වර්ෂ 2023 ක්වූ December 07 වැනිදා Thursday
මම යන්නේ හරි දේ හරියට කරන ගමනක්

මම විශාල පිරිසකට අතහිත දීලා තියෙනවා
මගේ සෑම වැඩසටහනකම පිටපතත් මගේ
සිය අධ්‍යාපනයේ එක් කඩඉමක් පසුකරලන්නට පුහුණුවක් සඳහා හා හා පුරා කියා ස්වාධීන රූපවාහිනී නාළිකාවට පා තබන ඈ සිය අධ්‍යයනයන් අවසානයේ එහිම සේවයට එක්වනුයේ ඈ තුළ තිබූ සහජ දක්ෂතා හේතුවෙනි. කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන විශේෂවේදී උපාධි අපේක්ෂිකාවක වූ ඈ, සිය අධ්‍යයනයන්ගේ අවසන් අදියරයේ පුහුණුව සඳහා රූපවාහිනී මහගෙදරට ගොඩ වැදී මාස හයක් වූ සිය පුහුණුව අවසන් වීද නික්ම නොයනුයේ, ආයතන බලධරයන්ගේ ආරාධනය පිළිගනිමිනි. පුහුණුව අවසානයේ දෛනික වැටුප් ලබන නිෂ්පාදන සහකාරවරියක් ලෙස රූපවාහිනි මහගෙදර රාජකාරී අරඹන ඈ, පසුකලෙක කොන්ත්‍රාත් පදනම මත වැඩසටහන් නිෂ්පාදන සහකාරවරියක් ලෙසින් කටයුතු කිරීම අරඹා 2001 වසරේ එම ආයතනයේම ස්ථිර සේවයට එක්වනුයේ සහකාර වැඩසටහන් නිෂ්පාදකවරියක් ලෙසිනි. එතැන් පටන් ඈ අද වනතුරුත් වසර 23ක් පුරා සිය රාජකාරිය ඉටුකරනුයේ ප්‍රේක්ෂක හඳබැඳ ගත් වැඩසටහන් රාශියක් සඳහා සිය නිර්මාණ දායකත්වය එක්කරලමිනි.
සම්මානීය ඇගැයුම් පැසසුම් ලබමින් නිර්මාණශිලී වැඩසටහන් පෙළහරක් සමඟින් එදා මෙදා තුර ඔබේත් මගේත් ආලින්දයට ගොඩවදින රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදිකා චන්දිමා ප්‍රේමරත්න සමඟ අපි කතා බස් කරමු.
මේ දවස්වල ඔබේ නිෂ්පාදන දායකත්වය ලැබෙන්නේ මොන වගේ රූපවාහිනී වැඩසටහන් සඳහා ද?
Rhythm of India, Bollywood Evergreen වැනි හින්දි වැඩසටහන් වලට වගේම Art4U කලා සඟරාමය වැඩසටහනක කලාකරුවන්ගේ උපන්දින සුබ පැතුම් විශේෂාංගයන්ට මගේ නිර්මාණශීලී දායකත්වය එක්වෙනවා.
රූපවාහිනී මහගෙදරට ඔබ එක්වන්නේ මුලින්ම සහය නිෂ්පාදිකාවක් ලෙසින්. ඒ ආරම්භය කොයි ආකාරයෙන් ද සිද්ධ වෙන්නේ?
විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් ලෙසින් මට මාස හයක පුහුණුව ලැබීමත් සමඟ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ආයතනයට මුලින්ම එක්වන්නේ සහය නිෂ්පාදිකාවක් ලෙසින්. මගේ ආරම්භක දායකත්වය මුලින්ම ලැබෙන්නේ සංගීත අංශයට. එවකට සංගීත අංශය භාරව සිටියේ රෝහිත විජේසුරිය මහත්තයා. එතුමා යටතේ මම දීර්ඝ කාලයක් රාජකාරී කටයුතුවල නියැළී සිටියා. අංශ ප්‍රධානී වශයෙන් කටයුතු කළ රෝහිත මහත්තයා මට ගුරු පියෙක් වශයෙන් වැඩසටහන් නිෂ්පාදනය පිළිබඳ දැනුම් සම්භාරයක් ලබලා දුන්නා. එදා සංගීත අංශයේ අංශ ප්‍රධානී ලෙස එතුමන් කටයුතු කරන සමයේ නිෂ්පාදනය කළ එදා තීරය, මධුරසාංග, චිත්රගීත, භාරත ගී වින්දන, රිවිදින මියුරස, මධුභාණී, මියැසි විසිතුර, ගාන්ධාරී, පන්සිළු සැදැල්ල ආදී සංගීත වැඩසටහන් වගේම සංගීත සජීව වැඩසටහන් සඳහා ද සහාය නිෂ්පාදිකාවක් ලෙස මට දායකවෙන්න අවස්ථාව උදා වුණා.
සංගීතය පිළිබඳ ඔබ තුළ තිබූ උපන් හැකියාව සංගීත අංශය කරා ඔබව රැගෙන ගියා කියලා කිව්වොත්?
ඒකත් එක හේතුවක් වෙන්න පුළුවන්. උප්පත්තියේ පටන් මට හොඳට වයලීනය වාදනය කිරීමේ හැකියාවත් තියනවා. ඒකත් එක හේතුවක් වෙන්න පුළුවන්; මාව සංගීත අංශයට යොමු වෙන්න. මම ඉගෙන ගත්තේ කෑගල්ල හෙට්ටිමුල්ල බණ්ඩාරනායක මහා විද්‍යාලයෙන්. කුඩා කාලයේ මාධ්‍යයට සම්බන්ධ වීමට මගේ කිසිම ඉලක්කයක් තිබුණේ නෑ. 1995 දී මම කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙනවා; ජනසන්නිවේදන විශේෂවේදී උපාධිය හැදැරීම සඳහා. පාසල් කාලයේදී මම හැදෑරුවේ සංගීතය. නමුත් විශ්ව විද්‍යාලයට තේරීමත් සමඟ ලලිතකලා විෂය මගෙන් අත්හැරුණේ; ඒ කාලයේ තිබුණු ප්‍රවණතාවය නිසාවෙන්. මම ජනසන්නිවේදනය තෝරගත්තත් මාධ්‍ය ක්ෂේත්රයට යොමුවෙන්න මා තුළ ඉලක්කයක් තිබුණේ නෑ. විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ දී අපව මාධ්‍ය ආයතනවල පුහුණුවට යොමුකළා. එහිදී මට ලැබුණේ, ස්වාධීන රූපවාහිනී සේවය. මෙහිදී ලබන පුහුණුවත් සමඟ මට මාධ්‍ය ක්ෂේත්රයට එක්වීමේ ආශාවක් ඇති වුණා.
ස්වාධීන රූපවාහිනිය තුළ ඔබ ස්ථිර සේවයට එක්වන්නේ කොයි ආකාරයෙන් ද?
1999 වසරේ මගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ අවසන් වසර. එම වසර, පුහුණුව සඳහා මා යොමු කරන ලැබු ස්වාධීන රූපවාහිනි ආයතනයේ පුරප්පාඩු පැවති සමයක්. අපේ පුහුණුව අවසන් වීමත් සමඟ එවකට ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වැඩසටහන් භාරව සිටියේ රංජීත් හේවාබටගේ මහත්තයා. එතුමා අපිට යෝජනාවක් කළා. ‘ඔයාල හුඟාක් හොඳීන් ඉගෙන ගත්ත ළමයි. ඔයාල ඇයි මෙහෙන් යන්නේ? පවතින පුරප්පාඩු වලට අපි ඔබලාව ගන්න කැමතියි‘ කියලා. ඒ අනුව මාව මුලින්ම දෛනික දීමනා මත නිෂ්පාදන සහකාරවරියක් වශයෙන් බඳවාගනු ලැබුවා. ඉන්පසු වසරකින් පමණ කොන්ත්‍රාත් පදනම යටතේ අපව ආයතනයට බඳවාගනු ලැබුවා. ඉනුත් වසරක් පමණ ගිය පසු 2001 වසරේ මා ස්ථිර සේවයට අනුයුක්ත කරගනු ලැබුවා; සහකාර නිෂ්පාදිකාවක් ලෙස.
රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදිකාවකගේ භූමිකාවට එහා ගිය කාර්ය භාරයක් කරන තැනැත්තියක් ඔබ?
මම වැඩසටහන් නිෂ්පාදිකාවක් කියන තැන ඉඳලම කටයුතු කරන කෙනෙක් නොවෙයි. මම කරන මොනයම් හෝ වැඩසටහනක පිටපත මගේ. මම තමයි පිටපත ලියන්නේ. නිෂ්පාදනය පැත්තෙන් වෙන්න ඕනෙ හැම කටයුත්තක්ම මගේ අතින් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසාම මගේ වැඩසටහන් නිෂ්පාදනය ඉහළ තැනකට ඔසවා තබන්න මට හැකිවෙලා තියෙනවා. එඩිටින් ස්ක්‍රිප්ට් එක පවා ලියන්නේ මම. මේ වසර විසිතුන පුරාවට මං තමයි මගේ නිෂ්පාදන සියල්ලේ ස්ක්‍රිප් රයිටර්.
ඔබ අතින් නිෂ්පාදනය වන හින්දි වැඩසටහන් අද වෙනකොට විශාල ප්‍රේක්ෂක ප්‍රසාදයක් දිනාගෙන තිබෙනවා නොවේද?
රිදම් ඔෆ් ඉන්දියා වැඩසටහන මම පටන් ගත්තේ 2019 වසරේ අලුත් මුහුණුවරකින්. අද වෙන කොට හින්දි රසවිඳීන ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් බිහිවෙලා තියනවා. වෙනත් චැනල් එකක් මේ වැඩසටහන අපේ ආකාරයට පටන් ගත් නිසාවෙන්, මම අපේ පැවති වැඩසටහනට අලුත් මුහුණුවරක් ලබාදුන්නා. දැන් ෆේස්බුක් ෆෑන් පේජ් එකක් හදල තියෙනවා. රිදම් ඔෆ් ඉන්දියා කියලා ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීම් වලට තමයි; අද අපි වැඩසටහන තුළ ප්‍රමුඛතාවය ලබා දීලා තියෙන්නේ. මේ වැඩසටහන ඉරිදා උදේ 8.30 සිට 9.30 දක්වා සෑම සතියකම විකාශය වෙනවා. බොලිවුඩ් එවර්ග්‍රීන් වැඩසටහන ඉන්දියාවේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පීන්, සංගීත අධ්යක්ෂවරුන්, චිත්‍රපට අධ්යක්ෂවරුන් හැම කෙනෙක් ගැනම එක සතියකට එක් පුද්ගලයකු ගැන පැයකුත් විනාඩි 30ක වැඩසටහනක් විදිහට තමයි විකාශය කරන්නේ. ඔවුන්ගේ සින්දු, ජීවිත කතාව, චිත්‍රපට නිර්මාණ මේ හැමදෙයක් ගැනම පිටපත ලියලා, වොයිස් කරලා තමයි ඉදිරිපත් කරන්නේ. සිකුරාදා ප.ව. 3.30 සිට 5.00 දක්වා සෑම සතියකම මේ වැඩසටහන විකාශය වෙනවා.
හින්දි භාෂාව පිළිබඳ හැදෑරීමකට ඔබ වඩාත් යොමුවන්නේ මොන අරමුණක් ඇතිවද?
පුංචි කාලේ ඉඳලම හින්දි භාෂාවට මම පුදුම ලැදිකමක් දැක්වුවා. හින්දි චිත්‍රපට ඇති තරම් බැලුවා. ඒ කාලේ ඉන්ටර්නේට්, යුටියුබ් තිබුණේ නෑ. අයි.ටී.එන්. එකේ තමයි හින්දි චිත්‍රපට පෙන්නුවේ. මම තුළ හින්දි පිස්සුවක් ඇති කළෙත් අයි.ටී.එන්. එක තමයි. ඒ පිස්සුව කොච්චර මට වැඩි වුණා ද කියනවා නම්, හින්දි නළු නිළියෝ චිත්‍රපට ගැන මම හොයන්න පටන් ගත්තා. ඔවුන්ගේ භාෂාව ඉගෙන ගන්න මට ලොකු ආශාවක් ඇතිවුණා. විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන විශේෂවේදී උපාධිය කරලා, මගේ ශාස්ත්‍රපති උපාධිය සඳහා මම නිබන්ධනය හැටියටත් කළේ හින්දි සිනමාව හා සිංහල සමාජය නමින්. මේ කෘතියට ඇතුළත් වුණේ හින්දි සිනමාවේ ආරම්භයේ සිට විකාශනයයි. එය සිංහල සමාජය සමඟ බද්ධ වූ ආකාරයන් අදියර දහයක් යටතේ මම විස්තර කරනු ලැබුවා. එය කෘතියක් ලෙස එළි දක්වන්න මේ වන විට පුස්තකාල හා ප්‍රලේඛන සේවාමණ්ඩලයට මම බාර දීලා තියෙනවා.
ඔබ සේවය කරන ආයතනය තුළ හින්දි භාෂාව පිළිබඳ දැනුමක් ඇති අයකු ලෙස ඔබ පමණ ද සිටින්නේ?
දැනටත් නෑ. මීට කලිනුත් හිටියේ නෑ. හින්දි ගීත වැඩසටහන් තිබුණත් ඒවායේ පිටපත් ඒ අවදියේ ලිව්වේ රවිලාල් විමලධර්ම මහත්තයා චිත්‍රපට වල සබ් ටයිටල් ලියනු ලැබුවේ සිරි කහවල මහත්තයා.
හින්දි වැඩසටහන් කිරීමේ සුවිශේෂී හැකියාවක් ඔබ සතුයි
මම හැමවිටම උත්සාහ ගන්නේ නිවැරදි දේ හරි විධියට දෙන්න. ඒ සඳහා මට පෞද්ගලිකව වගේම රාජකාරී මට්මෙනුත් කැපවෙනවා. යම් දෙයක් නිවැරදි ආකාරයෙන් ලබාදීම මගේ රාජකාරීයේ වගකීමක් කුඩා කාලයේ පටන් මට හින්දි භාෂාවට ආදරය කළ කැමැත්තක් දැක් වූ කෙනෙක්. ඒ වකවානුවේ හින්දි චිත්‍රපට බලලා ඒ පිළිබඳ තොරතුරු අධ්‍යයනය කරනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ මම ජනසන්නිවේදනය පිළිබඳ විශේෂවේදී උපාධිය කරන කාලේ හින්දි භාෂාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවක් හැදෑරුවා. සිරිකහවල මහත්තයාගෙන් මා පෞද්ගලිකව හින්දි භාෂාව පිළිබඳ හැදෑරීමක් සිද්ධ කළා. ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ ද හින්දි භාෂාව පිළිබඳ හැදෑරීමක් කළා. කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිය සඳහා තෝරාගත් විෂයට අමතරව තමන් කැමති භාෂාවක් ඉගෙන ගැනීමේ අවස්ථාව ලබා දී තිබුණා. ඒ අවස්ථාවේ මම තෝරගත්තේ හින්දි භාෂාව. දැනටත් මම හින්දි භාෂාව පිළිබඳ ඉගෙන ගන්නවා. මගේ අද ගුරුවරිය බවට පත් වෙලා ඉන්නේ වරුණී උත්පලා මහත්මිය ඇයත් ගුවන් විදුලියේ ප්‍රවීණ හින්දි නිවේදිකාවක්.
හින්දි වැඩසටහන් තුළ ඔබ අද කොටු වෙලාද?
නෑ. මම දැනට කාන්තා වැඩසටහන් ඒකකයේ ප්‍රධානී ලෙසත් වැඩකරනවා. මම දැන් අවුරුදු දෙකක සිට මෙම අංශයේ ඒකක ප්‍රධානී ලෙස කටයුතු කරනවා. මාර්තු 8 වැනිදා අන්තර්ජාතික කාන්තා දිනය වෙනුවෙන් විශේෂ සජීවි වැඩසටහනක් සිද්ධ කරනවා. දවස පුරාම එහි නිෂ්පාදිකාව ලෙසිනුත් කටයුතු කරන්නේ මම. ලියවරුණ නමින් තමයි ඒ වැඩසටහන අපි අවුරුදු ගණනක් කළේ. මේ අවුරුද්දේ එය ලිය අභිමානී 2022 නමින් අපි ඉදිරිපත් කළා.
අයි.ටී.එන්. ප්‍රේක්ෂකයෝ අතර නිෂ්පාදිකාවක ලෙස ඔබේ නම රැඳිල තියෙන්නේ කුමන වැඩසටහන් ඔස්සේ ද?
ඒපබ 4උ කලා සඟරාමය වැඩසටහන තුළින් මම විශාල පිරිසකට අතහිත දීල තියෙනවා. ප්‍රවීණ ආධුනික හැමකෙනෙක් වෙනුවෙන්ම කලාවට සීමාවක් නෑ. කලාව කියන වචනය ඇතුළේ යන්න පුළුවන් හැම සීමාවක් මම අපි මෙහිදී ගිහින් තියනවා. සිනමාව, චිත්‍ර කලාව, මුර්ති කලාව, නව කලා නිර්මාණකරුවන්, මෝස්තර නිර්මාණකරුවන් ලංකාවේ පැරණි ශ්‍රේෂ්ඨ කලා ශිල්පීන්, කෙටි චිත්‍රපට නිර්මාණකරුවන් සාහිත්‍යවේදීන්, අලුතින් බිහි වන පොත පත, ලෝක පූජිත සිනමා කරුවන් චිත්‍රපට ආදිය ගැනත් විශේෂ අවධානයක් යොමු කරමින් මම කටයුතු කරනවා. 2016 වසරේ සිට මම මේ දක්වා මේ වැඩසටහන හරහා මම බහුතර පිරිසකට අත හිත දීල තියෙනවා. චපබ 4උ වැඩසටහනේ ෆෝමැට් එක මගේ වෙන කිසිම චැනල් එකක ඔය වගේ වැඩසටහනක් ගිහිල්ලා නෑ.
ඔබ ඕනෑම අභියෝගයක් භාර ගන්න නිෂ්පාදිකාවක්?
ඔව්. ආයතනය මට දෙන්නේ මොකක්ද මම ඒ දේ කරල දෙන්න බැදිලා ඉන්නවා. මම බය නැතුව ඒ දේ බාරගන්නවා. මේ වන විට මම හැම අංශයකම වැඩසටහන් කරලා තියනවා. නොකරපු එකක් නැති තරම්. මීට කලින් ක්‍රීඩා වැඩසටහන් සංගීත වැඩසටහන් සාහිත්‍ය වැඩසටහන් දේශපාලන වැඩසටහන් කාන්තා වැඩසටහන් මේ හැම දෙයකටම මම සම්බන්ධ වෙලා දායකත්වය එක් කරලා තියෙනවා.
කලාකරුවන් පිළිබඳ වාර්තා වැඩසටහන් පවා ඔබ අතින් නිෂ්පාදනය වුවා නේද?
අපේ රටේ මියගිය බොහෝ කලා කරුවන් පිළිබඳ වාර්තා වැඩසටහන් මා අතින් නිර්මාණය වෙලා තියෙනවා. ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග ටෝනි රණසිංහ, ජෝ අබේවික්‍රම, හර්බට් එම්. සෙනෙවිරත්ත, එදිරිවීර සරච්චන්ද්‍ර, ඩී.බී. නිහාල්සිංහ මේ වගේ විශාල පිරිසකගේ ඒ අයගේ ගුණානුස්මරණය යෙදෙන දිනයට එය ප්‍රචාරය කරනවා Art 4U හරහා. ඒ සියලු නිර්මාණවල පිටපත් පවා මගේ නිර්මාණ.
සම්මානීය ඇගයුම් පැසසුම් අතරේ ආගමනක් ඔබට තියෙන්නේ?
2017 වසරේ Art 4U වැඩසටහනට හොඳම සඟරාමය වැඩසටහන සඳහා රයිගම් ටෙලි සම්මානය හා 2019 වසරේ සුමති ටෙලි සම්මානය ලැබුණා. ඊට අමතරව වැඩසටහන රාජ්‍ය ටෙලි සම්මාන උළෙලේ හොඳම සඟරාමය වැඩසටහන වෙනුවෙන් නිර්දේශ වුණා. සෞඛ්‍ය ක්ෂේත්රයේ දැනුම්වත් කිරිම් සමඟ වැඩසටහන් රැසක් වසර 15කට අධික කාලයක පටන් සිදුකිරීම නිසාවෙන් 2019 වසරේMedia Excellence Award සම්මානය හිමිවුණා. 2019 වසරේMasco මාධ්යශුරී විශ්ෂ්ටතා සම්මානය මට හිමිවුණා. ඇසිදිසි මෙහෙවරක මානව හිතවාදී ගුණය නිර්මාණශිලිත්වය හා මුසුකර සුභාවිත සන්නිවේදන ප්‍රවේශයක් වෙත රැගෙන යමින් දැක් වූ අශ්රේසර මාධ්‍ය මෙහෙවර වෙනුවෙන්. මම කවදාවත් සම්මාන පසුපස හඹා යන කෙනෙක් නොවෙයි. මට තියෙන්නේ හෙමින් ගමනක්. හරි දේ හරියට කරගෙන යන ගමනක් තමයි මේ අවුරුදු 32 පුරාවට මට තිබුණේ. සම්මාන ලැබුණා කියල උඩගුවීමක් මා තුළ කවදාවත් නොතිබුණ දෙයක්.
ඔබ ආ ගමන ගැන ආපසු හැරිල බලන කොට මොකද හිතෙන්නේ?
කරදර බාධක දුෂ්කරතා මධ්‍යයේ මා ආ ගමන දිහා බලනකොට මම අද ඉන්න තැන ගැන මට තියෙන්නේ ලොකු ආඩම්බරයක් සතුටක්.
හින්දි වැඩසටහන් නිෂ්පාදිකාවක් රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදිකාවක් වන ඔබ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක්?
මම කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ බාහිර කථිකාචාර්යවරියක් වශයෙනුත් කටයුතු කරනු ලබනවා.
ඔබේ පවුලේ අයත් කලාවට සම්බන්ධද?
කොහෙත්ම නෑ. මගේ පියා 1992 දී මිය යනවා. අම්මාත් සමඟ මට නංගීලා දෙන්නෙක් ඉන්නවා. තාත්තා අපි පුංචි කාලේ චිත්‍රපට බලන්න එක්ක යනවා. මගේ පියාට සින්දු කීමේ හැකියාවකුත් තිබුණා. ඒ පියා තුළ තිබුණු කලාවට ළැදි කම වෙන්න ඇති අද මටත් පිහිටල තියෙන්නේ.
ඔබගේම ආකෘති රාමුවක් තුළ නිර්මාණය වූ සීමාවක් නැති කලාවේ හැම ඉසවුවක්ම සොයා ගිය Art 4U වැඩසටහන දැන් විකාශය නොවන්නේ ඇයි?
2016 වසරේ තමයි මේ වැඩසටහන ආරම්භ වන්නේ ස්වාධීන රූපවාහිනීයේ විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගෙන තිබූ චිත්‍ර ගීත වැඩසටහනේ විකාශය අත්හිටු වීමත් සමඟ තමයි. Art 4U බිහිවන්නේ. මේ වැඩසටහන කලා ක්ෂේත්රයේ විවිධ ඉසවු ස්පර්ශ කළ වැඩසටහනක්. ලංකාවේ සංස්කෘතික උරුමයන් පිළිබඳ සමාජය දැනුම්වත් කරන වැඩසටහනක් මෙයින් විශාල සමාජ මෙහෙවරක් සිද්ධ කළා. දැනට මේ වැඩසටහන තාවකාලිකව නතර කරල තියනවා. ඒ විකාශන කාලය වෙනත් දෙයක් සඳහා යොද ගන්න. මම හිතනවා නුදුරේ දී යළිත් Art 4U ප්‍රේක්ෂකයන් අතරට එක් වෙයි කියලා.
විසිතුන් වසරක් රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදිකාවක් ලෙසින් ආ ගමනින් ඔබ අතින් නිර්මාණය වූ වැඩසටහන් කොයි ආකාරයෙන් ද ඔබේ වඩාත් සිත් ගත්තේ?
ලංකාවේ ජාතික උරුමයන් පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් රැසක් සමාජගත කිරීමට හැකිවීම. ලංකාව පුරා විසිරී සිටින කලා ශිල්පීන් අගයනු වස් උපන්දින සුබ පැතුම් විශේෂාංගය දිනපතා විකාශය කිරීම, සිංහල සිනමාවේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩසටහන් රැසක් සමාජගත කිරීම හා සමාජය දැනුම්වත් කිරිමේ සෞඛ්‍ය වැඩසටහන් රැසක් සමාජ ගත කිරීම. නව නිර්මාණයේ නියැළී සිටින නවක නිර්මාණකරුවන් සමාජයට හඳුන්වා දෙමින් ඔවුන්ගේ නිර්මාණවලට අගයක් හා වටිනාකමක් ලබාදීම ආදී විසිරී පැතිරුණු සමාජ මෙහෙවරක් මට කරන්න ලැබීම ගැන මට මා ගැන තියෙන්නේ අභිමානවත් සතුටක්.