ජනතාවගෙන් උගත් දේ මා ඔවුන්ටම ආපසු දෙනවා

ස්වාධීන රූපවාහිනී සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන
සැප්තැම්බර් 22, 2022

රාජ්‍ය ආයතන රැසක විවිධ උසස් තනතුරු දරමින් සේවය කළ ඔහු නමින් සුදර්ශන ගුණවර්ධන. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ අභිනව සභාපති වූ ඔහු නීතිඥයකු වගේම සමාජ ක්‍රියාකාරිකයෙක්. සරසවිය ඔහු සමඟ කළ සාකච්ඡාවයි මේ.

 

ස්වාධීන රූපවාහිනී නාලිකාවේ යම් යම් වෙනස් කිරීම් කරන්න ඔබ යුහුසුලු වන හැඩයි?

අතිගරු ජනාධිපතිතුමා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් පත් කළා. එයින් පසුව කළ පළමු පත්කිරීම්වලින් එකක් මගේ පත්වීම. ජනාධිපතිතුමා මේ තනතුර මා හට ලබා දෙන්නේ යම් කිසි විශ්වාසයක් ඇතුව. ඔහු බලාපොරොත්තුවනවා භාණ්ඩාගාරයට අයිති මේ නාලිකාව මීට වඩා ජනතාව අතරේ ප්‍රචලිත කිරීමට සහ මෙය ව්‍යාපාරක් විදිහට රජයට බරක් නොවන ආකාරයට පවත්වාගෙන යාමට. මට තිබෙන ලොකුම අභියෝගය සහ වගකීම නම් මෙම නාලිකාව මහජනයා අතරේ විශ්වසනීය වූත් පිළිගත හැකි වූත් මාධ්‍ය ආයතනයක් ලෙස ඉදිරියට ගෙනයාම වගේම රජයේ ආයතන පාඩු නොලබන ආකාරයට පවත්වාගෙන යා යුතුය යන රජයේ ප්‍රතිපත්තියට අනූව භාණ්ඩාගාරයට බරක් නොවී පවත්වාගෙන යාම. එයට ආයතනය යම් ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්න අවශ්‍යයයි. අනෙක් අතට අද රටේ ඇති වී තිබෙන තත්ත්වය හමුවේ අලුතින් කතා කරන නමුත් මාධ්‍ය ආයතන කතා නොකරන මාතෘකා කිහිපයක් කරළියට ඇවිත් තිබෙනවා. එය කතා කිරීමට ආරම්භ කිරීමත් සමඟ ඉතා වේගයෙන් සහ කඩිනමින් යම් යම් වෙනස්කම් කරන්න බලාපොරොත්තුවනවා.

 

මොනවද ඔබ ඔය කියන මාතෘකා?

අපේ රට අවුරුදු ගණනාවක සිටම සුබසාධනය මත පදනම්ව ගමන් කරන්නේ. රජය විසින් සෑම ක්ෂේත්‍රයකම සුබසාධනය ජනතාවට ලබා දුන්නා. මුල් කාලයේදී එවැනි දෑ කිරීම වරදක් නොවුණත් කාලයකදි ඔවුන් යැපුම් මට්ටමින් එහාට යා යුතුයිනේ. ඒ කාරණය කාලයක් තිස්සේම වුණේ නෑ. දැන් ඒක කරන්න වෙලා තිබෙනවා. අපිට දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ යම් යම් එකඟතාවයන්ට ඇවිත් ඒ ඔස්සේයි ඉස්සරහට මේ ගමන යන්න වෙන්නේ. ඒ අනුව රජයට බරක්වෙනවා වෙනුවට ව්‍යවසායකත්වය දියුණු කරලා සමාජයේ දැනට සාකච්ඡාවට බඳුන් නොවූ විවිධ ක්ෂේත්‍ර, විශේෂයෙන්ම අපනයනය මූලීක කරගත් ක්ෂේත්‍ර ව්‍යවසායකයින්, කාන්තාවන්, දරුවන් පිළිබඳ වැඩිපුර කතා කරන සහ ඔවුන් ඉලක්ක කරගත් වැඩසටහන් නිර්මාණය කරන වෙනසක් මේ මාධ්‍ය නාලිකා හරහා සිදු කළ යුතුයි.

 

බොහෝ වෙලාවට අපිට අහන්න ලැබෙන දෙයක් තමයි රාජ්‍ය ආයතනවල සිටින්නේ යල්පැනගිය, වැඩි ප්‍රතිශතයක් වැඩ නොකරන පිරිසක් කියලා. ඔබ සඳහන් කළ ප්‍රතිව්‍යුහගත කිරීම් කරන්න, ඔය කියන කාරණා යථාර්ථයක් කරන්න හැකිවෙයිද එවැනි පිරිසක් එක්ක?

මගේ විශ්වාසය නම් සෑම මනුස්සයෙක් තුළම යම් කිසි විභවයක් තිබෙනවා. ඒ විභවය හරියාකාරව යොදාගෙන නොමැති කමේ ගැටළුව නිසයි එවැනි චෝදනා එල්ල වෙන්නේ. නිසි නායකත්වයක් තිබෙනවා නම් නායකයා කළ යුත්‍තේ තමන්ට ලැබුණු කණ්ඩායම තුළ ඇති විභවය අවදි කර ඔවුන් නව මාවතකට යොමු කිරීම. මටත් මේ කටයුත්ත කරන්න වෙන්නේ එහෙම. මම කිසිවෙක් අලුතින් අරගෙනවිත් නැහැ. පොදුවේ මේ ඔබ කියූ චෝදනාවට ලක්වන පිරිස එක්කයි මේ කටයුතු කරන්න වෙන්නේ. ඔවුන්ට නිසි මඟ පෙන්වීම හා ධෛර්ය දුන්නොත් ඔවුන්ගෙන් වැඩක් ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා.

 

අපි කියන්නේ අයි ටී එන් නම් ඇන්ටනාව නැතිවත් බලන්න පුළුවන් කියලනේ. ලංකාවේ සිව්කොන සිසාරා මේ නාලිකාව පෙනුණත් එයින් නිසි ඵල ප්‍රයෝජන ගෙන නැති හැඩයි. මේ ගැන ඔබේ අදහස?

ජංගම දුරකථනය හා බැඳුණු සමාජ මාධ්‍ය සඳහා යොමුවීම අද වැඩි වශයෙන් සිදුවනවා. නමුත් රූපවාහිනී මාධ්‍ය වැටිලා නෑ. එයත් ස්ථාවරත්වයේ පවතිනවා. තාක්ෂණය නිසා නඟරයේ ඇති දේ ගමටත් ගමන් කරනවා. ජනගහනය ගෙන බැලුවත් වියපත් පිරිස වැඩියි. ගම්වල පිරිස වැඩියි. මේ අය තවම ටෙලිවිෂන් බලනවා. සමාජ මාධ්‍යයේදී මුණ ගැසෙන පිරිස නොවෙයි ගම්වල ඉන්නේ. වැඩසටහන් නිර්මාණය කිරීමේදී ඒ අයටත් සම්බන්ධ විය හැකි වැඩසටහන් නිර්මාණය කළ යුතුයි. තිබෙන වැඩසටහන් නව්‍යකරණය කළ යුතුයි. දැනට සිටින ප්‍රේක්ෂක පිරිස බිඳගන්නේ නැතිව අලුත් පිරිසක් දිනාගන්න ක්‍රියා කළ යුතුයි. ඒ දිනාගැනීමේදී පක්ෂ දේශපාලනයෙන් එහාට ගොස් සර්වපාර්ශ්වික සම්මුතියකින් යුත් වැඩපිළිවෙළක් තුළ ගමන් කළ යුතුයි. එය මහජනයා අතරේ කතිකාවට බඳුන් කළ යුතුයි.

 

අනූ ගණන්වල පෞද්ගලික රූපවාහිනී නාලිකා බිහිවීමත් සමඟ නිර්මාණය වූ ආකෘතියයි සියලු නාලිකා මේ වන විටත් අනුගමනය කරන්නේ. උදෑසන පිරිත්වලින් පටන්ගත්තාම ඒ ආකෘතිය කටපාඩමින් කියන්න පුළුවන්. ජනතාව දැනුම්වත් කිරීම වගේම සබුද්ධික ප්‍රේක්ෂකයෙක් නිර්මාණය කිරීමට නම් යම් ආකෘතිමය වෙනසක් කිරීමට රාජ්‍ය නාලිකාවකට වගකීමක් තිබෙනවා නේද?

රජයට අයිති නාලිකාවක් වුණත් මෙය ව්‍යාපාරයක්. ආදායම ලැබෙන ආකාරයට වැඩ කරන්න ඕන. ඒක අමතක කරලා වැඩ කරන්න ගියොත් රජයට කරන ලොකුම හානිය ඒක. මේ නාලිකාවට රජයෙන් මුදල් නොදෙන බවටත් පැහැදිලිව කියා තිබෙනවා. එක අතකින් මුදල් හොයන්නවෙනවා වගේම අනෙක් අතට කුමන වැඩසටහනක් ඉදිරිපත් කළත් එයය ප්‍රේක්ෂක ආකර්ෂණය ලැබෙන ආකාරයට ඉදිරිපත් කළ යුතුයි.

 

අනෙක් අතට නගරයේ ජීවත්වන පුද්ගලයාට සාපේක්ෂව ග්‍රාමීය පරිසරයේ ජීවත්වන පුද්ගලයාට රසවින්දනය සඳහා වන මෙවලම් අඩුයි. ක්‍රමවේද අඩුයි. ලංකාවේ ග්‍රාමීය පරිසරයේ තවමත් රූපවාහිනියේ අයි ටී එන් පමණක් අහුවෙන පිරිසක් ඉන්නවා. ගම නගරය යා කළ හැකි ගමත් නගරයත් බද්ධ කළ හැකි ආකෘතිමය වෙනසක් කිරීම කාලෝචිතයි නේද?

මම කිසිදු සැලසුමක් මේ පත්වීම අරගෙන එද්දි ගෙනාවේ නැහැ. මම විශ්වාස කරන්නේ නැහැ එළියෙන් සැලසුම් ගෙනැවිත් ආයතන හදන්න පුළුවන් කියලා. මේ ආයතනය වසර ගණනාවක් පරණ ආයතනයක්. ඒ ආයතනය තුළ යම් සම්ප්‍රදායක් ගොඩනැඟිලා තිබෙනවා. මෙහි සිටින අය සමඟ කතා කරමින් වැඩ කරද්දියි අලුත් දේ අහුවෙන්නේ. මම පිළිගන්නේ නෑ සභාපති කෙනෙක් එළියෙන් ආවම ඔහුගේ ඔළුවේ තිබෙන සියල්ල කරන්න ආයතනයකට පුළුවන් කියලා. එහෙම කරන්න අයිතියකුත් නැහැ. මේ ආයතනය මගේ නායකත්වය භාරගෙන තිබෙනවා. මට ගෞරවයක් දීලා තිබෙනවා. ඒ ගෞරවය පෙරළා මා ඔවුන්ටත් ලබා දිමෙනුයි මට මේ ආයතනය හදන්න පුළුවන්වෙන්නේ. මම සදාකාලයටම මෙතැන ඉන්නේ නැහැනේ. ඒ ආයතනවල යමක් කරනවා එය ස්ථාවර වෙන්න ඕන. එහෙම වෙන්න නම් මෙහි සිටින අය යොදාගෙන ඒ කටයුතු කරන්න ඕන.

 

ඔය කියන ආකාරයට සේවක සහභාගීත්වය කොහොමද ලබා ගන්නේ?

ඔබ අහලා ඇති බ්‍රසීලයේ පාවුල් ෆ්‍රේකර් කියලා අධ්‍යාපනඥයෙක් සිටියා ඔහුගේ ග්‍රන්ථය සිංහලට සයිමන් නවගත්තේගම පරිවර්තනය කළා. එහි මෙසේ තිබෙනවා.

ජනතාව වෙත යන්න

ඔවුන්ගෙන් ඉගෙනගන්න

ඔවුන්ගෙන් ඉගෙනගත් දේ පෙරළා ඔවුන්ටම දෙන්න.

අන්තිමේදී ඔවුන් කියයි මේ වැඩේ කළේ අපි කියලා

එයයි නිවැරැදි අධ්‍යාපනය. අයි ටී එන් එක සම්බන්ධව මගේ ස්ථාවරයද එයයි. මම ඇවිත් කළා නොවෙයි ඔවුන් තුළ සැඟව තිබූ විභව ශක්තිය අවදි කරන්න මම උදවු වුණා පමණයි. වෙනස කර තිබෙන්නේ ඔවුන් විසින්මයි.

අපේ වැඩපිළිවෙළක් තිබෙනවා අපි අලුත් වැඩපිළිවෙළක් හදන්න යනවා ජධදබඪදභඥඵ ධ්ථනපධමඥථඥදබ භදඪබ එකක් සෑම දෙපාර්තමේන්තුවකම සෑම අංශයකින්ම එක්කෙනකුට හෝ දෙදෙනකුට පවරනවා මෙම ආයතනයේ වියදම් අඩුකරලා ආදායම වැඩිකරලා ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍යවන වෙනස්කම් ඒ ඒ අංශවලින් කරන්නේ කොහොමද කියලා කතා කරන්න සහ ඒ අයගේ ස්වාධීන වාර්තාවක් ඉදිරිපත් කරන්න. එමඟින් අපිට ක්‍රමානුකූලව වෙනස්කම් කරන්න පුළුවන්. ඒ වෙනස කරලා තිබෙන්නේ ඔවුන් විසින්මයි. සභාපතිවරයා වෙනසක් කළොත් සභාපතිවරයා ගියාම ඒක නැතිවෙනවා. වැදගත් වන්නේ ආයතනය සංවර්ධනය කිරීමයි.

 

අයි. ටී. එන් ජනතාවගේ පළමුවැනි රූපවාහිනී නාලිකාව වගේම රාජ්‍ය නාලිකාවක්. ගුණාත්මකබව හා ප්‍රමිතිය රැකගෙනයි මේ ගමන යා යුත්තේ?

ඔව්. ඕනෑම ආයතනයක් පවත්වාගෙන ‍යන්න නම් එම කාර්ය මණ්ඩලය සංවර්ධනය කිරීම සඳහා වැඩසටහන් තිබෙන්න ඕන. එහෙම නැතිව අපිට බලාපොරොත්තුවෙන්න බෑ ගුණාත්මකබව හෝ ප්‍රමිතිය. තල වපුරලා මුං බලාපොරොත්තු වෙන්න බැහැනේ. මම හිතනවා පහුගිය කාලයේ පාලනය කළ අයගේ ප්‍රශ්නයක් නොව පොදුවේ රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල සංවර්ධනය සිදුවෙලා නොමැති බවක් පෙනෙන්නේ. දෙවැනි කරුණ නම් ලෝකයේ වන වෙනස්වීම් සහ රටේ වන වෙනස්වීම් ආයතනය තුළ සාකච්ජාවට බඳුන් විය යුතුයි. ආයතනය දැනට පවතින තත්ත්වය, මුදල් තත්ත්වය වගේ දේ කතා කළ යුතුයි. ඊළඟ කරුණ නම් විනිවිදභාවයයි. ගන්න තීරණ මොනවද? ඒ තීරණ ගන්නේ ඇයි? එහි බලපෑම මොනවගේද? යන සියලු කාරණා පිළිබඳ කාර්ය මණ්ඩලය දැනුම්වත් විය යුතුයි. වැදගත්ම කාරණය නම් ගුණාත්මකභාවය පවත්වාගෙන යන්න නම්, ඒ වෙනුවෙන් යම් මුදලක් වියදම් කරන්න ඕන. ආදායම අඩු වන විට සේවක මණ්ඩලය විශාල වන විට වැඩි වියදමක් දරන්න වෙන්නේ සේවක මණ්ඩලය නඩත්තු කිරීමට සහ අනෙක් නඩත්‍තු කටයුතුවලට. එවිට වැඩසටහන්වල ගුණාත්මකභාවය වෙනුවෙන් මුදල් වියදම් කිරීමට නොහැකිවනවා. මේ සියලුම කරුණු බලපානවා ගුණාත්මකබව පහළ වැටෙන්න. ප්‍රධාන වශයෙන්ම මිනිසුන්ගේ හිත තුළ විශ්වාසයක් ගොඩනඟන්න ඕන ආයතනය ගොඩ ගන්න පුළුවන් කියලා.

 

තරගකාරී මාධ්‍ය නාලිකා, අන්තර්ජාලය හා බැඳුණු මාධ්‍ය නාලිකා, සමාජ මාධ්‍ය මේ තරගකාරීත්වය එක්ක යන්න නම් අයි. ටී. එන් නාලිකව මොනවද කරන්න ඕන?

තරඟය නරක දෙයක් නොවෙයි. තරගය කියලා අපි අපේ අනන්‍යතාව නැති කරගන්න අවශ්‍යත් නැහැ. කෙනෙක් අයි. ටී. එන් බලන්නේ යම් ගුණයක් ඇති නිසානේ. අපි වර්ධනය කරන්න ඕන ඒ ගුණය. අඩුපාඩු ඉවත්කරලා හොඳ අරගෙන එන්න ඕන. තරගය එක්කම කටයුතු කළොත් අපේ අනන්‍යතාව නැතිවෙලා විනාශ වෙනවා. තරගයට වඩා මම බලන්නේ දැනට අනෙක් නාලිකා විසින් තරගය නිසා අමතක කර දමා ඇති ක්ෂේත්‍ර වෙත යොමු වෙන්න. අමතක කර දමා ඇති ජනතාව වෙත යොමු වෙන්න. අමතක කර දමා ඇති වැඩසටහන් වෙත යොමු වෙන්න.

 

මොනවද ඔබ හඳුනාගත් එවැනි ක්ෂේත්‍ර සහ එයින් නිර්මාණය කරන්න බලාපොරොත්තු වන වැඩසටහන්?

කුඩා තේවතු සංවර්ධන අධිකාරිය සමඟ අපි කතා කළා තේ දල්ලේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා වන වැඩසටහන් ක්‍රියාත්මක කරන්න. ඒ වගේම අනවසර සංක්‍රමණිකයන් නැවැත්වීම සඳහා වන වැඩපිළිවෙළක් හා ඒ සම්බන්ධ වන කාර්ය සාධන බළකාය සමඟ එකතු වී වැඩසටහන් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. අතීතයෙන් උගත් පාඩම් මත යම් සමඟියක් ගොඩ නැඟීම සඳහා වන වැඩසටහන්, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය අවම කිරීම සඳහා වන වැඩසටහන්, බැංකු ක්ෂේත්‍ර හා ඇඟලුම් ක්ෂේත්‍රය එකතු කර ගනිමින් වෘත්තීමය පුහුණු වැඩසටහන් ආදී වැඩසටහන් ඉදිරියේදී ක්‍රියාවට නංවන්න සැලසුම් සකස් කරමිනුයි ඉන්නේ

 

ඔබ නාලිකාව නව මාධ්‍ය (සමාජ මාධ්‍ය) හා කරන ගනුදෙනුව මොනවගේද?

නව මාධ්‍ය තිබුණත් සාම්ප්‍රදායික මාධ්‍යයේ සන්නාමය වැදගත්වනවා. අපිත් නව මාධ්‍ය සමඟ වැඩකටයුතු කරගෙන යනවා. ඇත්තටම එය මම කළ දෙයක් නොවෙයි. මට කලින් සිටි සභාපතිවරු විශේෂයෙන්ම නිරෝෂන් ප්‍රේමරත්න සභාපතිවරයා ඒ වෙනුවෙන් විශාල වැඩකොටසක් කරලා තිබුණා. එය ඉදිරියට කරගෙන යාමයි මම කරන්නේ. සමබර හා ගුණාත්මකභාවයෙන් යුත් ප්‍රවෘත්ති විකාශයක් ප්‍රේක්ෂකයාට සමීප කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සමඟ විදේශගතව ඉන්න පිරිස අප සමඟ එකතු වේවි. නව මාධ්‍ය සමඟ අපි ගනුදෙනු කළත් සාම්ප්‍රදායික මාධ්‍ය වටා එකතු වී සිටින පිරිස රැකගෙනයි එය කරන්නේ.

 

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය කියන්නේ ස්වාධීන රූපවාහිනී නාලිකාව පමණක් නොවෙයිනේ. ප්‍රයිම් ටීවී ඉංග්‍රීසි නාලිකාව වසන්තම් ටීවී දෙමළ නාලිකාවත් ඇතුළත්. මේ නාලිකාවල කටයුතු කොහොමද සිදු කෙරෙන්නේ?

ඇත්ත වශයෙන්ම ලංකාවේ දෙමළ ජනයාට ආමන්ත්‍රණය කරන්න දෙමළ රූපවාහිනී නාලිකා කිහිපයයි තිබෙන්නේ. වසන්තම් නාලිකාව වෙනුවෙන් නව අර්ථකථනයක් සමාජගත කරනවා වගේම එය උතුරු නැගෙනහිර ප්‍රේක්ෂකයාට නරඹන්න හා එම ප්‍රදේශවල සිටින ප්‍රාදේශීය වාර්තාකරුවන්ගෙන් වැඩි වශයෙන් ප්‍රවෘත්ති ලබා ගන්නත් කටයුතු කරනවා. අලුත් අන්තර්ගතයක් විශේෂයෙන්ම දෙමළ මාධ්‍යයෙන් කළ නිර්මාණ ප්‍රේක්ෂකයාට ගෙන එන්නට වැඩපිළිවෙළක් සකස් කරමිනුයි ඉන්නේ. මේ වෙලාවේ වියදම් කරන්න මුදල් නැහැ ආයතනයට. අලුත් තාක්ෂණය ලබා ගන්න ක්‍රමයක් නැහැ. තිබෙන තාක්ෂණය දියුණු කරන ගමන් අන්තර්ගතයත් දියුණු කිරීමට හා ඒ හරහා ආකර්ෂණයක් ගැනීමටයි බලාපොරොත්තුව.

 

අපි දන්නවා විවිධ සභාපතිවරු ඒ ඒ අයගේ අත්දැකීම් හා ඒ ඒ අයගේ දැනුම් පරිමාව මත යම් යම් වෙනස්කම් කරමින් විවිධ පැතිවලින් ඉදිරියෙන් සිටියා. ඔබතුමාගේ අවධානය වැඩි වශයෙන් යොමු වෙලා තිබෙන්නේ?

මම ආයතනයට ආ වෙලාවේ මගෙන් ඔය ප්‍රශ්නයම ඇහුවා. ' සර්ගේ සැලසුම මොකද්ද කියලා. මම කිවුවා මට සැලසුමක් නැහැ ඔයාලා එකතුවෙලා එකක් හදන්න' කියලා. එක එක සභාපතිවරුන්ට එක එක සන්නාම තිබෙනවා. සමහරු සම්භාව්‍ය නාලිකාවක් කරනවා. සමහරු තරුණ පිරිස ඉලක්ක කරගෙන නාලිකාව මෙහෙයවනවා. මම නාට්‍යකරුවෙක් නොවෙයි. මම මාධ්‍යකරුවෙකුත් නොවෙයි. මම ව්‍යාපාරිකයෙකුත් නොවෙයි. මම නීතීඥයෙක්. මම සමාජ ක්‍රියාකාරිකයෙක්. නීතීඥයෙක් වශයෙන් මම මේ සෑම ක්ෂේත්‍රයකම අධ්‍යයනයක් කරලා තිබෙනවා. මේ අවස්ථාවේ දී ජනාධිපතිතුමා වගේම මමත් මේ අර්බුදය එක්කයි මේ ආයතනයට ආවේ. නැත්නම් මට මෙතැනට එන්න හේතුවක් නැහැනේ මේ කාලයේදී. මගේ වගකීම මේ අර්බුදයෙන් ආයතනය එළියට ගැනීම වගේම රටත් අර්බුදයෙන් එළියට ගැනීම සඳහා වන වැඩපිළිවෙළට සහාය දීමයි.

 

 

සේයාරූ - තිලක් පෙරේරා