චලෝ සමඟ ටෙලි තිරයටආ ටිශානි

නොවැම්බර් 4, 2021

 

බිංචි කියන්නේ බිබිල ප්‍රදේශයේ ජීවත් වූ පාපන්දු ක්‍රීඩාවේ නියැලෙන ඉතාම දිළිඳු දැරියක්

 

රංගනය මගේ විනෝදාංශය

 

කිසි දෙයක් සම්පූර්ණයෙන්ම සාර්ථක කර ගන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ

කෙළිලොල් දඟකාර යෞවනයේ සුන්දරම තෝතැන්න පාසලයි. පාසල් වියේ නව යොවුන් හැඟුම් කැටි කරගත් අපූරු ටෙලි වෘතාන්තයක් ලෙස චලෝ මේ දිනවල රූපවාහිනි තිරය මත දිග හැරෙයි. නවක තරු කිහිපයකටම පුංචි තිරය මත පායන්නට ඉඩහසර සලසා දුන් චලෝ තුළින් රංගනයට පිවිසි තවත් එක් රංගන ශිල්පිනියක් ලෙස ටිශානි දිසානායක රංගනයෙන් දිගු ගමනක් යන්නට සූදානමින් සිටියි.

 

ටිශානිට කලාවට එකතු වෙන්න හිතුණේ කොහොමද ?

මම ඉපදුණේ කලාවට කිසිසේත්ම සම්බන්ධයක් නැති පවුලක. හැම පුංචි දරුවෙකුට එක එක විදියේ හීන තියෙනවා. ගොඩක්ම පුංචි කාලයේ රූපවාහිනියේ ටෙලි නාට්‍ය, චිත්‍රපට නරඹන විට යම් දවසක රංගන ශිල්පිනියක් වන්නට හීනයක් මගේ සිතේ ඉපදුණා. වයසෙන් වැඩෙනකොට ඒ ආශාව මගෙන් අතෑරුණේ නෑ දිගටම ටිකෙන් ටික වර්ධනය වුණා.

 

ඒත් ටිශානි තෝරා ගන්න සෞන්දර්ය විෂය නර්තනය?

ඔවු. රංගනයට තිබුණු ආශාව වගේම ඉතාම කුඩා වයසේ සිට නර්තනයට සහජ දක්ෂතාවයකුත් මට තිබුණා. ඒ නිසා පාසලේ දී සෞන්දර්ය විෂයක් ලෙස හදාරන්නට තෝරාගත්තේ නර්තනය.

නර්තන විෂය හදාරන අතරේ වුවත් පාසලේ නාට්‍ය හා රංග කලාව ඉගැන්වීම් කටයුතු සිදුවන විට එතැනට බලා සිටීමේ පුරුද්දක් ඇති වුණේ රංගනයට තිබූ ආශාව නිසාමයි. ඒ වගේම පාසලෙන් නාට්‍යයක් නැරඹීම සඳහා සිසුන් රැගෙන යන කිසිම අවස්ථාවක් මඟ හැරියේ නැහැ.

 

ඔබ චලෝ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නේ කොහොමද?

චලෝ ටෙලි නාට්‍යයට නළු නිළියන් තෝරා ගන්නා සම්මුඛ පරීක්ෂණය ගැන මට දැනගන්න ලැබුණා. මමත් එයට සහභාගී වුණා. ඇත්තටම ඒක හැරවුම් ලක්ෂයක්. ඒ චභඤඪබඪධද එකේ දී මට චලෝ ටෙලි නාට්‍යයේ බිංචි කියන චරිතය ලැබුණා.

 

රංගනයේ පළමු අවස්ථාව ඔබට දැනුණේ කොහොමද?

මුලින් සබකෝලයක් සහ නුහුරු බවක් දැනුණා. ඒ කැමරාවක් ඉදිරියේ රංගනයක් ඉදිරිපත් කළ මුල්ම වතාව. වරදින්නට තිබුණු ඉඩ වැඩි නිසා පොඩි බයකුත් තිබුණා.ඒත් චලෝ නාට්‍යයේ අධ්‍යක්ෂ සමීර හසුන් ඇතුළු කණ්ඩායමම එකිනෙකාට පුදුමාකාර සහයෝගයක් සහිතව වැඩ කළ නිසා ඉතාම ඉක්මනින් චරිතයට අවතීර්ණ වී සැහැල්ලුවෙන් වැඩ කරන්න මට පුළුවන් වුණා.

 

බිංචි මොන වගේ චරිතයක් ද?

බිංචි කියන්නේ බිබිල ප්‍රදේශයේ ජීවත් වූ පාපන්දු ක්‍රීඩාවේ නියැලෙන ඉතාම දිළිඳු දැරියක්. මමත් පාසලේ දී ක්‍රීඩා කටයුතුවලට කැමැත්තෙන්ම සම්බන්ධ වූ නිසා ඒ චරිතය ඉතාම සමීපව මට දැනෙනවා. ඒ නිසා ආයාසයකින් තොරව එයට අනුගත වෙන්නට මට පුළුවන් වුණා. "

 

මේ දිනවල ටිශානිගේ ජීවිතේ ගෙවෙන්නේ කොහොමද?

මම මෙවර කලා අංශයෙන් උසස් පෙළ විභාගය සඳහා සූදානම් වෙන අතරේ රංගන කටයුතුත් කරනවා. රංගනය මගේ විනෝදාංශය සහ සිහිනය වුවත් උසස් අධ්‍යාපනය සඳහා නීතිය තෝරා ගන්නයි මගේ බලාපොරොත්තුව. අනාගතයේ නීතිඥ වෘත්තිය වෙත ප්‍රවිශ්ට වීමේ බලාපොරොත්තුවක් තිබෙනවා.

 

ඔබේ රංගන දිවියේ ඉදිරිය ගැනත් කතා කරමු.

දැනටමත් තවත් රංගන කටයුතු සඳහා ආරාධනා ලැබෙමින් තිබෙනවා. අධ්‍යාපන කටයුතුත් අඩාල නොවන සේ ඒවා තෝරා බේරා ගනිමින් දායක වෙන්නට බලාපොරොත්තු වෙනවා. රංගනය සහ අධ්‍යාපනය සමබරව ගෙන යන්න හොඳ මඟ පෙන්වීමක් සහ සහයෝගයක් මගේ පවුලෙනුත් මට ලැබෙනවා.

 

රංගනය හැදෑරීමෙන් තොරව සාර්ථක කර ගන්න පුළුවන් වෘත්තියක් ලෙස ඔබ දකිනවා ද?

නැහැ. හැදෑරීමකින් තොරව කිසි දෙයක් සම්පූර්ණයෙන්ම සාර්ථක කර ගන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. පාසලේදී මට විෂයයක් ලෙස හදාරන්නට ලැබුණේ උඩරට නර්තනය සහ භරත නාට්‍යම්. සහජයෙන් ලැබුණු දක්ෂතාවය සහ කුසලතාවය තුළින් ගමන ආරම්භ කළත් ඉදිරියේදී රංගනය විෂයක් ලෙස හදාරන්න මම බලාපොරොත්තු වෙනවා. හැදෑරීම් සහ අභ්‍යාස මගින් මගේ රංගනය වඩාත් සාර්ථක කර ගනිමින් හොඳ නිර්මාණ සඳහා දායක වන්නට හැකි වනු ඇතැයි මම විශ්වාස කරනවා.

 

රංගනයෙන් දායක වන්නට ඔබ වඩාත් කැමති චරිත මොනවාද?

රංගනයේදී ලැබෙන ඕනෑම චරිතයක් සඳහා හැකි උපරිම අයුරින් සාධාරණයක් ඉටු කිරීමට මම උත්සාහ දරනවා. එකිනෙකට වෙනස් චරිත ලැබෙනවාට මම කැමතියි. චරිතයක් අභියෝගාත්මක වන තරමට ඒ සඳහා මගේ උපරිමය ලබා දෙන්නට හැකි වෙනු ඇතැයි මම සිතනවා.