නිවස විශේෂාංග තාත්තා කවදත් සැහැල්ලු ජීවිතයක් ගත කළා

තාත්තා කවදත් සැහැල්ලු ජීවිතයක් ගත කළා

මාක් සමරනායක ගේ දියණියගේ සැමියා ටෝනි ද සිල්වා කියයි

by Mahesh
April 18, 2024 12:30 am 0 comment

– එතුමා හරිම අපූරු කෙනෙක්
– තාත්තාගෙ හොඳම මිත්‍රයා වුණේ ලැඩී රණසිංහ
– ගාමිණී ෆොන්සේකා මහත්තයාව ඉස්සෙල්ලාම අධ්‍යක්ෂණය කළේ අපේ තාත්තා
– තාත්තාට කිසිම ලෙඩක් තිබුණේ නැහැ කවදාවත්. හරිම විමෝදයෙන් හිටියා

” මාක් සමරනායක කියා කියන්නෙම කිසිවකට නොසැලුණු ශක්තිවන්තම චරිතයක්..”

අපේ සිනමා වංශ කතාවේ මුල් යුගයේ රිදී තිරය මත දිගහැරුණු සිනමා සිත්තම්හි බොහෝ විට දුෂ්ටයාගේ රංගනයෙන් හා තමන්ට ලැබෙන චරිතයට උපරිමයෙන් සාධාරණය ඉටුකරන්නට සමතකු ලෙසින් නමක් දිනූ මෙවර අපේ කතාවේ කතා නායකයාණෝ තවමත් ප්‍රේක්ෂක සිත්සතන් හි ලැගුම් ගෙන ඇතිවාට සැක නැති.

ඔහු නමින් මාර්ක් සමරනායකයන්ය. ඔහුගේ උප්පැන්නයේ සඳහන් නාමය වනුයේ හෙට්ටිආරච්චිගේ දොන් මාර්ක් කොන්ඩ්‍රඩ් සේනාරත්න සමරනායක ය. වැලිවේරිය ග්‍රාමයේ මෙලොව එළිය දුටු ඔහු උපන්නේ 1914 ක්වූ අප්‍රේල් මස 8 වනදාය.

නොතාරිස්වරයකු වූ චාල්ස් සමරනායක සහ දෝන ඉසබෙලා පෙරේරා ඔහුගේ මවුපියන් ය. දූ දරුවන් අට දෙනකුගෙන් යුත් එම පවුලේ පස්වැන්නා වූයේ අපේ මේ සොඳුරු කතා නායකයාය.

ජොසපින් , හැරියට් , ලෝරි , වැඩිමහල් සහෝදරියන් වූ අතර ජෝර්ජ් ඔහුගේ අයියාය. එලියන් , මාරි . නංගිලාය. මල්ලි බෙනඩික්ට් ය.

අපේ ආදරණීය මාර්ක් ඉගෙනුමට මුලින්ම පිවිසියේ වැලිවේරියේ සිංහල පාසලටය. පසුව මරදානේ ශාන්ත ජෝශප් විදුහලට ඇතුළත් විය.

ඉගෙනුමට සේම ගායනයට..රංගනයට වැඩි ඇල්මක් දැක්වූ හේ වයසින් 14 වන වියෙහිදී පාසලේ විවෘත ගායනා තරඟාවලියකදී ප්‍රථම ස්ථානය දිනා ගත්තේය. තම වැඩිමහල් සහෝදර සහෝදරියන් නත්තලට ගෙවත්තේ තනන වේදිකා නාට්‍යවල ද රඟපෑවේය. එ වනවිට නළුවකුවීමේ නොතිත් ආශාවකින් පෙළෙන්නට වූ ඔහු එකල හැඳීන්වූ ටීටර්වල විවිධ චරිත නිරූපණය කළේය. කලා කුසලතාවන් කිහිපයකටම එකසේ දස්කම් පෑ අපේ කතා නායකයාණෝ චිත්‍ර සහ සංගීතයටද දක්ෂතා දැක්වීය. ගායනයට මෙන්ම සර්පිනාවටද ගිටාර වාදනයටද හේ සමතෙකි. පල්ලියට ද එකතුව සිටිමින් ඔහු එහි ද නාට්‍ය රඟදැක්වීය.

කලක සිට මේ අපේ සොඳුරු කතා නායකයා පිළිබඳ තතු සොයනු රිසියෙන් විමසුම් කරමින් සිටියදී අහඹුව මෙන් හඳුනාගන්නට ලැබුණේ ඔහුගේ වැඩිමහල් දියණිය ශිරානි සමරනායක මහත්මිය හා අතිනත ගත් ටෝනි ද සිල්වා නම් අපේ කතා නායකයාගේ සමීප ඥාති පුත්‍රයාය..

” මාක් සමරනායක කියන්නෙ මගේ මෝනා මහත්මියගෙ තාත්තා ..තාත්තායි මමයි ඒ කාලෙ බොහොම කිට්ටුවෙන් අපි හිටියේ..එතුමා හරිම අපූරු කෙනෙක්…”

ඒ ටික කීවේ ටෝනි මහතාය.

“අපෙ තාත්තා ගිය පාසලේ පන්තියේ හිටපු ලැඩී රණසිංහ තමයි තාත්තාගෙ හොඳම මිත්‍රයා වුණේ..කුඩාවියේදීත් හරිම දඩබ්බර චරිතයක් කියලයි මම අහල තියෙන්නෙ. තරුණ කාලෙදිත් එහෙමමයි. ඉතිං..ශාන්ත ජෝසප් විදුහලේ නේවාසිකව තමයි තාත්තා ඉගෙන ගත්තෙ. හොඳට ඉගෙන ගත්තා. හැබැයි හිතේ තිබුණේම චිත්‍රපට පිස්සුව..”

නාට්‍යවල රඟපාමින් පසුව නාට්‍ය අධ්‍යක්ෂණයටද පිවිසෙමින් තුරුණු වියට පා තැබූ අපේ මාක් තැන් කිහිපයකම කළ රස්සා හැරදමා යුද හමුදාවේ සහකාර කෘෂිකර්ම පරීක්ෂක ලෙසින් රැකියාවකට ගියේය…

“තාත්තාගෙ කුඩා කාලෙදිම එයාගෙ තාත්තා නැතිවුණා”

නාට්‍ය කිහිපයකින් පසු හෙතෙම “ටැක්සි ඩ්‍රැයිවර්” නමින් නාට්‍යයක් ප්‍රධාන චරිතයද රඟපාමින් අධ්‍යක්ෂණය කරමින් වේදිකාවට ගෙන ආවේය. එහි නිෂ්පාදකවරයා මුස්ලිම් ජාතිකයෙකි. එහි ටැක්සි ඩ්‍රැයිවර් අපේ කතා නායකයාය. එකල දුලබ නාට්‍ය කලාව නිසාම බොහෝ පිරිසක් එය නැරඹීමට පැමිණ සිටියහ.

මම අපේ ආදරණීය ටෝනි මහතා දෙස බලමි.

“ඒ කාලෙ නාට්‍යවලට ඉහළ නමක් තිබුණෙ මිනර්වා නාට්‍ය කණ්ඩායමේ එඩී ජයමාන්න සහ රුක්මණී දේවියටයි. මේ තාත්තාගෙ නාට්‍යය බලන්න එඩී රුක්මණී දෙපළත් එදා ඇවිත් ඉඳල තියෙනවා”

ටැක්සි ඩ්‍රැයිවර් චරිතයට ජීවය දුන් අපේ මාක් සමරනායක වෙතට දිව ආ කොලුවකු තුණ්ඩු කැබැල්ලක් ඔහු අත තබා දිව ගියේය.. එහි සඳහන් වී තිබුණේ මෙසේය.

” හෙට හවසට අපේ ගෙදරට ඇවිත් මාව හමුවන්න ” මීට..එඩී ජයමාන්න . යනුවෙනි.

අපේ ටෝනිගේ මුහුණේ පිරුණු සිනාවකි.

“හප්පේ..එදා ඉතිං තාත්තා හොඳම ඇඳුම ඇඳගෙන ගිහින් තියෙන්නෙ. කොහොමත් තාත්තා ගමනක් යද්දි ටයි කෝට් ඇඳුමින් තමයි යන්නෙ.මෙදා විශේෂයක්.”

එඩී රුක්මණීගේ සුවිසල් නිවසට ගිය පසුව ඔහුගෙන් තොරතුරු විමසා අනතුරුව චිත්‍රපටයක රඟපෑමේ වරම ලද්දේය.

“තූත්තුකුඩිය හරහා ඒ කාලෙ ඉන්දියාවට නැවෙන් යන්නෙ. ඉන්දියාවෙනෙ එදා චිත්‍රපට හැදුවෙ. නිවාස දෙකක් කුලියට අරන් සේරම එහි නැවතී උයාපිහාගෙන තමයි චිත්‍රපට කටයුතුත් කරන්නෙ. ඉතිං අපෙ තාත්තත් ඉන්දියාවෙ ගියා”

චිත්‍ර ශිල්පයටද දක්ෂයකු වූ ඔහුට රඟපෑමට අමතරව චිත්‍රපටයේ නාමාවලිය ඇතුළු තවත් අවශ්‍යතාවලදී චිත්‍ර ඇඳීමේ කටයුත්ත ද පැවරී තිබිණි.

එඩී හා රුක්මණී දැන් ඔහු සමග සමීපය. ඉන්දියාවේ චිත්‍රපට කටයුතු හමාර කොට හෝ විවේකය පිණිස ඔහු තම ගම රට එන්නේ මාස තුන හතරකට පමණ පසුවය. ඒ ආ විට ඔහු වටකරගන්නා ගමේ ඇත්තන්ගෙන් නම් අඩුවකුදු නැති.

“ඔව්…ගමේ අවමගුලකදි ඒ අයට අමාරුකම් තියෙනවනම් අතින් වියදම් කරල කට්ටිය එක්ක රෑ ජාමෙත් කාඩ් සෙල්ලම් කරල වැඩ අහවර වුණාමයි ගෙදර එන්නෙ. මිනිස්සුන්ට පුදුම කරුණාවක් ආදරයක් තිබුණා …මිනිස්සුත් තාත්තා ට එහෙමයි. ”

අපේ ටෝනි කියන්නේය.

ඉන්දියාවේ සිට මෙහි එන ඔහු අත රන්බඩු ඇතුළු තවත් නොයෙක් දේ තිබේ. ඒවා මිනිසුන්ට බෙදා දෙයි.

නැති බැරිකම් කියා එන අයද ආපසු හිස් අතින් හරවා හැරියේද නැති.

වැලිවේරියේ ඩිස්පැන්සරියේ ඇල්බට් සොයිසා එහි දොස්තර මහතාය. ඔහුගේ ඇසුරේ පසුවූ වැදගතුන් පිරිස අතර එම දොස්තර මහතා සමඟ කතිකා කොට “දෛවයෝගය” චිත්‍රපටයේ නිෂ්පාදක තනතුර ඔහුට පැවරුවේය.

“ගාමිණී ෆොන්සේකා මහත්තයාව ඉස්සෙල්ලාම අධ්‍යක්ෂණය කළේ අපෙ තාත්තා . මුලදී හරි ගිහින් නැහැ. පස්සෙ ගාමිණී හරි ගියාලු. දෛවයෝගය චිත්‍රපටය කළාට පස්සෙ තාත්තා ඒක නාට්‍යයක් හැටියටත් කළා. කඩවුණු පොරොන්දුව නාට්‍යයත් කළා. ප්‍රධාන නිළිය රුක්මණී ට එදා ප්‍රධාන නළුවාට ගත්තෙ තාත්තාගෙ මිතුරෙක් වුණු බස් රියදුරු කෙනෙක්. ඒක කුරුණෑගල ටවර් හෝල් එකෙත් පෙන්නුවා. මමත් ගියානෙ. ඒ කාලෙ ඉතිං මාසෙකට එක නාට්‍යයක් වගේ ආවෙ.”

නාට්‍යවල රඟපා ලැබෙන මුදල් ඔහු අත දිගහැර මිනිසුන් ට වියදම් කළේය…ඔහු නගරයට යයි. ගෙදරට අවශ්‍ය කඩවලින් බඩු ගනියි. එහෙත් කිසිදිනෙක එම බඩු මල්ල ගෙදරට එන්නේ ඔහු අතින් නොව කාගේ හෝ අතිනි.

මධුවිතට පෙම්කළ අපේ ආදරණීය මාක් ගැන ටෝනි කීවේ..”බොනකොට බොනව වැටෙන්නම. ඉන්පස්සෙ අවුරුද්දක් විතර යනකම් ඒවා කට අහලක තියන්නෙ නැහැ..ඒ එයාගෙ හැටි…අවුරුදු 16..17 කාලෙ ඉඳලාම එහෙම තමයි. හොඳට කාපු බීපු කෙනෙක්. ”

අපේ සොඳුරු කතා නායකයාණෝ විවාහ වූයේ තම නෑනා සමගිනි. ඕ තොමෝ පර්ල් මාගරට් ජයවර්ධන ය.

“දුප්පතාගෙ දුක” චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ලැඩී රණසිංහ ය. ඔහුගේ නැගණියට රඟපෑවේ අපේ මාර්ක්ගේ බිරිඳය. එම නැගණියගේ දියණියට රඟපෑවේ මාක්ගේ දියණියය.

චිත්‍රපට එකදිගට ගලා එන අපේ කතා නායකයාගේ කාලය වැඩිපුර ම ගතවන්නේ ඉන්දියාවේය.

“තාත්තා ඉන්දියාවේ ඉඳන් ඇවිත් ෆෝඩ් මයිනර් කාර් එකක් අලුතින් ම ගත්තා. කාරයේ මිල රු. 1750 යි. මාසයක් දෙකක් ගමේ ගතකරල ආපසු ඉන්දියාවට යනකොට කාර් එක විකුණන්නෙ අන්තීම අඩුවට. සල්ලි කියන ඒවා අහලකට මායිම් කළේ නැහැ. හිතවත්කමට ගණන අඩුවටම කාර් එක දීල යනවා. ”

අපේ ආදරණීය මාක් සමරනායකයන් නගරයේ කඩවලට යන්නේය. ඔහු පසුපසින් තවත් කීප දෙනෙකි. මෙයාල ඉල්ලන ඕනම දෙයක් ණයට දෙන්න. මම ඉන්දියාවේ ගිහින් ආවාම ණය බේරන්නම්..”

ඒ ඇසූ මුදලාලි විශ්වාසය මත හා හොඳයි කියන්නේය. ආපසු මාස කිහිපයකින් ලංකාවට එන ඔහු කියා ගියාසේම පැමිණ ණයට බඩුගත් අයගේ ණය පැකිලීමක් නැතිවම ගෙවා දමන්නේය.

අපේ ටෝනි රසවත් කතාවක්ද කියන්නේය.

අපේ කතා නායක තෙමේ මාළු, මස්,බිත්තර, එකවර ගෙනැවිත් බිරිඳට පවසන්නේ මේවා එකවර එක වේලකට උයන ලෙසටය. ඕ අරපිරිමැස්ම සලකා එක් වර්ගයක් පමණක් ගෙන අනික් දේවල් පසුවට ගන්නට තබන්නීය. කෑම මේසයට වාඩිගන්නා ඔහු රැගෙන ආ දේවලින් එකක් පමණක් උයා තිබෙනු දැක උරණව කෑ ගසන්නේය. කෑමට හොදි වැඩිපුර උවමනාමය. මදි වූ තැන වතුර ජෝගුව හොද්දට හලන්නේය.

“කෑම කන වෙලාවට නම් නිශ්ශබ්දව කන්නේම නැහැ. ඔය ඉන්දියාවෙ ගිහින් චිත්‍රපට හදනකොට වෙච්චි රසකතා කියනවා. හුටපට කතා..පාටිවලට ගිය කතා. හැබැයි තාත්තා විමෝදයෙන් ම තමයි ජිවත් වුණේ…”

“තමන්ගෙ සහෝදරයෙක් නැතිවුණා කීවත් තාත්තා නෙමෙයි කලබල වෙන්නෙ. දුක් වන්නෙ. අම්මා නැතිවුණා. ඒ වුණත් තාත්තා එදාත් වෙනද වගේ වෙලාවට කෑවා. බීවා. නිදාගත්තා . ඒ එයාගෙ හැටි ”

ටෝනි කියන්නේය..

බිරිඳ මියගිය ගියදා මළගෙදරට පිරිස එති. ඔහු සුපුරුදු නින්දේය.. දියණිය පැමිණ “තාත්තේ නැගිටල ඉන්නකො. මිනිස්සු එනවනෙ” යි කීවිටදී ” ඉතිං මං නැගිටල හිටිය කියල වැඩක් තියෙනවයැ”යි කියා හෙතෙම නිදන්නේය.

නිවසේ රාත්‍රියට ආලෝකය පෙට්‍රල් මැක්ස් ලාම්පුවකිනි. එහි තෙල් සිඳී නිවී යද්දී නැගිටලා ඉඳල වැඩක් නැහැනෙ” කියා හෙතෙම නින්දට යන්නේය.

හිමිදිරියේම අවදිවන අපේ කතා නායකයා තමන්ම තේ ටික හදා බොයි. නිදන්නට ඇති කැමැත්ත ඉහළය. ඔහුට නිතරම ඕනෑවූයේ තේ ටිකය.එය නිවිලාද..උණුවෙන්ද..සීනි ඇති..නැති වගක්ද නැති. බත් කෑමෙන් පසු සීනි ටිකක් අවශ්‍යමය.

“අපෙ තාත්තා ට කිසිම ලෙඩක් නැහැ කවදාවත් . හරිම විමෝදයෙන් නිතරම. ”

හෙතෙම රාත්‍රියේ නින්දට යනවිටදී ඩිස්ප්‍රින් පෙති දෙකක් ගිල දැමීම අනිවාර්යය. දුව ශිරාණි ඊට දොස් නගන්නී දියකර බොන්න යැයිද කියන්නීය. ඉන් තමන්ට නින්ද හොඳටම ලැබෙන බව හේ කියන්නේය.

අපේ මාර්ක්ට දුවක හා පුතෙකි. පුතු ටිරෝන් සමරනායක ය. ඔහු ද එක් චිත්‍රපටයක රඟපෑවේය. දියණිය ශිරාණි වසර 10කට පෙරදී ප්‍රංශයේදී මියගියාය. ඇය සමග විවාහ ව සිටියේ අප සමග පිළිසඳරක පසුවන අපේ ටෝනිය.

“තාත්තායි අපියි එක ගෙදර උන්නෙ. එයාගෙ බීමත්කමට අප විරුද්ධ වුණාම රණ්ඩුවට එනවා. ඒ වගේමයි..ගෙදර පවුලේ හැමෝම එක්ක සතුටින් විමෝදයෙන් ඉන්නේ. කවදාවත් අසනීපයක් කියල සීනි ප්‍රෙෂර්..ඔය මුකුත්ම තාත්තා ට නැහැ.හොඳටම නීරෝගියි. ඔය ඕනම මත්පැනක් දිව ගාලා කියයි මේක අහවල් වර්ගයයි කියලා.”

ටෝනි සිනාසෙමින් කියන්නේය.

ඉංග්‍රීසි සිංහල හා දමිළ භාෂා තුනෙන්ම කටයුතු කළහැකි හෙතෙම එඩිතරය. එලෙසින්ම කරුණාවන්තය. ගායනයෙහිද සර්පිනා හා ගිටාර් වාදනයෙහිද සමත් හෙතෙම ගමේ මෙන්ම සිනමාවේද අන් අය සමග ද හොඳ හිතම පුදා පසුවූයේය.

මේ ගෙවී යන්නේ අපේ ආදරණීය කතා නායකයාගේ 86 වන වියය. කිසිදු අසනීපයකට බෙහෙතක්ද ගෙන නැති. හෙතෙම දිනෙක කුරුම්බා ගෙඩියක් බීමට ගොස් බිම ඇද වැටුණේය. එදායින් පසු ඔහු පෙරමෙන් බිම පය තබා ඇවිද ගියේ නැති. වයසට ගියද..කෑමෙහිද බීමෙහිද අඩුවකුදු නොපෙන්වූ හේ එකතැනටම වැටී සිටියේය.

මෙදින ගෙදර පාටියකි. බොහෝ පිරිසක් විමෝදයෙනි. අපේ කතා නායකයා ගිලන් යහනේ සුව නින්දක මෙනි.

කතාකළද වචනයකුදු නොදෙඩූ ඔහුගේ දෑත අල්වන විටදී ඒ දෑත සීතලව ගල් වී තිබිණි .

හෙළ සිනමාවට අප්‍රමාණ මෙහෙවරක යෙදෙමින් චිත්‍රපට රැසක රඟ ශෝභාවෙන් රටක් වසඟ කළ අපේ සොඳුරු මාර්ක් සමරනායක රංගටව්දීයා වයසින් අවුරුදු 86 ක් ආයු වින්දනය කොට සිය ජීවන සිනමාවෙන්ද සමුගෙන කිසිවකුටවත් නොකියා කොහේදෝ නික්ම ගියේ 2000ක්වූ ජූනි මස 04 වනදාය.

අමල් යශෝමන් ජයසිංහ, සේයාරූ - පාලිත ශ්‍රී ලාල් ආටිගල

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT