වර්ෂ 2023 ක්වූ October 04 වැනිදා Wednesday
සිරසින් ‘චන්දෝලි’

තම වෘත්තිය ගැන කලකිරී කොළඹ අතහැර වනගත ගමකට යන වෛද්‍යවරයෙකු සහ ගැමියන් විසින් මූසල අවාසනාවන්තියන් ලෙස සලකා බැහැර කෙරෙන ස්ත්‍රී කණ්ඩායමක් සහ ආරණ්‍යගතව වෙසෙන භික්ෂූන් වහන්සේ පිරිසක් අතර “චන්දෝලි” කතාව ගොඩනැඟේ.
අනුන්ගේ වරදට ගොදුරු වී; වරදෙහි බැඳුණු පවට ගැමියන් විසින් ප්‍රතික්ෂේප කොට පිටමං කරන ලද මෙකී ස්ත්රීහූ මෙම ගමෙහි ඇති නාරි මඩම නම් ගැමියන් විසින් හඳුන්වන නිවෙසක වෙසෙති. මෙම ස්ත්‍රීන් මෙම ආශ්‍රමයෙහි ජීවත් වෙන්නේ අසල ගම්මාන වලට පැන කොල්ලකමින් වුවත් ඔවුහු අයුක්තියට එරෙහිව නැගී සිටින අභීත පිරිසකි.
කොළඹ වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන මිස්සක ලොකුබණ්ඩාර නමැති වෛද්‍යවරයා මෙම කැලෑබද ගමට එන්නේ ආරණ්‍යවාසීව පැවිදි දිවියක් ගෙවන තම අතීත මිතුරා සොයාගෙනය. තම වෘත්තිය තුළ වූ අසාධාරණකම්වලින් කලකිරෙන මෙම වෛද්‍යවරයා සිය මිතුරා මෙන් සියලු දේ අතහැර වනගත වන්නට සිතයි. වෛද්‍යවරයා ගමට පැමිණෙන විට සිය අතීත මිතුරා වූ ලොකු හාමුදුරුවන් අපවත් වී ඇති බව දැනගැනීමෙන් ඔහු මහත් සේ කම්පා වෙයි. මෙම වෛද්‍යවරයා සමග ප්‍රේමයෙන් බැඳී ගැබිනියක බවට පත්වූ වෛද්‍ය සිසුවියකද මෙම පවුකාරියන්ගේ ආශ්‍රමයෙහි වාසය කරයි. විවාහකයෙකු වූ මහාචාර්යවරයා ට දාව මෙලොවට බිහි කළ දරුවා “සදෙව්නාද” නමින් පැවිදිව මෙම වනගත ආරණ්‍යයෙහි වාසය කරයි.
මාරාන්තික රෝගයක් සම්බන්ධ රහස් බෙහෙත් වට්ටෝරු රැසක් සහ නිධානයක තොරතුරු මේ වනගත ආරණ්‍යයේ හුදකලා වන වෛද්‍යවරයාත් ආරණ්‍යවාසී භික්ෂූන් පිරිසත් ආශ්රමවාසී කාන්තාවනුත් අතර පවතින බව හැඟෙයි. එම රහස් අරභයා එකිනෙකා අතර බැඳීම් සහ ගැටුම් හටගනී.
එම ගුප්ත රහස් සමඟ එකිනෙකා අතර සංවේදී මානුෂීය සම්බන්ධතා සමඟ මෙහි කතාව ගොඩනැඟේ. ගොදුරක් වෙමින් නොවෙමින් ඊට එරෙහිව දඩයක්කාරයින් ලෙස ජීවිතය සමඟ ගැටෙමින් ජීවිතය සහ සොබාදහම වටහාගන්නා මිනිසුන් පිරිසක් මෙහි පිළිබිඹු වෙයි.
දමිතා අබේරත්න, බුද්ධික ජයරත්න, මාධවී ඇන්තනි, හිමාලි සිරිවර්ධන, නිල්මිණී කෝට්ටටිගොඩ, නිරෝෂා තලගල, සුදත් ඇන්තනී, රංගි රාජපක්ෂ ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් මෙම ටෙලි සිත්තම සඳහා දායක වෙති.
මෙම ටෙලි සිත්තමේ තිර රචනය සහ අධ්‍යක්ෂණය තුෂාරි අබේසේකර වන අතර නිෂ්පාදනය ක්‍රිෂාන්ති මඩුගල්ලගේය. සිරස නාලිකාවේ නවතම ටෙලි සිත්තම “චන්දෝලි” සෑම සතියේ දිනකම රාත්‍රී 7.30 ට විකාශය වේ.