර්ශනතලයේදී අනෙකුත් ශිල්පීන් එක්ක ගංගුගේ ගනුදෙනුව මොනවගේද ?
මම හැමෝමත් එක්ක සුහදශීලීව, නිහතමානීව වැඩකටයුතු කරන කෙනෙක්. ඒක මේ ක්ෂේත්‍රයේ මාත් එක්ක වැඩකරන හැමදෙනාම දන්නවා. නළුනිළියන්, කාර්මික ශිල්පීන් ඇතුළු පිරිසත් ඔවුන්ගේ සහයෝගය මට උපරිමයෙන්ම ලබාදෙනවා.
සිනමාවට ආරාධනා ආවේ නැද්ද ?
මම රංගනයෙන් දායක වූ “ඒක තමයි මේක” චිත්‍රපටය මේ වසරේදී තිරගතවෙන්න නියමිතයි..ඉදිරියේදී සිනමාවට තවදුරටත් දායකවෙන්න අවස්ථාව ලදහොත් මගේ උපරිමයෙන් එයට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.
ගායන, නර්තන හැකියාවත් ඔබට තිබෙනවා නේද ?
කෙටියෙන්ම කීවොත් කුඩාකාලයේ ඉඳන්ම මගේ ජීවිතය වුණේම කලාව, ගායනය, නර්තනය ආදියයි
මෝස්තර නිරූපණයත් ඔබට සමීපයි?
සැලකිය යුතු කාර්යයන් ප්‍රමාණයකට මෝස්තර නිරූපණයෙන් දායකත්වය ලබාදී තිබෙනවා. ඒ අංශයෙනුත් ඉතා හොඳ ප්‍රතිචාර ලැබී තිබෙනවා.
තාරුණ්‍යයේ සිටින ඔබට ප්‍රේමාරධනා නැතිවෙන්න බැහැ ?
හ්හ්ම්ම්ම්….ඔව්, ඔව්. ප්‍රේමාරාධනානම් එමටයි.
ඉදිරි නිර්මාණ මොනවාද ?
මගේ අලුත්ම නිර්මාණය තමයි කලින් පැවසූ ආදරවන්තයින්ගේ දිනයට එළිදක්වන “පානා ඔය රූ ඡායා” නමැති වෙනස්ම මියුසික් වීඩියෝ නිර්මාණය. ඉන්පසු තවත් විශාල වැඩ කිහිපයක් සැලසුම් කරමින් ඉන්නේ. ඒවාත් ඉදිරියේදී දැකගන්න ලැබෙයි.
අනාගත බලාපොරොත්තුත් ඇති ?
රංගනයෙන්, ගායනයෙන් වැඩි දායකත්වයක් ක්ෂේත්‍රයට ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.. ඒ වෙනුවෙන් මගේ උපරිමය මම ලබාදෙනවා.
පවුලේ විස්තර කීවොත් ?
මට ඉන්නේ අම්මයි, අප්පච්චියි, අක්කයි, මල්ලියි. මගේ මේ කලාකටයුතුවලට ඒගොල්ලන්ගෙන් මම සිතනවටත් වඩා සහයෝගයක් ලැබෙනවා. ඔවුනුත් කලාවට ලැදි පිරිසක්. මම හිතන්නේ මගේ අප්පච්චිගේ හැකියාවන්ගේ ආභාසය තමයි මටත් ලැබිලා තියෙන්නේ කියලා. අදටත් මගේ ආසම ගායකයා මගේ අප්පච්චි.
මනෝජ් රුක්මල් කුමාරසිංහ
