නලින් රාජපක්ෂ අධ්‍යක්ෂණය කළ “සයනයිඩ්” සිනමා චිත්‍රපටය මේ දිනවල දිවයින පුරා තිරගත වෙයි. මෙරට ප්‍රකට දෙමළ ජාතික දේශපාලනඥයකු වන ඊ.පී.ආර්.එල්.එෆ්. නායක වර්ධරාජා පෙරුමාල්ගේ ජීවන වෘත්තාන්තය අලළා නිර්මාණය වූ මෙම චිත්‍රපටය බහුතරයක් රූගත කිරීම් සිදුකොට ඇත්තේ ඉන්දියාවේදීය. මෙම චිත්‍රපටයේ කථා තේමාව ඉදිරියට රැගෙන යනුයේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වයක් වන ලාංකේය පුවත්පත්කලාවේදියෙකු සහ ඉන්දියාවේ ජීවත්වන ශශ්‍රී ලාංකේය සම්භවයක් ඇති මහාචාර්යවරයකු විසිනි. එකී මහාචාර්යවරයාගේ චරිතයට ජීවය දෙනුයේ මෙරට සිනමාවේ මෙන්ම ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ ද ජනප්‍රිය නළුවකු වන රාජා ගනේෂන් විසිනි. මේ නිසා මෙවර අපගේ කතාබහ සඳහා අප කැඳවා ගත්තේ රාජා ගනේශන්ය.
ඔබ සයනයිඩ් චිත්‍රපටයේ සඳහා සම්බන්ධ වන්නේ කෙසේද?
සයනයිඩ් චිත්‍රපටයට කලින් මම නලින් රාජපක්ෂත් එක්ක “රේන්බෝ” කියන චිත්‍රපටය කරලා තිබුණා. ඒ නිසා ඔහුත් මමත් දැන හඳුනාගෙන හිටියා. ඒ චිත්‍රපටයේ මම රඟපෑවේ තාත්තා කෙනෙකුගේ චරිතය ඊට පස්සේ ඔහු සයනයිඩ් සිනමා පටය කරන්න සැලසුම් කරද්දී මට මහාචාර්යවරයාගේ චරිතයට කතා කළා. ඔහු විශ්වාස කරන්න ඇති මට වෙනස් විදිහේ චරිතයක් කරන්න හැකිවේවි කියල. ඊට පස්සේ ඒ කතාව අනුව අපි වැඩ කරන්න ලෑස්ති වුණා.
ඔබ මහාචාර්යවරයාගේ චරිතය හඳුනා ගත්තේ කොහොමද?
මේ චිත්‍රපටයේ හැටියට මහාචාර්යවරයා ඉන්දියාවේ ජීවත්වන කෙනෙක්. නමුත් ඔහුට ලංකාවේ සම්භවයක් තියෙන්නේ. ඒ කාලේ තමයි චිත්‍රපටයට ප්‍රධාන වෙන චරිතය වන වර්ධරාජා පෙරුමාල් ඉන්දියාවට පැමිණෙන්නේ. ඔහු ඉන්දියාවට එන්නේ එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් ඔහුට එල්ල වුණු මරණ තර්ජන වලින් බේරෙන්න. ඔහු ලංකාවෙදි නියෝජනය කළේ ඊ.පී.ආර්.එල්. එෆ්. සංවිධානය. ඔහු ප්‍රභාකරන්ලගේ කල්ලියට සම්බන්ධ කෙනෙක් නොවෙයි. නමුත් ඔහු ඔවුන්ට විරුද්ධවාදීකම් කරපු කෙනෙකුත් නොවෙයි. පාඩුවේ ජීවත් වුණු කෙනෙක්. නමුත් එල්.ටී.ටී.ඊ එක ඔහු අවිශ්වාස කළා. මේ නිසා ඔහුට එල්.ටී.ටී.ඊ එකෙන් මරණ තර්ජන ආවා . ඒ තර්ජන නිසා තමයි ඔහු ඉන්දියාවට එන්නේ. නමුත් එල්.ටී.ටී.ඊ එක එයා පස්සේ ලුහුබැන්දා. ඉන්දියාවේ හිටපු මම රඟපාන මහාචාර්ය චරිතයට ඔහු පිළිබඳ තොරතුරු එනවා. මේ තොරතුරුත් සමඟ ලංකාවෙන් පැමිණෙන මාධ්‍යවේදියා එක්ක තමයි මගේ චරිතය මේ චිත්‍රපටය පුරා වර්ධනය වෙන්නේ.
මේ චිත්‍රපටයේ සිදුවීම් සත්‍ය දේවල්ද?
මහාචාර්ය චරිතය මාධ්‍යවේදියා ආදිය කතාව සඳහා යොදා ගත්තා වෙන්න පුළුවන්. නමුත් මේ චිත්‍රපටය ඇතුලේ තියෙන්නේ වර්ධරාජා පෙරුමාල් මහත්මයාගේ ජීවිත කතාව. එයා 1998 කාලේ වගේ හිටපු ප්‍රධාන ඇමති කෙනෙක්. ලංකාවේ ඉන්න කාලේ එයාට ඉන්දීය සාම සාධක හමුදාවේ ආරක්ෂාව ලැබුණා. නමුත් සාම සාධක හමුදාව ලංකාවෙන් යැව්වාට පස්සේ එයා මෙහේ ඉන්න බය වුණා. ඔහුටම ඔහුගේ ආරක්ෂාව ගැන සැක හිතුණා. ඒ නිසා එයා ඉන්දියාවට ගියා. එහිදී එයාට ඒ අයගේ ආරක්ෂාව ලැබුණා. නමුත් එල්.ටී.ටී.ඊ සංවිධානය එයා පස්සේ ලුහුබැන්දා. එයා බොහොම අවදානමෙන් තැන් තැන්වල සැඟවෙමින් රහසිගත ජීවිතයක් ගෙන ගියා සයනයිඩ් චිත්‍රපටයේ මේ දේවල් ඔක්කොම කියවෙනවා.
කතාවේ හැටියට වර්ධරාජා පිළිබඳ විවිධ තොරතුරු මහාචාර්යවරයාට ලැබෙනවා. ශාන් කියලා ලංකාවෙන් එන මාධ්‍යවේදියාට මම මේ තොරතුරු කියනවා. අන්තිමේ අපි දෙන්නත් එල්.ටී.ටී. තර්ජනවලට ලක්වෙනවා. ඒකෙන් බේරෙන විදිය තමයි චිත්‍රපටයේ තිබෙන්නේ.
චිත්‍රපටයේ බහුතරයක් රූගත කිරීම් ලංකාවේ නෙමෙයි නේද කෙරෙන්නේ?
ඔව්. බහුතරයක් රූගත කිරීම් තිබුණේ ඉන්දියාවේ මාසයකට වැඩි කාලයක් අපට ඉන්දියාවේ නතරවෙලා ඉන්න සිද්ධ වුණා. මේ රූගත කිරීම් තිබුණේ ඉන්දියාවෙත් දකුණු ප්‍රදේශයේ විශාකාපටිනම්වල. උතුරේ රූගත කිරිම් සඳහා යොදාගන්න එක හරි අසීරු කාරණාවක්. එහේ හැමදේටම මිලක් නියම වෙනවා. අපේ අධ්යක්ෂවරයා ඒ බව දැනගෙනම දකුණු ඉන්දියාවේ විශාකා පටි නම් ඒ සඳහා සූදානම් කර ගත්තා. අපට තිබුණ ලොකුම බාධාව වුණේ භාෂාව. ඒ හරියේ භාවිතා කරන්නේ දෙමළ භාෂාවක් නෙමේ. මලයාලම් භාෂාව කොහොමහරි අපි වැඩ ටික සුහදව කර ගත්තා.
ඔබට වර්ධරාජා පෙරුමාල් හැබහින් මුණ ගැසී තිබෙනවාද?
මම වර්ධරාජා ගැන දන්නවා. නමුත් මට ඔහුව මුණගැසී නෑ. මම හිතුවා චිත්‍රපටය රූගත කරන අතරතුරවත් මුණ ගැසෙයි කියලා. එයා චිත්‍රපටය රූගත කරන කාලසීමාවේ ඉන්දියාවේ හිටියා.
ඔබට බයක් හිතුණේ නැද්ද මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න?
නෑ. කොහෙත්ම නෑ. මම කරන්නේ කලාවක්. මගේ ජීවිතය කලාව. මීට කලිනුත් මම එල්ටීටීඊ එක ගැන කියැවෙන බූඩි කීර්තිසේනගේ මාතා චිත්‍රපටයේත් රඟපෑවා. ඉතින් මේකත් මට තවත් එක්තරා චරිතයක් විතරයි. වෙන කිසි දෙයක් නෑ. මට දීපු වැඩේ මම කළා. එච්චරයි. ඇත්තටම සයනයිඩ් කියන්නේ වෙනස් විදිහේ කතන්දරයක්. සාමාන්‍ය චිත්‍රපටවල වගේ සින්දු නෑ. විනෝදය නෑ. නමුත් මේ චිත්‍රපටය ඇතුලේ හැමෝටම දැනගන්න ඕන කතන්දරයක් තියෙනවා. අපේ අනාගත දරු පරපුර මේ ඉතිහාසය දැනගන්න ඕන. ඒක නිසා මම හිතනවා මේ චිත්‍රපටයෙන් ලොකු මැසේජ් එකක් ගෙනියනවා කියලා.
ඔබගේ කලා ජීවිතය දිහා අපි ආපහු හැරිලා බැලුවොත් පටන් ගන්නේ කොතනින්ද?
මම පටන් ගන්නේ හැට දශකයෙන්. මම මුලින්ම සම්බන්ධ වෙන්නේ ගුවන් විදුලියට. ගුවන් විදුලියේ දෙමළ වැඩසටහන් සඳහා තමයි මුලින් සම්බන්ධ වෙන්නේ. ඒ වුණාට මට හොඳට සිංහල පුළුවන්. අපේ තාත්තා හොඳ කලාකාරයා. ඔහුත් චිත්‍රපටවල රඟපෑව නළුවෙක්. ඔහුගේ නම ඒ එස් රාජා. ලංකාවේ කරපු පළමුවෙනි දෙමළ චිත්‍රපටය නිෂ්පාදනය කළේ එයා. ගාමිණී ෆොන්සේකා මහතාගේ ළඟම මිතුරෙක්. තාත්තා බොහෝ චිත්‍රපටවල සුළු චරිත රඟපාලා තිබුණා. ඒ වුණාට එයා පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ මම ඒ පැත්තට යොමු වෙනවට.
ඉතින් කොහොමද ඔබ චිත්‍රපට වලට පැමිණෙන්නේ?
අපේ ගම කොළඹ මරදාන අපි ජීවත් වුණේ සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ඔක්කොම ඉන්න තැනක. ඒ නිසා අපට දෙමළ සිංහල ඉංග්‍රීසි භාෂා තුනම පුළුවන්. තාත්තා සිනමාවට එනවට අකමැති වුණාට මම ගුවන් විදුලි වැඩසටහන් වලට යනවට කැමති වුණා. ගුවන් විදුලියේ නාට්‍ය ශිල්පියෙක් විදිහට සම්බන්ධ වුණා. නාට්‍යය ලිව්වා. මම දෙමළ නාට්‍ය ශිල්පියෙක් වුණාට මට සිංහලත් පුළුවන්. ඔහොම ඉන්න අතරතුර තමයි මට පරාක්‍රම නිරිඇල්ල මහත්මයා මුණගැසෙන්නේ. එතකොට එතුමා ටීවීටී ආයතනයේ වැඩ. මුලින්ම ඔහු මාව ඔහුගේ කෙටි චිත්‍රපටයට ගත්තා. ඊට පස්සේ ඔහු කරපු විල් බැඳී දනව්ව ටෙලි නාට්‍යයට සම්බන්ධ කරගත්තා. ඔය විදිහට තමයි ටෙලිනාට්‍ය චිත්‍රපට වලට සම්බන්ධ වෙන්නේ. මගේ කලා ජීවිතේ ගුරුවරයා පරාක්‍රම නිරිඇල්ල තමයි. ඊට පස්සේ මට විවිධ අධ්යක්ෂවරු ටෙලි නාට්‍යවලට අඬගහනවා. නාලන් මෙන්ඩිස් මහත්මයාගේ නාට්‍යවල මම දිගටම හිටියා. අශෝක හඳගම මහත්මයා මාව ‘ඉනි අවන්’ ටෙලි නාට්‍යයට ගත්තා. ඉස් ඉස්සරලම මට විලන් චරිතයක් ලැබෙනවා. ඉනිඅවන් වලදි. කොහොම හරි මේ වනවිට මම ටෙලි නාට්‍ය 50ට විතර දායක වෙලා තිබෙනවා. චිත්‍රපට ගත්තොත් 26,27ට වගේ දායක වෙලා තිබෙනවා.
ඔබ දෙමළ ප්‍රේක්ෂක ජනතාව අතරට වඩා ජනපි‍්‍රය වෙලා තිබෙන්නේ සිංහල ප්‍රේක්ෂකයෝ අතර නේද?
අනිවාර්යයෙන්ම මම වැඩිපුරම රඟපාලා තියෙන්නේ සිංහල ටෙලි නාට්‍ය සහ චිත්‍රපට.පසුගිය දවස්වල නම් පාරේ යන්න බැරි තරමට ජනපි‍්‍රය වුණා. ඒ නෙළුම් කුලුන චිත්‍රපටය නිසා. එකේ ඛ්ච් එක දෙන්නේ මමනේ. ඒ දවස්වල මට නිතරම ඛ්චතත ආවා. ඛ්ච් එකක් ගන්න බැරිද කියල අහලා.
අලුත් නිර්මාණ කටයුතු මොනවද?
පාස්පෝට් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ‘ක්‍රිස් ඇන්තනී ගේ අලුත් චිත්‍රපටයට කතා කරල තිබෙනවා. ඒ වගේම ජයන්ත චන්ද්‍රසිරිගේ ‘සමහරු සහ සමාගම‘ චිත්‍රපටයට සම්බන්ධ වෙලා ඉන්නවා. මේ දවස්වල තිර පිටපත කියවමින් ඉන්නේ. බොහෝ වෙලාවට මට චරිත තෝරා බේරා ගන්න වෙන්නේ නෑ. මගේ ස්වරූපයට හරියන චරිත ඔවුන් විසින්ම නිර්මාණය කරලා මට දෙන්නේ. මේ තාක් මම කරලා තිබෙන්නේ ගුණාත්මකභාවයෙන් යුතු චරිත.
ඔබ වෘත්තීයෙන් රංගවේදියෙක්ද?
නෑ. මම ඉස්සර රිචඩ් පීරිස් සමාගමේ රැකියාව කළා. ඒ අතරතුර තමයි රඟපෑම් කටයුතු කළේ. දැන් නම් ඉතින් විශ්‍රාමිකයි. කලාව විතරයි කරන්නේ. දැන් මගේ දරුවෝ ලොකුයි ඔවුන් විවාහකයි. ඒ අය ඕනවටත් වඩා හොඳීන් මාව බලා ගන්නවා. මගේ ලේලිත්, පුතාත්, මිනිබිරියත් කලාවට සම්බන්ධයි. පුතා කින්ග්ස්බරි හෝටලයේ ඉහළ තනතුරක් දරනවා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම්වලට වොයිස් කරනවා. ‘ලේළි’ රූපවාහිනියේ ලොතරැයි දිනුම් ඇදීමට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ජීවිතයේ සන්ධ්‍යා භාගයේ විවේකයෙන් සුවයෙන් ඉන්නවා. රූගත කිරීම් නැතිනම් නිදහසේ ගෙදරට වෙලා ඉන්නවා. ජීවිතය දිහා ආපහු හැරිලා බලනකොට ලොකු සතුටක් තිබෙනවා. මගේ නෝනා යෝගා මගේ කලා ගමනට ලොකු සහයෝගයක් දැක්වූවා. අපි දෙන්නා ආදරයෙන් දිගු ගමනක් ආවා. දැන් අපිට දරුවෝ හැම දෙයක්ම ළඟට දෙනවා අපි සතුටින් ජීවත් වෙනවා. ඉදිරියටත් මට පුළුවන් කල් කලාවට සේවය කරනවා.
ඒ වගේම මේ මොහොතේ විශේෂයෙන් සඳහන් කරන්න ඕන අපේ සයනයිඩ් චිත්‍රපට කණ්ඩායම අධ්යක්ෂතුමා ඇතුළු හැම දෙනෙක්ම ලොකු සහයෝගයකින් කටයුතු කළා. ඒ නිසා තමයි මේ තරම් ලොකු නිර්මාණයක් අපිට කරගන්න පුළුවන් වුණේ. මගේ ප්‍රේක්ෂක ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ චිත්‍රපටය නරඹන්න කියලා.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
හේමාලි විජේරත්න
