රසිකයා ප්රමෝදයෙන්ම මත් කරවන රසාලිප්ත සිනමා පිවිසුම් කවර සිනමා කලාපයකදී වුව පෙරට එන්නේ සිනමාවේ පැවැත්ම හා පැතිරයාම සුරැකීමේ ඕනෑකම සලකුණු කරමිනි. අතීත හා වත්මන් ජගත් සිනමාව පිළිබඳ කෙරෙන පළමු වටයේ හැදැරීමකදීම මේ වග පහසුවෙන් පසක් කර ගත හැකිය. ජගත් සිනමාවේම කොටසක් සේ සැලකෙන සිරිලක සිනමාවද මෙසේම හැසිරෙන්නේ එහි මුල් සමයේ පටන්මයි.
වඩාත් වැදගත් කරුණක් මෙතැනදී සිහිපත් කරලීම වටී. එනම් කාලානුරූපව රසික සමාජය විෂයෙහි සිදුවන නොයෙකුත් විපරිවර්තන මැනවින් සලකා බැලෙන ආකාරයේ සිනමාපට නිමැවුම සඳහා අවතීර්ණ වීමේ වුවමනාවයි. ජයගත නොහැකි වූ හා ජය ගැනීම අසීරු වූ අර්බුද පිළිබඳ සලකා බැලීමකදී මෙය නොතකා හැරිය යුතු නොවන්නක් සේ පෙනී යයි.
කිසියම් යටි පෙළ අරුතක් හෝ අරුත් සමුදායක් සහිත රසාලිප්ත සිනමා පිවිසුම්ද මේ අතරවාරයේ නිශ්චය කර ගැනීම අපහසු නොවේ. අවාසනාවකට සිනමා විචාරයේ අවධානයට මෙවැනි එළැඹුම් හසු නොවන සෙයකි. මෙයට එක් හේතුවක් වනුයේ සිනමා විචාරය බොහෝ විට සම්මත කලාත්මක හා සම්භාවනීය ලකුණු සහිත සිනමාපට ඇසුරු කරන්නට දක්වන ඉමහත් කැමැත්තයි. සිනමාව යනු එබඳු මාදිලියේ සිනමාපටම නොවන බව වටහා ගැනීම ඇවැසිමය. මෙවැනි වටහා ගැනීම් සහිතව සපැමිණෙන විචාර කාර්යයන් දෙස වපරැ’සින් බැලීමේ අවස්ථා තවදුරටත් පවතී. මෙනිසාමයි රසාලිප්ත ලකුණුම පෙරට රැගෙන එන ඇතැම් සිනමාපට ඒවායේ යටි පෙළ අරුත් සමඟම අතහැර දැමෙන්නේ.
මෙසමයේ තිරගත කෙරෙන තිසර ඉඹුලාන නිමවූ ‘මෝඩ තරිඳු’ සිනමාපටය අරභයාද උක්ත විමසුම අදාළ කර ගත හැකිය. ‘මෝඩ තරිඳු’ වත්මනෙහි දිස් වන සිනමා උණුසුම තීව්ර කරන හා එය පවත්වා ගෙන යාමට සූදානම් සිනමාපටයක්ය යන්න පෙනී යයි. මෙසේ වනුයේ මේ සඳහා සැලකිය යුතු රසික ප්‍රතිචාර ලැබෙන හෙයිනි. කෙසේ නමුදු මේ සිනමාපටයේ නිමැවුම් කටයුතු නිමා වූයේ ඊයේ පෙරේදා නොවන බව කියැවේ. සිනමා උණුසුමක් පිළිබඳ හාංකවිසියක්වත් නොදැනුණු සමයක නිර්මිත සිනමාපටයක් මෙසේ සැලකිය යුතු රසික ප්‍රතිචාර සපුරා ගැනීම ආහ්ලාදජනකය. මෙය සිනමාපට නිමැවුම හා තිරගත කිරීම අතර ඇති ඒකාකාර නොවන සබඳතාව විසින් ගෙන එනු ලැබූවක්ය යන්නද සැබෑවකි.
සිනමාකරු තිසර ඉඹුලාන හඳුනා ගැනෙන්නේ සිනමාව නවමු අයුරින් භාවිතයට රුචි හා ඉන් රසික නැණැස පොහොසත් කරලීමට අවකාශ සලසා ගත හැකි නව පරපුරේ සිනමාකරුවකු ලෙසිනි. ඔහුගේ පරපුර දුක් විඳී අවස්ථා ගණනාවකි. ඇතැමෙකුට සිය පළමු සිනමා මෙහෙයුම එළි දක්වන්නට පවා සුදුසු අවස්ථාවක් නොලැබුණු තරම්ය.තිසරද සිය පළමු සිනමාපටය අදින් වසර අටකට පමණ පෙරාතුව සිනමාශාලා කරා රැගෙන ආවේ අසීරුවෙන්ය යන්න පැහැදිලිය. තවමත් මෙවකි අවස්ථා උදා නොවුණු තරුණ සිනමාකරුවන් පිරිසක් තරුණ විය ඉක්මවමින් සිටිති.
‘මෝඩ තරිඳු’ සඳහා ඉහළ රසික ප්‍රතිචාර හිමිවන්නේ තියුණු ප්රචාරක උපක්‍රම ආදියටද පින් සිදුවන්නටය.එක පසෙකින් දිදුලන්නේ ‘මෝඩ තරිඳු’ යන හඳුන්වාදීමයි. පළමු පෙළ චරිත නිරූපණයට එක් කර ගන්නා උදවියද රසික ආකර්ෂණයට ලක් වන්නේ නිරායාසයෙනි. සමාජ මාධ්‍ය ඔස්සේ හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ සිදු කෙරෙන රූපමය ප්‍රචාරයද තීරණාත්මකය. ප්‍රධාන චරිත නිරූපණය කරන සූර්යා දයාරුවන්ගේ විසුළු සහගත මුහුණ සේම කෞශල්‍යා ප්‍රනාන්දුගේ රළු මුහුණ සිත් ඇද ගන්නා සුලු අයුරින් එක පෙළට තැබීමේ ප්රචාරක වාසිය කැපී පෙනේ.
සැබෑ ලොවින් ඇරඹෙන ‘මෝඩ තරිඳු’ වැඩි කාලයක් ගත නොකොටම මළවුන්ගේ ලොව නිරූපණයට පියවර සලසා ගන්නේ පෙර සඳහන් කළ නවමු බව ඔප් නංවමිනි. එහෙත් මෙය සැබෑව හා කල්පිතය අතර දෝලනය වීමකට ඉඩ කඩ විවර කරන ක්රමෝපායක් සේ හඳුනා ගැනීම සහේතුක නොවේ. මන්ද සිනමාකරු තිසරගේ ඒකායන පැතුම වන්නේ රසිකයා වෙත ආනන්දයක්ම ලබා දීම වන නිසාවෙනි. එනමුදු සිනමාපටය නිමා කරලීමට සමීප වන සමයේදී ඔහු යම් යටිපෙළ අරුතක් දැනවීමට උනන්දු වෙයි. මේ සඳහා ඔහුව පෙලෙඹවීමේදී ඔහු හා තිසර මංගල බණ්ඩාර විසින් රචනා කරන ලද තිරනාටකයද ඉවහල් වන්නට ඇත. තමනට ලැබුණු තිරනාටකය අබිබවා යාමට ඔහු නිසැක ලෙසම කටයුතු කළේය යන අදහස මේ මොහොතේදී ඉස්මතු නොකිරීම වැදගත්ය. මන්ද ඉන් අදාළ නොවන ලකුණු කිහිපයක් සිනමාකරු ඔහු වෙත ලැබෙන්නට ඉඩ ඇති හෙයිනි.
සිනමාපටයේ එන යටි පෙළ අරුත නොඅනුමානවම විවාදාත්මක වූවකි. එනමුදු ‘මෝඩ තරිඳු’ විවරණයට බට පිරිස් මේ දෙස නොබැලීම ගැටලු සහගතය. මෙතැනදී සිනමාකරු තිසරට යම් වැරදීමක් සිදුව ඇතැයි යන හැඟීමද මුළුමනින්ම බැහැර කළ හැකි නොවේ. කෙසේ වුවද හුදු ආනන්දයක්ම රැගෙන ඒමෙන් නොනැවතී විවාදාත්මක කරුණු සනිටුහන් කරලීමකට කවර අන්දමකින් හෝ ඔහු මනාප වීම දෙස වපරැ’සින් නොබැලිය යුතුය.
මළවුන් පිරිසක් වරින් වර යන්නේ නොමළ ජෝඩු රමණය කරනු දකින්නටය. එහි කූටප්‍රාප්තියේදී එක් මළ මිනිසකු හෝ ගැහැනියක අතුරුදන්ව අර යුවලගේ දරුවකු සේ උපත ලබන්නට සමත් වන වග කියැවේ. මේ මළවුන් අතර සිටින යුවළකගේ පැතුම වන්නේ රමණයෙහි නිරත එක යුවළකගේ දරුවන් සේ උපදින්නටය. මළවුන් අතර ඔවුහු පෙම්වතුන්ය. රමණ යුවළ ඔවුනගේ සතුරන්ය. කෙසේ හෝ මේ මළ පෙම් යුවළ රමණ යුවළගේ නිවුන් දරුවන් සේ උපත ලබන්නේ සිය පැතුම සඵල කර ගනිමිනි. දැන් මේ කුඩා දරු දෙදෙනා දෙමාපිය යුවලට දස වධ දෙති. ව්‍යාභිචාරය පිළිබඳ යම් අදිසි සඳහනක් මෙතැන නොමැති වග කිසිවකුටත් කිව හැකි නොවේ. නමුත් ව්‍යාභිචාර සඳහන සඳහා වැඩි ඉඩක් ලබා දීමට සිනමාකරු තිසර උනන්දු නොවූ සෙයකි. එබඳු සඳහනකින් සිනමාපටයේ රසාලිප්ත බව අනතුරේ වැටෙනු ඇතැයි ඔහු සිතා බලන්නටද ඇත.
‘මෝඩ තරිඳු’ රසික ආකර්ෂණය දිනා ගන්නා අයුරින් නිමැවීමේදී තිසර වෙත එල්ල කෙරෙන එක් අභියෝගයක් වනුයේ සංස්කරණයයි. පහසුවෙන්ම සැලකිය යුතු රූප රාමු සංඛ්‍යාවක් ඉවත් කිරීමේ හැකියාව සංස්කරණයට තිබිණි. එකම කරුණ නැවත සනිටුහන් කරලන අවස්ථා මෙසේ ඉවත් කළ හැකි රූප රාමු අතර තිබේ. වෙසෙසින්ම මළවුන්ගේ ලෝකයේ තතු විත්ති නිරූපණයේදී උචිත සංක්ෂිප්ත සඳහන් කිරීම් භාවිත කළේ නම් සිනමාපටයේ ඇතුළාන්තය විසින් ඉල්ලා සිටිනු ලබන ජවය පහසුවෙන් සහතික කරගත හැකිව තිබූ බව පෙනේ.
මුල් පෙළේ චරිත නිරූපණයට එන සූර්යා දයාරුවන්, කෞශල්‍යා ප්‍රනාන්දු සේම ශනුද්‍රි ප්‍රියසාද් හා ධනුක දිල්ෂාන්ද යම් නව්‍ය ලකුණු සමහරක් අවධාරණය කරති. ගැඹුරට දිවෙන චරිත නොවන නිසා ඔවුන් වෙතින් සියුම් රූපණ අපේක්ෂා කිරීම අනුචිතය.
‘මෝඩ තරිඳු’ බඩ අල්ලාගෙන හා ඉල ඇට බිඳගෙන නොනවත්වාම සිනාසිය හැකි දසුන් සහිත සිනමාපටයක්ම නොවේ. මතුපිටින් නොව තරමක් ඇතුළතින් හාස්‍ය රසයට අවකාශ සලසන සිනමාපටයකි. නොමළ මිනිසුන්ගේ හා ගැහැනුන්ගේ අඳුරු පෙදෙස් ආලෝකවත් කරලනු පිණිස තැත් කරන සිනමාපටයකි. ඉන් උපදින නොපෑහීම් දෙස සදය උපහාසයකින් බලන්නට වැර දරන සිනමාපටයකි.

තුසිත ජයසුන්දර
