ගාමිණිගෙන් ඇස් රතු වූ විහිළුවක්

අප්‍රේල් 8, 2021

 

චිත්‍රපටයක් තන්නනට කළ ආරාධනාව සමඟ කථාන්දරයක් ලියා ගෙන ගිය ද ගුණරත්නම් හමුවන තුරුම ටයිටස් තොටවත්ත චිත්‍රපටයට සුදුසු නමක් සිතා තිබුණේ නැත. චිත්‍රපටයේ කථාව පාතාල ලෝකයේ චරිත හා සම්බන්ධ එකකි. ටයිටස් තොටවත්ත යනු සැම ජාතියකම මිනිසුන් ආශ්‍රය කරන්නෙකි. එබැවින් හැම සමාජ තලයකම මිනිසුන් ගැන ඔහුට තිබුණේ අපූරු දැනුමකි. එවකට මරදාන පැත්තේ ජීවත් වූ චණ්ඩින් ගැන කථා පමණක් නොව ඔවුන්ගේ වගතුග ගැන ද ඔහුට හොඳහැටි දැනුමක් තිබිණ. චිත්‍රපටයේ කථාව ලියැවුණේ එබඳු චරිත ගොන්නක් වට කොටගෙනය. චිත්‍රපටයේ කථා සාංරශය කියැ වූ ගුණරත්නම් එයට එක හෙළාම කැමැත්ත පළ කළේය. දැන් මොකක්ද මේකේ නම? ගුණරත්නම් ඇසුවේය. චිත්‍රපටයට නමක් අවශ්‍ය වුවත් ඒ ගැන ටයි මහත්තයාට සිහිපත් වුණේ එවිටය.

'චණ්ඩියා '

ඔහු කටට ආ වචනය පැවසුවේය. එහි වැරැද්දක් ද නැත. කියැවෙන්නේත් චණ්ඩින් ගැනය.

'චණ්ඩියා...' ගුණරත්නම් එය නැවත ප්‍රතිරාවය නැංවීය. ඒ වන විට ඔහු 'ධීවරයෝ' සඳහා සූදානම්ව සිටියේය. ධීවරයෝ ප්‍රධාන චරිතය රඟපෑවේ ද ගාමිණිමය. එහෙත් එය ගුණරත්නම්ගේ කැමැත්ත අනුව ගත් තීරණයක් නොවිණ. එහි අධ්‍යක්ෂ එම්. මස්තාන්ගේ තීරණයකි. එහෙත් චිත්‍රපටය රූප ගත කරන විට මස්තාන් නිවැරැදි බව ගුණරත්නම් වටහා ගත්තේය.

'චණ්ඩියා හොඳ නමක්'

චණ්ඩියාට නම ලැබු‌ණ් එහෙමය. ගාමිණි ෆොන්සේකා චණ්ඩියා සඳහා සූදානම් වන අතරතුර තවත් චිත්‍රපට දෙකකම රඟපෑවේය. එකක් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ගම්පෙරළියේ ජිනදාස ගේ චරිතයයි. අනෙක ඔහු විසින්ම අධ්‍යක්ෂණය කරන ලද පරසතු මල් චිත්‍රපටයේ බොනී මහත්තයාගේ චරිතයයි. චණ්ඩියා චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා අනුලා කරුණාතිලක තෝරා ගැනුණ ද ඇය මුලින්ම සිනමාවට ආවේ ගම්පෙරළියෙනි.

චණ්ඩියා රූප ගත කෙරුණේ විජය චිත්‍රාගාරයේ ඉදි කරන ලද දර්ශන තලයන්හිය. එහි සුප්‍රකට ගායක තිලකසිරි ප්‍රනාන්දු ද හිඟන්නෙකුගේ චරිතයක් රඟපෑවේය. කරුණාරත්න අබේසේකරයන් සිය ප්‍රියාදර භාර්යාව පෙම්වතියව සිටිය දී 'එන්න මදනලේ' යනුවෙන් ලියන ලද ගීතය ගයන ලද්දේ තිලකසිරි ප්‍රනාන්දුය. තිලකසිරි සිනමාවට පිවිසියේ 'එදා රෑ' චිත්‍රපටයෙනි. සංදේශය චිත්‍රපටයේ ධර්මදාස වල්පොල ගයන 'කටේ කිරි සුවඳ' ගීතයට රඟමින් කරත්තය පදවන්නේ ද ඔහුය. 'රන්මුතු දූව' චිත්‍රපටයේ කට්ටඬියා ද ඔහුය. එහෙව් තිලකසිරි ඒ වන විට ගල්කිස්ස පළාතේ යමක් ඇති මිනිසකු හැටියට ද නමක් දිනා සිටියේය. ඔහු චණ්ඩියා චිත්‍රපටයේ නිරූපණය කරන ලද්දේ හිඟන්නෙකුගේ චරිතයයි. ඔහුගේ වෙස් ගැන්වීම සිදුකරනුයේ උදෑසනින්ය. එතැන් පටන් මහ දහවල් වන තුරු නැතහොත් ඔහුගේ රූප ගත කිරිමක් සිදු කොට නිමා වනතුරු ආහාරයක් කොයි හැටි වෙතත් අඩුම ගණනේ වතුර හෝ නැතිව බලා සිටින්නට තිලකසිරිට සිදුවිය. අද මෙන් කෝල් ෂීට් ක්‍රමය නොමැති ඒ දවස්වල චිත්‍රපටයක් රූප ගත කරන්නට යන වේලාව බරපතළ අන්දමට ගණන් ගත්තේ නැත. කෙසේ වෙතත් තිලකසිරිට නම් මෙය දවසක් දෙකක් යන විට වදයක් විය. ඇතැම් විට මුළු දවස මුළුල්ලේම වෙස් ගන්වා සිටියත් එක දර්ශනයක්වත් රූප ගත නොකර සිටින අවස්ථා ද එමටය. මේ ගැන තිලකසිරිට තිබුණේ කෝපයකි. එබඳු එක් දවසක උදෑසනින් වෙස් ගන්වා පැත්තකට වී සිටිය ද හිරු අවරට යනවිටත් එකම දර්ශනයක් වත් රූප ගත නොවීම නිසා පමණක් නොව තිලකසිරි හිටියේ හිතේ අමාරුවෙන්ය. මේ අතරවාරයේ ඇති වන කුසගින්න හා පිපාසය හිත් අමාරුව කෝපයකට පරිවර්තනය කළේය. තිලකසිරි දින ගණනක් මුළුල්ලේ විඳීන දුක් ගැහැට කලාපානිගේ විලමට්ගේ චරිතය රගපාන ගාමිණි දුටුවේය. ගාමිණි තිලකසිරිට විහිළු කරන්නට පටන් ගත්තේය.

"ගල්කිස්සේ ලොකු මහත්තයෙක් නේද හිගන්නෙක් වෙලා!"

මේ විහිළුවක් දරා ගන්නට තරම් තිලකසිරි සමත් වේලාවක් නොවේ. ඔහු ආවේශ විය. අහු වූයේ ගඩොල් බෑයකි. එය අතට ගත් වහාම ඔහු හැරුණේ තමන්ට විහිළු කරනා ගාමිණි දෙසටය. එන පොට හොඳ නැති වග වටහා ගත් ගාමිණි පැන දිව්වේය. දැන් චණ්ඩියා පසුපස ආවේශ වූ හිඟන්නෙකු පන්නනුයේ ගඩොල් බෑයත් රැගෙනය. ටික වේලාවකින් මේ විහිළුව සීමාව ඉක්මවා ඇති වග චිත්‍රාගාරයේ කිහිප දෙනෙකුට තේරුණේ තිලකසිරිගේ විලාසය නිසාය. අන්තිමට ජෝ අබේවික්‍රම ඇතුළු පිරිසක් තිලකසිරි පසුපස පන්නා ගඩොල් බෑය සහිත තිලකසිරි මෙල්ල කර ගත්තේය.

චණ්ඩියා චිත්‍රපටයේ ගීත රචකයා මෙන්ම දෙබස් රචකයා වූයේ ද කරුණාරත්න අබේසේකරයන්ය. චිත්‍රපටය සඳහා ඔහු විසින් රචනා කරන ලද ගීත අතරින් දෙකක්ම චිත්‍රපටය තිර ගත වන විට එයට ඇතුළත් නොවිණ. මේ අතරින් එකක් වූයේ සී.ටී.ප්‍රනාන්දු විසින් පසු කලෙක තැටියටකට නංවන ලද 'පියුමෙහි පැණි බොති වන බඹරු' ගීතයයි. මේ ගීතය රූප ගත කරන්නට යොදා තිබුණේ සමාජ ශාලා දර්ශනයකටයි. එහෙත් පදමාලාව දුටු සැනින් ටයි මහත්තයා කරුණාරත්න අබේසේකරයන්ගේ පදවැල ප්‍රතික්ෂේප කළේය.

මට වුවමනා ක්ලබ් එකක සිංදුවක්, ඒක මේ ව‌ගේ නෙවෙයි. සිංහල ඉංග්‍රීසි කෑලි දමපු වචන ටිකෙන් ටික මේ අසහාය ගීත රචකයා ටයි මහත්තයාගේ සිතැඟි මොහොතකින් ඉටු කළේය. චිත්‍රපටය සඳහා කරුණාරත්න අබේසේකරයන් විසින් රචනා කරන ලදුව ප්‍රතික්ෂේප වූ ගීතය පියුමෙහි පැනි බොති වන බඹරු ගීතය බව කියනු ලැබේ. එය පසුකලෙක සි.ටී ප්‍රනාන්දු විසින්ම තැටියකට නංවා ගායනා කරන ලදී. (අය්යේ මේ ටිකම උඩත් ලියලා තිබෙනවා) එහි එන 'ගැයුවට ඉමිහිරි පද උපුටා - කොවුලකු වනවද කළු කපුටා' යන යෙදුම සී.ටී. විසින් කියවා රචනා කරන ලද්දේ තවත් නැඟී එමින් සිටි ගායකයකු එල්ල කරගෙන යැයි එකල මතයක් ද විය. ඔහු කණ්ඩායම් සංගීතයෙන් පෙරට ආ ගායකයකු විය.

කරුණාරත්න අබ්සේකරයන් චණ්ඩියා වෙනුවෙන් නැවත ලියන ලද සමාජ ශාලා ගිතය පදමාලාව මෙයයි.

මේ ගීතය ගායනා කරන ලද්දේ එවකට අගනුවර සුපිරි හෝටල්වල කණ්ඩායම් ගීත ගැයූ එස්මී නම් ගායිකාව බවට අනුමාන කළ හැකි බව ගොල්ඩන් චයිම්ස් කණ්ඩායමේ ගායිකා ලාංකිකා පෙරේරා දිනේෂ් ප්‍රියසාද්ට පවසා තිබිණ. එම සමාජ ශාලා දර්ශනයේ රඟපානුයේ හිලරින් ස්ටවුටර් නම් බර්ගර් ජාතික යුවතියකි. ඇය චණ්ඩියා සඳහා ටයි මහත්තයාට හඳුන්වා දී තිබුණේ ඩොමී ජයවර්ධනයි. හිලරින් 1965 වසරේ සැප්තැම්බර් මස 10 වැනි දින තිර ගත වූ 'හිතට හිත' චිත්‍රපටයේ ද රංගන අවස්ථාවක් ඩොමී නිසා ලබා ගෙන තිබුණාය. එච්.ආර්. ජෝතිපාලයන් හා සුජාතා අත්තනායක ගයන 'වනමලට ආසාවේ වන බඹරා ආවාසේ' ගීතය සඳහා ඩොමී ජයවර්ධන සමඟ රංගනයෙන් දායක වනුයේ ද හිලරීන් ය. මේ දැක්වෙන්නේ චණ්ඩියා චිත්‍රපටයේ ගීතයයි.

දිනේෂ් පි‍්‍රයසාද් විස්තර කරයි