Home » අභියෝගාත්මක චරිතවලට මං කැමැතියි

අභියෝගාත්මක චරිතවලට මං කැමැතියි

රංගන ශිල්පී සංජය මුරමුදලි

by shanaka
December 25, 2025 1:00 am 0 comment

සූන්දර ගම්මානයක් වන අභ්‍යන්තරිකව කර්කශ අත්දැකීම් පිරි ගමක ‘සාගර’ නමැති තරුණයෙක් ජීවත් වේ. ඔහු යහළුවන් සමඟ එකමුතු වී විනෝදයෙන් කල් ගෙවයි. එමෙන්ම ගමේ ගොවි මිතුරු සංවිධානයක සමාජිකයෙක් ලෙස ද කටයුතු කරයි. මේ දිනවල චාරුක අරණායක අධ්‍යක්ෂණය කළ”ඉර හැංගිලා” හි සාගරට පණ පොවන ඔහු මෙවර අප හා රසවත් පිළිසඳරකට මුල පිරුවා.ඔහු ජනප්‍රිය රංගන ශිල්පී සංජය මුරමුදලි.

සංජය කොහොමද ඉතින් ?

මේ දවස්වල සිනමා නිර්මාණ කිහිපයකම වැඩකටයුතු කළා.ටෙලි නාට්‍ය කිහිපයක් රූපවාහිනියේ විකාශය වෙනවා. වේදිකාවත් එක්ක එකතු වී හොඳ නිර්මාණ ටිකක් කරගෙන සතුටින් ඉන්නවා.

මේ දවස්වල දවස ගෙවෙන්නේ කොහොමද ?

අවුරුදු ගණනාවක් තිස්සේ රූපගත කිරීම්වල තමයි දවස ගෙවෙන්නේ.

මේ දිනවල “ඉරහැංගිලා” ටෙලිනාට්‍යයෙහි “සාගර “ට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම ඒක වෙනස්ම විදිහේ නිර්මාණයක්. මෙහි රූපගත වීම් සිදු කරන්නේ ගල්ගමුව ප්‍රදේශය ආශ්‍රිතවයි. සුන්දර ගමක ඛේදවාචකයන් සහිත සිදුවීම්, ගමේ බලය පැතිරීම, මිනිසුන්ගේ හැසිරීම් සහ ඔවුන් ජීවීතේ ගෙවන විදිහ වැනි දේවල් සමඟ මේ කතාව ගෙතිලා තියෙනවා. සුනෙත් වර්ණසූරියගේ පිටපත් රචනයෙන් ලස්සන නිර්මාණයක් රහට ලියා තියෙනවා. අපිට සුන්දර සහ ජීවීතයට ඉතා සමීපයි කියලා දැනෙන දේවල් මේ නිර්මාණය ඇතුළේ තියෙනවා. ක්ෂේත්‍රයේ දැවැන්ත පිරිසක් එක්ක රූපගත කිරීම්වල යෙදෙන්න අවස්ථාව මට ලැබුණා. ගොඩාක් වෙලාවට ජාතික රූපවාහිනීයේ විකාශය වෙන්නේ වෙනස් සහ ප්‍රේක්ෂකයන්ගේ හිත් ඇඳගන්නා සුලු නිර්මාණ.ඒ නිසා මේ නිර්මාණය ගොඩාක් වෙලාවට මිනිස්සු ජීවිතයට එකතු කරගෙන තියෙනවා කියලා තේරෙනවා. එහි හැඟීම් ප්‍රකාශ කිරීම සම්බන්ධව, ඒවගේම ඒ චරිතවල මිනිස්සු ජීවත් වෙන බව පේනවා සාගර කියන චරිතයට මට ලැබෙන විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර අනුව.

මෙහි රූපගත කිරීම්වලදී අමතක නොවන සිදුවීම් ඇති නේද? ඒ ගැනත් කියමු.

අමතක නොවන සිදුවීම් නම් ගොඩාක් තියෙනවා. මෙහි “බක්මී” චරිතය නිරූපණය කරන කසුනි අක්කාට ලෑන්ඩ් මාස්ටර් එකක් පදින්න තියෙනවා. එයා ඒක පදින හැමවෙලාවකම මම ඉස්සරහින් ඉදගෙන ඉන්න ඕනෙ.අපි පාරේ යනකොට කාණුවට කැපිලා එහෙට මෙහෙට වුණු පොඩි පොඩි සිද්ධි තියෙනවා. මේ කතාව ඇතුළේ මැරෙන්න ගිය අවස්ථාත් තියෙනවා. අමතක නොවන මුල්ම සිද්ධිය තමයි මුල්ම එපිසෝඩ් එකේ තියෙනවා. මේ කතාවේ හැටියට සාගරගේ තාත්තා බස් රථ රියැදුරෙක්. සාගර හදිස්සියෙන්ම වෙල මැදින් බයිසිකලය පැදගෙන යනකොට, ඒ එක්කම ඉස්සරහින් එන බස් එකට ඉදිරියෙන් පාරට බයිසිකලය දාලා යන්න තියෙනවා.මේ දර්ශනය රූපගත කරද්දී තමයි තේරුණේ බයිසිකලයේ තිරිංග නෑ කියලා. බස් එක නැවත හරවන්නත් ගොඩාක් දුර යන්න ඕනෙ. ඒකට ලොකු වෙහෙසක් වගේම කාලයක් යනවා. එවැනි ප්‍රශ්නත් එක්ක බස් එකේ ගෑවී නොගැවී පළමුවරට ගැනීම සිදු වුණා. බයිසිකලයේ තිරිංග නැති නිසා බස් එකේ වදින්න වගේ ගිය හින්දා බස් එකේ තිරිංග තද කරන්න කියලා ළඟ හිටපු හැමෝම කෑගැහුවා. නමුත් ප්‍රශ්නයක් නොමැතිව එතුමා හොඳ සංගමයෙන් යුතුව ඒ නිරූපණය ලස්සනට කළා.

“සාගර” ගමේ තරුණ පිරිස් සමඟ එකතු වී පොදු වැඩකටයුතුවලට සම්බන්ධ වන තරුණයෙක්. ගමේ ජීවත් වූ තරුණයෙකු ලෙස ඔබත් එවැනි කටයුතුවලට සම්බන්ධ වෙලා තියෙනවාද?

මං ගමේ ඉන්න කාලේ ගොඩාක් වෙලාවට වැඩිපුරම කරලා තියෙන්නේ පොදු වැඩකටයුතු තමයි. ගමේ ඉන්න තරුණ පිරිස හරි සුන්දරයි. ඒ පිරිසේ අඩුම වශයෙන් 20 ක් හෝ 25 ක් වත් ඉන්නවා. දැනටමත් අපි ගොඩාක් වෙලාවට වෙසක් කාලේට, ගමේ සංවර්ධනය කරන දේවල් (කාණු හදන තැන්), පාරවල් හදන තැන් (කොන්ක්‍රිට් කරන දේවල්), වැව් සුද්ධ කරන දේවල් වලට තරුණ පිරිස් එකතු වුණා. ඒ හින්දා මේ නිර්මාණය ඇතුළේ මට ගොඩාක් වෙලාවට මතක් වෙන්නේ මා ගෙදරදී ගමේ ඉන්න විදිහ සහ මගේ යාළුවෝ මට මතක් වෙනවා. පන්සලේ තීන්ත ගාන ඒවා ගොඩාක් වෙලාවට මං ගමේදී කළා.

ස්වර්ණවාහීනියේ රාත්‍රි 8.30ට විකාශය වන “මා” නාට්‍යයෙහි ඔබ මෙතෙක් රඟපෑ චරිත අතරින් වෙනස්ම චරිතයක් නේද නිරූපණය කරන්නේ?

ඔව්. මෙහි දෙබස් හා තිර රචනය කළ මහේෂ් තත්සර මද්දුමාආරච්චි මතක් කරන්න ඕනෙ.මෙය අධ්‍යක්ෂණය කළ ඉරේෂ් ලොකු බණ්ඩාර තමයි මට මේ චරිතයට ආරාධනා කළේ. ඔහු කතා කරපු ගමන් මට කිව්වේ අභියෝගයක් තියෙන්නේ කියලා. දුෂ්ට චරිතයක් කරන්න තියෙන නිසා එය මිනිස්සු අල්ල ගන්නත් පුළුවන් ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන් කියලා. ප්‍රධාන චරිතය ඉහළට එසවෙන්නේ දුෂ්ටයෙක් ඉන්නා විටයි. මම හිතනවා ඒ අභියෝගය මං භාර ගත්තා කියලා. වේශ නිරූපණ ශිල්පීයෙකු වන මනුක මෙහි “රන්දික” කියන චරිතය වෙනුවෙන් ඇසට ලෙන්ස් එකක් දාලා මගේ මුහුණ සම්පූර්ණයෙන්ම විරූපී කරා.

රන්දික ඔහු ආදරේ කරන පෙම්වතියව කසාද බැදලා කොහොම හරි ඔහු ඔහුගේ ගමන යන්න උත්සාහ කරනවා. යම් අවස්ථාවක ඔහුට පෙම්වතිය නිසා සිදු වන හානියක් මත පළිගැනීමක් සිද්ධ වෙනවා. ඒ හරහා තමයි මේ කතාව දිග හැරෙන්නේ. රන්දික බිරිඳට වගේම දරුවාටත් ආදරේ කරනවා. ඔහු ඇමැති කෙනෙක්ගේ වටපිටාවේ ජීවත් වෙන්නේ. ඔහු යහළුවෝ සහ අවට පිරිස් සමඟ රණ්ඩු වෙනවා. ඒ ඇරුණහම පාතාලේට සම්බන්ධ චරිතයක්.

“මා” ටෙලි නාට්‍යයෙහි “රන්දික” ව ප්‍රේක්ෂකයෝ වැලඳගෙන තියෙන්නේ කොයි ආකාරයටද?

රන්දික මෙහිදී තමන්ගේ දරුවාට දක්වන ආදරේ නිසා මිනිසුන් හොඳ පැත්තට වැලඳගෙන තියෙනවා. දුෂ්ට චරිත කරන අයට කොහොමත් මිනිස්සු බනිනවා. ඒවා හිතන්නේ නැතුව මං ඒ චරිතය අදාළ විදිහට කළා. මට අධ්‍යක්ෂකවරයාගෙන් හෝ පිටපත් රචකයාගෙන් ඒ චරිතය පිළිබඳ දෝෂාරෝපණයක් එල්ල වෙනවා නම් තමයි මම අසාර්ථක කියලා හිතෙන්නේ.ඒ දෙදෙනාගේ හිතේ මැවෙන චිත්‍රය හෝ චරිත ස්වභාවය මම ඉස්මතු කර රූපයට නගා තියෙනවා නම් එය සාර්ථකයි කියලා ප්‍රේක්ෂකයෝ වැලඳ ගනීවී. නිර්මාණයක් සාර්ථක කරගන්න මේ හැම දෙයක්ම වෙන්නේ. ප්‍රේක්ෂකයෝ සුළු කාලයකදී බැන්නට දීර්ඝ කාලයක් මා එක්ක ඉඳීවී.

ඔබ නිරූපණ ක්ෂේත්‍රය හරහාද කලාවට යොමු වුණේ?

නැහැ. මම මුලින්ම මහරගම තරුණ සේවා සභාව හරහා නාට්‍ය හා රංගකලාව පාසැලේ ශිෂ්‍යයෙක් විදිහට ඉගෙන ගත්තා. ඉන්පසුව කැලණිය විශ්වවිද්‍යාලයට තේරී පත් වුණහම එහිදී වේදිකා නාට්‍යවලට, ප්‍රවීණ ජේ්‍ය්ෂ්ඨයන්ගේ විවිධ වැඩමුළුවලට සම්බන්ධ වුණා. එතනදී මට ගොඩාක් වෙලාවට දෙවන සහාය අධ්‍යක්ෂකවරයෙක් ලෙස තිරය පිටුපස වැඩකරන්න ලැබුණා. නිර්මාණ කාර්යයෙහි වෙන දේවල් මම ඉගෙන ගත්තා. වේශ නිරූපණ ශිල්පියෙකු ලෙස වැඩකටයුතු කර වේදිකාවේ සම්මාන පවා ගත්තා.ඉන්පසුව 2018 වසරේදී සිරස නාලිකාවේ විකාශය වූ ” Sirasa Film Star
Reality ” වැඩසටහනෙහි මං ජයග්‍රාහකයා වුණා. “Film Star” ඉවර වීමත් සමඟ ජාතික රූපවාහිනීයේ ” අමුතු රසිකයා” නාට්‍යයෙහි ප්‍රධාන චරිතය රඟපාන්න අවස්ථාව මට හිමි වුණා. ඒක තමයි මගේ ආරම්භය. ඊට කලින් සුළු චරිත නිරූපණය කළා. රංගනය පිළිබඳ දැක්මක් තිබුණ නිසා මට ඒ අවස්ථා ලැබුණා.

කවදා හරි නළුවෙක් වෙනවා කියලා සිහිනයක් තිබුණද?

එහෙම හීනයක් කවදාවත් තිබුණේ නැහැ. විවිධ කාලවල එක එක හීන තිබුණා. අපේ ළමා කාලයේ යුද්ධය තිබුණ නිසා නාවික හමුදාවට හෝ ගුවන් හමුදාවට යන අදහසක් මතුවුණා. මං උසස් පෙළ කරන කාලේදී කවදා හරි හොඳ තැනක් හදාගන්න අධ්‍යාපනය වැඩි දියුණු කර ගන්න ජපානයට යන්න ඕනෙ කියලා හිතේ තිබුණා. කොහොම හරි මේ path එකට යොමු වුණාට පස්සේ මට අවශ්‍ය වුණේ අධ්‍යක්ෂකවරයෙක් වෙන්න. ඒ හරහා මට අවශ්‍ය වුණේ කාටහරි මේක කරලා පෙන්වන්න. එවැනි දේවල් නිසා මට රඟපාන්න පුළුවන් කියලා දැනුණා. ඒත් මං පුළුවන් කියලා හිතාගෙන හිටියේ නෑ. හැම කෙනෙකුම රංගනයෙහි නියැළෙන විදිහ මං හැකි වෙලාවට ඉගෙන ගන්නවා. ඒ විදිහට මේ ක්ශේත්‍රයට ආවේ. නළුවෙක් වෙනවා කියලා ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ආව ගමනක් නෙවෙයි. ඒ හින්දා වෙන්න ඇති මගේ පළමුවැනි නිර්මාණයෙන්ම ජනප්‍රියත්වයට පත් වී සම්මාන පවා ලැබුණා. එදා ඉඳන් අද වෙනතුරු දිගටම නිර්මාණ කටයුතුවල යෙදිලා ඉන්නවා. හොඳ වැඩක් කරනවා කියලා දැන් හීනයක් තියෙනවා.

ඔබ ගැන හඳුන්වා දුන්නොත්?

මගේ ගම හගුරන්කෙත. නමුත් මම ඉපදුණේ පොළොන්නරුවේ. මගේ ගෙදර ඉන්නේ අම්මා, අප්පච්චී සහ නංගී. අම්මාගේ නම රම්‍යලතා මැණිකේ. ඇය බතික් ව්‍යාපාරයක් කළා. තාත්තාගේ නම ජයතිස්ස මුරමුදලි. තාත්තා ගොවිතැන් කටයුතු කළේ.මට නංගී කෙනෙක් විතරයි ඉන්නේ. ඇය උපේක්ෂා චාරුණි මුරමුදලි.නංගී දැනට පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවා. මම 1 වසරේ සිට 13 වසර දක්වා ඉගෙනුම ලැබුවේ හගුරන්කෙත දියතිලක මධ්‍ය මහා විද්‍යාලයේ. මගේ පවුල සාමාන්‍ය විදිහට හොදට කාලා ඇදලා ජීවත්වන සුන්දර පවුලක්.අම්මාගේ හා තාත්තාගේ පැත්තේ නෑදෑයෝ මට හුගක් ආදරෙයි. අපේ ගෙවල් කිට්ටුව ඒ හැම කෙනෙක්ම ඉන්නේ. මම සරල සාමාන්‍ය විදිහට ඉන්න කෙනෙක්. ජීවීතේ ගොඩාක් නොලැබුණු තැන් තියෙනවා. ඒ නොලැබුණු තැන්වල නවතින්නේ නැතුව ඒ දේවල් ලබා ගන්න උත්සාහ කරන කෙනෙක්. ඒත් ලැබුණේ නැහැ කියලා පසුතැවීමක් නැහැ. ඊට වඩා හොඳ දේවල් මං ලබා ගත්ත නිසා සතුටුයි. ඉතින් ඒක වටිනවා.

පාසැල් වේදිකාවේ දී රංගනයෙන් දායක වෙලා තියෙනවාද?

ඉස්කෝලේ වේදිකාවේ රඟපාලා නෑ. සරච්චන්ද්‍ර පදනම හරහා කළ නාට්‍ය තරඟවලට සහ මධ්‍යම පළාත් තරඟවලට ඉදිරිපත් වී එයින් ජයග්‍රහණ ලබලා තියෙනවා. මම උසස් පෙළට කරේ නාට්‍ය හා රංගකලාව. අපි ඒ කාලේදී නාට්‍ය තරඟ සඳහා පහළ පන්තිවල ළමයින් පුහුණු කළා. මගේ රංගන කුසලතාවය හඳුනගෙන අපේ පාසැලේ නාට්‍ය හා රංගකලා ගුරුතුමා වන කිත්සිරි සර් හැමවෙලේම නාට්‍ය වැඩවලට මාව සම්බන්ධ කර ගත්තා. ඒවා විනෝදයට වගේම තරඟවලදී කළාට ලොකු අරමුණක් හිතේ තියාගෙන කළේ නැහැ. ඒ කාලේදීත් නළුවෙක් වෙන්නවත් හොඳට රගපාන්න පුළුවන් කියලාවත් හිතුවේ නැහැ.

කලාවෙහි මේ ආ ගමන් මගේ මේ වනතෙක් ඔබ නිර්මාණ කීයකට සම්බන්ධ වී තියෙනවා ද?

මම මුල් කාලයේ විදී නාට්‍ය කළා. දැනට දැවැන්ත වේදිකා නිර්මාණ 10 කට හෝ 12 කට විතර දායක වී තියෙනවා. හින්දි නිර්මාණයක් ඇතුළුව සිනමා නිර්මාණ 6කට සම්බන්ධ වුණා. ටෙලිනාට්‍ය ගතහොත් ප්‍රධාන චරිත 10 ක් සහ සෙසු චරිත 15 ක් නිරූපණය කළා. මේ වන විට සම්පූර්ණ නිර්මාණ 40 කට පමණ දායක වුණා.

ඔබ රංගන පරාසය තුළ ප්‍රධාන චරිතයට පමණක් සීමා වී නැහැ නේද?

ඇත්තටම නෑ. මම ක්ෂේත්‍රයට පැමිණි දවසේ ඉදන්ම සෙසු චරිත තමයි කළේ. අමුතු රසිකයා ඇතුළුව ටෙලිනාට්‍ය 10 ක පමණ ප්‍රධාන චරිත රගපෑවා.

රංගන නිර්මාණයක් තෝරා ගැනීමේදී ඔබ පිටපත කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනවාද ?

මං පිටපත කෙරෙහි අවධානය යොමු කිරීම අනිවාර්යයෙන් කරනවා. අපේ ලංකාව පුංචි රටක් නිසා සිනමා කර්මාන්තය තුළ පිටපත් තෝරාගෙන රංගනය කිරීමේ අවස්ථා අඩුයි. සුළු නිර්මාණ කිහිපයක් පමණයි කරන්නේ. ඒවගේම විශාල රංගන ශිල්පීන් පිරිසක් ඉන්නවා. ඔවුන් නිර්මාණයකට තේරීමත් විශාල වටිනාකමක් වෙනවා.හුඟක් වෙලාවට පිටපත හා නිර්මාණය කෙරෙහි අවධානය යොමු කළත් පිටපත ඇතුළේ තිබෙන චරිතයට සාධාරණීකරණයක් විය යුතුයි යන්න මගේ හැඟීම.

පසුගිය දිනවල විකාශය වූ චාමර ජනරාජ් පීරිස් අධ්‍යක්ෂණය කළ “අමුතු දිගේ” හි “රවීන්” එක්තරා අවස්ථාවක ආදරේ විරහව විඳිනවා. සැබෑ ජීවීතේ එවැනි අත්දැකීම් තියෙනවා ද?

අමුතු දිගේ “රවීන්” විඳපු තරම් විරහවක් මම ජීවීතේ විඳලා නැහැ. පාසැල් කාලයේ එකිනෙක වෙනස් ආදර කතාන්දර හැදෙනවා. හැබැයි මං හිතනවා මේ වෙනකන් ජීවීතේට දැනුණු දේවල් අපිට එකතු වුණානම් අදටත් ඒ දේවල් අපේ ජීවිත එක්ක තියෙන්න ඕනෙ. මගේ ජීවිතේට දුක හිතෙන අවස්ථා එකතු වෙලා නැහැ.

“රවීන්” ආදරය නිසා ජීවීතේ වෙනස්වීම් වලට ලක් වෙනවා. ආදරේ නිසා සංජයගේ ජීවීතේ වෙනසක් වෙලා තියෙනවා ද?

රවීන් කියන්නේ “අමුතු දිගේ” ටෙලිනාට්‍යයෙහි ප්‍රධාන චරිතය. ඔහු මුල්කාලීනව දුක සංවේදීව විදපු චරිතයක්. හැමවෙලේම පිරිමියෙක් නොහෙලන කදුළු විඳී කෙනෙක්. තමන් කුඩා වියේ සිටම ආදරේ කළ පෙම්වතිය ඔහුට ද්‍රෝහී වී වෙනත් කෙනෙකු හා විවාහ වීම නිසා පසුකාලීනව ඇයගෙන් පළිගැනීමට හිත ශක්තිමත් කර ගන්නවා. ඒ විදිහට තමයි මේ නිර්මාණය “අමුතු දිගේ” නවකතාව ඇසුරෙන් දිග හැරුණේ.

මගේ ජීවිතේ ත් ආදරේ නිසා ගොඩාක් වෙනස්කම් වෙලා තියෙනවා. මම ආරම්භය සිටම උත්සාහ කළේ කලාවට ආදරය කරන්න. ඉතින් කලාවට කරන ආදරේ ඇතුළේ තමයි අනිත් හැම දෙයක්ම එකතු වෙන්නේ. මගේ ජීවීතේ ආදරය නිසා වෙනස්කම් වෙලා තියෙනවා. ඒවා හොඳ දේවල් වෙන්න ඇති කියා මං හිතනවා. ජීවිතේ වැරදි තිබේනම් ඒවා හදාගෙන අපි හෙට දවස වෙනුවෙන් ජීවත් වුවහොත් මං හිතන්නේ ආදරය ලස්සනට ලැබෙන්න හෝ ආදරය ලස්සනට දෙන්න පුලුවන් විදිහට ඉන්න හැකි වෙනවා.

පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද ?

මම දුර බැහැර ප්‍රදේශවල රූපගත කිරීම්වල නියැළෙන විට අම්මායි තාත්තායි නිතර මා ගැන සොයා බලනවා. ඔවුන් මම නිරූපණය කරන චරිතවල ගුණදොස් පවා කියනවා. අපේ පවුලේ අයව අපහසුතාවයට පත් නොවන විදිහට මම චරිත නිරූපණය කිරීමේ දී වගබලා ගන්නවා. අපේ ගෙවල් වලින් ලැබෙන සහයෝගය නිසා තමයි මං අද රගපෑම්වලට යොමු වී ඉන්නේ. මගේ දෙමව්පියෝ මුල් කාලෙදී කැමති වුණේ මං කාර්යාල රැකියාවක නිරත වෙනවාට.නමුත් මේ වෘත්තියේ දී මට ලැබුණු දේවල් සහ එයට ලැබෙන ප්‍රතිචාර නිසා මං ඉන්න තැන දැකලා ඔවුන් ගොඩාක් සතුටු වෙනවා.

ඔබ රංගනයේදී කිසියම් ශිල්පියෙක් අනුගමනය කරනවාද?

ඇත්තටම මෙතෙක් කාලයක් කිසිම කෙනෙක්ව අනුකරණය කරන්න උවමනාවක් තිබ්බේ නෑ.හැබැයි ගොඩාක් වෙලාවට ප්‍රේක්ෂකයෝ කියනවා මේ කෙනා වගේ කියලා. නමුත් මං කිසිම අවස්ථාවකදී කිසිම කෙනෙක්ව Follow කරේ නෑ.මම සාමාන්‍ය ගමක හැදුණු වැඩුණු කෙනෙක්. මගේ අභ්‍යන්තර හැඟීම් ප්‍රකාශනයන් වගේම චරිත ප්‍රකාශනයන් ටික නිර්මාණය තුළින් බාහිර සමාජේට දෙන්න මම හැමවෙලේම උත්සාහ කරනවා.

ජීවීතේ වඩාත්ම සතුටු වුණ දවස කවදාද?

මම හිතන්නේ හැමකෙනෙක්ටම ජීවිතේ වටින දවස් තියෙනවා. ජීවිතේ දුක හිතෙන අවස්ථාවක් ආවත් ඒ දේවල් වෙන්නේ ඊළඟට හොඳ අවස්ථාවක් ලැබෙන්න කියලා මං හිතනවා. මගේ ජීවිතෙත් සතුටු වුණ දවස් කිහිපයක්ම තියෙනවා.කලාවට අවතීර්ණ වූ ගමනේ දී සිරස Film Star Reality තරඟයෙන් දිනා ලොකු පෙරහැරකින් ගමට ගියපු දවසේදී මං සතුටු වුණා. ඒක සාමාන්‍ය 1000 න් 1 කෙනෙකුට ලැබෙන සුවීශේෂී අවස්ථාවක්. මම පළවෙනි සම්මානයට පාත්‍ර වූ දවසේ ඉඳලා හැම සම්මානයකටම පාත්‍ර වෙනවා. මම අලුතින් නිර්මාණයට සම්බන්ධ වූ හැම දවසක් පිළිබඳවම සතුටුයි.

ඉදිරි වැඩකටයුතු මොනවාද?

වැඩකටයුතු ගොඩාක් තියෙනවා. රියසල් කරගෙන යන වේදිකා නිර්මාණ කිහිපයක් තියෙනවා. මේ දවස්වල උදයකාන්ත වර්ණකුලසූරිය මහතාගේ සිනමා නිර්මාණයක් වන “මේඝ වර්ෂා” හි රූපගත කිරීම්වල නියැලී ඉන්නවා. රජිවී ශිවදාසන් මහතාගේ අලුත් සිනමා නිර්මාණයක වැඩකටයුතු අවසන් කළා. චාමර රාජපක්ෂගේ ” දඩස් ” චිත්‍රපටයේ වැඩකටයුතු අවසන් කළා. දැන් එහි හඬකැවීම් වෙනුවෙන් ළඟදීම සහභාගී වෙනවා. ඒවා තමයි සාමාන්‍ය වැඩ.

 

වසුන්දරා කුමාරී ධර්මරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT