කනෙන් බලන ටෙලි සිත්තම මාණික්කාවත ගුවනට ලියන ප්‍රවීණ නිවේදිකා මයුරි ලියනගේ

නොවැම්බර් 10, 2022

 

රූපවාහිනී මාධ්‍යය එන්න කලින් අපට, අපිටම අනන්‍යවුණු දර්ශන තල තිබුණා. අපේම හිතේ මැවුණු නළු නිළි රූප තිබුණා. අපි කොච්චර ඒවට ආදරේද කිවහොත් අපිම හදාගත්ත ඒ රූපරාමු වලින් මිදෙන්න රූප මාධ්‍යය ආවට පස්සෙත් කැමැති වුණේ නෑ.අපේ හිතේ චිත්ත රූප මවපු මේ නාට්‍ය දර්ශන අපේ ලෝකයට අරගෙන ආවේ ගුවන් විදුලි නාට්‍යය. සවනට වැටෙන දෙබස්, පරිසර වර්ණ සියල්ල එක් තැන් කරමින් අපි අපට ඕන විදියට නාට්‍යයක් හදා ගත්තා. අද ඒ සියලු දේ නිර්මාණය කරල ගෙඩිය පිටින් අපේ ඇස් ඉදිරිපිට තබන්න රූපවාහිනිය සමත්වෙලා තියෙනවා. හැබැයි ඒ රූප රාමු, ඒ නාට්‍යය සමහරවිට අපි හිතා සිටින එකක් නොවන්න පුළුවන්. සමහරවිට හිතාගෙන හිටපු විදියට වෙනස් වෙන්නත් පුළුවන්ව කෙනෙකුගේ හිතේ මැවෙන ඒ රූප අපි ආලින්දයේ සැප පුටුවක් උඩ වාඩිවෙලා බලාගෙන ඉන්නවා.

තව නොබෝ දිනකින් නිමාවට පත්වන්නට නියමිත. මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි විකාශය වන ප්‍රවීණ චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණයන්ගේ ‘මාණික්කාවත’ ටෙලි නාට්‍යය මේ දෙආකාරයෙන්ම අපට රසවිඳින්න පුළුවන්. ඒකට හේතුව ශ්‍රව්‍ය - දෘශ්‍ය මාධ්‍යයෙන් රූපවාහිනියට ඉදිරිපත් කරන ආකාරයෙන්ම, ඊට සමගාමීව එය ගුවන් විදුලියෙන් ද රසවිඳින්නට හැකිවීමයි. රූපවාහිනියේ විකාශය නිම වූ සැණින් එය ලක්හඬ ගුවන් විදුලියෙන් ගුවන් විදුලි නාට්‍යයේ ලෙසින් රසවිඳිය හැකිය. හදිසියේ හෝ කෙනෙකුට රූපවාහිනිය මඟ හැරුණොත්, ගුවන් විදුලියෙන් අසා තම චිත්ත රූප මැද මාණික්කාවත’ ස්වයංව රස විඳිය හැකියි.

සරලව මේ කාර්ය මෙසේ සටහන් කළ ද මේ පිටුපස වන්නේ මහා ව්‍යායාමයකි. සුදත් රෝහණයන් රූපවාහිනියට රචනා කරන පිටපතෙහි රුව ගුණ තේජස ආරක්ෂාවන අයුරින්ම ගුවන් විදුලියට එය රචනා කිරීම ලේසි පහසු කටයුත්තත් නොවේ. අනිත් අතින් මෙයට පාදක වූ සම්මානලාභී සාහිත්‍යධර මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ ‘මාණික්කාවත’ කෘතියෙහි අන්තර්ගතයට ද එයින් හානියක් නොවිය යුතුය.

මෙම සියලු අභියෝගයන් බාරගෙන මාණික්කාවත ගුවන් විදුලියට රචනා කිරීමේ බාරදුර වගකීම බාරගත්තේ ලක්හඬ ගුවන් විදුලියේ සහකාර කළමනාකාරිනි මයුරි ලියනගේය. මයුරි කෙතරම් අපූරුවට එය රචනා කරන්නේ ද යන්නට හොඳම උදාහරණය පසුගිය දිනවල විකාශය වූ කෙටි හාමි ගේ මරණය ඈ රචනා කළ අන්දමින්ම පෙනේ.

‘දිවිය ලෝකෙ ඉඳලා මෙලොවට ඇවිදිල්ලා

සිය පිරිවර හා සිටියා තපසට නොගිහිල්ලා

ලොවක් බිහිකළා නිහඬව ගත සිත දෙක හොල්ලා

මහා මිනිස් නිධානයට සාදු කියාපල්ලා

තිලකරත්න සිය සිඟිති දෙඅත්වලින් වැරෙන් කෙටිහාමිගේ උරහිස සෙලවුවද... කෙටි හාමිගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබේ.

තිලකරත්න යළිත් වරක් වැරෙන් කෙටි හාමිගේ උරහිස සොලවත්ම, ඔහු මහ ගසක් හෙණ හඬ නංවමින් බිමට පතිත වූවාක් මෙන් මහ පොළොවට ඇද වැටෙයි.

මහා මනුෂ්‍යත්වයක් හිමි මහ පොළොවේ පොළොව ධාතුවට සදා ගෞරව කළ යුගයක් බිහිකළ උත්තම මිනිසකු එලෙස සිය යුග මෙහෙවර නිමකොට මහපොළොවට සමු දී සිටී. කෙටි හාමිගේ අභාවය දරාගත නොහැකි අවංකම හදවත මෙලොව හිමි වන්නේ ගුණාදරිට හා තිලකරත්නට පමණි.

එහෙත් සිය මවගේ මළගමට පවා නොබැඳුණු දාවිත්ගේ නෙතෙහි ද කඳුළක් දිලිසෙනු පෙනෙයි. රොසලින් සිරි නයන, නන්දෝරිස්, මධුහාමි සෙනෙහෙලතා මැංචි, ඇල්පේනිස්, ඇලඩින් සිංඤෝ වැනි පවුලේ සාමාජිකයන්ට අමතරව ගමේ සියලුම උදවිය කෙටිහාමි නම් සීයා ගම්දොර බිහිකළ මහා මිනිසාට අවසාන ගෞරවය දැක්වීමට එක්ව සිටිති.

ඔහු බිහිකළ දරු පරපුරද, ඔහු බිහිකළ ගම්දොරද, ඒ සියල්ලටම වඩා ඔහු විසින් බිහිකළ මහා මනුෂ්‍යත්වය ද එතැන සිට රැගෙන යන්නේ කවුරුන්දැයි කිසිවකු නොදනිති. පරිසරය පවා නිශ්චලව ගල් ගැසී බලා හිඳින්නේ එබැවිනි.

මේ කෙටිහාමි ගේ මරණය රැගත් මාණික්කාවත ගුවන් විදුලි නාට්‍යයම මයුරි විසින් ලියන ලද පිටපතේ කොටසකි.

‘ඇත්තටම මේ පිටපත මට ලියන්න කියලා මුලින්ම යෝජනා කළේ ලක්හඬ ගුවන් විදුලියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී කපිල තිලකසිරි යි. ඔහු මා ගැන තැබූ විශ්වාසයට මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන. පිටපත ලියන්න බාරගත්තට මේක මහා කර්තව්‍යයක් කියල පස්සේ මට අවබෝධ වුණා. මුලින්ම නිර්මාණකරණයේ දැවැන්තයකු වන සුදත් රෝහණයන්ගේ පිටපතට මගෙන් හානියක් නොවන්නට වග බලා ගන්න ඕන. අනිත් පැත්තෙන් සාහිත්‍යවේදී මහින්ද ප්‍රසාද් මස් ඉඹුලගේ පොතට අසාධාරණයක් නොවන්නත් ඕන. මේ සියල්ල මැද්දෙ මම පිටපත ලියන්න සුදත් රෝහණයන්ගේ රූපවාහිනි පිටපතක් අධ්‍යයනය කළා. මහින්දගෙනුත් මට ඒ වෙනුවෙන් උදව් ලැබුණා.

රූපවාහිනී තිර පිටපතේ හැටියට සමහර දර්ශන තිබෙනවා. දෙබස් ඇත්තෙම නැති. මේ වගේ දෙයක් ගුවන් විදුලියට ගෙන එත්දි ඒ කාලය වෙනුවෙන් අලුත්ම ගුවන් විදුලි පිටපතත් ලියන්න ඕන. මම ලියන පිටපතට හඬ කවන්න ස්වාධීන රූපවාහිනියේ හඬ කැවීම් අංශයේ ප්‍රධානී ප්‍රාන් වාකිෂ්ඨ කියන විශිෂ්ට හඬ කැවීම් ශිල්පියාව අපි යොදා ගත්තා.’

රූපවාහිනි මාධ්‍යය පැමිණිමත් සමඟ ගුවන්විදුලි නාට්‍ය ශ්‍රවණය කරන්නන් පහළට බැස්ස ද තවමත් ඊට කැමති, එයට ඇබ්බැහි වූ පිරිසක් සිටින බවයි. මයුරි කිව්වේ. විශේෂයෙන්ම මේ නාට්‍යයේ එක් ප්‍රධාන චරිතයක් වන ‘ගුණාදරී’ ගේ චරිතය දෘශ්‍යාබාධිත නිසා මාණික්කාවත ගුවන් විදුලි නාට්‍යය දෘශ්‍යාබාධිතයින්ද ඉලක්ක කොට ගන්නට හේතුවක් වෙන්නැති. මේ වැඩසටහන ‘කනෙන් බලන ටෙලි සිත්තම‘ නමින් නම් කරන්න ඇත්තෙත් ඒ නිසාම වෙන්නැති. ස්වාධීන රූපවාහිනියේ මීට ප්‍රථමත් මෙවැනි අත්හදා බැලීමක් කර තිබෙනවා. එහෙත් එය ස්වාධීන රූපවාහිනියේ නිෂ්පාදනයක් නොවෙයි.

‘අපි මීට කලින් මේ වගේම ‘පබා’ නාට්‍යය විකාශය වෙත්දි ඊට සමගාමීව ‘පබා’ ගුවන් විදුලි නාට්‍යය විකාශය කළා. නමුත් ඒ ටෙලිනාට්‍යය වෙනම ශානරයක එකක්. අනිත් එක ඒ ගුවන් විදුලි නාට්‍යය ලක්හඬ කරපු එකක් නොවෙයි. එළියෙන් කරල ගෙනත් දීපු එකක්. මාණික්කාවත කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් එකක්. දෙබස් හරිම අඩුයි. සම්මානලාභී ග්‍රන්ථයක් ඇසුරින් ක්ෂේත්‍රයේ අත්දැකීම් සපිරි විශිෂ්ටයකුගේ අධ්‍යක්ෂණයක් මේ සියලු කාරණාත් එක්ක මේ නාට්‍යය විකාශය කිරීමත් එක්ක ලක්හඬ තුළ ලොකු පිබිදීමක් ඇතිවුණා. රූපවාහිනියේ ටෙලි නාට්‍යය 9.30ට ඉවරවෙනකොට ලක්හඬේ 9.30ට ගුවන් විදුලි නාට්‍යය පටන් ගන්න විදියට තමයි අපි මේක සැලසුම් කළේ.

මයුරි ගුවන් විදුලි පිටපත රචනා කළාට මේ නිෂ්පාදනයට ලක්හඬ තරුණ පරම්පරාව නියෝජනය කරමින් ඉඳුනිල් අතපත්තු සහ සජීව සම්පත් කොඩිතුවක්කු එකතු වුණා. හඬ මුසුව ස්වාධීන රූපවාහිනීය හඬ කැවීම් අංශයේ ප්‍රධානී ප්‍රාන් වාකිෂ්ඨගේ. ලක්හඬ වෙනුවෙන් මාණික්කාවත නිෂ්පාදනය ඉඳුනිල් අතපත්තු ගෙනි. සංස්කරණය සජීව සම්පත් කොඩිතුවක්කුය.

‘මුලින්ම මේ පිටපත ලියලා මම සුදත් රෝහණයන්ට පෙන්නුවා. ඇත්තටම මගේ හිතේ සැකයක් තිබුණා යම් යම් තැන් වෙනස් කරන්න කියයි කියලා. නමුත් ඔහු ඒක බලල කිව්වේ මේ මාධ්‍යය ගැන දන්නේ ඕගොල්ලෝ. ඒ නිසා හොඳ විදියට කරගෙන යන්න කියලයි. ඒ වගේ විශ්වසනීයත්වයක් ඔහුටත් අප කෙරේ තිබුණා. එක්තරා විදියකින් මේ නිෂ්පාදනය ප්‍රවීණ සහ නවීන තරුණ පරම්පරාවේ එකමුතුවක්. මේ සඳහා ඩිජිටල් සමාජ මාධ්‍ය ජාලා ප්‍රචාරණය ලබල දුන්නේ විදුරංග ගුණසේකර විසින්. ඩිජිටල් පරම්පරාවේ තරුණයන්ට සහ අපේ පරම්පරා ප්‍රවීණයන්ට එකට එකතු වෙලා අපේ අතීත පරම්පරාව නිරූපණය වෙන මේ වගේ නිර්මාණයක් කරන්න පුළුවන් කියල කියන්නේ රේඩියෝ මාධ්‍ය තුළ වෙනස්ම මානයක් විදියට මම දකිනවා. ඉදිරියේදී අපේ බලාපොරාත්තුවක් තිබෙනවා මේ නාට්‍යය දෘශ්‍යාබාධිතයන්ගේ පුස්තකාල සඳහා පරිත්‍යාග කරන්න.

කනෙන් බලන ටෙලි සිත්තම තව නොබෝ දිනකින්ම අවසන් වෙනවා. එහෙත් ලක්හඬ කරපු මේ අත්හදා බැලීම කවදාවත් අවසන් විය යුතු නෑ. ශ්‍රව්‍ය - දෘශ්‍ය මාධ්‍යයෙන් තිබියදී ශ්‍රව්‍ය මාධ්‍යයන් පමණක් ජනතා ආකර්ෂණය දිනා ගැනීම එක්තරා අන්දමක අභියෝගයක්. ඒ අභියෝගය ජයගන්නට කැපවුණු මාණික්කාවත කණ්ඩායමට ගෞරවය පුදකළ යුත්තේ මතු මතුත් මේ වැනි වූ නව්‍ය අත්දැකීම් ගුවන් විදුලි මාධ්‍යයට ගෙන ඒම ඔවුන් අතින් සිදුවිය යුතු බව සටහන් කරමින්.

 

 

[email protected]