වර්ෂ 2023 ක්වූ September 25 වැනිදා Monday
මගේ රැකියාව නිසාද මන්දා වැඩිය ලැබෙන්නේ පොලිස් චරිත

මේ දිනවල විකාශය වන නීලපබළු ළංවී, ගගන පියවර, නන්නත්තාර යන ටෙලි නාට්‍යය තුළින් ඔබ හමුවට එන ඔහු වාදකයකු මෙන්ම ගායකයකු ද වේ. මොනරාගල දැලිඔය මහා විද්‍යාලයෙන් කලා අංශයෙන් සිප්සතර හදාරා ශ්‍රී ලංකා පොලිස් තූර්ය වාදක කණ්ඩායමට එකතු විය. දැනට පොලිස් තූර්යවාදක කණ්ඩායම ශබ්ද පරිපාලක ලෙස කටයුතු කරන ඔහු නමින් මංජුල කෝණාරයි.
පරම්පරාවෙන්ම නේද ඔබ කලාවට උරුමකම් කියන්නේ?
ඇත්තටම ඔව්.. මම පරම්පරාවෙන්ම සොකරි නාට්‍ය කලාවට හා සම්බන්ධ වුණා. ඌවේ සොකරි පරම්පරාවක් වන ගුණපාල පරම්පරාවයි. අපේ පරම්පරාව වන්නේ. එහි සොකරි ලෙස රංගනයේ යෙදෙන්නේ මමයි. උඩරට හා පහත රට ශාන්තිකර්මවල පහත රට ශාන්තිකර්මවල එන සොකරි නාට්‍ය කලාව අතිශයෙන්ම ජනප්‍රිය නාට්‍ය කලාවක්. ගොවිතැන් බත් සරුවි අස්වැන්න නෙළා එහි අඩුක්කු පිදීමේ දී හා සෙත් ශාන්තිය වෙනුවෙන් මේ සොකරි නාට්‍ය කලාව රංගනයේ යෙදෙනවා. ග්‍රාමීය ප්‍රදේශයේ සියලු දෙනා කමතට එක්රොක් වී මෙම සොකරි රංගනයේ යෙදෙන නාට්‍ය දර්ශන නැරඹීමෙන් විනෝදය, හාස්‍ය රසය මෙන්ම, ව්‍යංග්‍යය, අව්‍යාජත්වය පෙන්නුම් කරමින් රැය පහන් වන තුරුම සොකරි නාට්‍ය කලාව රංගනයේ යෙදෙනවා. වසරක් පාසා පවත්වන නිසා මෙයට ග්‍රාමීය ප්‍රදේශවල ලොකු කුඩා සියලුම දෙනා එකතු වීම විශේෂ ලක්ෂණයක් ලෙස දක්නට ලැබෙනවා. එයින් ලැබූ පන්නරය නිසා වේදිකාව මට පුරුදු තැනක් බවට පත්වුණා.
පාරම්පරික නාට්‍ය කලාව අතහැරලා ඇයි පොලිස් තූර්ය වාදක කණ්ඩායමට බැඳෙන්නේ?
මා පාසල් යන කාලයේ ඉඳන්ම පාසල්, අන්තර් පාසල්, සමස්ත ලංකා දක්වාම නාට්‍ය කලාව සහ වාදනය ගායනය යන අංශයන් ප්‍රගුණ කළා. පිට පිට වසර හයක් ම සමස්ත ලංකා නාට්‍ය හා තරඟාවලිවලින් ජයග්‍රහණය කරලා තියෙනවා. උසස් පෙළ අවසන් වීමෙන් පසු පොලිස් තූර්ය වාදක කණ්ඩායමට ගැසට් පත්‍රයක් දාල තිබ්බා. ඒක දැකලා මට නිකමට පොලිස් තූර්ය වාදක කණ්ඩායමට ඉල්ලුම් පත්‍රයක් යොමු කරන්න හිතුණා. ඒ ඉල්ලුම් පත්‍රය යොමු කිරීමෙන් සම්මුඛ පරීක්ෂණවලට සහභාගි වෙන්න අවස්ථාව හිමි වුණා. මගේ පාසල් කාලයේ සිටම තිබුණ ආසාවක් නිසා මට ලැබුණු පළවෙනි චාන්ස් එකෙන්ම රැකියාවට යොමු වුණා. දැනට වසර දහයකටත් වැඩි කාලයක් සේවයේ යෙදෙනවා. මම මේ රැකියාව කරන්නේ හරිම ආසාවෙන්. ඊට වැඩිය මට කලාවේ නිරත වෙන්න උපරිම සහායක් මගේ පොලිස්පතිතුමාගෙන් ලැබෙනවා. ඒ වගේම සෙසු නිලධාරීන්ගෙන්ද එයට හොඳ සහයෝගයක් ලැබෙනවා. ඒ සියලු දෙනාට මම මෙය අවස්ථාවක් කර ගන්නවා ස්තුති කරන්නට මට දක්වන සහයෝගයට.
ටෙලි නාට්‍ය කලාවට යොමු වෙන්නට අවස්ථාවක් ලැබෙන්නෙ කොහොමද ?
2009 වර්ෂයේදී මට ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂතුමා හමු වෙනවා. මම පොලිස් තූර්ය වාදක කණ්ඩායමේ ට්‍රම්පට් ශිල්පියෙක් විදිහට ඉන්නේ විටදී. එහිදී මට ඔහුගේ ටෙලි නාට්‍යයක රංගනයට ආරාධනාවක් ලැබෙනවා. එතැනින් පටන් ගත්ත ගමන තමයි අද වෙනකොට මම මේ ඇවිත් තියෙන්නේ. මේ වනවිට මම ටෙලිනාට්‍ය හැත්තෑවකට පමණ රංගනයෙන් දායක වෙලා තියෙනවා.
දැනට විකාශය වන ටෙලි නාට්‍යවල ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මේ සියලුම නාට්‍යවල පොලිස් චරිත තමයි මම රංගන රංගනයේ යෙදෙන්නේ.නන්නත්තාර, නීල පබළු, ළංවී, ගගන පියවර යන ටෙලි නාට්‍යයේ සියල්ලේම පොලිස් නිලධාරියා වෙනවා. පොලිසියේ සේවය දන්න නිසා මට ලැබුණු චරිත සියල්ලම පොලිස් නිලධාරීන් වෙනවා වැඩි වශයෙන්. චරිතවලට තෝරා ගැනීමේදීත් අධ්‍යක්ෂකවරු හා නිෂ්පාදකවරුන්ගේ පිටපතේ කොතැනක හිටියත් ඒ චරිතයට මම තෝරාගැනීම විශේෂ ලක්ෂණයක් වෙලා තියෙනව අද. මේ සියලු චරිතවලට හොඳ ප්‍රතිචාරත් ලැබෙනවා නරක ප්‍රතිචාරත් ලැබෙනවා. මොකද සාමාන්‍ය ජනතාව පොලිසිය දිහා බලන්නේ එච්චර හොඳ කෝණයකින් නොවන නිසා. පොලිස් චරිතය අමතක කරලා නළුවෙක් දිහා බැලුවොත් හොඳ ප්‍රතිචාර දිගටම ලැබෙයි කියල මම හිතනවා.
වේදිකා නාට්‍ය කලාව ගැන මොනවද කියන්න තියෙන්නේ?
දැනට මම වේදිකා නාට්‍ය හයක විතර රංගනයේ යෙදිලා තියෙනවා. සොකරි නාට්‍ය කලාව ඇසුරෙන් නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය කළ මගේම වේදිකා නාට්‍යයක් ඉදිරියේ දී වේදිකාගත කිරීමට බලාපොරොත්තු වෙනවා. ආරච්චි දිගේ නමින්. උදය කුමාරි ධනංජි තාරුකා, ඉමේෂා, එරික්, සංජුලා යන අය මෙහි නළු නිළියන් වෙනවා. මේකෙන් පස්සෙ තව වේදිකා නාට්‍ය කීපයක රංගනයටත් මට කතා කරලා තියෙනවා. ඒ වගේම මගේ නිර්මාණ කිහිපයකුත් මම ලියලා අධ්‍යක්ෂණය කරන්නත් බලාපොරොත්තු වෙනවා.
වේදිකාව ටෙලිනාට්‍ය හැරුණුවිට සිනමාවට අවතීර්ණ වෙලා නැද්ද?
මම චිත්‍රපට නම් රඟපාල තියෙන්නෙ බොහොම අඩුවෙන්. ඒ අතර පැරෂුට්, නටන් නැතුව දින්නා, බුද්ධ පුත්‍ර යන සිනමාපටවල රංගනයේ යෙදිලා තියෙනවා. ඉදිරියේ දී සිනමාපට කිහිපයකටම රංගනයේ යෙදෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. රාජකාරි ජීවිතයත් එක්ක මේ සියලුදේම බැලන්ස් කරගෙන තමයි කරන්න වෙලා තියෙන්නේ.
වේදිකාව ටෙලිනාට්‍ය සිනමාව යන ත්‍රිත්වයේ වඩාත් ප්‍රිය කරන්නේ කුමකටද?
මම මුලින්ම පාසල් යන අවධියේ සිටම වේදිකාවට පි‍්‍රය කරපු කෙනෙක් හැටියට මම වේදිකාවට ගොඩක් කැමතියි. මගේ පරම්පරාවේ සියලු දෙනාමත් වේදිකාව තමයි ස්පර්ශ කළේ මුලින්ම. මට ඉඩ ලැබෙන හැම මොහොතකම මම ගෙදර ගියත් වේදිකාව අමතක කරන්නේ නැහැ. වේදිකාව නොදැන මේ ගමනේ කිසි තැනකට යන්න බැහැ. වේදිකාව තුළ තියෙන්නේ ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුමක් ලබා ගැනීමයි. ඒ දැනුම අනිවාර්යනේම අපි ලබාගත යුතුයි. රංගන ශිල්පියෙක් වෙනවා නම් මම හිතන විදිහට වේදිකාවෙහි ස්පර්ශ කළ යුතුමයි.
නිල ඇඳුමක් ඇඳගත්ත පොලිස් නිලධාරියකුට කලා ක්ෂේත්‍රයෙන් ලැබෙන සහයෝගය කොහොමද?
ඇත්තටම මට හොඳ සහයෝගයක් ලැබෙනවා. ප්‍රවීණයන්ගෙන් මෙන්ම ආධුනිකයන්ගෙන්ද. මම නොදන්න දෙවල් ගොඩක් ප්‍රවීණයින්ගෙන් ඉගෙන ගන්න ලැබිලා තියෙනවා. මොකද මම කවදාක්වත් ප්‍රායෝගික අත්දැකීමක් ලබාගෙන රංගනයට ආවේ නෑ ටෙලි නාට්‍ය කලාවට. සොකරි නාට්‍ය කලාව ගැන අවබෝධයක් තිබ්බට ටෙලි නාට්‍යය කලාව සිනමාව ගැන මට අවබෝධයක් තිබුණේ නැහැ. කැමරාවක් ඉදිරිපිට කොහොමද රංගනයේ යෙදෙන්නෙ කියන එක ඉගෙනගත්තෙත් ඇවිල්ල ම තමයි. මේ සියලු දේවල්වලටම මම රඟපාපු සියලුම අධ්‍යක්ෂකවරු සිට නිෂ්පාදකවරු සහ සියලුම ශිල්පීන්ගේන් මට හොඳ සහයෝගයක් ලැබිලා තියෙනවා මේ ගමන එන්න.
පොලිස් තූර්ය වාදක කණ්ඩායමේ ශබ්ද පරිපාලක වරයා හැටියට තිබේන අත්දැකීම් මොනවාද?
මේ දෙකෙන් අමාරුම කාර්යය තමයි රංගනයේ යෙදෙනවා කියන එකයි. නමුත් රාජකාරි කරන එක මට ඉතාම පහසුයි. කන සහ මික්සර් එකත් එක්ක වැඩ කරන එක ලේසියි. ඒක ටෝන් එකත් එක්ක ගනුදෙනුවක් කරන්නේ ශබ්ද පරිපාලනය කරනවා කියන එක. රංගනය කියන්නේ අහසට පොළොව වගේ වැරදුණොත් නැවත නැවත හදන්න වෙනවා. නමුත් ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම අවබෝධ කරගෙන වැඩ කළොත් මම හිතන විදිහට ඒකත් ලේසි වෙයි. තූර්ය වාදක කණ්ඩායමේ වැඩ කරද්දි විවිධ ප්‍රදේශවලට යනවා. සමහරක් අමතක කරන්න බැරිම එවා සහ දුක හිතෙන දෙවලුත් තියනවා. ඒත් අපි විනයත් එක්ක ටීම් වර්ක් එකක් හැටියට අපි වැඩ කරන කොට ඒ ඒ කිසි දෙයක් දැනෙන්නේ නැහැ. මම මගේ රාජකාරිය හරි ආසාවෙන් කරන්නේ.හැමෝටම සතුටක් දෙන්න පුළුවන් තැනක රාජකාරි කරන නිසා ජීවිතයත් සතුටුයි.
පෙම්වතියක් නැති නිසාද තනිකඩ ජීවිතය තුළින්ම ගමනක් යන්න අදහස් කරන්නේ.?
අද බැඳලා හෙට ඩිවෝස් වෙන ජීවිතයක් අවශ්‍ය නෑ මම කරන රාජකාරියත් එක්ක. ඒ නිසා හරි කෙනා හරි වෙලාවට හම්බුණදාට මම විවාහ වෙනවා. හැමෝටම ආදරේ ලැබිලා තියනවා. ආදරේ විඳලා තියෙනවා. ඒත් ආදරේ තුළින් හරි සහකාරිය හොයා ගන්නවා කියන එක මම හිතන්නේ නැහැ. ජීවිත කාලය පුරාවට හොඳ ගමනක් යන්න නම් අත්වැල ශක්තිමත් වෙන්න ඕන. හොඳ වකවානුවක් කාල හෝරාව ගැන හිතන්නම වෙනවා.
ඒ හෝරා කාලය ළඟ ළඟම ඒ කියලා හිතනවා.
පොලිසියෙන් හා පවුලෙන් ලැබෙන යෝගය කොහොමද කලා කටයුතුවලට?
ඇත්තටම පොලිස්පතිතුමා මට විශේෂ අවසරයක් දීලා තියෙනවා. කලා කටයුතු කටයුතුවල නිරත වෙන්න. ඒ වගේම මගේ අංශයේ උසස් නිලධාරීන් සියලු දෙනාගේම සිට මගේ සහෝදර නිලධාරීන් ද මට හොඳ සහයෝගයක් ලබා දෙනවා. අම්මා තාත්තා සහ නංගිලා මල්ලිලා මට මේ ගමනට ගොඩක් උදව් කරනවා. ඔවුන් සියලු දෙනා තමයි මගේ විනිශ්ච මණ්ඩලයේ වෙන්නේ හැම නිර්මාණයකම.
ඉදිරි බලාපොරොත්තු ගැන මතක් කරන්න කැමතිද?
මගේ ලොකු හීනයක් තමයි කවදා හරි කලාව තුළින් සම්මානයක් ලබා ගැනීම. ඒ වගේම මම තව දෙයක් ඉදිරි පරම්පරාවට හොඳ ගමනක් යන්න නම් හොඳ විදිහට ක්ෂේත්‍රය තුළ රැඳී සිටීම වැදගත් වෙනවා. ඒගැන හැම මොහොතකම හිතන්න කියනවා. ඉදිරියේදී මගේ අලුත් නිර්මාණ හතරක් විතර ප්‍රේක්ෂකයන්ට දැක ගන්නට පුළුවන් වෙනවා සිනමාපටයක් සහ ටෙලි නාට්‍ය තුනක් එන්න තියෙනවා. තවත් නිර්මාණ කිහිපයකට ආරාධනා කරල තියෙනවා. ඒවත් රාජකාරියත් සමබරව කරගෙන හෙමින් ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා.