වර්ෂ 2023 ක්වූ September 25 වැනිදා Monday
චරිතයක් අපේ ඇඟට ඔටෝ එන්නෙ නැහැ

සාමාන්‍ය සමාජය කියලා කියන්නේ නළුවෙක් විදිහට අපිට ඉගෙන ගන්න පුළුවන් විශ්වවිද්‍යාලයක් වගේ තැනක්
මම මුලින්ම චරිතයක් නිරූපණය කරන්නේ ඒ ලෙවල් චිත්‍රපටයේ
මමයි ලෝචියි රඟපාන ගොඩක් දර්ශන වෙනම එඩිට් කරලා අරගෙන යූටියුබ් එකට දාලා තියෙනවා
විරාජ්, මම සුද්දා ගැන කතා කරන්නට ප්‍රථමයෙන්, ඔබ රංගනයට ප්‍රවිෂ්ට වීම ගැන කතා කරන්නට කැමැතියි?
මම මුලින්ම චරිතයක් නිරූපණය කරන්නේ ඒ ලෙවල් චිත්‍රපටයෙ. ඒක රොහාන් පෙරේරාගේ අධ්‍යක්ෂණයක්. ඊට පසුව සද්ධාමංගල සූරියබණ්ඩාර, චේතනී විජේතුංග සහ ප්‍රසන්න මහගමගේ යන ප්‍රවීණයින්ගේ ඇකඩමියේ රංගනය පිළිබඳ හදාරනවා. ඔය අතරතුරදී අමුතු රසිකයා, අහස් මාලිගා, තෛ‍්‍රලෝකා, හිරු ඇවිදින් වගේ ටෙලි නාට්‍යවල රඟපානවා. ඊට පසුව තමයි නාඩගම්කාරයෝ නාට්‍යයේ සුද්දා කියන චරිතය මට ලැබෙන්නෙ.
මේ දවස්වල ඔබ තවත් ටෙලි නාට්‍යයක අපූරු චරිතයක් නිරූපණය කරනවා?
ඔබ ඔය කියන්නේ රේස් නාට්‍ය ගැන වෙන්ඩ ඇති. ඒකෙ ඉෂාන් කියන චරිතය තමයි මම රඟපාන්නෙ. සමාජ මාධ්‍ය ඔස්සේ ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ ලෝචි එක්ක තමයි මම ඒකේ රඟපාන්නේ. මමයි ලෝචියි රඟපාන ගොඩක් දර්ශන වෙනම එඩිට් කරලා අරගෙන යූටියුබ් එකට දාලා තියෙනවා. ඒවා අතිශය විශාල සංඛ්‍යාවක් ප්‍රේක්ෂකයන් නරඹලා තියෙනවා.
නාඩගම්කාරයෝ නාට්‍යයේ සුද්දා ගැන වැඩි යමක් කතා කළොත්?
ඇත්තටම සුද්දා කියලා කියන්නේ සරාලත් එක්කම ඉන්න චරිතයක්. හැමතිස්සෙම ඔහු වචන පාවිච්චි කරන්නේ නැහැ. ඒත් සුද්දා කියන බොහෝ දේවල් හරි යනවා. අද නෙවෙයි අනාගතයේදී දවසක් වුණත් ඔහු කියපු දෙයක් සත්‍ය වෙනවා. එහෙම චරිතයක් තමයි සුද්දා කියන්නේ.
චරිතයක් ලැබුණාම මොන වගේ කරුණු කාරණා සලකලා බලලද ඔබ ඒ චරිතය රඟපාන්නෙ?
චරිතයක් ලැබුණාම එයට පණ පොවන්නට පෙර හොඳ අධ්‍යයනයක් කරන්න ඕනේ. අපිට චරිතයක් ඔටෝ ඇඟට එන්නේ නැහැ. අපේ සාමාන්‍ය සමාජය කියලා කියන්නේ නළුවෙක් විදිහට අපිට ඉගෙන ගන්න පුළුවන් විශ්වවිද්‍යාලයක් වගේ තැනක්. අපි එහි මිනිසුන් පිළිබඳ හොඳ අධ්‍යයනයක ඉන්න ඕනෙ. එවිට ඒ ඒ චරිත ස්වභාවයන් පිළිබඳ අපේ මනසේ තැන්පත් වෙනවා. අන්න ඒ මතකයන් මම භාවිත කරනවා චරිත නිරූපණය කරන්න.
මේ කාර්යබහුල වෘත්තීය තත්ත්වය එක්ක ටෙලි නාට්‍යයක චරිතයක් අධ්‍යයනය කරමින් රඟපාන්න පුළුවන්ද?
අනිවාර්යයෙන්ම පුළුවන් වෙන්න ඕනේ. ඒකට බැහැ කියන්න බැහැ. අපිට ලැබෙන චරිතය මොනයම් හෝ නිර්මාණයක වේවා ඒක සියයට සියයක් තම ශක්තිය යොදා රඟපාන්න ඕනේ. ඒක මෙගා නාට්‍යයක චරිතයක්ද, මියුසික් වීඩියෝ එකක චරිතයක්ද, ෂෝර්ට් ෆිල්ම් එකක චරිතයක්ද ෆිල්ම් එකක චරිතයක්ද කියලා වෙන් කරගෙන ඒ ඒ නිර්මාණය අනුව ශක්තීන් බෙදාගෙන රඟපාන්න බැහැ. තව සරලව කිව්වොත් අපි මියුසික් වීඩියෝ එකක චරිතයට 50% ක් ෂෝර්ට් ෆිල්ම් එකක චරිතයක් ලැබුණොත් 60%, තවත් නිර්මාණයක චරිතයකට 80%... එහෙම බැහැ. ඔය හැම නිර්මාණයකම ලැබෙන චරිතයට 100% අපි බැහැලාම එය නිරූපණය කරන්න ඕනේ. එතකොට තමයි එහි සාර්ථකත්වය තියෙන්නේ.
යොවුන් ජනප්‍රිය නළුවකුවූ ඔබට රසිකාවකට එහා ගිය බැඳීමක් ඇති කරගත් තරුණියක් නැද්ද?
ඔයා අහන්නේ මම පෙම්වතෙක්ද නැද්ද කියලානෙ.. මට ඒකට දෙන්න පුළුවන් මෙන්න මේ උත්තරේ විතරයි. මම ආදරේට ආදරෙයි...එච්චරයි..
විරාජ්ගේ ගම් පළාත කොහෙද? ඉගෙන ගත්ත පාසලත් මතක් කළොත්?
මම අනුරාධපුර විලච්චිය කියන ගමේ. මම ඉස්කෝල හතරකින් ඉගෙන ගත්තා. විලච්චිය සිද්ධාර්ථ මහා විදුහල, තක්ෂිලා මහා විදුහල, අනුරාධපුර මධ්‍ය විදුහල වලිසිංහ හරිස්චන්ද්‍ර විදුහල කියන පාසල් හතරෙන් තමයි මම ඉගෙන ගත්තේ.