වසර ගණනාවක් පුරා මාධ්‍යවේදනියක් ලෙස ශික්‍ෂණයෙන් යුතුව වගා කරගත් ලේඛන කාර්යයේ තවත් වටිනා පියවරක් ඉදිරියට තබමින් ප්‍රවීණ ජනමාධ්‍යවේදීනි හේමාලී විජේරත්න මෙරට කලා කෙතේ දශක හයක් පුරා අද්විතීය කුසලතා පළ කළ දැවැන්තයෙකුගේ කලා ජීවිතය වටින කෘතියකට කැටි කර තිබේ. ඒ ශ්‍රියන්ත මෙන්ඩිස් කලාකරුවාගේ කලා දිවිය විමසනු ලබන ශ්‍රියන්ත – අඩසිය වසක රංග යාත්‍රිකයා නැමැති කෘතියයි. ශ්‍රියන්ත මෙරට වේදිකාව ටෙලිසිත්තම සහ සිනමාව අරභයා කළ අද්විතීය කාර්යභාරය කතුවරිය මෙහිදී ප්‍රමාණාත්මක විග්‍රහයකට ලක් කර ඇති බව පෙනේ. සුරස ප්‍රකාශනයක් ලෙස ඉදිරිපත් වන පිටු 25 ක් පුරා පැතිර ගිය නිබන්ධනය කියවීමේදී ශ්‍රියන්තගේ පවුල් පසුබිමේ සිට ලිවීම අරඹන කතුවරිය වේදිකාවේ කුඩාම තැනින් අරඹා පෙදෙන් පෙද ඉදිරියට දිගේලිකර ශ්‍රියන්ත සිනමාවට පැමිණ ගාමිණි ෆොන්සේකා නැමැති සිනමා අධිරාජ්‍යයාගේ සාගරයක් මැද සිනමා කෘතියට සම්බන්ධ වූ ආකාරය දක්වා විග්‍රහයක යෙදෙයි. එය විස්තරාත්මක සහ විචාරාත්මක රචනයකි. ඉක්බිති කතුවරිය ශ්‍රියන්ත ටෙලි සිත්තමේ සහ සිනමාව අරභයා කළ කී දෑ ලියා තබයි. එහිදීම කතුවරිය ශ්‍රියන්ත දක්ෂතා ප්‍රකට කළ ටෙලි සිත්තම් සහ සිනමාව පිළිබඳ කතිකාවක යෙදෙද්දී අපට පෙනෙන්නේ ශ්‍රියන්ත නමැති කලාකරුවා බිහිකළ, බිහිකිරීමට පාදක වූ නිර්මාණයන්ය. ශ්‍රියන්තට වේදිකාව සහ ටෙලි සිත්තම විනා, සිනමාව ජයගත නොහැකි විය. සිනමාවේ ඔහුට තම දක්ෂතා ප්‍රකට කිරීමට තරම් ප්‍රබල චරිත නොලැබුණි. පමණ ඉක්මවා යන පරිදි ටෙලිසිත්තමේ කාර්යබහුල වීම හංවඩුව සහ දියවී යෑම නළුවකුගේ සිනමා දිවිය අනතුරේ හෙළන බව පසක් කරමින් ශ්‍රියන්ත ද ඒ ඉරණමට ගොදුරු වී ඇති බව පෙනේ. ශශ්‍රීයන්තයට ටෙලි සිත්තම ජයගැනීමට හැකි වූයේ රූපවාහිනියේ ස්වර්ණමය යුගයේ ඔහු සිටි හෙයිනි. අද රූපවාහිනියේ රඟපෑමට පැමිණෙන නවකයන්ට දක්ෂතා පළ කිරීමට තරම් උසස් ටෙලි සිත්තම් තිබේද?
මට මේ කෘතිය කියවීමේදී ශ්‍රියන්ත ඉතාම වාසනාවන්ත කලාකරුවකු යැයි සිතේ. සිය කලා දිවිය ඇරඹුමේ සිට තබන තබන පියවරක්ම සාර්ථක වීම පසුපස පැමිණි වාසනා ගුණය ශ්‍රියන්ත ජය කණුව වෙත කැඳවාගෙන ගොස් ඇත. කතුවරියගේ ලිවීම තුළ ඒ ජයකණු දිස්වෙයි. තවද ශ්‍රියන්තට වාසනා ගුණයට අමතරව නොපසුබට උත්සාහය සහ බුද්ධිමත් ලෙස කළ තෝරා ගැනීම් ද ලද ජයග්‍රහණ පසුපස ඇති බව මට පෙනේ. හෙතෙම පළිඟු මැණිකේ ටෙලි සිත්තමේ පැමිණි සූරසේන වර්ගයේ චරිත තවත් ටෙලි නාට්‍යවල රඟපා සූරසේනද තමන් ද බාල කළේ නැත. එහෙත් ශ්‍රියන්ත කාර්යබහුල නළුවකු ලෙස පසු කලෙක කටයුතු කරද්දී පෙර පැවති ප්‍රවේශම තිබුණිද යන ගැටලුව මට ඇතිවෙයි.
ශ්‍රියන්තගේ කලා දිවිය පිළිබඳ කතුවරිය ඉතාම සූර ලෙස රසාලිප්තව සරලව මට සිළුටු වූ බසකින් මෙය ලියා ඇති අතර, එය වෙහෙසකින් තොරව එක හුස්මට කියවාගෙන යා හැකියි. පාඨකයාට ගැඹුරු කල්පනාවල නියැළීමට තරම් ලිවීමක් කතුවරිය අතින් නොකෙරෙන බව පෙනේ. කතුවරිය පවසන පරිදි ඇයට මෙය රචනා කර දෙන්නට ලැබී ඇත්තේ දින තිහක කාලයකි. මෙබඳු කෙටි දින කිහිපයකදී ශ්‍රියන්ත වැනි දශක ගණනාවක් පුරා පැතිර ගිය කලාකරුවකු ගැන ලිවීම පහසු නැත. එහෙත් කතුවරිය මෙරට ප්‍රකට පුවත්පත් ප්‍රකාශන සමාගමක වෘත්තීය මාධ්‍යවේදිනියක් ලෙස කාර්යබහුලව සහ වේගවත්ව ලියන්නට ලත් පරිචය හේතුවෙන් රචනය දුබල නොකොට ඉදිරිපත් කරයි. එය ඇගේ ලිවීමේ හැකියාව පෙන්වා දෙන්නකි.
කතුවරිය ශ්‍රියන්තගේ කලා දිවිය කඩඉම් මාතෘකා පෙළක් යටතේ ඉදිරිපත් කෙරේ. තවද ඒ ඒ ලිපිවලට අදාළව ඡායාරූප ද ඉදිරිපත් කෙරේ. ඉන් පාඨකයාට කියවීමේ රුචිය උපදවන අතර කෘතියේ වටිනාකම ද ඉහළ යයි. මෙම කෘතියේ රංගන දිවියේ මඟ සලකුණු ලෙස ශ්‍රියන්තගේ කලා දිවියේ වේදිකාව ටෙලි සිත්තම සහ සිනමාවට අදාළව නිර්මාණ නාමාවලිය ඉදිරිපත් කෙරේ. මෙම නාමාවලිය දෙස බැලීමේදී රජයේ ගුරුවරයකු ලෙස සේවය කරමින් සාර ගුණය රඳවාගෙන ශ්‍රියන්ත මෙතරම් වේගවත්ව වැඩ කර තිබේද යන්න පෙනේ. එහෙත් කලාකරුවෙකුට නිර්මාණයක් කිරීමේදී විවේක බුද්ධියෙන් යුතුව වැඩ කිරීමට ලැබෙන්නේ නම් ඉතාම අගනා බව මගේ පෞද්ගලික අදහසයි. ශ්‍රියන්තට එය අදත් ලැබී නොමැත.
මෙරට සිනමාවේ, නළුවරයන් පිළිබඳ කෘති පෙළක් සාහිත්‍යයට එක්ව තිබුණද ටෙලි සිත්තම තුළ දැවැන්ත කාර්යභාරයක් ඉටුකළ විශිෂ්ට රූපණවේදියකුගේ ග්‍රන්ථයට පළමු වතාවට සාහිත්‍යගත වන්නේ මෙම කෘතියත් සමඟ බව මගේ අදහසයි.
එය ඉතාම කාලෝචිත වටිනා කටයුත්තකි. එහෙයින් මෙම කෘතියට මා කැමතිය. මෙම කෘතියේ පසු කවරයට ශ්‍රියන්ත සමඟම වගේ කලාවට පිවිස කලාවේ දශක පහක් සමරන ප්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි ඉතාම හරවත් ශාස්ත්‍රීය වටිනාකම් මතු කරන පසු වදනක් රචනා කර තිබේ. ශ්‍රියන්ත සහ ජයන්ත එකම කල්ලියක දෙදෙනෙකි. ශ්‍රියන්ත ගැන ලියන්නට ජයන්ත තරම් සුදුසුකම් ඇති අය කලාවේ විරලය. තවද මේ වටිනා කෘතිය පාඨක ප්‍රජාව වෙත ලබාදුන් සුරස ප්‍රකාශන ආයතනයටත් ප්‍රේම් දිසානායක මහතාටත් මගේ කෘතගුණය හිමිවෙයි.
ජීවන්ත දයානන්ද
