වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
සුදුසු චරිතයක් ලැබුණොත් යළිත් රඟපාන්න ආසයි

සුන්දර වතකට දෙනෙතේ සුන්දර බව බෙහෙවින් ඉවහල් වෙයි. නිලුපුල් දෙනෙතකට උපතින් ම හිමිකම් පාන ඇය, එදා මෙදා තුර ප්‍රේක්ෂක හදෙහි සදා රැෙඳන්නට එය ද හේතු වන්නට ඇතැයි සිතේ.
ඉසුරුසොයා, දූ දරුවෝ, හුමාලය, ජුලියට්ගේ භූමිකාව වැනි නිර්මාණ ඔස්සේ සිය රංගන ප්‍රතිභාව විදහා දැක් වූ තමාරා දිල්රුක්ෂි සමඟ ‘සරසවිය’ සිදුකළ සුහද පිළිසරඳකි මේ.
ඔබේ වර්තමාන තොරතුරුවලින් අපේ කතාබහ පටන් ගනිමුද?
සුපුරුදු පරිදි එදානෙදා වැඩකටයුතු සතුටෙන් සිදුකරනවා. මම, සැමියා සහ දරු දෙදෙනා සමඟ කැලණියේ පදිංචි වෙලා ඉන්නේ.
ආදරණීය සැමියා ෆ්රෑන්ක් ප්රසාන්ත දුව විහඟි තිසරාවි, පුතු විහන් යසස්වි සමඟ, ඔවුන්ගේ කටයුතු සඳහා මගේ සහයෝගය ලබාදෙමින් සතුටින් ජීවිතේ ගලාගෙන යනවා.
කලා කටයුතුවලින් ඇත් වෙලාවත් ද?
‘බොහෝ කාලයක් රංගනයෙන් ඈත් වී සිටියේ දරුවන් ගේ කටයුතු නිසයි. විවාහයෙන් පසුව විදෙස්ගත වුණු නිසාත් ඉන්පසු නැවත ලංකාවට පැමිණියත් දරුවන්ගේ කටයුතු හේතුවෙන් කලා කටයුතුවලින් ඈත් වුණා. නමුත් සුදුසු නිර්මාණයක් ලැබුණොත් යළි රංගනයෙන් දායක වෙන්න කැමැත්තක් තිබෙනවා.
කලා ලොවට ඔබේ පැමිණීම මතක් කළොත්
එය ඉතා සුන්දර මතකයක්. පාසැල් අවධියේ දී මයි මා කලාවට සම්බන්ධ වුණේ. පාසල් කාලයේ මගේ මිතුරියක් සිටියා. ඇගේ නම මුදිතා. මමත්, ඇයත් තව කාමිණී කියලා තවත් මිතුරියක්, අපි තුන්දෙනා හොඳම යාළුවෝ. අදටත් ඒ යාළුකම එහෙම මයි. ඉතිං අපි මුදිතාගේ ගෙදර ගිය දවසක ඇගේ ඥාති අයියා කෙනෙක්. මගෙන් රඟපාන කැමති ද? කියලා අහලා පින්තුරයක් ගත්තා. ඔහු කලා අධ්යක්ෂ කුමාර දහනායක.
ඊට පසුව තමයි චන්ද්‍රරත්න මාපිටිගම මහතාගේ ‘ඉසුරු සොයා’ ටෙලිනාට්‍ය සඳහා රඟපාන්න මට අවස්ථාව සැලසුණේ.
1988 වසරේ මා පාසල් යන කාලේ නිසා ගෙදරින් වැඩි කැමැත්තක් නොතිබුණත් පසුව මගේ කැමැත්ත නිසා ගෙදර කැමැත්තක් ඇතිව රංගනයට එක් වුණා.
“ඉසුරු සොයා” හී තිළිණි’ ගේ චරිතයට පණ පොවමින් එදා ක්ෂේත්රයේ ප්‍රවීණ පිරිසක් සමඟ සිදුකළ එම නිර්මාණය සැමදාමත් මට සුන්දර මතකයක්.
රංගන ශිල්පිනියක් වෙන්න ඒ කාලේ අපේක්ෂාවක් තිබුණා ද?
ඇත්තටම මෙහෙමයි. එය සුන්දර අතීතයක් ලෙස මා සිහිපත් කළේ ඒකයි. ඉසුරු සොයා ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න කලින් මා ස්වර්ණ ලතා කිරිවත්තුඩුව මහත්මිය ගේ ‘ඉසුරුසොයා’ නවකතාව කියවලා තිබුණා.
එහෙම කියවන අතරේ එහි තිළිණිගේ චරිතය මා සිත් ගත්තා. පොතක් කියවද්දි අපි ඒ කතාව අපේ කරගන්නවානේ. ඒ වගේ මමත් මේ චරිතය, චරිතය මගේ කරගත්තා. එය මගේ රංගන දිවියේ ප්‍රථම රංගනය වීමත් එක්තරා අතකින් දෛවෝපගතයි.
රංගනයෙන් දායක වුණු චරිත අතරේ වඩාත් සිත්ගත් චරිතයක් තිබෙනවා ද?
මා රංගනයෙන් දායක වුණු බොහොමයක් චරිත එක හා සමානයි. ඒ අවධියත් එක්ක අහිංසක යුවතියකගේ චරිතයි, බොහෝ විට රඟපාන්න ලැබුණේ. ඒ අතරින් ‘ඉසුරු සොයා’ හි තිළිණිගේ චරිතයට මා වඩාත් පි‍්‍රය කරනවා.
ඉදිරියේදී රඟපාන්න ලැබුණොත් හොඳයි කියලා. එහෙම හිතෙන චරිතයක් සිතේ තිබෙනවාද?
චරිතයක් ගැන එහෙම සිතලා නැහැ. නමුත් ඉදිරියේ දී ගැළපෙන නිර්මාණයක් ලැබුණොත් රංගනයෙන් දායක වෙන්න කැමැත්තක් තිබෙනවා.
රංගන ශිල්පිනියක් විදිහට රූපලාවණ්‍ය හා විලාසිතා අනුගමනය කරන්නේ කෙසේ ද?
මමත් අම්මා කෙනෙක් නිසා ඒ භූමිකාවට ගැළපෙන විලාසිතා පමණයි අනුගමනය කරන්නේ. සමහර වෙලාවට දුව මට ඇඳුම් තෝරලා දෙන අවස්ථා ද තිබෙනවා. කොහොම වුණත් එදා වගේම අදත් මට සුදුසු විලාසිතා පමණක් අනුගමනය කරනවා.
ඉදිරි බලාපොරොත්තු ගැනත් කියමුද?
සෑම අම්මා තාත්තා කෙනෙක්ගේම බලාපොරොත්තුව දරුවෝනේ. යහපත දැකිමයි. අපි දෙන්නත් එහෙමයි.
දුවට දැන් අවුරුදු 18යි. ඇය බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ අධ්‍යාපනය හැදෑරුවා. දැන් උසස් අධ්‍යාපනය සඳහා මෝස්තර නිර්මාණකරණය (Fashion Desingning) හදරනවා. පුතාට අවුරුදු 14යි. ඔහු මරදානේ සාන්ත ජෝසප් විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. ඒ දෙදෙනාගේ අනාගත සාර්ථකත්වය මගේත් සැමියාගේත් ලොකුම බලාපොරොත්තුවයි.
සේයාරූ - දයාන් විතාරණ