ඇතුගලගේ සිසිවන වුවන දැකගතිමු

පෙබරවාරි 17, 2022

පසුගිය දිනෙක සරසවිය කර්තෘ මණ්ඩලයට ආරාධනාවක් ලැබුණේ රාජගිරිය මැද වැලිකඩ පාරේ පිහිටි ටෙලිනාට්‍ය දර්ශන තලයකට එන ලෙසටය. ඒ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකුගේ අලුත් වැඩක් ගැන කතා කරන්නටය. ඒ ආරාධනාව කළේ අන් කිසිවෙක් නොව මහාචාර්ය ආරියරත්න ඇතුගලයි. සිත්තර ගුරුන්නාන්සේ, රම්‍ය නගරය, තුන්බිය, සූසැට මායම්, සමනල කඳවුර වැනි ටෙලිනාට්‍ය රසවිඳී, මහාසමයම, මහසුපින වැනි දැවැන්ත වේදිකා නාට්‍ය නැරඹූ ඔබට මේ නිර්මාණකරු බොහෝ සමීපය. දීර්ඝ කාලයක් විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ ජන සන්නිවේදනය පිළිබඳ මහාචාර්යවරයකු ලෙසද රාජ්‍ය මාධ්‍ය ආයතන කීපයක සභාපතිවරයා ලෙසද සේවය කළ ඔහු කලකට පසුව කලාවට සම්මුඛ වන්නේ අධ්‍යක්ෂවරයාගේ භූමිකාවෙනි.

මා ඡායාරූප ශිල්පියාද කැටුව මධ්‍යහනට හෝරා දෙකක් මත්තෙන් රාජගිරිය මැද වැලිකඩ පාරේ පිහිටි "ඇතුගල සර්ගේ" ටෙලිනාට්‍ය දර්ශන තලයට ගියේ හා හාපුරා කියා ඔහු කරන්නට යන අලුත් වැඩේ වංහුං හොයන්නටය. යන විටම අප පිළිගත්තේ ඇතුගල සර්ගේ බිරිඳය. දර්ශන තලය සැකසී ඇත්තේ පැරණි ගෘහ නිර්මාණයෙන් නිම කළ පැරැණි නිවසකය. දර්ශන තලය පුරා විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් යැයි සිතිය හැකි මට්ටමේ තරුණ තරුණියෝ පිරිසක් කඩි මුඩියේ තමන්ට අදාළ රාජකාරි කරමින් සිටියහ. එතැනින් එක් තරුණයෙක් අප දෙදෙනාට "සෙට් එකේ" කොහේදෝ තිබූ පුටු දෙකක් රැගෙනවිත් ඉඳගන්නට ඉඩ සලසා දුන්නේය. පසුව තේ කෝප්ප කීපයක් සහිත තේ බන්දේසියක් රැගෙන ආ තව තරුණයෙක්ගේ තේපැනින් සප්පායම් වන්න යැයි පෙරැත්තය.

නිවසේ ඉදිරිපිට සිදුවීම් එසේ වනවිට ඊළඟ ජවනිකාව රූගත කිරීම සඳහා දර්ශන තලය සැකසෙමින් තිබුණේ ඒ පැරැණි නිවසේ පිටුපසය. අප තේ පැනින් සප්පායම් වන අතරතුර අප දෙසට ආවේ ටෙලිනාට්‍යයේ සහාය අධ්‍යක්ෂක සරත් සේනාරත්න. ඔහුව හඳුන්වාදුන් ඔහු අපට මෙසේ පැවසුවේය.

"දැන් තව සීන් එකක් අපි ගන්න යන්නේ. ඇතුගල සර් ඉන්නේ ලොකේෂන් එකේ. ඔක්කොම ටේක් එකට ලෑස්ති වෙලා ඉන්නේ. තේ බීලා අපි යමු ඒ පැත්තට."

අපි දර්ශන තලයට යන විට එහි සිටියේ අපි කවුරුත් දන්නා හඳුනන මිත්‍රයෙකි. ඒ කුමාර තිරමාදුරය. ඔහු අප දෙසට පැමිණ දන්න හඳුනන මුහුණු දෙක තහවුරු කරගත් පසු අප හා පැවසුවේ මෙවැනි දෙයකි.

"අපේ ඇතුගල සර්ගේ අලුත් වැඩේනේ. මේක ලස්සන කතාවක්. මේ වැඩේ හරිම කැමැත්තෙන් මම කරන්නේ."

මල් වත්තක පිහිටි එම එළිමහන් දර්ශන තලයේ එක් පසෙක කැමරාව ඉදිරිපිට සිටින මහාචාර්ය ආරියරත්න ඇතුගලය. ඊට ඉදිරියෙන් ඔන්චිල්ලාවක සුදු පැහැති එක වගේ ඇඳුමින් සැරසුණු යුවතියන් කිහිප දෙනෙකි. ඔවුන් අතර කාර්යාල ඇඳුම්න් සැරසුණු තවත් තරුණියකි. මල් වත්තේ තැන් තැන්වල සුදු පැහැති එකම වර්ගයේ ඇඳුමින් සැරසුණු යුවතියන්‍ ය. මේ යුවතියන් අතර අප දන්නා හඳුනන තවත් රංගන ශිල්පිනියක් මම දුටුවේ ඇහම්බෙන් ය. ඒ නව පරපුරේ සම්මානනීය රංගන ශිල්පිනියක් වන උමාලි තිලකරත්නයි. තැන් තැන්වල යුවතියෝ ජවනිකාව සඳහා සිය රංගනය පුහුණු වන්නීය. කුමාර තිරිමාදුර, උමාලි තිලකරත්න සහ හර්ෂි අංජුමාලා ඔවුනගේ දෙබස් කට පාඩම් කරමින් සිටින්නේය. ජවනිකාව රූගත කිරීමට මත්තෙන් අනෙක් තාක්ෂණික අංග උපාංග සකසන අතරතුර අප මහාචාර්ය ඇතුගල දෙසට ගියේ අලුත් වැඩේ ගැන ඔහුගෙන්ම දැනගැනීමටය.

"මේක මගේ අලුත් ටෙලිනාට්‍ය‍ය. නම සිසිවන උවන. කාලෙකට පසුව අලුත් වැඩක් කරන්න හිතුණා. අපේ සමාජයේ කතා නොකරන පැත්තක් තියෙනවා, කාන්තාව ගැන. ටෙලිවිෂනය වැඩිපුරම භාවිතා කරන්නේ කාන්තාවන් වුණාට ඔවුන්ගේ නිදහස ඔවුන්ගේ අයිතිය ගැන කලාවෙන් කතා කරන්නේ නැති තරම්. මේ ටෙලිනාට්‍යයට වස්තුවිෂය කරගන්නේ කාන්තාව. එක්තරා අනාථ නිවාසය විවිධ සමාජ හේතු මත පීඩාවට පත් වුණු තරුණියන්ගේ ජීවිත කතා කීපයක් අළලා මේ කතාව ගෙතෙන්නේ. මේ අතරින් සමහර කතා සත්‍ය සිදුවීම්. සමහර කතා ප්‍රබන්ධයි. කතාවේ පිටපත මම සහ ශිෂ්‍යයෙක් එකතුවෙලා ලියන්නේ. ටෙලිනාට්‍යයේ කතාව සහ තේමාව මගේ."

මහාචාර්ය ආරියරත්න ඇතුගල ටෙලිනාට්‍යයක් නිර්මාණයට මුලපුරා ඇත්තේ ඔහුගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන "සහෝ" තිරගත වීමටත් පෙරය. "සහො" චිත්‍රපටය අන්තර්ජාතික සිනමා උලෙළ කිහිපයක්ම නියෝජනය කළ විචාරකයින්ගේ අවදානයට ලක් වුණු චිත්‍රපටයකි. සිනමා නිර්මාණය තිරගත නොවුණු මොහොතක ටෙලිනාට්‍යකරණයට නැවත පැමිණියේ මන්දැයි විමසන්නට මා අමතක කළේ නැත.

"මගේ චිත්‍රපටය තවම තිරගත වුණේ නැහැ. සිනමාවත් අර්බුදයකනෙ තියෙන්නේ. මේ අර්බුද සමඟ අපිට ජීවත් වෙන්න වෙන්නේ. විශාල වශයෙන් ව්‍යාපාරික තත්ත්වයන් ඉස්මතු වුණු කලාත්මක ගුණයන් යට වුණු යුගයක අපි ටෙලිනාට්‍ය රසවිඳීන්නේ සහ නිර්මාණය කරන්නේ. ඊට ප්‍රතිවිරුද්ධ ගමනක් අපි යායුතුයි. ටෙලිනාට්‍ය වේවා චිත්‍රපට වේවා කලාව තියෙන්නේ කොතනද අපි සංවාදය ආරම්භ කළ යුත්තේ එතැනයි."

මහාචාර්යවරයා පැවසූ පරිදි සිසිවන උවන ටෙලිනාට්‍යයේ කාර්යමණ්ඩලය සඳහා ඔහු වැඩිමනක් සම්බන්ධ කරගෙන ඇත්තේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ය. ඒ පිළිබඳ අදහස් දැක්වූ මහාචාර්යවරයා අපට පැවසුවේ කලාවේ වාණිජ අරමුණු සොයා යන තරුණ පරපුරට වඩා ප්‍රසශත කලා භාවිතය සහිත තරුණ පරපුරක් නිර්මාණය තම අරමුණ බවයි.

අපගේ කතාව අතරමඟ නැවතුණේ සහාය අධ්‍යක්ෂවරයාගේ බාධා කිරීමෙනි. ඒ පෙරහුරු ජවනිකාවට මහාචාර්යවරයාගේ අවදානය අවැසි මොහොත නිසාවෙනි. සියල්ල නිශ්ශබ්ද කොට "ඇක්ෂන්" යැයි සන් කර පෙරහුරු ජවනිකාව ඉතා සූක්ෂමව නිරීක්ෂණය කළ අධ්‍යක්ෂවරයා පසුව සහාය අධ්‍යක්ෂවරයාට නළු නිළියන්ගේ අඩුපාඩු සකසා ගැනීමට උපදෙස් දුන්නේය. හදිසියේ ඔහුගේ කතාව නතර වූයේ ජවනිකාව රූගත කරන්නට සහාය අධ්‍යක්ෂවරයා සන් කළ නිසාවෙනි. ජවනිකාව රූගත කරන්නට මත්තෙන් සියල්ලන්ගේම ජංගම දුරකථන නිශ්ශබ්ද කරන ලෙස ඉල්ලා සිටි සහාය අධ්‍යක්ෂවරයා තාක්ෂණික උපකරණ සියල්ල නිවැරැදියි දැයි පරික්ෂා කළේය. පරිසරය මීයට පිම්බා වැනිය. ඇතුගල සර්ගේ " ඇක්ෂන්'' හඬ සමඟ රූගත කිරීම් ඇරැඹුණි.

සුදු පැහැ හැදගත් යුවතියන් පිරිසක් සමඟ උමාලි තිලකරත්න මල් බාල්දියකින් මල්වලට වතුර දමමින් සිටින්නීය. කුමාර තිරිමාදුර ඒ දෙසට එමින් ඇයට කිට්ටු කරන විටම, උමාලි "මේ මොකද මේ" යැයි පවසමින් එතනින් දුවගෙන යන්නීය. පසුව කුමාර තිරිමාදුර දෙසට පැමිණියේ අනාථ මඩමේ පාලිකාව යැයි අනුමාන කළ හැකි ලෙස ඇඳ පැළඳගත් හර්ෂි අංජුමාලාය. පසුව ඇගේ නෝක්කාඩු ස්වරයෙන්ද ද ඔහුගේ නෝක්කාඩු ස්වරයෙන් ද යුත් දෙබස් පෙළකි.

"කට්"

නැවතත් සහාය අධ්‍යක්ෂවරයාගෙන් බාධාවකි. ඒ දෙසට අවදානය යොමු කළ මහාචාර්ය ඇතුගල නැවත හැරුණේ මගේ පැනයකට සම්මුඛ වීමේ බලාපොරොත්තුවෙන්ය. මගේ පැනය ටෙලිනාට්‍යයේ ප්‍රස්තුතයයි. එය ටෙලිනාට්‍ය කලාවට නුපුරුදුය. සුපුරුදු ආදර කතාවලින් ඔබ්බට ගොස් සමාජයේ කිසිවෙක්ගේ අවදානය හිමිනොවුණු සමාජ කථිකාවතක් ගොඩනැඟිය හැකි වස්තු විෂයකි. මෙරට අනාථ නිවාසවල කාන්තාවන්ට වන හිංසා හිරිහැර ගැන මහාචාර්යවරයාගේ අධ්‍යයනය විමසන්නට මා අමතක කළේ නැත.

“මේ ටෙලිනාට්‍යයේ ඉන්නවා දෙමළ තරුණියක්. ලිංගික අතවරයට ලක් වීමත් සමඟ තිගැස්මකට ලක් වෙලා, කතා කරන්න බැරි කෙනෙක් ඇය. ඇයගේ කතාව සත්‍ය කතාවක්. තව ළමයෙක් ඉන්නවා ජංගම දුරකථනවලට ඇබ්බැහි වුණු. ධනවත් පවුලක මෙහෙකාරියක් ලෙස වැඩ කරලා අතවරයට ලක්වෙලා දරුවෙක් ඉන්න ඒ දරුවාව හදාගන්න බැරිව අනාථ නිවාසය ඉදිරිපිට තියලා යන තව තරුණියක් මේ කතාවෙ ඉන්නවා. ඇය දවස් කීපයකට පසුව රැකියාවක් සොයා එන මුවාවෙන් අනාථ නිවාසය ඇවිත් තමන්ගේ දරුවාව තමන්ගේ නොවන දරුවෙක් ලෙස ඇති දැඩි කරනවා. මේ කතා හරිම සංකීර්ණයි. එකිනෙකට වෙනස්. මම උත්සාහ කළේ කලා භාවිතයෙන් මේ සියල්ල හෙළිකොට ප්‍රේක්ෂකයා සවිඥානික කරන්න."

ටෙලිනාට්‍යයේ අනෙක් ජවනිකාව සඳහා සියල්ල සූදානම්ය. ඒ ත්‍රීරෝද රථයකින් කුමාර තිරිමාදුර අනාථ නිවාසය එන දර්ශනයකි. සහාය අධ්‍යක්ෂවරයාගේ යුහුසුළු මැදිහත්වීම යටතේ දර්ශන තලයේ සියල්ල සූදානම්ය. ඒ අධ්‍යක්ෂවරයාගේ මැදිහත් වීම අවැසි මොහොතයි. එය රූගත කරන්නට මහාචාර්ය ඇතුගලට ඉඩහසර ලබාදී අපි ඔහුගෙන් නික්මුණෙමු.

ඈතින් එන ඇතුගල සර්ගේ "ඇක්ෂන්" හඬද ත්‍රී රෝද රථයක් එන හඬද අසමින් අප එතැනින් පැමිණියේ අලුත් ටෙලිනාට්‍යය කොයිතරම් රසවත් හරවත් වේවිදැයි සිතමිනි.

 

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න