‘අයිස්’ ප්‍රේක්ෂකයාට වෙනස්ම අත්දැකීමක් ගෙනෙන ටෙලි නාට්‍යයක්

රංගන ශිල්පිනි / ටෙලි නාට්‍ය නිෂ්පාදිකා නිමන්ති පෝරගේ
ජනවාරි 26, 2023

ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක ලෙස කලා ක්ෂේත්‍රයට පිවිස අද වන විට ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක ලෙස ද කටයුතු කරන ඇය ගුණාත්මක හා හරවත් නිර්මාණ ප්‍රේක්ෂකයන් වෙත ඉදිරිපත් කිරීමේ උනන්දුව ඇති ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක ලෙස හඳුනාගත හැකිය. එසේම රංගන ශිල්පිනියක ලෙස ද සිය දක්ෂතා උපරීමව ඉදිරිපත් කරනටත් හැමවිටම කැමැත්තෙන් පසුවන ඇය රංගන ශිල්පිනි නිමන්ති පෝරගේය. මේ දිනවල ජාතික රූපවාහිනියෙන් විකාශය වන අයිස් ටෙලි නාට්‍යයේ නිෂ්ාපදිකාවක ලෙස කටයුතු කරන ඇය ඒ පිළිබඳ දැක් වූ අදහස් බලමු.

අයිස් කියන්නෙ ටිකක් වෙනස් ටෙලි නාට්‍යයක්. ඒක රහස් පරීක්ෂක කතාවකට සමාන ටෙලි නාට්‍යයක් විදියටත් දකින්න පුළුවන්. ඒ කියන්නේ අපි දකින සාමාන්‍ය ආදර කතාවක් හෝ පවුලේ කතාවකට වඩා වෙනස් ටෙලි නාට්‍යයක්. මේ පිටපත ලියුවේ ගයාන් හෙට්ටිආරච්චි. ඔහු ලියූ කොටස් විස්සකින් පමණ සමන්විත පිටපතක් අපට පෙන්නුවාම අපටත් ඒ ගැන කැමැත්තක් ඇති වුණා. මොකද අපිත් ඒ කාලයේ පිටපතක් සොයමිනුයි සිටියේ. ඒ වෙද්දි අපි කරලා තිබුණු නිර්මාණවලට වඩා මේ නිර්මාණය ටිකක් වෙනස් නිසයි අපටත් මේකට කැමැත්තක් ඇතිවුණේ. මේ ටෙලි නාට්‍යය විකාශය වෙන්නේ ජාතික රූපවාහිනියේ රෑ අටයි තිහ කියන්නේ බොහෝ දෙනෙක් පෞද්ගලිකක නාලිකා වටා ගොනු වී සිටින කාලයක්නෙ. එහෙම කාල වකවානුවක අයිස් කියලා ටෙලි නාට්‍යයක් විකාශය වෙනවා කියලා බොහෝ දෙනෙක් දන්නවා. සාමාන්‍ය පොදු ප්‍රේක්ෂකයන් අපිත් එක්ක කතා කරද්දී අපට දැනෙනවා අයිස් කියන නාට්‍ය පේ‍්‍රක්ෂකයන් අතරට ගිහින් තිබෙනවා කියලා. ඉතින් ඒක අපට සතුටක්. වෙනස් අත්දැකිමක් සහිත හොඳ නිර්මාණයක් ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරන්න හැකිවීම ගැන සතුටුයි.

මෙහි එමාශා සෙනෙවිරත්න ගේ රංගන හැකියාවන් ඉස්මතු කරගත්තේ කොහොමද?

එමාශා මීට කලින් රංගනයට එක්වෙලා තියෙනවා. ඒ වුණාත් මේක එමාශගේ වෙනස් විදිහේ රංගනයක්. එයාගෙ පෙනුමත් එක්ක අපට ඕන වුණා වෙනමම රංගන දායකත්වයකට එමාශව එක්කර ගන්න. එමාශාට තියෙන්නෙ අහිංසක පෙනුමක්. අපට ඕන වුණේ ඒ පෙනුමයි රංගනයයි අතර වෙනසක් තිබෙන රංගන දායකත්වයකට සම්බන්ධ කරගන්නයි. මං හිතන්නෙ එය හොඳින් සිදු වෙනවා. ඒ වගේම ඇය දක්ෂයි. වැඩ කරන්නත් ලේසියි.

පුංචි තිරය ඉදිරියට ඔබ වැඩිපුර නොඑන්නේ ඇයි?

එහෙමම නොවෙයි අපේ නිර්මාණවල තමයි සෑහෙන කලක ඉඳන් වැඩකරන්නේ. පවුලේ වැඩකටයුතු නිසාත්, බබාලගෙ කටයුතුත් එක්ක කාලය වෙන් කරගන්නත් ටිකක් අපහසුයි. විශේෂයෙන් දුර බැහැර රූගත කිරීම්වලට යන්න අමාරුයි. හැබැයි අපි නිෂ්පාදනය කරන නිර්මාණවල නිතරම වැඩ කරනවා. අයිස් නාට්‍යයේ නම් මම චරිතයක් කරනවා. අහස් මාලිගා කියන අපි කරපු නිෂ්පාදනයේ කොටස් නවසිය ගානක් තිබුණත් මම එහි පවා කිසිම චරිතයක් කළේ නෑ.

ඔබේ රංගනය උපරීමයෙන් ඉස්මතු කරගන්න අවස්ථාවක් ලැබී තියෙනවාද?

ඇත්තටම මගේ හිතේ තිබෙන චරිතය රඟපාන්න තවමත් ලැබී නෑ. අපිම කරපු නිර්මාණවල වුණත් මට ගොඩක්ම හිතට වැදුණෙ මිල්ලෑව වලව්ව නාට්‍යයේ නාලනි මැණිකෙ ලෙස කළ චරිතයයි. ඒකෙ අම්මගෙයි දුවගෙයි චරිත දෙකම කළේ මමයි. ඒක නම් ඇත්තටම හදවතට දැනුණා. ඒ වගේම එය සුමති ටෙලි සම්මාන සඳහාත් නිර්දේශ වුණා. හැබැයි අපි ගොඩක් තරුණ අවදියේ පෙම්වතියගේ චරිතය කරන කාලේදිත් මට වෙනස් චරිත ලැබුණා. ඒ වගේ මතක් කරද්දී මම ගොඩක් ආස කරන චරිතයක් තමයි ඒ කාලෙ කරපු පරාක්‍රම නිරිඇල්ල මහත්මයාගෙ සුදෝ සුදු නාට්‍යයේ හීන් මැණිකෙගෙ චරිතය. ඒක අදටත් කතා වෙන ටෙලි නාට්‍යයක්. ඒ ඇරුණු කොට මේ මෑතක ඒ කියන්නේ අවුරුදු දහයක විතර කාලය තුළ කරපු නිර්මාණ අතුරින් මිල්ලෑව වලව්ව ටෙලි නාට්‍යය තමයි හොඳටම හිතට වැදුණේ. ඇත්තටම මොකක් හරි අමුතු විදිහේ කොස්ටියුම් එකක් ඇඳලා, වෙනස් මේකප් එකක් දාගත් පමණින් ඒක මාරම චරිතයක් වෙන්නේ නැහැනෙ. ඇත්තටම මට දැනෙන, ලොකු වෙනසක් කළ හැකි චරිතයක් ලැබෙනවා නම් මම හරි ආසයි. හැබැයි ඒ වගේ පිටපත් ලියවෙන්නත් ඕන. අනිත් එක ඒ වගේ පිටපත්වලට නාලිකාවලින් ඉල්ලුමක් තිබෙන්නත් ඕන. ඒ ඉල්්ලුම අඩු වෙනකොට නිෂ්පාදකවරුන්ට කරන්න දෙයකුත් නැහැනෙ.

ඔබ වටහාගෙන තිබෙන විදියට මොකක්ද සිදු වී තිබෙන්නේ?

මට හිතෙන්නේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය පැත්තෙන් ලොකු පරිහානියක් වෙලා තියෙනවා කියලයි. එකක් තමයි දැන් රූපවාහිනි නාලිකා වැඩියි. ඒ සමඟ ටෙලි නාට්‍යවලට ලොකු තරගයක් තමයි ඇති වී තියෙන්නේ. හැබැයි ඒ තරගය තිබුණා නම් හොඳයි ගුණාත්මක නිර්මාණ සඳහා. නමුත් වැඩිපුර ඉල්ලුමක් තිබෙන්නේ එක වගෙ නිර්මාණ සඳහායි. නව පරපුරේ දක්ෂ ළමයි ඉන්නවා. හැබැයි ඔවුන්ට එක වගේ නිර්මාණවලට කොටුවන්නයි වෙන්නේ. ඔවුන්ගෙන් යමක් උකහා ගන්න කෙනෙකුත් නෑ. ඉතින් ඒ හේතුවෙන් ඔවුන්ට වන හානිය ඔවුන් දන්නෙත් නෑ. නමුත් අපට ඒ කාලෙ නම් ඊට වඩා ගොඩක් වටිනා අත්දැකීම් සම්භාරයක් ලැබුණා. අපි සුදෝ සුදු නාට්‍යය කරන කාලෙ අපට පරාක්‍රම නිරිඇල්ල මහතාගෙන් ලැබුණු ගුරුහරුකම්, දැනුම අපමණයි. රංගනය පමණක් නොවෙයි. පිළිවෙළ පවා අපි ඉගෙන ගත්තෙ එතුමන් වැනි අයගෙන්. නමුත් අදටත් හොඳ නිර්මාණ කළ හැකි දක්ෂ නිර්මාණකරුවන් සිටිනවා. උදාහරණයක් ලෙස ප්‍රසන්න ජයකොඩි වැනි අය. ඒවාගෙ තරුණ පරපුරේ දක්ෂ අධ්‍යක්ෂවරු නිර්මාණ කරනවා. නමුත් හරි සීමිත ප්‍රමාණයයි හොඳ නිර්මාණ කෙරෙන්නේ. ඉතින් ඒ සීමිත ප්‍රමාණයටත් හැමෝටම දායක වෙන්නත් බැහැනෙ. කලාතුරකින් අවස්ථාවක් ලැබුණොත් මිසක්. ඒ නිසා මම හිතන්නේ රූපවාහිනි නාලිකා අතේ තමයි ලොකු වගකීමක් තිබෙන්නෙ. ඒ අය වැඩිපුර අවස්ථාව දෙනවා නම් ගුණාත්මක දේ ගන්න මේකට හොඳ විසඳුමක් වෙයි.

මේ ගැටලුව හොඳ පිටපත්වල හිඟකම පිළිබඳ ප්‍රශ්නයක් ද?

නෑ. දක්ෂ පිටපත් රචකයන් සිටිනවා. නමුත් කරන්න දෙයක් නෑ. මේක හරියට දම්වැලක් වගේ. නාලිකාවකින් යම් අදහසක් සහිත නිර්මාණයක් නිෂ්පාදකයන් ලෙස අපෙන් බලාපොරොත්තු වුණොත් අපට ඊට නම්‍යශිලී බවක් දක්වන්න වෙනවා. ඒක නිෂ්පාදිකාවක් ලෙස මට හොඳින් වැටහෙන දෙයක්. මොකද අපි යැපෙන්නේත් ඒ ඔස්සේයි. අපි ගොඩක් කැමැතියි හොඳ නිර්මාණවලට දායක වෙන්න. හැබැයි එහෙම අවස්ථා අපට ලැබෙන්නත් ඕනනෙ. වෘත්තීමය වශයෙන් දෙයක් කරන කෙනකුට තෝර තෝරා ඒක කරන්න බැහැ. නිර්මාණ කාර්යයේදීත් එහෙමයි.

හැබැයි මේ රටාව වෙනස් කරන්න බැරි කමකුත් නෑ. නාලිකාවලට තමයි ඊට මූලික වී කටයුතු කරන්න පුළුවන්. අතීතයේ ජාතික නාලිකාව ඇතුළුව නාලිකා සීමිතව පැවතුණු යුගයේ හරිම සමබරව මෙය සිදු කෙරුණා. ඉතින් ඒ අය අපට යම් රුකුලක් හෝ තල්ලුවක් දෙනවා නම් හොඳ නිර්මාණයක් කරන්න, නිෂ්පාදකවරු හොඳ නිර්මාණ කරයි.

හැබැයි අද රූපවාහිනි නාලිකා පවා සමාජයේ රසවින්දනාත්මක මට්ටම මතම නොවෙයි ද රැඳෙන්නේ? ඔවුන් ඉන්නෙත් සමාජය ඉල්ලන දේ දෙන්න ඕනෑ කියන අදහසේම නේද?

අපේ පේ‍්‍රක්ෂකයන්ගේ මනස හැරවිය හැකියි. ඒක තේරුම් ගන්න ඕනේ. හොඳ දෙයක් දුන්නොත් ඔවුන් එය පිළිගනියි. ඒවගෙම මේවාගෙ රැල්ලක් අතීතයේ තිබුණ නැහැනෙ. බර්ට්‍රම් නිහාල්, පරාක්‍රම නිරිඇල්ල වාගෙ නිර්මාණකරුවන් අතින් හරිම ලස්සන නිර්මාණ බිහිවුණානෙ. එතකොට අපේ පේ‍්‍රක්ෂකයො ඒවගෙ නිර්මාණ හරි කැමැත්තෙන් රසවින්දානෙ. මාධ්‍ය හරහාම තමයි මේ රුචිකත්වය ගොඩනැඟුණේත්. අද වුණත් හොඳ නිර්මාණ මිනිස්සු බලනවනෙ. ඒකට වටපිටාවක් ඇති වෙන්නයි ඕින. අනික හොඳ නිර්මාණයක් කරනවා නම් සැලකිය යුතු පිරිවැයකුත් දැරිය යුතුයි. එතකොට නාලිකාවකින් ලැබෙන මුදල මත තමයි නිෂ්පාදකයාට බොහෝ දේ තීරණය කරන්න වෙන්නේ.

ඒ ගැන ඔබේ අදහස මොකක්ද?

නිෂ්පාදකවරුන්ට රූපවාහිනි නාලිකා මඟින් කරන ගෙවීම මදි. නිෂ්පාදකවරු ලෙස අපි හරි කැමැතියි අවධානයට යොමු වන හොඳ නිර්මාණ කරන්න. ඉස්සරත් අපි එහෙමයි. රූගත කිරීමකින් පසු පවා ඊළඟ දිනයේ අපි අපේ සහෝදර රංගන ශිල්පීන් හමු වූ විට කතා බහ කරන්නේ පෙර දින අපේ රංගනයේ සුවිශේෂි අවස්ථා ගැනයි. ඒක හැම නිර්මාණ කරුවකුටම පොදුයි. ඒ නිසා අවශ්‍ය පහසුකම් ලැබෙනවානම් ඕනෑම නිර්මාණකරුවෙක් කැමැතියි හොඳ නිර්මාණයක් කරන්න.

සංඛ්‍යාත්මකව ගත් විට ඔබේ නිෂ්පාදන කොපමණ තියෙනවාද?

අපි, ඒ කියන්නේ මමත් මගේ සැමියාත් එක්ව ටෙලි නාට්‍ය විස්සක් පමණ නිෂ්පාදනය කර තියෙනවා.

චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තුවක් තිබී නැතිද?

අපිට එහෙම අදහසයක් තිබුණ වකවානුවේ තමයි කෝවිඩ් ව්‍යාප්තිය සිදු වුණේ. නමුත් දැන්නම් ඒ ගැන සිතන්න අමාරුයි. කොහොමත් කරනවා නම් හොඳ නිර්මාණයක් කරන්න ඕනේ. උඩින් පල්ලෙන් යමක් කරලා වැඩක් නැහැනෙ. ඒ නිසා ආපසු ඒ ගැන හිතනවා නම් ඒකට ටික කාලයක් යයි.

ඔබ මෙතෙක් රඟපෑමෙන් දායක වී ඇති නිර්මාණ පිළිබඳ අදහසක් දැක්වුවොත්?

ආ... නිර්මාණ ප්‍රමාණය ගත් විට සියයකට පමණ ආසන්නව දායක වී ඇති.

මේ අවධියේ නිර්මාණවල ඔබ අඩුවෙන් දකින්න ලැබෙන්නේ. රඟපෑමෙන් අයින් වෙන්න අදහසක් තිබෙනවාද?

අනේ එහෙම නෑ. රඟපාන්න තමයි ගොඩක්ම කැමැති. මම රඟපෑමෙන් නම් ඉවත් වී නෑ. නිෂ්පාදන කටයුතුවල නම් දිගටම නියැළෙනවා. ඇත්තටම මහන්සිවෙලා කරන්න පුළුවන් හොඳ චරිතයක් ලැබෙනවා නම් රඟපාන්න මම ඉතා කැමැත්තෙන් ඉන්නවා.

මේ ක්ෂේත්‍රයට ඔබේ පිවිසීම සිදුවුණේ කුමන අවධියකදී ද?

1994 විජය ධර්ම ශ්‍රී මහත්මයාගේ කස්තිරම ටෙලි නාට්‍යයෙන් මුල්වරට මම රඟපෑමට එක් වුණේ. ඒවාගෙම වේදිකා නාට්‍යවලටත් ඒ කාලයේ බොහෝ දුරට සම්බන්ධ වී සිටියා. එහිදී හොඳම සහය නිළියට හිමි සම්මාන, කුසලතා සම්මාන සහතික වේදිකා නාට්‍ය අංශයෙන් ලබාගෙන තියෙනවා. ටෙලි නාට්‍ය අතර නිර්දේශීත ටෙලි නාට්‍ය ගොඩක් තිබුණා. ඒ අතරේ 2000 වසරේ හොඳම නැඟී එන නිළිය ලෙස සුමති ටෙලි සම්මානයට හිමිකම් කියුවා. විවාහයෙන් පසුව තමයි තරමක් රඟපෑමෙන් මම ඉවත් වුණේ. පවුලේ කටයුතු, විශේෂයෙන් දරුවන්ගේ කටයුතු සමඟ ඒවාට ප්‍රමුඛත්වය දී කටයුතු කිරීමයි ඉතින් මේ දිනවල මා අතින් සිදුවෙන්නේ.

ඉවුම් පිහුම් සමඟ ඔබ යූ ටියුබය ඔස්සේත් ජනපි‍්‍රයයි.

ඊට යොමු වුණේ කෝවිඩ් අවධියේයි. නිවෙසින් බැහැරට යන්න ක්‍රමයක් නැතිව ගත කළ අවධියේ කැම බීම පිසින විට මට සිතුණා ඒ අත්දැකීම් අන් අය සමඟ බෙදාගන්න. ඒක තමයි ඊට මුලිකව බලපෑවේ. අනික මට හොඳට උයන්න පුළුවන්. වෘත්තියෙන් මම නිළියක් වුණත් ගැහැනියකනෙ. ගෙදර දොරේ කටයුතු හුරු පුරුදුයි. අනික අමුතුවෙන් රඟපෑමක් ලෙස එය ඉදිරිපත් කරන්න මම උත්සාහ කළේ නෑ. ඒ නිසා වෙන්නැති ඊට හොඳ ප්‍රතිචාර ලැබුණේ.

 

[email protected]