අලි ඇත්තු සහ මනුසත්තු ජීවිතය ඉල්ලා නඟන විලාපය

කුංචනාද
අප්‍රේල් 20, 2023

අලි - මිනිස් ගැටුම වර්තමාන සමාජය තුළ දැඩි ලෙස උග්‍රව පවතින ප්‍රශ්නයක් බවට පත්ව ඇත. එදිනෙදා ප්‍රවෘත්ති අතර අලි - මිනිස් ගැටුමේ ප්‍රතිඵල කොතෙක්දැයි ප්‍රත්‍යක්ෂ වන පුවත් නිරන්තර අපගේ ඇස ගැටේ. මේ වෙනුවෙන් අදාළ බලධාරීන් කොතෙකුත් විසඳුම් සෙව්වද ඒ සඳහා සාර්ථක විසඳුමක් නොලැබීම සත්‍ය වශයෙන්ම අභාග්‍යයකි. මෙම ප්‍රශ්නය හමුවේ කරදරයට හා අනාදරයට පත්වන්නේ එක් පාර්ශ්වයක් නොවේ. එක් පැත්තකින් මිනිසුන්ට සිදුවනුයේ අතිවිශාල හානියකි. ඔවුන්ගේ දේපළ හානිවලට වඩා ජිවිත හානි සිදුවීම මෙහි දක්නට ලැබෙන ඛේදනීයම තත්ත්වයයි. අනෙක් පසින් වනයේ ජීවත් වන අලි ඇතුන්ගේ ජීවිතවලට සිදුවන තර්ජනය ද තවත් හේතුවකි. දෙපාර්ශ්වයටම හානි සිදු නොවන ආකාරයේ විසඳුමක් කවදා කෙසේ රැගෙන ඒවිද යන්න මේ මොහොත වන විටත් අපට සිතා ගත නොහැකිය.

මෙම ප්‍රශ්නය මූලික කරගෙන ගොඩනැඟුණු සංවේදී කතාවක් රැගත් ටෙලි නාට්‍යයක් මේ දිනවල සිරස රූපවාහිනියේ රාත්‍රී 7.30ට විකාශය වේ. ටෙලි නාට්‍යයේ නම ‘කුංචනාද’ ය. මෙරට ප්‍රවීණතම චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු වන ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම ටෙලි නාට්‍යය නිෂ්පාදනය කරනුයේ වෛද්‍ය ලක්ෂමන් මාකඳුර විසිනි. නිෂ්පාදන සම්බන්ධීකරණය ප්‍රවීණ නිළි ශි‍්‍රයාණි අමරසේන විසිනි.

කතාංග 40න් සමන්විත ‘කුංචනාද’ හි අඩංගු වනුයේ ‘අලි ඇත්තු සහ මනුසත්තු ජීවිතය ඉල්ලා නඟන විලාපයය.

‘අශාන්ති ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක සමාජ විද්‍යා උපාධියක් සඳහා අධ්‍යාපනය ලබන තැනැත්තියකි. ඇය පර්යේෂණ ග්‍රන්ථයක් සඳහා ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව සහ වන අලි අතර සම්බන්ධය ගැන කරුණු සෙවීමට ලංකාවට පැමිණේ.

ඇය කුඩා කල සිටම අලි ඇතුන් සමඟ ගැවසුණු තැනැත්තියකි. මන්ද ඇගේ පියාවන එරාන්, පින්නවල ප්‍රදේශයේ අලි ඇතුන්ගේ සුබ සාධනය උදෙසා සංරක්ෂණ ආයතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු බැවිනි. නමුත් අනපේක්ෂිත මොහොතක කුලප්පු වූ වල් අලියකු මෙල්ල කරන්නට යෑමේදී ඇතිවන හෘදයාබාධයකින් ඔහු මිය යයි. ඔහුගේ බිරිඳ සිතන්නේ අලියකු පහර දීමෙන් ඔහු මිය ගිය බවයි. ඒ නිසා අලින් ගැන වෛරයක් ඇති කරගන්නා ඇය සියලු දේපළ හිතවතකුට පවරා අශාන්ති ද රැගෙන ඇමරිකාවට යයි. අශාන්ති නැවත ලංකාවට පැමිණෙන්නේ අවුරුදු 15ට පමණ පසුවය. අලි සංරක්ෂණ ආයතනයේ භාරකරුගේ බිරිඳ වන රූපා උත්සාහ කරන්නේ. තම පුතු වන විජිත්, අශාන්තිට විවාහ කර දීමටයි. ඒ මෙම දේපළ උරුම කර ගැනීමේ චේතනාවෙනි. නමුත් අශාන්ති එයට කැමති නොවේ.

ඇය තම පර්යේෂණය සඳහා ගල්ගමුව ප්‍රදේශයේ සියඹලන්ගමුව නම් ග්‍රාමය තෝරා ගනී. එයට හේතුවන්නේ එම ප්‍රදේශයේ නිතර නිතරම වන අලි පහර දීමෙන් සිදුවන දේපළ හා ජීවිත විනාශයයි. සියඹලන්ගමුවට යන අශාන්ති හමුවන බහුතරයක් ගැමි ජනතාව අලින් කෙරෙහි වෛරයෙන් පසුවන බව පෙනේ. වසන්ත ගොවි තරුණයෙකි. ඔහු ද විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතර මඟ හැරදමා ගොවිතැනට එළඹෙන්නේ තම පියා හේනේ දී වන අලියකු පහර දීමෙන් මියගිය බැවිනි. එනමුදු වසන්ත අලින් කෙරෙහි තරහක් නොදක්වන්නෙකි.

මන්ද ඔහු එයට සැබෑ හේතු වටහා ගෙන ඇති බැවිනි. අශාන්ති පර්යේෂණ කටයුතු සඳහා වසන්ත හා එක්ව කටයුතු කිරීම වැරැදියට වටහා ගන්නා වසන්ත ගේ පෙම්වතිය වන පවිත්‍රා ආරවුලක් ඇතිකර ගනී. එසේම වසන්ත හා විජිත් අතර ද ආරවුල් ඇතිවේ.

අශාන්ති ප්‍රදේශයේ ජනතාව අතර ගැවසෙමින් අලි මිනිස් ගැටුමේ සියලු හේතු සාධක අධ්‍යයනය කරයි. අලි මිනිස් ගැටුම මිනිස් ක්‍රියාකාරකම් මත උද්ගත වූවක් මිස අලි ඇතුන්ගේ වරදින් වූවක් නොවන බව ඇය අවබෝධ කර ගනී. පසුව ග්‍රාමසේවා නිලධාරී සහ පාසල් ගුරුවරයකු හා එක්ව හැකි පමණින් ජනතාව දැනුම්වත් කරයි. එසේම වන අලි ගම් වැදීම වැළැක්වීම සඳහා ගතහැකි විකල්ප ක්‍රියාමාර්ග ගැන ද ජනතාවට පැහැදිලි කරයි.

ගම කෙළවර මී මැසි පෙට්ටි සවි කිරීම, හනවගාව අලි මාරුවන මාර්ග හරහා ගොවිතැන් නොකිරීම එවැනි යෝජනා අතර වෙයි.

මේ අතර තම සිය උරුමයෙන් ලද අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ කටයුතු ද වත්මන් භාරකරුවන් විසින් නිසියාකාරව නොකරන බව ඇයට වැටහේ. ඔවුන් අලි ඇතුන්ගේ සුබ සාධනය ගැන නොසලකා මුදල් ඉපයීමේ පරමාර්ථයෙන්ම එය පවත්වාගෙන යන බව ඇය වටහා ගනී. ඒ බව එම බාරකරුවන්ට පැහැදිලි කළ ද ඔවුන් එය නොපිළිගන්නා බැවින් එම පිරිස ඉවත්කර වසන්තට එහි පරිපාලනය බාරදෙයි. එසේම වසන්ත හා පවිත්‍රා අතර වන අමනාපය ද අවසානයේ අශාන්ති සමතයකට පත් කරයි. ඇය නැවත ඇමරිකාවට යන්නේ ගමට විදුලි වැටක් ද ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමෙන් පසුවය.

කුංචනාද සඳහා රංගන දායකත්වයෙන් ශ්‍රියාණි අමරසේන, බුද්ධදාස විතානආරච්චි, රොෂාන් පිලිපිටිය, ක්ලීටස් මෙන්ඩිස්, අනුරාධා එදිරිසිංහ, චමීර ලියනගේ, අවන්ති අපොන්සු, අජිත් ලොකුගේ, කුමුදු නිශාන්ත, සුලෝචනා වීරසිංහ, දේවාංගනී රංගනා, බර්ටි නිහාල් සුසිරිපාල, අනුර බණ්ඩාර රාජගුරු, ඇන්ටන් කුරේ සමඟ රූපා පතිරණ එක්වෙති.

මෙහි කතා සංකල්පය සහ නිෂ්පාදනය වෛද්‍ය ලක්ෂමන් මාකඳුර ගෙනි. කැමරාකරණයෙන් ඉන්දික අත්තනගෙත්, සංස්කරණයෙන් ජගත් වීරතුංගත්, රූපවාහිනි රචනයෙන් අරුණ පේ‍්‍රමරත්නත්, කලා අධ්‍යක්ෂණයෙන් දීප්ති මංගලසෝමත්, අංග රචනයෙන් ශෂේන්ද්‍ර තුම්පත්තු කුංචනාද සඳහා දායක වෙති.

 

[email protected]