Home » ‘අසංධිමිත’ කියන්නේ වෙනස්ම විදිහේ ගුණාත්මක නිර්මාණයක්

‘අසංධිමිත’ කියන්නේ වෙනස්ම විදිහේ ගුණාත්මක නිර්මාණයක්

2025 හොඳම යෞවන අධ්‍යක්ෂ ශාන් ජයරත්න

by mavan
February 5, 2026 12:15 pm 0 comment

මේ දිනවල විකාශය වන ‘පහේ ළමයි’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරයා ඔහුයි. පසුගිය දිනවල විකාශය වූ ආන්දෝලනාත්මක කතාබහට ලක්වූ ‘වීදුරු තිර’ ටෙලිනාට්‍යය ඔහුගේ අධ්‍යක්ෂණ දිවියේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස ද හඳුන්වාදිය හැකිය. පුංචි තිරයේ පමණක් නොව රිදී තිරයටද ‘සරා සුසුම්’ රැගෙන ළඟදීම පැමිණීමට සූදානම් ඔහු දක්ෂ, තරුණ අධ්‍යක්ෂ ශාන් ජයරත්නය. සිය නිර්මාණකරණ දිවිය ගැන කතා කිරීමට ශාන් මෙසේ සරසවිය හා එක්විය.

මේ දිනවල ශාන්ගේ නිර්මාණ කාර්යයන් ගැන කීවොත් ?

මේ දවස්වල මගේ ‘පහේ ළමයි’ ටෙලිනාට්‍යය විකාශය වෙනවා. එහි රූගතකිරීමුත් සිදුවෙනවා. ඊට අමතරව ‘අසංධිමිත’ සහ ‘කාකි” ටෙලිනාට්‍යවල පසු නිෂ්පාදන කටයුතු කරගෙන යනවා. ඒ වගේම ‘සරා සුසුම්’ චිත්‍රපටයේත් පසු නිෂ්පාදන කටයුතුත් සිදුවෙනවා. තවත් අලුත් නිර්මාණ 03ක තිර පිටපත් සකස් කරගෙන යනවා. ඒවාගේ රූගත කිරීම් ළඟදීම ආරම්භ වෙනවා .

‘පහේ ළමයි’ට හොඳ ප්‍රතිචාරත් ඇති ?

ඔව්, ‘පහේ ළමයි’ ටෙලිනාට්‍යයට විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් තිබෙනවා. ‘පහේ ළමයි’ කියන්නේ පවුල පිටින්ම රූපවාහිනිය ඉදිරියේ වාඩිවෙලා නැරඹිය හැකි ටෙලි නාට්‍යයක්. මහ පාරක ගියත් ගොඩක් අය මාත් එක්ක කතා කරන්නේ ‘පහේ ළමයි’ ගැන.

ළමයි සමඟ ගනුදෙනුව මොන වගේ අත්දැකීමක්ද ?

අද කාලයේ ළමයි සමඟ වැඩ කිරීම ඇත්තටම පහසුයි. මොකද දැන් ළමා පරපුර ගොඩක් ඉදිරිගාමී අදහස් තියෙන, යාවත්කාලීන වුණු, තාක්ෂණික දැනුමින් සන්නද්ධ පිරිසක්. ඔවුන් බොහෝ දක්ෂයි. රංගන කාර්යයේදී කිසිම ඊර්ෂ්‍යාවක් නැතුව එකිනෙකාට සහයෝගය දක්වන අයුරු දැක්කම පුදුමයි.

පසුගියදා ඔබ සම්මානිත වුණා නේද ?

ඔව්, මගේ නිර්මාණවලට සම්මාන රැසක්ම ලැබුණා. ජනප්‍රිය නළුවා, හොඳම නළුවා, ජනප්‍රිය නිළිය, නැඟී එන නළුවා, ජනප්‍රිය ළමා නළුවා ආදී සම්මාන ‘වීදුරු තිර’ සහ ‘පහේ ළමයි’ හි රංගන ශිල්පීන්ටත් ළමා නළු නිළියන්ටත් හිමිවුණා. 2025 වසරේ හොඳම යෞවන අධ්‍යක්ෂවරයා ලෙස මම සම්මානිත වුණා. මම හිතන්නේ දැනට ඔක්කොම සම්මාන 10කට වඩා මගේ නිර්මාණවලට හිමි වුණා. ඒ ගැන සතුටුයි.

ශලනි තාරකාගේ ප්‍රථම තිර රචනය ඔබ අතින් අධ්‍යක්ෂණය වෙනවා ?

ඇත්තටම ශලනි තාරකා කියන්නේ ඉතා දක්ෂ රංගන ශිල්පිනියක්. ඇගේ පළමු තිර රචනය අධ්‍යක්ෂණය කරන්න මට ආරාධනා කිරීම ගැන ගොඩක් සතුටුයි වගේම මට ඒක ලොකු අභියෝගයක් වුණා. මොකද හැමෝම බලාගෙන ඉන්නේ ශලනිගේ පළවැනි තිර පිටපත කොහොම වේවිද කියලා. එතකොට මගේ පැත්තෙන් ලොකු වගකීමක් තියෙනවා ඉතාම හොඳ නිර්මාණයක් විදිහට ‘අසංධිමිත’ අවසන් කිරීමට .

‘අසංධිමිත’ ඔබේ අනෙකුත් නිර්මාණ සමඟ වෙනස් වන්නේ කවර ලෙසද ?

‘අසංධිමිත’ කියන්නේ වෙනස්ම විදිහේ ඉතාම ගුණාත්මක නිර්මාණයක්. එවැනි නිර්මාණ නැරඹීමට කැමැති ප්‍රේක්ෂකයෝ බොහෝමයක් ‘අසංධිමත’ භාර ගනීවි කියා මම විශ්වාස කරනවා. මෙහි පිටපත, තාක්ෂණය, රූපරාමු, රංගනය, සංගීතය ඇතුළු සියලුම අංශ වෙනුවෙන් ලොකු පරිශ්‍රමයක් අපි දැරුවා. ඒ වෙනුවෙන් අපිට ඉතාම හොඳ නිෂ්පාදකවරියකුත් හමු වුණා. ඇය නීතිඥ පූර්ණිමා රණවක. එතුමියවත් මෙහිදී ආදරයෙන් සිහිපත් කරනවා.

ශලනිගේ තිර රචනය ඔබේ අතින් වෙනස්වීම්වලට ලක් වුණාද ?

ඇත්තෙන්ම එහෙම වෙනස් කරන්න අවශ්‍ය වුණේ නැහැ. මොකද මූලික පිටපත අපි සාකච්ඡා කරමින් හොඳම දේ තමයි අවසන් පිටපත විදිහට නිර්මාණය කළේ. වසර ගණනක් තිස්සේ විවිධාකාර පිටපත් රචකයන්ගේ පිටපත් සිය ගණනක් පරිශීලනය කරමින් ලබාගත් අත්දැකීම් නිසාම වෙන්න ඇති ශලනිගේ මූලික කතා සාරාංශයේ සිට අවසන් පිටපත දක්වාම වෙනස් විදිහේ නැවුම් රසයක් ඒ තුළ ගැබ් වුණේ. ඒ නැවුම් මුහුණුවරට මම පුදුම ලෙස කැමැති වුණා. ඒ හැඩය වෙනස් කරන්න මට අවශ්‍ය වුණේ නැහැ.

ශලනි සමඟ ඔබේ නිර්මාණාත්මක ගනුදෙනුව කොහොමද ?

ශලනිත් එක්ක මම වසර 07ක් නොකඩවා වැඩ කරනවා. මගේ පළමු ටෙලි නිර්මාණය වූ ‘අක්ෂි’ වලටත් ඇය රංගනයෙන් එක් වුණා. ඒ වගේම ‘වීදුරු තිර ‘ ටෙලිනාට්‍යය, ‘සරා සුසුම් ‘ චිත්‍රපටය, ‘අසංධිමිත’ චිත්‍රපටය වගේම ඉදිරියේදී රූගත කරන නිර්මාණ කිහිපයකම ඇය මාත් සමඟ වැඩ කරනවා. ඇය තමයි මගේ දිවියේ විශාල පෙරළියක් ඇති කළේ. ඒ ‘වීදුරු තිර’වලට මාව සම්බන්ධ කරගනිමින්. වෘත්තිය දිවියේ වගේම පෞද්ගලික දිවියේත් ඇය මට මගේම අක්කා වගේ. ජීවිතයේ ධනාත්මක ඉදිරි ගමනක් වෙනුවෙන් ඇය මට ලොකු සහායක් වෙනවා.

‘වීදුරු තිර’ හි දැඩි අභියෝගයක් ඔබ භාරගත්තා. ආපසු හැරීබලද්දි මොකද හිතෙන්නේ ?

‘වීදුරු තිර’ කියන්නේ මගේ නිර්මාණ දිවියේ සංධිස්ථානයක් . ඒ දෙස හැරී බලද්දි මට සිතෙන්නේ මගේ දිවියේ ගත්ත හොඳම තීරණ වලින් එකක් තමයි “වීදුරු තිර’ අධ්‍යක්ෂණය කිරීමේ අභියෝගය භාර ගැනීම කියලා. ඒ වෙනුවෙන් නිෂ්පාදක රුෂාන් පෙරේරා මහතාටත් ගෞරවය හිමි විය යුතුයි.

සමාජයේ සැඟවී ඇති පැතිකඩක් ඔබ මෙහිදී විවෘතව කතා කළා?

කතා කළ යුතු මාතෘකාවක්, කතා කළ යුතු සීමාවන් තුළ නිර්මාණාත්මකව අපි ඉදිරිපත් කළා. ඒ සමාජය බාරගත්තා. එනිසා සමාජ මාධ්‍ය තුළත් ඉතා ධනාත්මකව ප්‍රේක්ෂකයා එකතු වුණා. අපි නිවැරදි අරමුණින්, නිවැරදි දේ කළොත් සමාජයේ අපි සමඟ හිටගන්නවා.

ඔබේ ‘සරා සුසුම්’ චිත්‍රපටය තවම අපට දකින්න ලැබුණේ නැහැ ?

ආප්ප බානවා වගේ නිර්මාණ කරන්න බැහැ. එහෙම කළ යුතුත් නැහැ. මේ නිර්මාණවලට අපි දිය යුතු පරිශ්‍රමයක් තිබෙනවා. චිත්‍රපටයක් යන්න එහෙම පහසුවට ගත යුතු දෙයක් නෙවෙයි. එසේ පහසුවට අරන් වැරදුණු තැන් තිබෙනවා. ඒ වැරදි නිවැරදි කරගෙන ‘සරා සුසුම්’ ඉතා මහන්සියෙන්, සියුම්ව නිර්මාණය කරනවා. එසේ සියුම්ම, ගුණාත්මකව නිර්මාණ කිරීමේදී යම් කාලයක් ගත වෙනවා. දැන් එහි පසු නිෂ්පාදන කටයුතු අවසන් අදියරේ තිබෙන්නේ. එය දැවැන්ත නිර්මාණයක්. ඉක්මනින් ‘සරා සුසුම්’ ඔබ වෙතට සැරිසරාවි.

අද නව තාක්ෂණය සමඟ සිනමාවේ අලුත් ප්ලැට්ෆෝම් නිර්මාණය වෙනවා. මෙය ඔබ කොහොමද දකින්නේ ?

නවීන තාක්ෂණය එක්ක අපි යාවත්කාලීන විය යුතුයි. ඒ මතයේ මම හැමදාම ඉන්නවා. එහෙම නොවුණොත් පැවැත්මක් නැහැ.

ශාන් ජයරත්න කියන්නේ කවුද කියා සරලව කීවොත් ?

අලුත් දේවල් හොයන, අලුත් දේවල් කරන්න උත්සාහ කරන අධ්‍යක්ෂවරයෙක්.

නිර්මාණකරණයේදී ඔබ දෙස්, විදෙස් සිනමාකරුවන්ගේ ශෛලීන් ගුරුකොට ගන්නවාද ?

මට විවේකයක් ලද සෑම අවස්ථාවකම කරන්නේ විදෙස් නිර්මාණයන් පරිශීලනය කිරීමයි. මම විශේෂයෙන් තෝරාගත් ශෛලියක් නැහැ. සෑම සිනමා සිනමාකරුවකුගේම ශෛලීන් අධ්‍යයනය කරනවා.

පාසල් සමයේත් කලා කටයුතු කළාද ?

ඔව්, මගේ පාසල කෑගලු විද්‍යාලය. මං පාසල් වේදිකා නාට්‍ය කණ්ඩායමේ ක්‍රියාකාරී යාවජීව සාමාජිකයෙක්. මගේ නාට්‍ය ගුරුතුමිය චාන්දනී ගුරුතුමියයි. කලාවට එන්න මූලික පසුබිම සැකසෙන්නේ පාසලෙන්මයි.

අධ්‍යක්ෂවරයා නමැති භූමිකාව ඔබ දකින්නේ කොහොමද ?

නිර්මාණයක අධ්‍යක්ෂවරයා කියන්නේ ඒ නිර්මාණයේ පළමු ප්‍රේක්ෂකයා වගේම නිර්මාණාත්මක තීරණවල අවසන් තීරකවරයා. අධ්‍යක්ෂවරයා තමයි නිර්මාණයක අවසන් ප්‍රතිඵලයට වගකිවයුතු තැනැත්තා.

පිටපත් රචක, කැමරාකරු, සංස්කාරක සමඟ අධ්‍යක්ෂවරයාගේ ගනුදෙනුව සරලව පැහැදිලි කළොත් ?

මේ භූමිකා ත්‍රිත්වය පෙර නිෂ්පාදන, නිෂ්පාදන, පසු නිෂ්පාදන යන අංශ 03හි ප්‍රධාන අංග 03ක්. මුලින්ම පිටපත් රචකයා සමඟ සාකච්ඡා කරමින් අවසන් තිර පිටපත දක්වා ගෙන ඒම, ඉන්පසු තිර පිටපතෙහි අකුරින් ඇති දේ රූප මාධ්‍යයට ගෙන ඒමට අවශ්‍ය නිර්මාණාත්මක, තාක්ෂණික ක්‍රියාවලිය අධ්‍යක්ෂවරයා සමඟ සාකච්ඡා කිරීම සහ රූගත කිරීම. ඒ රූගත කළ දර්ශන ඒ ඒ නිර්මාණයට ගැළපෙන රිද්මයට සංස්කරණය කිරීම සම්බන්ධයෙන් සංස්කාරක ශිල්පියා සමඟ සාකච්ඡා කර, අවසන් නිර්මාණය බිහි කිරීම යන සියලුම නිර්මාණාත්මක අංශයන් වෙනුවෙන් සෘජුව සම්බන්ධ වන එකම පුද්ගලයා අධ්‍යක්ෂවරයායි. ඔහු තමයි මේ දම්වැලෙහි එකිනෙක සම්බන්ධ කරන පුරුක.

රංගන ශිල්පීන්ගේ මානසික නිදහස නිර්මාණකරණයේදී වැදගත් නේද ?

ඔව්, රංගන ශිල්පීන්ගේ, ශිල්පිනියන්ගේ මානසික නිදහස ගැන මම සෑහෙන්න සිතනවා. ඒ වෙනුවෙන් ඔවුන්ට ලබාදෙන ආහාරපාන, \සෞඛ්‍ය, ප්‍රවාහන පහසුකම්, වේතනය, නිදහස, දර්ශන තලයේදී අකටයුතුකම් නොවන ලෙස පසුබිම සැකසීම යන කරුණු ගැන මම පෞද්ගලිකව සොයා බලනවා. ඒ වෙනුවෙන් මගේ නිෂ්පාදන කළමනාකරු ඩිලාන් රොෂාන් විශාල සහායක් ලබාදෙනවා. මේ කාරණා මට අවශ්‍ය රංගනය ඔවුන්ගෙන් ලබාගැනීමේදී විශාල උපකාරයක් වෙනවා.

තිර රචනයක් ඔබ අතට ලද පසු, එහි කාර්මික තිර රචනය ඔබ විසින්ම සකසනවාද ?

ඔව්, අනිවාර්යයෙන්ම. මම ඒ සඳහා කැමරා අධ්‍යක්ෂවරයාගේ අදහසත් සාකච්ඡා කර ඉන් අනතුරුව තමයි කාර්මික පිටපත සකසන්නේ. මොකද එය ඉතාම වැදගත් කියා මම සිතනවා.

කලා කෘතියක් තුළින් ප්‍රේක්ෂක රසවින්දනය මෙන්ම ආධ්‍යාත්මික පෝෂණයක් ද වෙනවා. ඒ ගැන ඔබේ අදහස දැනගන්න කැමැතියි ?

කලාවෙන් සිදුවන්නේ මිනිස් සිතුවිලි හා හැඟීම් එළිදැක්වීමක්. එහිදී මිනිසා තුළ තිබෙන හැඟීම්වල දුර්වලතා එළිදැක්වීමක් ද වෙනවා රසවින්දනයක් ඇති පුද්ගලයා මේ කලාව කෙරෙහි යොමු වෙනවා. එවිට ඔවුන්ගේ රසවින්දනය නිරායාසයෙන්ම ශක්තිමත් වෙනවා. ඒ අතරිනුත් ප්‍රඥාව සහිත පුද්ගලයා, මේ නිර්මාණ තුළින් එළිදැක්වෙන හැඟීම් තුළ ඇති දුර්වලතා හඳුනා ගන්නවා. ඒ හැඟීම් ගුණාත්මක ලෙස පරිවර්තනයකට ලක් කර ගැනීම තුළින් ආධ්‍යාත්මික පෝෂණයක් නිසැකවම සිදුවෙනවා.

තිර රචනයක් ලියන්න අදහසක් නැද්ද?

අදහසක් නම් තිබෙනවා. ඒත් කාලය කළමනාකරණය කරගැනීමට තවම හැකියාවක් ලැබුණේ නැහැ.

90 දශකයේ බිහිවූ ටෙලි නාට්‍ය සහ අද බිහිවන ටෙලිනාට්‍ය අතර වෙනස කොහොමද දකින්නේ ?

කාලය කුමක් වුවත් විශිෂ්ට, ගුණාත්මක නිර්මාණ වගේම ගුණාත්මක නොවන නිර්මාණත් බිහිවෙනවා. නිර්මාණ කෙරෙහි අපගේ තිබෙන්නේ අතීත කාමයක් කියලයි මම නම් විශ්වාස කරන්නේ. අතීතයේ ගුණාත්මක නිර්මාණ ගැන විතරයි අපි කතාකරන්නේ. වර්තමානයේත් අනාගතයේදීත් අඩු වැඩි වශයෙන් ගුණාත්මක නිර්මාණ වගේම එසේ නොවන නිර්මාණත් බිහිවෙනවා. එය එකිනෙකට සසඳා බැලීම නුසුදුසුයි.

ටෙලිනාට්‍ය, සිනමා සම්මාන උලෙළ ගැන ඔබේ අර්ථකථනය මොන වගේද ?

සම්මාන උලෙළකින් සිදුවන්නේ එය ලබන්නාට උත්තේජනයක්, ආත්මාභිමානයක්. ඕනෑම කෙනෙකුට තමන් කරන හොඳ දේකට ඇගයීමට ලක්වේ නම් එය කුමන තරාතිරමකද යන්න අපි තක්සේරු කළ යුතු නැහැ. එකිනෙකාගේ අදහස් වෙනස් වෙන්න පුළුවන්. හැමෝගෙම අදහස්වලට අපි ගරු කළ යුතුයි. ඕනෑම සම්මාන උලෙළක අවසන් තීරණය ජූරියේ තීරණයයි. අපි එයට ගරු කළ යුතුයි.

ලාංකේය සිනමාව අන්තර්ජාතික තලයේ තිබෙන තැන පිළිබඳ සෑහීමට පත්විය හැකිද ?

අපේ ප්‍රේක්ෂකාගාරය ගොඩක් කුඩයි. ඉතින් නිර්මාණයක් බිහි කරන්න ලැබෙන මිලම? ජාත්‍යන්තරයත් එක්ක බැලුවම ඉතාම අඩුයි. නමුත් අන්තර්ජාතිකව ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය වටපිටාව තවදුරටත් පුළුල් කරමින් අපේ සිනමාව අන්තර්ජාතික මට්ටමට ගෙනයන්න පුළුවන් නම් හොඳ නිර්මාණ බිහිවේවි කියා බලාපොරොත්තුවක් තිබෙනවා. අද තිබෙන තැන ගැන නම් සෑහීමකට පත්වෙන්න බැහැ. ඒක අපේ ආර්ථික රටාව නිසා වුණු දෙයක් කියලයි මට හිතෙන්නේ.

රංගනය, කලාව හදාරන්න මෙරට තිබෙන පාඨමාලා ගැන ඔබේ තක්සේරුව කවරාකාරද ?

කලාව කියන්නේ සතතාභ්‍යාසයෙන් කළ යුතු දෙයක්. එය ගහක් යට සින්දුවක් පුරුදු වෙන දේ සිට විදෙස් රටක විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබීම දක්වාම විහිදෙනවා. තමන්ගේ පුහුණුව කොතරම්ද, තමන්ගේ හැකියාව එතරම්ය. ඉතින් කොතැනින් හෝ වේවා තමාට හැකි උපරිමයෙන් පුහුණුවීමයි වැදගත් වන්නේ.

ඉදිරියේදී ශාන් ජයරත්න නම් නිෂ්පාදකවරයෙක් අපට දකින්න ලැබේවිද ?

නිෂ්පාදනය කියන්නේ එක්තරා විදිහක ව්‍යාපාරයක්. මම ව්‍යාපාරයක් කිරීමේ අරමුණින් කලාව කරන එකක් නැතිවෙයි.

මෙරට කලාවේ වෘත්තීයමය ස්වභාවය ගැන අදහසක් දුන්නොත් ?

සල්ලි සොයන්න බලාගෙන කලාව කරන්න එපා. හරියටම කලාව කළොත් සල්ලි නිරතුරුව ගැවසේවි. දේවකාරියක් වගේ රාජකාරියක් කියලා හිතාගෙන කලාව කළ යුතුයි.

පවුලේ විස්තර කීවොත් ?

බිරිඳ අමන්දා රණවීර. ඇය තමයි මගේ කොඳුනාරටිය. නිර්මාණ දිවියේ වගේම හැමදේටම මා පසුපසින්ම ඉන්නෙත් ඇයයි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT