අපට නර්ස් කෙනෙක් දෙන්න

ටෙලිනාට්‍ය සියලු ශිල්පීන් වෙනුවෙන් රන්ජන් ප්‍රසන්න ඉල්ලයි
සැප්තැම්බර් 9, 2021

 

ඔබට මොනවද සඳහන් කරන්න තියෙන්නේ?

ඊයේ පෙරේදා දුලිකා අක්කත්(දුලීකා මාරපන)එක්ක කතා කර ඉද්දි තමයි මේ අදහස අපි හුවමාරු කරගත්තේ. ඇත්තටම ඒක මට කියන්න ඕනෙ කියලා හිතුණා. නළුනිළියො ගණනාවක් කොරෝනා පොසිටිව් වුණා කියන කාරණය අමුතු දෙයක් නෙවෙයිනේ. ඒත් නට්‍ය වැඩ කෙරීගෙන යනවා. ටෙලි නාට්‍යයක නිෂ්පාදන කණ්ඩායමට කොහොමහරි සෞඛ්‍ය ආරක්ෂිත අන්දමින් වැඩ කටයුතු කරගෙන යන්නට පුළුවන්. මම කියන්නේ, නළු නිළියෝ...අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නළුවන්ට නිළියන්ට මාස්ක් එකක් දාගෙන රඟපාන්න පුළුවන්ද. මීටර පරතරයෙන් ඉන්න පුළුවන්ද. මේ නිසා නළු නිළියන් අතර කොවිඩ් රෝගය බෝවෙන ප්‍රවණතාවය වැඩියි. ඒත් එහෙම කියලා ටෙලි නාට්‍ය නතර කරන්න බැහැනේ. ඔතැන දෙපැත්තක් තියනවා ටෙලිනාට්‍යවලින්ම ජීවත් වන නළු නිළියෝ විශාල පිරිසක් ඉන්නවා. ඒ වගේම සාමාන්‍ය ජනතාව මේ වෙලාවේ යම්කිසි ආතතියකින් ඉන්නේ. මේක මඟහැරගන්න ටෙලි නාට්‍ය වගේ කලාවන්වලට ඔවුන්ගේ මනස යොමු වෙනවා. ඉතිං ටෙලිනාට්‍ය නවත්තන්නෙ නැත්තෙත් ඒකයි. ඒත් මෙතැන ලොකු අවදානමක් අරගෙනයි අපි නිර්මාණ නිර්මාණකරණයේ දෙන්නේ.

ඔබගේ මොකක් හෝ යෝජනාවක් මේ සම්බන්ධව තියෙනවද?

ඇත්තටම අපි පුළුවන් තරම් උපරිම සෞඛ්‍ය ආරක්ෂිත අන්දමින් තමයි රූපගත කිරීම් කරගෙන යන්නෙ. ඒත් මම කියන්නේ අපිට රාජ්‍ය මට්ටමේ මැදිහත් වෙලා යම්කිසි ප්‍රතිපත්තියක් හදලා දෙන්න ඕනේ. ඒ ප්‍රතිපත්තිය ඇතුළේ ටෙලි නාට්‍යයක දර්ශන තලයකට හෙදියක් හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යම් නිලධාරියෙකු අපිට අවශ්‍ය වෙනවා. ඒ සඳහා යන වියදම නිෂ්පාදකවරයා විසින් දරන්නට පුළුවන්. ඒත් එහෙම කෙනෙක් ඉන්න කොට ඔහුට හෝ ඇයට පුළුවන් සම්පූර්ණයෙන්ම මේ සෞඛ්‍යාරක්ෂිත විදිහටම එක රූපගත කිරීම් වෙනවද, යම් යම් අපිට අමතක වන තැන්වලදි මෙහෙම වැඩ කරන්න කියලා මතක් කරන්න. නිතරම උපදෙස් දෙන්න පුළුවන්නෙ.

 

ඔබේ පෞද්ගලික මතය ගත්තොත් කොවිඩ් වසංගත මැද ටෙලිනාට්‍ය රූපගත කිරීම් නැවැත් විය යුතුද?

මම කලින් කිව්ව වගේ ඔතැන දෙපැත්තක් තියෙනවා. මොකද එකපාරටම ටෙලිනාට්‍ය නවත්තන්න කියල කියන්නත් බැහැ. අපිට රූපගත කිරීම් කරගෙන යන්න තමයි දැනට උපදෙස් ලැබිලා තියෙන්නේ. මම මේ වෙලාවේ එක දෙයක් ඉල්ලනවා. දැන් ටෙලිකාස්ට් වෙන නාට්‍ය ඇරෙන්න වෙන නාට්‍ය රූපගත කිරීම් කරනවා නම් ඒවා නවත්තන්න කියලා. මොකද විකාශය වන ටෙලිනාට්‍ය කොහොමත් අපිට කරන්න වෙනවානේ.

කොහොමද ඔබේ මේ දවස් වල වැඩ කටයුතු?

මම වැඩ සම්බන්ධ වෙලා ඉන්න නාට්‍ය දෙකක් මේ දවස්වල විකාශය වෙනවා. එකක් සමීර හසුන්ගෙ චලෝ. මම ඒ‌කෙ නිෂ්පාදන සම්බන්ධීකාරකවරයා. ඒ වගේම පෝර්ක් වීදිය, සාලින්ද රත්නායකගෙ අධ්‍යක්ෂණයක් ඒක. එහි රේඛීය නිශ්පාදකවරයා විදිහට වැඩ කරනවා. ඒ වගේම යාදින්නී කියලා ටෙලි නාට්‍යයක අපි වැඩකටයුතු කරගෙන යනවා. ඒක ඉන්දික ධර්මතිලකගේ අධ්‍යක්ෂණයක්. නිමල් අභයවර්ධන තමයි එය නිෂ්පාදනය කළේ.

 

ඔබ ලඟදි ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කළේ නැහැ නේද?

ඇත්තටම මම මුලින්ම අධ්‍යක්ෂණය කළේ සිහිනපුරය කියන නාට්‍ය. ඊට පස්සේ ටෙලි නිර්මාණ රැසක් සහ විසංගමනය කියන චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. අන්තිමට අධ්‍යක්ෂණය කළා අරුමවන්ති ටෙලි නාට්‍යය. මම මේ දවස් වල චිත්‍රපට හා තාක්ෂණය පිළිබඳ උපාධියක් හදාරනවා. ඒ නිසා මම ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න මෑත කාලයේ යොමු වුණේ නැහැ.

බොහෝ නිර්මාණකරුවන් තමන්ගේ නිර්මාණයක වැඩ අරඹද්දී ඔබට එහි වැඩි වගකීමක් දෙන්න කතා කරනවා?

ඒක වෙන්නේ මෙහෙමයි. මම දැනට ලංකාවේ ඉන්න ප්‍රවීණතම අධ්‍යක්ෂවරුන් යටතේ වැඩ කරලා තියෙනවා. ප්‍රසන්න විතානගේ, බෙනට් රත්නායක, බූඩි කීර්තිසේන, පරාක්‍රම නිරිඇල්ල, සෙනේෂ් බණ්ඩාර දිසානායක, රෙජිනෝල්ඩ් ජයමාන්න, නාලන් මෙන්ඩිස, සංජය නිර්මාල් ඉන් කිහිපදෙනෙක්. බොහෝ අය මාව ඔවුන්ගේ නිර්මාණ සඳහා යොදා ගන්නේ ඒ නිර්මාණයේ නිෂ්පාදන පිරිවැය හරියට කළමනාකරණය කර ගැනීමට, ආර්ටිස්ලව සම්බන්ධීකරණය කර ගැනීමට ආදී සියලු කටයුතුවලට. මම ඒ වගකීමට උපරිම සාධාරණයක් ඉෂ්ට කරලා දෙනවා. ඉතින් ඒ නිසා බොහෝ අධ්‍යක්ෂවරුගෙන් මට ඇරැයුම් ලැබෙනවා.

 

මේ ව්‍යසනකාරී තත්ත්වය මැද බොහෝ කලාකරුවන් වැඩ නැතුව ඉන්න ඒ ගැන මොකද කියන්න තියෙන්නේ?

ඇත්තටම මට කියන්න තියෙන්නේ ලංකාවේ කලාකරුවන්ට හැමදාම වැඩ නැහැ. ඒ නිසා තමන්ට මුදල් ලැබෙන කාලේ, ඒ කියන්නෙ වැඩ තියෙන කාලෙ මේ වගේ දුෂ්කර වකවානුවලදී මුහුණ දෙන්න කීයක් හරි ඉතුරු කර ගන්න ඕනේ. ඒ වගේම කලාකරුවා කියන සම්පත රැකගන්න රජයේ මීට වඩා මැදිහත් වෙන්න ඕනේ කියලා මට හිතෙනවා.