අපි නැවත විශිෂ්ට ටෙලිනාට්‍ය සංස්කෘතියක් ඇති කරමු

මාණික්කාවත හැදූ සුදත් රෝහණ ආරාධනා කරයි
දෙසැම්බර් 16, 2021

 

ඔහුට පුංචි තිරයේ සාහිත්‍යධරයායැයි විරුදාවලියක් තිබේ. මේ සොඳුරු නිර්මාණකරුවා රූපයට නැඟූ වනවදුලේ වසන්තය, බැද්දේ ගෙදර, ස්වයංජාත, කළුවර ගෙදර, ගිරිකුල, කටු ඉඹුල, ඇතුළු ටෙලිනාට්‍ය රැස පිළිබඳ පිරික්සා බලනකල එලෙස කීම වරදක් නැත. සිය නිර්මාණ කෞශල්‍යය ඇගයීම වෙනුවෙන් සරසවිය සම්මාන ඇතුළු සම්මාන රාශීයකට හිමිකම් කියන ඔහු සුදත් රෝහණයන් වේ. එදාමෙදාතුර ටෙලිනාට්‍ය විස්සකට අධික සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය කොට ඇති ඔහු වාර්තාමය රූපවාහිනී නිර්මාණකරුවකු ලෙසටද ප්‍රකටය. සම්මානනීය ගත් කතුවර මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ මාණික්කාවත ප්‍රබන්ධ කතාව ඇසුරෙන් නිර්මාණය වන මාණික්කාවත ටෙලි සිතුවම සුදත් රෝහණගේ නවතම නිර්මාණයයි. එය ලබන සෙනසුරාදා සිට ස්වාධීන රූපවාහිනියේ විකාශය වේ. ස්වාධීන රූපවාහිනියේ වත්මන් සභාපතිවරයා ද වන ඔහු සමඟ කළ මේ කතාබහේ වැඩි බරක් අප තැබුවේ මාණික්කාවත වෙනුවෙනි.

මාණික්කාවත කතාව ටෙලිනාට්‍යකට ගෙන එන්නට තරම් ඔබට සුවිශේෂී වුණේ ඇයි?

මම නිර්මාණකරණයේ යෙදෙන්නේ වසර අටකට පසුව. නමුත් මගේ නිර්මාණ දිවිය ගෙන බැලුවොත් ප්‍රේක්ෂක රසික ජනතාව සඳහා යහපත් සංවාදයක් ගොඩනගන්න හැකි නිර්මාණ තමයි මා නිර්මාණය කර තිබෙන්නේ. මා විශ්වාස කරනවා මාණික්කාවත තුළ වසර සියයක කාල පරාසයක් (1880-1980) සමාජය තුළ වූ ආර්ථික සමාජීය දේශපාලනික සංස්කෘතික වෙනස්කම් විශාල වශයෙන් විග්‍රහ කිරීමක් කෙරෙනවා කියලා. මෙය එක්තරා ආකාරයකට ඒ කාලයේ සමාජ ජීවන පැවත්ම පෙන්වන කැඩපතක් කිව්වොත් නිවැරැදියි. මෙය හුදු රසවින්දනයට පමණක් නොව එය අතික්‍රමණය කරමින් දුවා දරුවන්ගේ අධ්‍යාපන ඥානය පුළුල් කරන්න පුළුවන් වෑයමක් විදිහටත් සඳහන් කරන්න කැමැතියි. ජනවහරෙන් ගිලිහිලා ගිය ඇතැම් වචන මෙයට යොදාගෙන තිබෙනවා. වසර සියයක් කියන්නේ පරම්පරා හතරක කාල පරාසයක්. ඒ කාලය තුළ සමාජයේ වෙනස්වීම හා ඒ පිළිබඳ උපේක්ෂාවෙන් බලන මිනිසුන් ගැනත් මේ හරහා කතාබහ වෙනවා. අතීතය ප්‍රතිනිර්මාණය හරහා වර්තමාන ජීවිතය ගොඩනගාගන්නේ කොහොමද කියන කාරණයත් කතා කරනවා. මේ මේ කරුණු නිසයි මට මාණික්කාවත සුවිශේෂී වුණේ. මෙහිදී තව දෙයක් සඳහන් කරන්න අවශ්‍යයි කියලා මට හිතෙනවා.

මාණික්කාවත තිර පිටපත දොළොස් පාරක් සංශෝධනය කළා. මගේ බොහෝ නිර්මාණවල පිටපත් රචනා කළේ මම. එහෙම නොවෙනවානම් මම එය පිළිබඳ නිරන්තරයෙන් කතා කරනවා රචකයා සමඟ. එවිටයි හොඳ නිමැවුමක් එන්නේ. මෙවර මට හිතුණා තිර රචනය ලියන්නට මහින්ද ප්‍රසාද්ටම භාර දෙන්න. මගේ මනසේ දේවලුත් එකතු කරගෙන රචකයා ගේනදේත් යොදාගෙන තිරරචනය ලියැවුණාම එහි හරය වැඩියි. නිර්මාණාත්මක ගුණය වැඩියි. මහින්ද ප්‍රතිභාව උපතින්ම රැගෙන ආ තරුණයෙක්. අප දෙදෙනාගේ සුසංයෝගය නිර්මාණයේ සාර්ථකත්වයට තදින්ම බලපෑවා කියලා මට විශ්වාසයි.

 

නළු නිළියන් තෝරා ගැනීම කොහොමද සිදු කළේ?

පොත කියවද්දිම මගේ මනසේ කෙටි හාමිගේ චරිතයට ජගත් චමිල තමයි මැවුණේ. ගුණාදරි විදිහට වෝල්ගා කල්පනීව හිතට ආවා. ඒ වගේ බොහොමයක් චරිත පොත කියවන විට මගේ මනස තුළ ඇඳුණා. පිටපත රචනා කරන විටත් ඇතැම් චරිතවලට නළුනිළියෝ තෝරාගත්තා. ඔවුන් බොහොමයක් පෙර මා සමඟ වැඩ කළ අය.

 

මාණික්කාවත ඔබට අභියෝගයක් වුණාද?

මාණික්කාවත පමණක් නොවේ නවකතාවක් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යට ගෙන ඒමේදී විශාල අභියෝග රාශියක් තිබෙනවා නිර්මාණකරුවාට. පාඨකයා කෘතිය කියවලා ලබාගත් රසවින්දනයට බාධාවක් නොවෙන්න එය රූපයට නගන්න ඕන. ඇතැම්විට නවකතාව ඒ ආකාරයටම තිරයට ගෙන එන්නේ නෑ. සමහරවිට ඒකේ මුල මැද අග වෙනස් කරන්නට වෙනවා. අලුත් චරිත ගේනවා. කතාවේ චරිත අයින් වෙනවා. චරිත අතර ඝට්ටනයක් ඇති කරනවා. මේ මොන දේ කළත් නවකතාවේ කතුවරයා සමාජය හමුවේ තැබූ තම නිර්මාණය තුළින් ගෙනහැර පාන්න වෑයම් කළ මුඛ්‍ය අදහසට හානියක් නොවිය යුතුයි එය රූපයට ගෙනෙද්දි. අනෙක් අතට පොත කියවන පඨකයාට මැවෙන චරිත සත්‍ය ස්වරූපයෙන් ඉදිරිපත් කිරීමට ලැබීම නිර්මාණකරුවෙකුට ලැබෙන ලොකු අභියෝගයක්. පාඨකයාගේ හිතේ ඇදුන චරිතය නාට්‍ය තුළ නොවේ නම් එම නිර්මාණයම ප්‍රේක්ෂකයා අයින් කරනවා. ඒක අපි දැනගෙනයි නවකතාවක් රූපයට නගන්න ඕනේ.

මාණික්කාවත යූ ටියුබය ඔස්සේ විවිධ භාෂාවලින් රසවිදින්න පුළුවන් නේද?

ඔව්. අනිවාර්යයෙන්ම. යූටියුබ් හරහා බලන්න පුළුවන්. ඔබ සඳහන් කළ පරිදි මේ සඳහා උපශීර්ෂ පාඨත් අන්තර්ගතයි. එය ඉංග්‍රීසි පමණක් නොවේ ජපන් භාෂාව, චීන භාෂාවටත් කන්වර්ට් වෙනවා. මේ හරහා අපේ සංස්කෘතික හර පද්ධතිය ලෝකයට විවර වෙනවා. ඒ වගේම මාණික්කාවත දෘශ්‍යාබාධිත අය සඳහා ලක්හඬ ඔස්සේ ශ්‍රව්‍ය මාධ්‍යයෙනුත් ගෙන එන්නට සූදානම්. එයත් සති අන්තයේ 9.30-10.00 වන තෙක් ශ්‍රවණය කළ හැකියි.

 

ඔබ මේ ඉටුකරනු ලැබුවේ ස්වාධීන රූපවාහිනියේ සභාපතිවරයා වශයෙන් තවත් එක් වගකීමක්ද?

අනිවාර්යයෙන්ම. සභාපතිවරයා වශයෙන් අනෙක් අයට දේශනා කර කර ඉන්නවට වඩා මම මේක වගකීමක් විදිහටයි භාර ගත්තේ. පුරන්වෙලා තියෙන කලාකෙත අස්වැද්දීමම පමණක් නොවෙයි මේ හරහා ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලයේ නිර්මාණකරුවන්ට අවස්ථාව ලැබුණා යම්කිසි පුහුණුවක් පරිචයක් ලබාගන්න. අවස්ථා තුනකටයි මාණික්කාවත රූපගත කිරීම් කළේ. ඒ එක අවස්ථාවකට ශිල්පීන් දසදෙනා බැඟින් තිස්දෙනෙකුට එම අවස්ථාව ලබා දුන්නා. ඒ හරහා අංග රචනා ශිල්පීන්ට, සහය අධ්‍යක්ෂවරුන්ට, පසුතල නිර්මාණ ශිල්පීන්ට හොඳ විධිමත් පුහුණුවක් ලබන්න පුළුවන් වුණා. මෙය මිල කළ නොහැකි දැනුමක්. අනෙක් අතට අපෙන් ඈත් වෙලා ඉන්න අනෙකුත් විශිෂ්ට නිර්මාණකරුවන්ට නැවත මේ ක්ෂේත්‍රයට අවතීර්ණ වන්න යම්කිසි ජවයක් ශක්තියක් ලබා දෙන්න හැකි වුණා. මම සභාපතිවරයා වශයෙන් ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලයට ආවට පසුව ලංකාවේ දැනට වැඩ නොකරන විශිෂ්ටතම නිර්මාණකරුවෝ දාහතර දෙනෙක් කැඳවලා මම ඔවුනට කිව්වා නැවත නිර්මාණ කරන්න කියලා. නැවතත් විශිෂ්ට ටෙලිනාට්‍ය සංස්කෘතියක් ඇති කරමු කියලා මම ඔවුන්ට ආරාධනා කළා. ඒ ආරාධනාව අනූව ජයන්ත චන්ද්‍රසිරි ප්‍රසන්න ජයකොඩි සුදත් දේවප්‍රිය, බර්ට්‍රම් නිහාල් වැනි නිර්මාණකරුවෝ නිර්මාණ කරන්න ආරම්භ කරලා තියෙනවා.

 

එතකොට අංකුර නිර්මාණකරුවන්?

ඇයි අංකුර නිර්මාණකරුවන්ටත් මා අවස්තාව ලබා දුන්නෙ. තණමල්විල කොල්ලෙක් රොෂාන් රවීන්ද්‍රගේ පළමු නිර්මාණය. තවත් උදාහරණ ඕන තරම් තිබෙනවා. ප්‍රවීණ සහ අංකුර නිර්මාණකරුවෝ සියල්ලටම මේ අවකාශයේ යහපත් නිර්මාණ කිරීමට ඉඩ සලසාදී තිබෙනවා.

ඔබගේ සිතුවිල්ල යහපත් විය හැකි වුවත් ඇතැමෙක් මෙය වෙනස්ම ආකාරයකට දකින්න පුළුවන්?

 

ඇත්තටම මම මගේ කාර්යභාරය හරියට කරනවාය කියන දේ සොයා බලන්න අමාත්‍යාංශයේ ලේකම්තුමා, ඇමැතිතුමා ඉන්නවා. මා කරන දේ වැරැද්දක් ඇත්නම් ඔවුන් ඒ නිවැරදි කිරීම් කරාවි. ඇත්තටම මට නිර්මාණකරණය සඳහා ආරාධනා කරන්නේ ඔවුන්. අනෙක් අතට මම මේ සභාපතිකම භාරගන්න කලිනුයි මාණික්කාවත ටෙලි නිර්මාණයක් කිරීම සඳහා කතිකාවත ආරම්භ කරන්නේ. පෙර සිටි මාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා දිනක් කතා කරලා මට කිව්වා ඔබ මේ විෂයය පථය තුළ ඉන්න ප්‍රාමාණිකයෙක්, මේ හරහා වැඩක් කරන්න කියලා. මෙය කිරීම තුළ අරමුණු දෙකක් තිබුණා.

 

එකක් යහපත් නිර්මාණයක් කිරීම සහ අනෙක් අතට මෙය ආයතනයට වත්කමක්. මෙහිදී ආයතනයේ මුදල් වියදම් කිරීමක් වෙන්නේ නෑ. මෙයට පරිබාහිර නිෂ්පාදකවරයෙක් ඉන්නවා. අනෙක් අතට මේ ආයතනයේ ශිල්පීන් ලබන පුහුණුව. ඒක කොච්චර වටිනවද. අනෙක් අතට අභාවයට යන කලාවට පණක් දීම මගේ බලාපොරොත්තුව.

 

මං මෙහෙම මේ කතාව වෙනත් මානයකට ගෙන යන්නට සූදානම් වෙනවා ඔබේ ටෙලිනාට්‍ය ස්වාධීන රූපවාහිනිය ඔස්සේ නැවත විකාශය කර ඔබ මුදල් උපයනවා යන චෝදනාවත් තිබෙනවා?

එය සමාජ මාධ්‍ය හරහා වැපිර වූ අමූලික බොරු කතාවක්. ටෙලිනාට්‍ය කලාව මාෆියා එකක් බවට පත්වෙලා. යහපත් නිර්මාණයක් කරනව නම් එයට වැට කඩොලු තහංචි තර්ජන ගර්ජන එක්ක එය නවත්වන්නයි බොහෝ අයට වුවමනාව තියෙන්නේ. පසුගිය කාලයේ මගේ ටෙලිනාට්‍ය ඇතුළුව ජයන්ත චන්ද්‍රසිරි වැනි විශිෂ්ටයන්ගේ නිර්මාණද නැවත විකාශය වුණා. තවමත් ඒ ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයා ආදරයෙන් වැලඳගන්නවා. මෙය මා විවෘතව කියන කාරණයක්. ඒ ටෙලිනාට්‍යයක් සඳහා මම රුපියලක් හෝ අයකරලා තියෙනවා නම් ඔප්පු කරලා පෙන්වන්න. ඒ සඳහා වන ඕනෑම දෙයක් සඳහා මම පෙනී ඉන්න කැමැතියි. නිර්මාණකරුවා විදිහට මට ඒ නිර්මාණ අයිති නෑ. මම අධ්‍යක්ෂවරයා පමණයි. මට අයිති නාට්‍ය රුපියලකවත් ආයෝජනයක් නැතුවයි විකාශය වුණේ. එක පැත්තකින් රසික විඥානය මුවහත් කළා වගේම අනෙක් පැත්තෙන් සමාජයේ කැලැඹීමක් ඇති කළා මේ හරහා. මම ආයතනය තුළ හෝ පිටත ඕනෑම අයෙකුට අභියෝගාත්මකව කියනවා පුළුවන් නම් ඔය දේවල් ඔප්පු කරන්න කියලා.

 

වෙනදා වගේ නොවෙයි ඔබ මේ නිර්මාණයට අවතිර්ණ වෙන්නේම ආයතන පරිපාලකයෙකුගේ භූමිකාවත් එක්ක. හොඳ නිර්මාණකරුවෙකුට පරිපාලනය කොතරම් වැදගත්ද?

මම මේ ආයතනයට එනවිටත් මගෙන් ඇහුවා නිර්මාණකරුවෙකුට පරිපාලකයෙක් වෙන්න පුළුවන්ද කියලා. දක්ෂ අධ්‍යක්ෂවරයෙක් කියන්නේ හොඳ පරිපාලකයෙක්. මොකද නිර්මාණයකදී විශාල ශිල්පීන් සංඛ්‍යාවක් පරිපාලනය කරන්න අවශ්‍යයි. ආයතනයක නම් උදේ ඇවිත් හවස යන්න පුළුවන්. නමුත් නිර්මාණයකදි එහෙම බෑ. එය දුෂ්කරක්‍රියාවක යෙදෙනවා වගේ. එවැනි දෙයක් කළමනාකරණය කරන්නෙකුට මෙවැනි ආයතනයක් කළමනාකරණය එතරම් කාර්යයක් නොවේ. නමුත් ටෙලි නාට්‍ය හා ආයතනය කියන්නේ දෙකක්. සුදත් රෝහණ කියන නිර්මාණකරුවා හැම මොහොතමක ඉන්නවා. මගේ ආසාවත් නිර්මාණකරුවෙක් විදිහට වැඩකටයුතු කරන්න. මම උදේ පාන්දර පහට එනවා හතට එනවා නමුත් මම යන්නේ රෑ එකොළහ පහුවෙලා. නිර්මාණකරුවෙකුට වෙලාවක් නෑ.

 

අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නේ?

පොත කියවූ පාඨකයාටත්, සුභාවිත කලාවක් සොයා යන ප්‍රේක්ෂකයාටත්, යහපත් මාධ්‍ය සංස්කෘතියට කැමැති ශ්‍රාවකයාට විශේෂයෙන්ම ගුවන්විදුලිය හරහා මම ආරාධනා කරනවා මාණික්කාවත හා එකතුවන්න කියලා.