රැල්ල වෙරළට ආදරෙයි නාට්‍යයේ සත්‍යා

-අමන්දා ජයරත්න
නොවැම්බර් 11, 2021

 

මේ චරිතය නිසා පල්ලියෙන් වගේම පන්සලෙනුත් කතා කරනවා

 

සම්මුඛ සාකච්ඡාවක් ලබා ගැනීමට ඇයට දෙතුන් වරක් ඇමතූ නමුදු ඒ එක වතාවකදීවත් ඇගේ දුරකථනය ප්‍රතිචාර නොදැක්වීය. මඟහැරුණු ඇමතුම් දුටු ඇය හවස් වරුවේ මා ඇමතීය.

ෂූට් එකේ හිටියෙ.. මම ෂූටිං දවස්වල ෆෝන් එක අල්ලන්නෙවත් නැහැනෙ.. දන්න නම්බර්ස්වලින් මිස්කෝල් තිබුණොත් හවස කෝල් බැක් කරනවා.

ඇය කීය.

ෆෝන් ආන්සර් නොකරන නිසා සමහර නිර්මාණ මඟ හැරෙන්නේ නැද්ද?

කොහොමත් මේ නාට්‍ය නිසා මම වෙන නිර්මාණ වලට ගියේ නැහැ.. මේක වෙනුවෙන්ම තමයි කාලය වෙන් කළේ.

ඇය මේ නාට්‍ය යනුවෙන් අදහස් කළේ

හිරු නාලිකාවේ විකාශය වන රැල්ල වෙරළට ආදරෙයි නැමැති ටෙලි සිතුවමයි. එහි ඇති නැවුම් බව නිසාම එය බාලමහලු කොයි කා අතරෙත් ඉතාම ජනප්‍රියත්වයට පත්ව තිබේ. එහි සත්‍යා එහෙමත් නැත්නම් සුදු මැණිකේ අද අපේ කතා නායිකාවයි. ඇගේ සැබෑ නම අමන්දා ජයරත්නවේ..

 

අමන්දා මට මුලින්ම කියන්න ඔබට රැල්ල වෙරළට ආදරෙයි නාට්‍යට ආරාධනා ලැබෙන්නෙ කොහොමද කියලා?

අනෝමා කුමුදුනී කියන රංගන ශිල්පිනිය තමයි මට අවස්ථාව උදා වුණේ. මේ චරිතයට කෙනෙක් හොයනවා කියලා දැන ගත්තම ඇය මාව රෙකමන්ඩ් කරලා නිවන්ත ප්‍රසාර අයියාට හඳුන්වා දුන්නා.. කොහොම වුණත් චරිතයක් බාර දෙන්න කලින් ස්ක්‍රීන් ටෙස්ට් එකක් කරනවානේ. මටත් එහෙම ටෙස්ට් එකකට එන්න කිව්වා. ඊට පස්සෙ තමයි මේ චරිතය මට ලබා දුන්නෙ.

 

කොහොම වුණත් ඔබට නොසිතූ විරූ ජනප්‍රියත්වයක් ලැබුණා මේ චරිතය නිසා?

ඒක නම් හිතා ගන්න බැහැ. මේ චරිතයට ලොකු පොඩි හැමෝම ආදරෙයි. හිතා ගන්න බැරි තරම් ප්‍රතිචර ලැබෙනවා. කොහෙද මෙච්චර කල් හැංගිලා හිටියෙ කියලා අහනවා. සුදු මැණික කියලා තමයි බොහෝ අය කතා කරන්නේ දැන්. මේ වෙලාවේ මතක් කරන්න ඕනේ රැල්ල වෙරළට ආදරෙයි නාට්‍යයේ ප්‍රඩක්ෂන් ටීම් එක, නළු නිළියෝ සියලු දෙනාම. ඔවුන් තමයි මට මේ චරිතය සාර්ථක කරගන්න උදව් කරන්නෙ.

 

වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නෙ කාගෙන්ද?

මේක කතෝලික ආගමට සම්බන්ධ කතාවක්නෙ.. ඒ නිසා විශේෂයෙන් පල්ලිවල ෆාදර්ස්ලගෙන් ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. මට මීට කලින් එහෙම ප්‍රතිචාර ලැබිලා නැහැ. කලින් අහපු ප්‍රශ්නයට මම තවත් දෙයක් එකතු කරන්නම්. මමත් කතෝලික ආගමේ කෙනෙක්. මම හැම දෙයක්ම ජේසුට කියනවා. ඇත්තටම මට මේ ලැබූ ජනප්‍රියත්වය දේවාශිර්වාදය එක්ක ලැබුණු දෙයක්. මට ෆාදර්ලා ආශිර්වාද කරනවා කෝල් කරලාම.. ඒ වගේම බෞද්ධ ස්වාමින් වහන්සේලා හරියට කතාකරලා සුබ පතනවා. මට ඒ ප්‍රතිචාරම ඇතිනෙ.

 

මේ චරිතය කරන්න ගිහින් වෙච්ච අමතක නොවන අත්දැකීම් මොනවද තියෙන්නෙ?

මේ චරිතයේ දර්ශන කිහිපයක්ම තිබුණ බෝට්ටු වල ඒ රූපගත කිරීම් කරන්න. මම මීට කලින් බෝට්ටුවල ගිය කෙනෙක් නෙමෙයි. මට වෙනම පුහුණුවක් ලබන්නට වුණා බෝට්ටුවල යන්න. සමහරවිට ඒ බෝට්ටු ගමන් කරලා ගියාට පස්සෙ නතර වුණේ කොහේ හරි හැප්පිලා. රන්දික අයියයි මමයි බෝට්ටුවක යන දර්ශන තමායි ගොඩක් තිබුණේ. අපි දෙන්නා අන්තිමේට බෝට්ටුව කොහේ හරි හප්පලා තමයි නවත්තන්නෙ. අන්න ඒ බෝට්ටුවල කරපු හැම දර්ශනයක්ම මගේ ජීවිතේ අමතක නොවන අත්දැකීම් කියලා කියන්න පුළුවන්.

 

අමන්දාගෙ ඇත්තටම හිත ගත්තු පෙම්වතෙක් එහෙම ඉන්නවද?

අවුරුදු 17 ඉඳලම තමයි මට ප්‍රොපෝසල් එන්නේ. මම ඒ ගැන වැඩි අවධානයක් යොමු කළේ නැහැ. තවමත් ප්‍රොපෝසල් එනවා. නමුත් මට ආදරය ගැන හිතන්නට කලින් ලොකු ගමනක් යන්න තියෙනවා මේ ක්ෂේත්‍රයෙ. ඊට පස්සේ ඔය ගැන හිතනවා.

 

එක නාට්‍යයක් බාර ගනිද්දී ඇයි තව නිර්මාණයකට ඔබ දායකත්වය දෙන්න පෙලඹෙන්නේ නැත්තෙ?

ඒක මගේ ප්‍රතිපත්තියක්. මම එක චරිතයක් වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරනවා. මට හිතෙනවා එක චරිතයක් කරද්දි තව නිර්මාණ බාර ගත්තොත් කරන නිර්මාණයටත් සාධාරණයක් කරගන්න බැරි වෙයි කියලා. ඉතින් ඒ නිසා මට ලැබුණ ආරාධනා බොහොමයක් ප්‍රතික්ෂේප කළා.

 

සිනමාවට ඔබේ ලබාදුන් දායකත්වය මදි කියලා හිතෙන්නේ නැද්ද?

ඇත්තටම එහෙම හිතෙනවා. මේ ඊයේ පෙරේදා චිත්‍රපටයකට කතා කළා. ඒත් මේ ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු නිසා ඒකත් සුහදව ප්‍රතික්ෂේප කළා.

 

 

සේයාරුව - නිශ්ශංක විජේරත්න