යුද්ධයෙන් බැට කාලා දිරියෙන් නැඟී සිටියා

ජාතික රූපවාහිනියේ වැඩසටහන් නිෂ්පාදිකා මාලතී වීරසිංහ
සැප්තැම්බර් 8, 2022

තිස් වසරක යුද සාපයේ ගොදුරක් වූ ඇය යුද ගිනි දැල් මැද කොතෙකුත් අසරණ වුවද කුඩා අවධියේ පටන් සිතට ධෛර්යය වැඩුවේ කිසියම් හෝ දවසක මෙරට අසරණ ජනයාගේ ප්‍රඥාාවට අස්වැසිල්ලක් එක් කරලන්නටය. ජන මනස පුබුදාලමින් ජන සමාජයේ පෙරගමන්කාරියක වීමේ සිහිනය හඹා යමින් කිසියම් හෝ දිනෙක නීතිඥවරියක ජනමාධ්‍ය වේදිනියක වීමේ අභිලාශයෙන් අති දුෂ්කර ගමනක නියැලි ඇය අද සිය අධිෂ්ඨානයේ මල්ඵල නෙළාගෙන ජනමනස පුබුදාලන මහමෙහෙවරක කොටස්කාරියක වී සිටී. මෙරට අනාගත දරු පරපුරේ සුවිහරණය උදෙසා සිය මාධ්‍ය මෙහෙවර ඉටු කරනුයේ ඈ කුඩා කළ ජීවිතයේ ලැබූ කටුක අත්දැකීම් පසෙකලාය. දෙස් විදෙස් ඇගයුම් පැසසුම් ලැබ සම්මානනීය ඇගයුම් දෝත දරා ඈ සිය මාධ්‍ය මෙහෙවරේ නියළෙන්නේ තිරය ඉදිරියේ මෙන්ම තිරය පිටුපසද සුවිශාල මෙහෙවරක් කරමිනි. නිවේදිකාවක්, හඬ කැවීම් ශිල්පිනියක් ලෙසින් මාධ්‍ය කලාවට අත්පොත තබන ඇය අද වන විට රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදිකාවක් සේම ජනප්‍රිය නිවේදිකාවක් ද වේ. ජාතික රූපවාහිනී නාළිකාවේ ජනපි‍්‍රය ළමා වැඩසටහන් නිෂ්පාදිකාවක වූ ඇය නමින් මාලතී වීරසිංහය. ජාතික රූපවාහිනිය හා අත්වැල් බැඳ සිටින රටේ දහසකුත් ප්‍රේක්ෂක දරුවන් අතර ඇය මාලතී නැන්දාය. දහසකුත් දරුවන්ගේ අනාගත සුබ සිද්ධිය තකා ඔවුන්ගේ සහජ කුසලතාවයන්ට තම ළමා වැඩසටහන් හරහා ඉඩහසර විවර කරදෙනුයේ දෙවරක් නොසිතාය. ඈ අතින් නිර්මිත දහසකුත් වැඩසටහන් ඔස්සේ අත්වැල් සැපයූ දරු දැරියෝ අද වන විට රටේ විවිධ ක්ෂේත්‍රවල නම් දැරූවන් බවට පත්ව සිටීම පිළිබඳ මාලතී ලබන්නේ අප්‍රමාණ සතුටකි. ජාතික රූපවාහිනිය සිය මාධ්‍ය මෙහෙවරෙහි තිඹිරිගෙය කොට සලකන මාලතී වසර දහනවයක් පුරා රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදිකාවක්, නිවේදිකාවක් ලෙසින් පැමිණි ගමන් මඟේ සොඳුරු මෙන්ම කටුක අත්දැකීම් සිහිගන්වමින් අපත් සමඟ කතාබහට ප්‍රවිෂ්ට වෙමින්.

මාධ්‍ය ක්ෂේත්‍රයට ඔබ ප්‍රවිෂ්ටයක් ලබා ගන්නේ කොයි ආකාරයෙන් ද?

මීට අවුරුදු 19කට කලින් 2003 වසරේ පුහුණු වන නිෂ්පාදන සහකාරියක් ලෙස තමයි මුලින්ම මම ජාතික රූපවාහිනියට සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ පුහුණුවීම් කොටස අවසන් වීමත් සමඟ මගේ දක්ෂතා හේතුකොටගෙන පරිපාලනය විසින් මාව තවදුරටත් ආයතනය තුළ රැඳී සිටීමට අවකාශ ලබා දෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අවසානයේ ජාතික රූපවාහිනියේ ස්ථිර සේවයට මා එක් වෙන්නේ.

රූපවාහිනී සංස්ථාවට පුුහුණු නිෂ්පාදකවරුන් බඳවා ගන්නවා කියල අයදුම්පත් කැඳවීමක් පුවත්පත්වල පළ වී තිබුණා. ඒ අනුව මමත් මගේ යහළුවන් කීප දෙනෙකුත් ඒ සඳහා අයදුම් කළා. ඒ ආකාරයට පුහුණුව සඳහා පැමිණි මම අවසානයේ නිෂ්පාදන සහකාරියක් ලෙස ස්ථිර සේවයේ කොටස්කාරියක් බවට පත්වුණා.

 

අයදුම්පතක් දමා රූපවාහිනියට එක්වන්නටත් පෙර ඔබ ජාතික රූපවාහිනියේ වැඩසටහන් අතර සිටි සාමාජිකාවක්?

මම පාසල් ශිෂ්‍යාවක්ව සිටිත්දීත් ජාතික රූපවාහිනියේ නිදහස් ශිල්පිනියක ලෙස නිවේදිකාවක්, හඬ කැවීම් ශිල්පිනියක් ලෙස කටයුතු කළා.

ඔබ එක් සීමාවකට කොටු වූ වැඩසටහන් නිෂ්පාදිකාවක් ද?

කොහොත්ම නෑ. මම විවිධ වැඩසටහන් නිෂ්පාදනය කරල තියෙනවා. විශාල වැඩසටහන් ප්‍රමාණයකට සහාය නිෂ්පාදිකාවක් ලෙස දායක වෙලා තියෙනවා.

 

වැඩසටහන් නිෂ්පාදකවරියක් ලෙස ඔබ දේශීය මෙන්ම විදේශීය ඇගැයුම් ලැබූ තැනැත්තියක්?

මා අතින් නිෂ්පාදනය වූ වැඩසටහන් දහ අටක් මේ වන විට සම්මාන උලෙළවලදී නිර්දේශ නාමාවලියට ඇතුළත් වෙලා තියෙනවා. එයින් හතරක් සඳහා මට සම්මානත් ලැබිලා තියෙනවා. 2015 වසරේ මම නිෂ්පාදනය කළ මේං අපේ ඉස්කෝලේ වැඩසටහන වෙනුවෙන් රාජ්‍ය රූපවාහිනී සම්මානය ලැබුණා. 2019 වසරේ මම නිෂ්පාදනය කළ ‘සෙල්ෆි’ වැඩසටහනට හොඳම අධ්‍යාපන වැඩසටහන සඳහා රයිගම් සම්මානය හිමි වුණා. 2020 වසරේ මම නිෂ්පාදනය කළ ‘කුරුල්ලන්ට ගී’ වැඩසටහනට හොඳම ළමා වැඩසටහන වෙනුවෙන් සුමතී සම්මානය හිමි වුණා.

 

අන්තර්ජාතික වශයෙනුත් ඔබ ඇගැයීමට ලක් වෙනවා?

ලෝකයේ ළමයින්ගේ නිර්මාණ අගයන සම්මාන උලෙළක් වන ඉන්ටනැෂනල් ෆී ජුනිස් සම්මාන උලෙළේ දී මම නිෂ්පාදනය කළ “මේං අපේ ඉස්කෝලේ” වැඩසටහනට 2019 වසරේත් සෙල්ෆි වැඩසටහනට 2020 වසරේත් ඇගැයීමේ සහතික ලැබෙනවා. වසර දෙකකදී අන්තර්ජාතික වශයෙන් ඇගයීමට ලක්වීමත් සුවිශේෂයි.

 

ඔබ කළ වැඩසටහන් අතර සුවිශේෂී නිර්මාණත් ඇති?

මම කළ හැම වැඩසටහනක්ම මම බොහොම කැපවීමෙන් කළ නිර්මාණ. කොයි දේ වුණත් වෙන්කොට තකන්න බෑ. මම අවස්ථා තුනකදීම සම්මානයට පාත්‍ර වූ මේං අපේ ඉස්කෝලේ වැඩසටහන තුළින් මට සුවිශේෂී දෙයක් කරන්න පුළුවන් වුණා කියන ආත්ම තෘප්තිය මට තියෙනවා. දුෂ්කර පාසල්වල දක්ෂ දරුවන්ගේ හැකියාවට අත්වැලක් එකතු කරලන්නට මට පුළුවන් වුණා නේද කියන තෘප්තිමත් සිතුවිල්ල මා ළඟ තියෙනවා. සමහර අවස්ථා තිබුණා, මම මේ වැඩසටහන කළාට පස්සේ තමයි ඒ පාසල්වල දරුවෝ තමන්ගේ ටැලන්ට් එක මොකක්ද කියලා දැනගත්තේ. සමහර පාසල්වල මම කරපු ඒ පාසල් ගැන කියවෙන වැඩසටහන අදත් නැවත නැවත ඒ පාසල්වල දරුවන්ට නරඹන්න අවකාශ සලසල තියෙනවා. මට මතකයි එක්තරා නුවර පැත්තක පාසලක දහය වසරේ දරුවෙක් කළ මූර්තියක් රුපියල් ලක්ෂ දෙකකට අලෙවි වීමක් සිද්ධ වුණා මගේ වැඩසටහන් විිකාශයත් සමඟ.

 

ඔබ වැඩසටහන් නිෂ්පාදකවරියක් වීම තුළ නිවේදන කටයුතු, හඬකැවීම්, වැනි දෑ ඔබෙන් ඈත් වෙනවා නේද?

අපි ආයතනය තුළ වැඩ කිරීම තුළ ඇතිවන කාර්ය බහුලතාවය නිසා අපට නවතම හැකියාවන් තිබුණත් ඒවාට යොමු වීමේ අවකාශය සීමා වෙනවා. නිෂ්පාදකවරියකගේ වගකීම මට ලැබුණම ඊට බාහිර වැඩසටහන් කරන්න නොලැබුණාම නොවෙයි. අවස්ථාව ලැබුණා. ස්ථිර සේවයට එන්න කලින් ලැබුණ ප්‍රමාණයට සාපේක්ෂව නම් අඩුයි.

 

මාලතී හඬ කැවීම් ශිල්පිනියක්?

මම අතුල රන්සිරිලාල් මහත්තයා යටතේ තමයි හඬකැවීම පුහුණු වුණේ. එතුමා තමයි හඬ කැවීම් අංශයේ අද ලංකාවේ ඉන්න දැවැන්තම චරිතය. මම පාසල් සිසුවියක්ව ඉන්න කොට එතුමා තමයි මාව ඒ සඳහා ගත්තේ ඒ තුළින් මට හොඳ ආර්ථිකයක් හදාගන්නත් හැකියාව ලැබුණා. හඬ කැවීම් ශිල්පිනියක් ලෙස මම රූපවාහිනියට පා තබන්නේ වයස අවුරුදු පහළොවක පාසල් දැරිවියක් ලෙසින්.

 

පාසල් ශිෂ්‍යාවක් වූ ඔබව කවුද රූපවාහිනියට කැන්දගෙන එන්නේ?

ඒක දිග කතාවක්. මගේ අම්මාගේ තාත්තාගේ ගම නුවර වුණත් මගේ තාත්තා රැකියාව කළේ ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ අධිකාරියේ අධ්‍යක්ෂවරයෙක් ලෙසින් පියාට රැකියාවේ මාරු වීම් සමඟ රට වටේ යන්න සිද්ධ වුණා. අපිවත් අරගෙන. ඒ නිසාම මටත් පාසල් පහළොවකම විතර යන්නත් සිද්ධ වුණා. ඔය මාරුවීම් සමඟ ගිය අවස්ථාවක මගේ ගම බවට පත් වුණේ ත්‍රිකුණාමලය. එහෙ ඉන්න කොට එහෙ තිබුණා තුරුණු ශක්ති සෞන්දර්ය චාරිකාව කියලා වැඩසටහනක්. ඒ වැඩසටහනෙන් ජාතික තලය නියෝජනය කළ නිවේදිකාවක් මම. ජාතික තලය නියෝජනය කළාට පස්සේ අපිට ලැබුණා ගුවන් විදුලියට හෝ රූපවාහිනියට සම්බන්ධ වී විවිධ වැඩසටහන් කරන්න අවස්ථාවක්. එහිදී මට ලැබුණේ ජාතික රූපවාහිනියේ හඬ කැවීම් අංශයට සම්බන්ධ වෙන්න. වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස කටයුතු කරන්න වගේ දේවල් තමයි මට එහිදී ලැබුණේ.

 

ඔබේ මුල්ම රූපවාහිනී සජීවී අත්දැකීම කොයි වගේ ද?

මට මතක හැටියට 2000 වසරේ ශානක මාලියද්ද නිෂ්පාදනය කළ ද ලයිව් බෑන් ෂෝ වැඩසටහනේ නිවේදිකාවක් වශයෙන් තමයි මම මුලින්ම සම්බන්ධ වුණේ. ඒ වන විටත් මම තුරුණු ශක්තිවල නිවේදන කටයුතු කරමින් හිටියා. ඊට පස්සේ වැඩසටහන් නිෂ්පාදිකවක වූ තරංගි අතුරලිය මාව නුගසෙවණ වැඩසටහනේ නිවේදිකාවක් හැටියට කටයුතු කරන්න අවකාශ උදා කරල දුන්නා. රූපවාහිනියේ හඬකැවීම් අංශයටත් අධ්‍යාපන අංශයේ වැඩසටහන්වලට මම ඒ වනවිට සම්බන්ධ වෙලා වැඩකරමින් ඉන්නකොට තමයි පුහුණු වැඩසටහන් නිෂ්පාදකවරියන් සඳහා අයදුම්පත් කැඳෙව්වේ.

නිවේිදිකාවක් ලෙසිනුත් ඔබ අද ජනපි‍්‍රය චරිතයක්?

වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙසත් මට යම් යම් වැඩසටහන් සඳහා දායක වෙන්න අවස්ථාව උදාවෙලා තියෙනවා. නැණමිහිර, කුරුල්ලන්ට ගී, සිංදු කෝචිචිය ආදී ළමා වැඩසටහන් සඳහා නිවේදිකාවක් ලෙසින් මේ මෑතකදී දායක වුණා. මට මෙහෙමත් හිතෙනවා, කාලයක් තරුණියක් ලෙසින් වැඩසටහන් ඉදිරිපත් කිරීමක් කළාට වඩා දැන් කාලේ ළමා වැඩසටහන් ඉදිරිපත් කරන කොට දරුවන්ගේ දෙමාපියන් වගේම පුංචි දරුවනුත් දැන් මට කියන්නේ මාලතී නැන්දා කියලා. ඒකට මම හරි ආසයි. අද මට එදා වගේ මුල් කාලයට වඩා වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් ඇති වෙලා තියෙනවා. ශිෂ්‍යත්වය ඉලක්ක කරගත් නැණමිහිර ළමා වැඩසටහන ඉදිරිපත් කිරීම සඳහා මා ගැන විශ්වාසය තබා එයට මාව සම්බන්ධ කර ගැනීම ගැන එහි නිෂ්පාදිකා දේවිකා කුමාරසිංහ මහත්මියට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මේ වැඩසටහන සජීවී වැඩසටහනක් ඒ සඳහා විශාල දරුවෝ පිරිසක් අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා. අපිට ඒ සඳහා ලැබෙන ප්‍රතිචාරත් එමටයි.

 

වැඩසටහන් නිෂ්පාදිකාවක් ලෙස තිරය පිටුපස ඔබේ නිර්මාණයන් මොනවද?

මේං අපේ ඉස්කෝලේ, සෙල්ෆි, කුරුල්ලන්ට ගී, ළමා අධ්‍යාපනික වැඩසටහන්, ළමා පුවත්, ඒ අතරින් විශේෂයි. ප්‍රවෘත්ති අංශයේත් මම වසර ගණනාවක් වැඩ කළා. අධ්‍යාපන අංශයේත් ළමා අංශයේත් ප්‍රවෘත්ති අංශයේත් තමයි මගේ සේවා කාලය විහිදිලා තියෙන්නේ.

 

විහිදී පැතිරුණු ඔබේ වපසරිය තුළ ඔබ අනන්‍යතාවයක් ගොඩනඟාගෙන තියෙන්නේ?

වෘත්තියෙන් මම වැඩසටහන් නිෂ්පාදිකාවක්. කොතරම් අපි ජනපි‍්‍රය වැඩසටහන් කළත් ජනපි‍්‍රය භාවයට පත්වන්නේ තිරය ඉදිරිපස ඉන්න උදවිය. නමුත් මමත් යම් ආකාරයක වැඩසටහන් ඉදිරිපත් කිරීමක් කරන්න ලැබී තිබෙන නිසා මටත් යම් ප්‍රේක්ෂක පිළිගැනීමක් ඇති වෙලා තියෙනවා. නමුත් යම් වැඩසටහනක විශාල කාර්යභාරයක් සිද්ධ කරන්නේ වෘත්තියෙන් මම නිෂ්පාදිකාවක් වුණාට මට තිරය ඉදිරියේ නිවේදිකාවක් වෙන්නත් වරම් ලැබිලා තියෙනවා.

 

තුරුණු ශක්ති ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය කිව්වොත්?

මාධ්‍ය ක්ෂේත්‍රයේ මගේ හැරවුම මුලින්ම සිද්ධ වෙන්නේ තුරුණු ශක්ති හරහා. මගේ පවුලේ කවුරුවත් කලාවට සම්බන්ධ නෑ. මම තුළ යම් කලාවට ඇල්මක් තිබුණ නම් ඒ මට සහජයෙන් ගෙනා උපන් හැකියාවක් මිසක් කාගෙන්වත් ලබාගත් දෙයක් නොවෙයි. මම ත්‍රිකුණාමලයේ ඉන්නකොට ඒ ප්‍රදේශයේ තුරුණු ශක්ති වැඩසටහනක් තිබුණා. මගේ යාළුවෙක් හිටියා පි‍්‍රයංකා කියලා ඇයට හොඳට සින්දු කියන්න පුළුවන්. ඇය තුරුණු ශක්ති තරඟය සඳහා ඉල්ලුම් පතක් දාල ඒ සඳහා කැඳවීම් ලැබිලා තිබුණා. මම ඇගේ තනියට ගියා. ඒ ගියහම මම දැක්කා නිවේදකයෝ වෙන්නත් ඒ අතරේ කොටසක් තරඟ කරනවා. මට නිවේදන කටයුතු කරන්න පුළුවන් කියන දේ මගේ යාළුවෝ දැනගෙන හිටියා. ඒ අය මාව දිරිමත් කළා. මාලතී ඔයත් මේකට යන්න කියලා ඒ වෙනකොට මම මේ තරඟය ගැන දැනගෙන තිබුණෙත් නෑ.යාළුවන්ගේ කීමට මම ගිහින් ඇහුවා සංවිධායකයන්ගෙන් අද මේකට සම්බන්ධ වෙන්න පුළුවන් ද කියලා. එයාල කිව්වා ඉල්ලුම්පතක් දාල නැති නිසා අන්තිම තරඟ කරුවට ඉදිරිපත් වෙන්න කියලා. මම එදා හවස හයවෙනකන් ඉඳලා අන්තිමයට ඉදිරිපත් වුණා. කොහොම හරි ඒ තරගාවලියෙන් වැඩිම ලකුණු අරගෙන පළවෙනියා විධියට මම ඒ තරගයෙන් මුලින්ම තේරුණා. ඒ මුලික වටයෙන් පසු දිස්ත්‍රික් තරගය පැවතියා. එයිනුත් මම පළවෙනියා ඊට පස්සේ පළාත් තරඟය පැවතියා. එකෙනුත් මම පළවෙනියා ඊට පස්සේ මම ජාතික තලයට පැමිණෙනවා ජාතික තලය නියෝජනය කළ හැමෝටම රූපවාහිනියේ ගුවන් විදුලියේ පොඩි පොඩි අවස්ථා ලැබුණා. සමහරු ගුවන් විදුලියට බඳවා ගන්න තව කොටසක් රූපවාහිනියට බඳවා ගත්තා. එහිදී තමයි මටත් යමක් කරන්න පුළුවන් කියන සිතුවිල්ල මගේ සිතට ආවේ. ජාතික රූපවාහිනියේ වගේම වෙනත් පෞද්ගලික රූපවාහිනී නාළිකාවලත් විවිධ වැඩසටහන් සඳහා හඬ කැවීම් ශිල්පිනියක් ලෙස මම කටයුතු කළා. ජාතික තලය ජයග්‍රහණය කිරීමත් සමඟ විවිධ හඬ කැවීම් වැඩසටහන්වල ප්‍රධාන චරිත සඳහා මගේ හඬ ලබා දුන්නා. ජාතික රූපවාහිනියට සම්බන්ධ වෙන්න කලින්.

 

ඔබේ මේ සාර්ථක ගමනේ කටුක අත්දැකීම් එහෙමත් ඇති නේද?

මම අවුරුදු තිහක්ම යුද්දෙන් බැට කෑ ත්‍රිකුණාමලයේ යුද්ධයෙන් ඇතිවෙච්ච ළමයෙක් කිව්වොත් හරි. මේ මාලතී කියන චරිතය ගත්තොත් මගේ ජීවිතේ රටට ලෝකෙට නෑ බෑ කියන හැමකෙනෙකුටම අසීමිත ආදරයක් ආදර්ශයක් ගන්න පුළුවන් චරිතයක්. යුද්ධය 83 ඇතිවෙන කොට මම වයස අවුරුදු දෙකක විතර දැරියක්. යුද්ධයත් එක්ක තමයි මම එළියට එන්නේ. අවුරුදු තිහක්ම මම යුද්ධයත් එක්ක ජීවත් වු කෙනෙක්. අපේ සියලු දේපළ ගිනිබත් වෙලා අහිමි වෙලා ඉස්කෝල අහිමි වෙලා අධ්‍යාපනය නතරවෙලා මම යන්න ඇති ඉස්කෝල පහළවකට විතර, ලියන්න කියන්න පොතක් පෑනක් නෑ. විඳින්න පුළුවන් හැම වේදනාවක්ම අසීමාන්තිකව වින්දා යුද්ධය නිසා. මට තුවාල පවා සිද්ධ වුණා. හැබැයි එහෙම වුණත් මම අද ලංකාවේ මගේ වෘත්තියෙන් මට යන්න පුළුවන් ඉහළම තැනට ගිහින් තියෙනවා. ත්‍රිකුණාමලයේ ඉදල කොළඹ එන්නවත් හැකියාවක් නොතිබුණ මට පිටරටවල ගිහින් ශිෂ්‍යත්ව ලබා මගේ වෘත්තියට දැනුම ලබාගන්න මම වාසනාවන්ත වෙලා තියෙනවා. විශ්වවිද්‍යාලයට ඇතුළත් වී ශාස්ත්‍රීය මට්ටමේ ඉහළ අධ්‍යාපනයක් ලබන්න මම වාසනාවන්ත වෙලා තියෙනවා. කැලණි විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපතී උපාධිධාරිණියක වන්නටත් මම වාසනාවත්ත වුණා.

මගේ පියා මා කුඩා කාලයේදීම මිය යනවා. එතකොට මම පාසල් යන පුංචි දැරියක්. මගේ අක්කා අයියලා දෙන්නත් ඒ වෙනකොට පොඩියි. අම්මා අපි හැමෝම ජීවත් කරන්න නොවිඳිනා දුකක් නෑ. යුද්ධයත් එක්ක. අපි ගෙව්ව ජීව්ිතය හරිම වේදනාකාරී සමාජ පරිසරය කෑම බීම මේ හැමදෙයකින්ම අපි අසරණවෙලා හිටියේ එහෙම වටපිටාවක් තුළ නැගී හිටිය දිරිය ගැහැනියක් තමයි මේ මාලතී.

 

ඔබ මේ දිනවල පොතක් ලියමින් ඉන්නා බවක් දැනගන්න ලැබුණා.

මේ පොත මගේ ජීවිත කතාව කිව්වොත් හරි මගේ ජීවිත කතාව තුළ මට හිතෙනවා යමෙකුට දෙයක් ලබාගන්න පුළුවන් ආදර්ශයක් ගැබ්වෙලා තියෙනවා කියලා. මගේ ජීවිත කතාව අහපු මගේ මිත්‍රයෝ විශ්ව විද්‍යාල ආචාර්යවරු පවා මට කිව්වේ ඔබේ කතාව තවකෙනෙකුට ආදර්ශයක් වෙයි කියලා. අපිට අහිමි දේ නැති දේ මත නැහෙන්නේ ම නැතිව කෙනෙකුට ගමනක් යන්න පුළුවන් කදිම මඟපෙන්වීමක් තමයි මගේ ජීවිතයේ නැගිටීම තුළ තියෙන්නේ. කොතරම් දුක්ඛ ජිවිතයක් මම ගෙව්වත් මගේ පරම අධිෂ්ඨානය වුණේ ඉගෙන ගන්න එක. ඉගෙන ගත්තේ නැත්නම් ගොඩයාමක් නෑ කියලා මම විශ්වාස කළා. සියලු ජයග්‍රහණයන් සිද්ධ වෙන්නේ අධ්‍යාපනය පදනම් කරගෙන කියන දේ මම තරයේ විශ්වාස කළා. ඒ තුළින් මට සමාජය ඉගෙන ගන්න පුළුවන් වුණා.

 

ඔබේ ආගමනයේ ආපුස හැරිල බලනකොට මොකද හිතෙන්නේ?

හුඟදෙනෙකුට තියන ප්‍රශ්නයක් තමයි තමන් ආ මඟ ගැන ආපසු හැරිල බලනකොට හරි දේ කරල හොඳින් ආව ගමනක් නෑ නේද කියල නමුත් මට අතීතයේ අහිමි වු දේ වැඩියි. ඒත් අද මට කිසිවක් අහිමිවෙලා නෑ. මට අද තියෙන්නේ අභිමානය පිරි සතුටක්. මට පටබැදිච්ච නමක් වත් නෑ. අපි කරන දේ හරියට කරල යමක් දිනාගත්ත නම් ඒ තුළ රැදිල තියෙන්නේ අවංක සතුටක්. යුද්ධය නිසා මම අසීමිත වේදනා වින්දා. දුප්පත්කම කියන දෙයින් මාව මිරිකලා පොඩිවෙලා ගියා. ඒත් මම අද දෙපයින් නැගී සිට ඒ අතීතයට හිනාවෙනවා මම අද ලබල තියන ජයග්‍රහණ දෙස බලා.

 

ළමා වැඩසටහන් නිවේදිකාවක් නිෂ්පාදිකාවක් ලෙසින්. මොකද හිතෙන්නේ අද ප්‍රචාරය වන ළමයින් උදෙසා කරන නිර්මාණ ගැන?

සමහර ළමා වැඩසටහන් තියනවා රූපවාහිනීය ඉස්සරහ ළමයා සිටීමත් මහ අපරාධයක් වන. ඒ ළමයින්ගේ ජීවිතය ඒ තුළින්ම විනාශ වෙන කාලය නාස්ති වන. මම කියන්නේ ළමා වැඩසටහනක් නරඹන ළමයෙක් ඒ වැඩසටහන ඉවරවෙන කොට තමන් හිටිය තැනට එහා ගිය දැනුමකින් සන්නද්ධ විය යුතුයි කියලා. සමහර වැඩසටහන් බලපුවහම ළමයින් තුළ විකෘති මානසිකත්වය ඇති වෙනවා. සමහර වැඩසටහන් හේතු වෙනවා ළමයි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙන්න තරම්. මේ ළමයා ඉදිරියේ ගෙවන කාලය ළමයාට වටිනා කාලයක් බවට පත් කරන්න තමයි මම හැම වෙලාවෙම මගේ වැඩසටහන් ඉදිරිපත් කිරීමේදී උත්සාහ ගන්නේ. සමහර වැඩසහටන් තියෙනවා ළමයින් නොබැලිය යුතු වැඩසටහන්. මම හැමවෙලාවෙම උත්සාහ ගන්නේ ලැබිල තියෙන උපරීම වෙලාවෙන් හොඳම දෙයක් කරන්න. හරිම දෙයක් ළමයකුට දෙන්න. බැරි වෙලාවත් මම නම් කවදාවත් නරක දෙයක් නම් ළමයෙකුට දෙන්නෑ. මගේ අත්දැකීම්, දැනුම එකතු කරගෙන මා ඉදිරියේ ළමයෙක් ඉන්නවා නම් එයා නැඟිටලා යනකොට ඒ ළමයා තුළ ඉහළ මානසිකත්වයක් යහ ගුණයක් ඇති කරන්න මම ඒ වෙනුවෙන් ඕනෙම කැපකිරීමක් කරන්නත් ලෑස්තියි.

 

ඔබ රංගන ශිල්පිනියක්?

මම එක්තරා අවස්ථාවක රූපවාහිනියේ තිබූ තරගාවලියක නාට්‍යයක රඟපෑමක් කළා. ඒ සඳහා මට සම්මානයක් පවා හිමිවුණා. හොඳම නිළිය වෙනුවෙන් එහෙම වුණා කියලා රූපවාහිනී නාට්‍ය අංශයෙන්වත් මට කතා කළේ නෑ. රඟපාන්න එන්න කියලා. හැබැයි මට පිටින්නම් ආරාධනා කීපයක් ලැබුණා. ඒත් මට ඒ සඳහා යන්න තරම් අවශ්‍යතාවයක් ඇතිවුණේ නෑ.

 

වසර 19 ක කාල පරිච්ඡේදය තුළ වැඩසටහන් කිරීම තුළ ඔබට අභියෝගයක් වූණේ නැද්ද?

හොඳ වැඩසටහනක් කියන්නේම අභියෝගයක් තමා තාක්ෂණික වගේම මානව කාරණාත් යම් වැඩක් කිරීමේදී අභියෝග තමා නමුත් මම සලකන්නේ මම කරන දේ ප්‍රේක්ෂකයා වැලඳ ගන්නේ කොහොමද ඔහුගේ ජීවිතයට මේක වැදගත් වන්නේ කොහොමද ඔහු සිටිය තැනින් අප කළ දෙයින් යම් ප්‍රමාණයක් ඉහළට ගියා ද කියන දේ තමයි මගේ අභියෝගය. මොනව කළත් නරඹන්නා ඒක ගන්නේ නැත්තම් ඒ කිසිවක් අපට වැදගත් නෑ. අපිව විද්වත් මණ්ඩලයක් යම්විධියකින් අගය කරනවා නම් ඒක අපිට හරි වැදගත් නමුත් මම තෘප්තිමත් ඒ අගය කිරීම ප්‍රේක්ෂාගාරයෙන් එනවා නම් තමයි. සජීවි වැඩසටහනක් තුළ අපිට සෘජු ප්‍රේක්ෂක ප්‍රතිචාර අපේක්ෂා කරන්න පුළුවන්. නමුත් ඒ දේ හැමදේටම අදාළ නෑ. මට කවදාවත් ආයතනයෙන් පාලන අධිකාරියෙන් බලපෑම් ඇවිත් නෑ. වැඩසටහන් කිරීමේදී මගේ කාර්ය මණ්ඩලය නිලධාරීන්ගේ වුණත් උපරීම නිදහසක් ලැබිල තියෙනවා. අවශ්‍ය දේ හරි ආකාරව කරන්න ඇගිලි ගැසීමකින් තොරව.

 

පියාගේ අභාවයත් සමඟ ඔබව මේතැනට ඔසවා තබන්න කැපකිරීම් කරපු තවත් අය ඇති?

මගේ අම්මා හීන් මැණිකේ. ඇය ගෘහණියක්. අද අම්මා ජීවතුන් අතර නෑ. පියාගේ අභාවයත් සමඟ මාත් අක්කත් අයියලා දෙන්නත් සමඟ අම්මා ලොකු සටනක් කරනවා. අපව ජීවත් කරන්න. මගේ පාසලේ ගුරුවරු වුණත් මගේ දක්ෂතා දැකල මගේ හැකියාවන්ට ඉඩ දෙනවා. ත්‍රිකුණාමලයේ ගං තලාව මහා විද්‍යාලයේ ඉන්න කොට තමයි. මට වුණත් නිවේදිකාවක් වීම ගැන ආශාවක් ඇතිවෙන්නේ. ඒ කාලයේ තමයි තුරුණු ශක්ති තරගයට යොමුවෙන්නෙත්. මට අරමුණක් තිබුණා කවදාහරි මාධ්‍යවේදිනියක් හෝ නීතිඥවරියක් වෙන්න. පීඩිත ජනසමාජයේ දුක සමාජගත කරන්න ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්න මට මාධ්‍ය වේදිනියක් වුණොත් හොඳයි කියන සිතුවිල්ලත් මා තුළ තිබුණා. මාව මේ තැනට ගන්න මගේ පොඩි අයියා මලිත් වීරසිංහ මට යෝධ ශක්තියක් වෙනවා. ඒ ශක්තිය මට මිල කරන්න බෑ. මගේ මේ දකින ලෝකය හැදුවේ මගේ පොඩ්ි අයියා තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් වගේ මට හොඳ නරක කියා දෙමින් මගේ ආරක්ෂකයා ලෙසින් මා පසුපස සෙවණැල්ලක් වෙමින් මේ මාලතී කියන වැලට එතිල වැඩෙන්න වනස්පතියෙක් වූණේ මගේ පොඩි අයියා. මගේ ජීවිතේ යමක් දිනාගෙන තියෙනවා නම් ඒ සියලු ජයග්‍රහණයන් පිටිපස්සේ හිටපු සෙවණැලි දෙක මගේ පොඩි අයියාත් මගේ සැමියාත් තමයි.

 

අද ඔබ මාලතී නැන්දා?

මට ඔය නම පටබැඳුණේ කොවිඩ් කාලයේ මම කළ කුරුල්ලන්ට ගී වැඩසටහනත් සමඟ. ඒ කාලේ ගෙවල්වලට කොටු වී සිටි අසීමිත දරු දැරියන්ට එතෙක් වැඩසටහනේ තිබූ රාමුව වෙනස් කරල ඔවුන්ගේ නිර්මාණ හා එක්වුණා. ඒ ලැබුණු අසීමිත ප්‍රතිචාර සමඟ මම මාලතී නැන්දා වුණා. ඊට පස්සේ සිංදු කෝච්චිය වැඩසටහනෙන් දැන් මම කරන නැණමිහිර වැඩසටහනෙත් ළමයි අතර වගේම දෙමාපියන් අතරත් මම මාලතී නැන්දා.

 

ඔබේ පවුලේ තොරතුරු කොහොමද?

මම දරුවන් තිදෙනෙකුගේ මවක් මගේ සැමියා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ නියෝජ්‍ය ලේකම් රසික කරුණාරත්න. මගේ මයු, සුරල්, නිසූ පුතුන් තිදෙනාම කොළඹ ආනන්ද විද්‍යාලයේ පාසල් ශිෂ්‍යයෝ. දැන් මම පදිංචි වෙලා ඉන්නේ නුගේගොඩ.

මම හිතන්නේ අපි වෘත්තිකයෝ හැටියට කළ යුත්තේ සමාජය යම් තැනකට ඔසවා තැබීමත් ඒ දේ පහසුවෙන් කළ හැකි වන්නේත් අපි වැනි පිරිසකට තමයි කියල මම හොඳින් අවබෝධ කරගෙන තියන කාරණයක්. ඒ අරමුණ ඉටු කරගන්න තමයි මට කළ හැකි හොඳම දේ හොඳාකාරයෙන් අදත් ඉටු කරන්නේ.

 

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න