පොඩි මුදියන්සේ නිසා කිතුල් ගහටත් නැග්ගා

දුලාන් හෙට්ටිආරච්චි
ජූලි 14, 2022

ආරම්භයේ සිටම අද වනතෙක් නොකඩවා පේ‍්‍රක්ෂක ආකර්ෂණයට ලක් වූ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ වැඩිය පේන්නේ නැති එහෙත් පේ‍්‍රක්ෂකයාගේ මතකයට එක්වුණ පොඩි මුදියන්සේ එක්ක කතා කරන්න සරසවිය අපි හිතුවා. නමින් ඔහු දුලාන් හෙට්ටිආරච්චි. රංගනයට ආගන්තුක වුණාට දුලාන් මාධ්‍යයට නම් ආගන්තුකයෙක් නොවන වග ඔහු අපට කිව්වේ මෙලෙසින්.

දුලාන් ගැන දැනගන්න පොඩි මුදියන්සෙට ආදරේ කරන පේ‍්‍රක්ෂකයා කැමැතිවෙයි?
 
 මම අධ්‍යාපනය ලැබුවේ ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලයේ. පසුව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදනය පිළිබඳ උපාධිය හැදෑරුවා. පශ්චාත් උපාධිය ඕස්ටේ‍්‍රලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් ලබාගත්තා. පවුලේ විස්තර කිව්වොත් මගේ තාත්තා විශ‍්‍රාමික විදුහල්පතිවරයෙක්. අම්මා ගෘහණියක්. මට නංගි කෙනෙක් ඉන්නවා. ඇය බැංකු ක්ෂේත‍්‍රයේ ‍රැකියාව කරනවා.
 
 දුලාන්ට මාධ්‍ය ක්ෂේත‍්‍රය අලූ‍ත් තැනක් නොවෙයි?
 
 ඔව්. මම ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සහාය නිවේදකයෙක් වගේම ස්වාධීන රූපවාහිනී නාලිකාවේත් කටයුතු කළා. දොරමඬලාව, විදෙස් පසුබිම, බිස්නස් නිව්ස් යන වැඩසටහන් නිෂ්පාදනය වුණේ මගේ අතින්. පසුකාලීනව විවිධ අමාත්‍යාංශවල තනතුරු දරමින් කටයුතු කළා. විදේශ අමාත්‍යාංශය යටතේ ඕස්ටේ‍්‍රලියාවේ හා චීනයේ තානාපති කාර්යාලවල රාජ්‍යතාන්ත‍්‍රික නිලධාරියකු වශයෙන් කටයුතු කළා. මම දැනට රාජ්‍ය වාණිජ නීතීගත සංස්ථාවේ විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කරනවා.
 
 දුලාන්ට පොඩි මුදියන්සේ වෙන්න හම්බුණේ කොහොමද?
 
 එය අහම්බයෙන් සිදුවූවක්. ස්වර්ණවාහිනියේ සුදේව හෙට්ටිආරච්චි මගේ හිතවතෙක්. ඔහු සහ නාඩගම්කාරයෝ පිටපත් රචක සද්ධා මංගල සූරියබණ්ඩාර, නිෂ්පාදක චාමර සමරවික‍්‍රම යන අයගේ ආරාධයෙන් තමයි මා මේ කතාවට එකතු වෙන්නේ.
 
 ආරාධනාවට එකපයින් කැමැති වුණා?
 
 මම හැදුණේ වැඩුණේ ගාල්ලේ ඉඳලා කිලෝමීටර 15 ක් පමණ ගියාම හම්බෙන අතිශය දුෂ්කර නමුත් සුන්දර කොට්ටව කියන ග‍්‍රාමයේ. ගම ගැන දන්න කෙනෙක් මම. ගමෙන් ආ කෙනෙක් විදිහට මේ නාට්‍යයේ චරිත මට අලූ‍ත් නෑ. රංගනයට ආධුනිකයෙක් වුණාට සැබෑ ජීවිතයේ මෙවැනි චරිත සමඟ එදිනෙදා කටයුතු කළ කෙනෙක් නිසාත් ඒ ගැන අවබෝධයක් තියෙන නිසාත් මේ චරිතයට මම කැමැති වුණා.
 
 එහෙනම් දුලාන්ට මේ චරිතය තමන්ගේ කරගන්න ඒ තරම් අමාරුවෙලා නෑ?
 
 අපි කවුරුත් කොළඹ ඇවිත් ජීවත් වුණාට මුල් පුරුක් තියෙන්නේ ගමේ. එස්.කේ.සිරිසේන වගේ චරිත අපේ ගම්වල තියෙනවා. එයා නැත්නම් ගමම පාළුයි. අඳ ගොවියාත් අපේ ගම්වල නිතරම දකින්න ලැබුණු කෙනෙක්. මේ කතාව තුළින් අඳ ගොවියාගේ සැබෑ ජීවිතය පෙන්වනවා. ගමේ මනුස්සයා ගමෙන් පැනලා යන්න කැමැති නෑ. ගම්වල තිබෙන මේ සියලූ‍ම චරිත දම්වැලක පුරුක් වගේ එකට බැඳිලා තියෙන්නේ. එක් පුද්ගලයෙක් කොන් වුණොත් ඒ පවුලම ගමෙන් කොන්වෙනවා.
 
 අනෙක් අතට චරිතය පිළිබඳ අවබෝධය පමණක්ම තිබුණට බෑ. එය දැනෙන ආකාරයට නිරූපණය කරන්නත් ඕන. මෙය ඔබේ ප‍්‍රථම රංගනය. එය තරමක අභියෝගයක් වෙන්නත් ඇති?
 
 ඔබ කිව්වා වගේම මේ මගේ පළමු අත්දැකීම. ඒ නිසාම මේ චරිතයට මට සාධාරණයක් කරන්න හැකිවේද කියන චකිතය මට තිබුණා. මේ ටෙලි නාට්‍යය ලංකාවේ වැඩිම පිරිසක් නරඹන නාට්‍යය. ලංකාවම වැලඳගත් කතාවට අලූ‍ත් චරිතයකින් මම ආවම ඒ චරිතය හරියට නොකෙරුණොත් එය මුළු කතාවටම හානියක්වෙනවා කියන සිතුවිල්ල මට තිබුණා. පොඩි මුදියන්සේගේ චරිතය සමඟ බොහෝවිට ගැටෙන්නේ මාස්ටර්ගේ චරිතය. එය නිරූපණය කරන ප‍්‍රසන්නජිත් අබේසුන්දර අයියා මට කිව්වා පුරුදු පුහුණු වෙන්න ඔහුගේ නිවසට එන්න කියලා. ඇත්තෙන්ම ඔහු හරිම සුන්දර අව්‍යාජ චරිතයක්. මේ චරිතය මේ ආකාරයට ගොඩනඟන්න එයත් රුකුලක් වුණා. මම ඔහුට ස්තූතියි කියන්න ඕන මේ වෙලාවේ. ඒ වගේම අධ්‍යක්ෂවරයාගේ සිට සියලූ‍ම ශිල්පීන් ඉතාම සුහදව මිත‍්‍රශ‍්‍රීලීව කටයුතු කරනවා.
 
 රඟපාන්න ගිහින් වුණ අකරතැබ්බ එහෙමත් ඇති?
 
 අපෝ ඔව්. මට පළවෙනි දවසත් අමතක වෙන්නේ නෑ. බයිසිකලයක් පැදගෙන එන දර්ශනයක් තමයි මුලින්ම රූගත කරන්න තිබුණේ. අවුරුදු ගාණකට පස්සේ ඒ බයිසිකලයක් පදින්න ගත්තේ. ඒ බයිසිකලෙත් මලකඩකාපු පරණ බයිසිකලයක්. පැඩෙල් කැඩිලා. බයිසිකලේ පදිද්දි මගේ කකුල කිතිකැවෙනවා. ඒකට හිනායනවා මට කතා කරගන්න බෑ. අන්තිමට පැඩෙල්වල රෙදිකෑල්ලක් බැඳලයි වැඬේ ඉවරකරේ.
 
 මම කිතුල් ගහකට තබා පොල් ගහකටවත් නැඟලා නෑ. කිතුලට නඟින එක මට හරි අමුතු අත්දැකීමක්. කිතුල් ගහට නැඟලා රා මුට්ටිය අරන් බහිනකොට ලිස්සලා වැටිලා සීරිලා තුවාල වුණා.
 
 දුලාන් පහුගිය කාලයේ රටට දැනෙන වැඩකොටසක් කළ කෙනෙක්?
 
 මම ඕස්ටේ‍්‍රලියාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඉද්දි අගමැති ටෝනි ඇබට් මහතා සම්බන්ධ කරගෙන ලංකාවේ ආබාධිත අය වෙනුවෙන් ගෙවල් 103ක් හදලා දෙන්න හැකි වුණා. ඕස්ටේ‍්‍රලියාවේ මිනිස්සු දිනකට බොන කෝපි කෝප්පවලින් එකකට වෙන් කරන මුදල එකතු කරලයි ඒ ව්‍යාපෘතිය කළේ. එයට ශ‍්‍රම ශක්තිය ලබාදුන්නේ ශ‍්‍රී ලංකා නාවික හමුදාව හා සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුව. එය ඉතාම සාර්ථක ව්‍යාපෘතියක් වුණා.
 
 ලංකාවේ දවසකට සිගරට් එක්කෝටි හැටහය ලක්ෂයක් විකිණෙනවා. ‘වන් සිගරට්’ කැම්පේන් එකෙන් දිනකට බොන සිගරට්වලින් එකක සල්ලි ඉතුරු කරලා දුම්වැටියක මුදල හිසට වහලක් තනන්නට යන මැයෙන් ව්‍යාපෘතියක් කළා. එයත් සාර්ථක වුණා. එයට ශ‍්‍රම ශක්තිය වගේම ගිණුම් කටයුතුවලින්ද නාවික හමුදාව හා සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුව සහය ලබා දුන්නා.
 
 ඉස්සර ඔබට මතකද කොළඹ පාරේ යනවිට ඇහෙන වාහන නලා හඬ. එය ඉතාම අමිහිරියි. ශබ්ද ¥ෂණය වැඩියි. මිනිසුන්ගේ සිතුම් පැතුම් හරියට ක‍්‍රියාවට නැංවෙන්න, මානසික සුවයට ලොකු බාධාවක් මේ ඝෝෂාකාරි පරිසරය. මෙයට විසඳුමක් ලෙස මා චීන තානාපති කාර්යාලයේ වැඩකරන කාලයේ සියලූ‍ම පොලීසිවලට ඩෙසිබල් මීටර දුන්නා. වගේම ආනයන අපනයන දෙපාර්තුමේන්තුව හරහා ලංකාවට ගෙන්වන නලාවලට එච් එස් කෝඞ් එකක් මගේ මැදිහත්වීමෙන් නිර්මාණය කරන්න හැකිවුණා. දැන් ලංකාවට අධි සංඛ්‍යාතයෙන් යුතු නළා ගෙන්වීම තහනම්. පසුගිය කාලයේ වාහනවල විශේෂයෙන්ම බස්වල අධික ශබ්දයෙන් ‍යුතු නළාවන් පොලීසියෙන් ගලවලා දැම්මේ එහි ප‍්‍රතිඵලයක් විදිහටයි. අද මම විවේකයක් ලැබෙන වෙලාවට කොළඹ- බොරැල්ල පාරට ගිහින් බලාගෙන ඉන්නවා. මා කළ දේ මම විඳිනවා.
 
 මේ වෙනුවෙන් ඔබ සම්මානයට පාත‍්‍රවෙනවා?
 
 එක්සත් ජාතින්ගේ සංවිධානයේ හොඳම තරුණ සමාජ ව්‍යවසායකයා 2021 සම්මානය, සාර්ක් සංවිධානය විසින් පිරිනමන ලද හොඳම තරුණ සමාජ ව්‍යවසායකයා 2020 සම්මානය, කුවෙට් රාජ්‍යයෙන් සමාජ සේවය වෙනුවෙන් පිරිනමන ලද සම්මානය, 2017 වර්ෂගේ ඕස්ටේ‍්‍රලියාවේ බහු සංස්කෘතික දෙපාර්තුමේන්තුවෙන් පිරිනමන ලද හොඳම සමාජ ව්‍යවසායකයාට හිමි සම්මානය, වගේම 2005 වසරේදී ජනාධිපති පරිසර සම්මානය හිමිවෙනවා, කොට්ටව රක්ෂිතය ලෝක උරුමයක් ලෙස නම් කරන්නට පාසල් කාලයේ සිටම ගත් පරිශ‍්‍රමය වෙනුවෙන්.
 
 ඔය ඔක්කොම කරන අතරේ කොහොමද රඟපාන්න වෙලාව වෙන්කරගන්නේ?
 
 කාල කළමනාකරණය මම ඉතාම හොඳින් කරන කෙනෙක්. මට නෝට් බුක් නෑ. මට හොඳ මතකයක් තියෙනවා. මං සමාජ සේවා කටයුතු වෙනුවෙන් දවසේ ලොකු කාලයක් කැප කරනවා.
 
 පොඩි මුදියන්සේට ලැබෙන ප‍්‍රතිචාර කොහොමද?
 
 මේ කතාවේ ප‍්‍රධාන ආනුශාංගික කියලා නෑ හැම චරිතයකටම පේ‍්‍රක්ෂක ආකර්ෂණය ලැබෙනවා වගේම පේ‍්‍රක්ෂකයාට මතක හිටින චරිත. පොඩි මුදියන්සෙට දකින දකින හැමෝම කිව්වේ කුඹුර ආපහු දෙන්න කියල. ඔන්න දුන්නා (සිනාවෙමින්). ප‍්‍රතිචාර ඉතාම හොඳයි.
 
 දුලාන් ඔබ සමාජ ක‍්‍රියාකාරිකයෙක්. ඍජුවම දේශපාලනය එක්ක ගනුදෙනු කරන කෙනෙක්. ඒවගේම ලෝකය දුටු කෙනෙක්. නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය තුළ දිග හැරෙන කතාව ඒ නාට්‍යයේ පේ‍්‍රක්ෂකයෙක් විදිහට ඔබ දකින්නේ කොහොමද?
 
 අසූ ගණන්වල සිටම අපි දැක්කේ නාට්‍යයක සුදු චරිතය හැමදාම දියුණු වුණේ ගමෙන් කොළඹට ඇවිත්. ගෝලීය ආර්ථිකය එක්ක පොරබදලයි ඔවුන් දියුණු වෙන්නේ. නමුත් මේ කතාව හරහා දේශීය ආර්ථිකය ඇතුළේ තියෙන රුපියල ශත එක්ක දියුණු වෙන්නේ කොහොමද කියන දේ සමාජගත වෙනවා. එය නරඹන්නන්ට ඒන්තු ගැන්වෙන විදිහට, ජන හදවතට සමීපව, ඉතාම රසවත්ව විශේෂයෙන්ම අපේ රටේ තාරුණ්‍යයට මේ පණිවුඩය ලබා දෙනවා. මගේ ගම ගාල්ල නිසා මම දන්නවා ගාල්ලේ වෙරළ ආසන්නයේ ජීවත්වන බොහොමයක් මිනිස්සු පොල් කොහු කර්මාන්තයෙන් ජීවීකාව ගෙනියන්නේ. අද වන විට ඒ කර්මාන්තයටවත් පොල්ලෙලි නෑ. පොල්ලෙලි කපලා රට යවනවා. දිනක් මෙහි පිටපත් රචක සද්ධාමංගල සූරියබණ්ඩාර එක්ක මම කතාකරන විට ඔහු කියා සිටියේ ලංකාවේ මිනිස්සු 500ක්වත් මේ කර්මාන්තය සමඟ එකතුවනවා නම් මේ කතාවෙන් ඔහුට ලැබෙන තෘප්තිය ඒක කියලා.
 
 අනෙක් අතට මගේ චරිතය ගෙන බලන්න, පොඩි මුදියන්සේ අඳ ගොවියෙක් විදිහට අසාර්ථකවෙලා ගමෙන් කොන්වෙලා ඉන්න මනුස්සයෙක්. ඔහුවම නැවත කිතුල් ව්‍යාපාරයට සම්බන්ධ කරවලා විදේශ විනිමය හොයන තැනට පත් කරනවා. මේ නිර්මාණය මම දකින්නේ අපේ රටට හොඳ ආර්ථික බලපෑමක් ඇතිකළ හැකි ටෙලි නිර්මාණයක් ලෙසයි.